"කුඩා වචනයක් හේතු කොටගෙන අවුරුදු ගණන් අමනාපයෙන් සිටින ගිහි ගෙවල් දක්නට ලැබෙයි. ඇතැම් අවස්ථාවන් තුළ එවැනි කාරණා තමාගේ දරුවන්ට ඥාතීන්ද අහිමි කරයි. අම්මා තාත්තාගේ යුතුකම විය යුත්තේ තමාගේ දරුවන්ට ඔවුන්ගේ ඥාතීන් අහිමි නොකර සිටීමයි. තමාගේ මනස තුළ පවතින වෛරය තරහව දරුවන්ගේ සිත තුළට කා වැද්දීම අයහපත් ක්‍රියාවක් වෙයි. අම්මා තාත්තා දරවාගේ මනස ගොඩනැඟීම වෙනුවට දරුවාගේ මනස විනාශ කර දමයි. නිරෝගී දරුවන් රෝගීන් බවට පත් කරයි. "
කුණ්ඩදාන හාමුදුරුවන්ගේ රහත් භාවය පිළිබඳව බුද්ධකාලීන සමාජය තුළ තරමක් වාද විවාද පැවතුණා. කුණ්ඩදාන හාමුදුරුවන් රහත් බවට පිරිසක් ප්‍රකාශ කළ විට හාමුදුරුවන් රහත් නොවුන බවට අනෙක් පිරිස් ප්‍රකාශ කළා.
ඒ කාරණාව පිළිබඳව කුණ්ඩදාන හාමුදුරුවන් කිසිවක් ප්‍රකාශ නොකර ඉතාම සංවරව ඉතාම තැන්පත්ව වැඩ වසනවා මිස අනෙක් පිරිස් සමඟ වාද විවාද සඳහා සම්බන්ධවී අනෙක් පිරිසගේ සිත් රිදෙන ලෙස තලා පෙලන ආකාරයේ කතා බස් සඳහා සහභාගි වූයේ නැහැ. ස්වාමීන් වහන්සේ තැන්පත්ව තමාගේ ආගමික වැඩ කටයුතු කරමින් බණ භාවනා කරමින් පන්සලේ වැඩ සිටින උන්වහන්සේගේ ඇවතුම් පැවතුම් සහ සමාජය තුළ හැසිරෙන ආකාරය දකින ගිහි පිරිස ස්වාමීන් වහන්සේ රහත් වී ඇති බව ප්‍රකාශ කරයි. කුණ්ඩදාන හාමුදුරුවන්ගෙන් ඒ පිළිබඳව විමසුවද, එය උන්වහන්සේට අදාළ කාරණවක් ලෙස නොසලකා එවැනි ප්‍රශ්න සඳහා පිළිතුරු ලබානොදෙයි.
මෙවැනි වාද විවාද වර්තමාන ගිහි සමාජය තුළද ඕනෑතරම් දැකිය හැකියි. ඇතැමුන් වැඩි පුර කතා කරයි. ඇතැමුන් අඩුවෙන් කතා කරන අතර තවත් සමහරෙක් සැඩපරුෂ ලෙස කතාකරයි. ඇතැමෙක් උපදෙස් දීමට කතා කරයි. සමහරුන් කතා කරන දේ අසාගෙන සිටීමෙන් අපගේ මනස අවුල් වෙයි. ඇතැමෙක් කතාකරන කාරණා තුළින් අපගේ මනස දැනුමෙන් පිරී යයි.මෙම කතාව ඇතුළත බරපතළ තත්වයක් පවතින බව අවබෝධ කරගත යුතුයි. ඇසීමට අකැමැති සැඩ පරුෂ වචන කතා නොකළ යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. ඇතැමි වචන සැඩ පරුෂ නොවුණත් සිනහවෙමින් කියන වචනයක් වුවද, තවත් අයෙකෙªට අතුල් පහරක් විය හැකියි. ඇතැමුන් ඉඟි බිඟි තුළින් මුහුණින් පෙන්නුම් කරන හැසිරීම අනෙකාට ඇතුළ් පහරක් විය හැකියි. අනෙක් පුද්ගලයාගේ සිත රිදෙන ආකාරයෙන් ඔහුගේ මනස අවුල් වන ආකාරයට වචන කතා කරනවා නම්, එය ඔහුගේ හෝ ඇයගේ දෛවයේ සරදමක් වෙයි. මෙලොව උපත ලබන සෑම පුද්ගලයෙකුටම කතාකිරීෙමි හැකියාව ලැබෙන්නේ නැහැ.ඇතැමුන් ඉපදුනාට පසුව ගොළු වෙයි. යමෙකුට කතා කිරීමේ හැකියාව ලැබෙන්නේ ඔහු විසින් පෙර සංසාරය තුළ කරනු ලැබූ විශාල පින්කමක් නිසයි.
තමාගේ මනස තුළ පවතින අදහස තවත් පුද්ගලයෙකුට වචනයෙන් ප්‍රකාශ කිරීමට තිබෙන හැකියාව පෙර සංසාරය තුළ කළ විශාල පින්කමක ප්‍රතිඵලයක් වෙයි.පින්කමක් නිසා පිනට ලැබුණ කටහඬ අනෙකා තළා පෙලා ඔවුන්ගේ සිත රිදෙන ආකාරයට අනෙකාගේ සිත අවුල් වන ලෙස තමාගේ වචන පරිහරණය කරනවා නම්, එය දෛවයේ සරදමක් වෙයි.පෙර පිනට ලැබී තිබෙන හඬෙන් අනෙකාගේ සිත රිදවීම නිසා අකුසලයක් සිදුවෙයි. අහන්න අකැමැති සැඩ පරුෂ කතා නොකළ යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා.
යමෙකු රෞද්‍ර ආකාරයට කතාබහ කළ විට ඔබත් එවැනි ආකාරයෙන් බැණ වැදීම සාමාන්‍ය ස්වභාවය වෙයි. සැඩ පරුෂ වචන පරිහරණය නොකළ යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලැබුෙවිද, ඒ ආකාරයෙන්ම අනෙක් පුද්ගලයාද පිළිතුරු සැපයිමට ක්‍රියාත්මක වීම නිසයි. ඇතැම් ගෙවල් තුළ බිරිඳ බැණ වැදීමට පටන් ගත් පසු , ස්වාමියාද එවැනි ආකාරයෙන්ම පිළිතුරු ලබාදෙයි. අප යම් පුද්ගලයෙකුට සැඩ පරුෂ ලෙස බණිනවා නම්, පළමුවෙන්ම තමාගේ සිත දූෂණය වෙයි. සැහැල්ලු ලෙස යහපත් මානසිකත්වයක සිටි පුද්ගලයෙකු අනෙකාට බැණ වැදීමට තරම් මනස අසංවර වී නැහැ. තමාගේ මානසිකත්වය තුළ ගොඩනඟාගනු ලබන වෛරය කේන්තිය අමනාපය වැනි අවුල තමාගේ ශරීර ස්වභාවයද වෙනස් කරයි. පුද්ගලයෙකු කේන්තියෙන් වැඩ කටයුතු කරන අවස්ථාවත් යහපත් මානසිකත්වයෙන් කටයුතු කරන ආකාරයත් අවස්ථා දෙකක් වෙයි.මනස අවුල් වූ අවස්ථාවන් තුළ මානසික වශයෙන් සහ ශාරීරික වශයෙන් විශාල අවුලක් හට ගනී. එලෙස කේන්ති යාම තුළ මානසික වශයෙන් හා ශාරීරික වශයෙන් විශාල අවුලක් ඇතිවෙයි. එම අවුලෙන් අනෙක් පුද්ගලයාට දොස් නැගීමට පෙළඹෙයි. කිසිම පුද්ගලයෙකු සැහැල්ලු මානසික තත්වයක සිටින අවස්ථාවක තවත් පුද්ගලයෙකුට දොස් නැඟීමට උත්සාහ කරන්නේ නැහැ.
ඇතැම් පුද්ගලයන් උත්සවයකට සහභාගි වී නිවසට පැමිණි අවස්ථාෙවි සිට අඩුපාඩු ප්‍රකාශ කරයි. තමාගේ ගෙදර සිට අනෙකාගේ අඩුපාඩු සෙවිීම ලොකුම වරදක් වෙයි.උත්සවය තුළදී අනෙක් පිරිස් සමඟ යහපත් ලෙස කතාබස් කරමින් ගෙදර පැමිණි විගස එවැනි ආකාරයෙන් ප්‍රකාශ කරන විට ,එය අසාගෙන සිටින දරුවන් කල්පනා කරනු ලබන්නේද, ආදර්ශවත් අම්මාකෙනෙකු වීමට නම් එවැනි ආකාරයෙන් හැසිරිය යුතු බවයි.දරුවන්ද එලෙස හැසිරීමට පුරුදු වෙයි. තමන් ජීවත් වීමට හදාගත් නිවස පන්සලක් මෙන් පැවතිය යුතුයි. අනුන්ගේ ඕපදූප සොයමින් ගෙදර තුළ කෑ ගැසීම නොකළ යුතුයි.තමාගේ නිවස තුළ අනෙක් පිරිසගේ අඩුපාඩු ප්‍රකාශ නොකළ යුතුයි. එවැනි කාරණා සඳහා භූතයන් ප්‍රේතයන් පමණක් ඇලුම් කරයි.
යම්කිසි පුද්ගලයෙකු අනෙක් පුද්ගලයාගේ දොසක් කියනවා නම්, එම කියන තැනැත්තාගේ මනස අවුල්ව පවතී. සැඩපරුෂ වචන අනෙකාගේ අඩුපාඩු සහිත වචන , අනෙකාගේ සිත රිදෙන වචන, අනෙකාට ඇණුම් පද කියන වචන ප්‍රකාශ කිරීම වහාම නැවැත් විය යුතුයි. වෙනත් තැනැත්තෙක් හෝ තැනැත්තියක් සමඟවත් තවත් අයෙකුගේ අඩුපාඩු ප්‍රකාශ කිරීමට යාම සුදුසු නැහැ අපගේ කටින් පිටවන වචනය අසාගෙන සිටින තැනැත්තා හෝ තැනැත්තිය එය අසාගෙන සිටියාට ඔහු හෝ ඇය තවත් අයෙකු සමඟ ප්‍රකාශ කරන බව මතක තබාගත යුතුයි.තමන්ගේ කටින් අනෙකාගේ දොසක් සහිත වචනයක් ප්‍රකාශ කරන විට එම වචනය එම පුද්ගලයාට ආරංචි වුවහොත්, ඇතිවන තත්වය පිළිබඳව සිතිය යුතුයි. ඇතැම් පුද්ගලයන් යම් යම් වචන අදාල පුද්ගලයාට ආරංච් වීම සඳහාම ප්‍රකාශ කරන විට එම වචනය අනෙක් පැත්තට වහා රැගෙන යන පිරිස් සිටී. එවැනි වචන ප්‍රවාහනය කරන තැනැත්තන්ගෙන් ප්‍රෙවිශම් විය යුතුයි. අපගේ ජීවිතය තුළ අවුල් ඇතිවී තිබෙනවා නම්, අවුල් සියයට අනූවක්ම පැමිණ ඇත්තේ තමාගේ කටින් බව අවබෝධ කරගත යුතුයි.
කුමන අවස්ථාවකවත් තමාගේ කටින් පරුෂ වචනයක් නොකිය යුතු බවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.මනස කේන්තියෙන් තිබෙන අවස්ථාවන් තුළ අයහපත් වචන ප්‍රකාශ කරයි. එසේ නැතහොත් තවත් පුද්ගලයෙකු තමාට බැණ වැදුන බව ආරංච් වීම නිසා කේන්තියක් ඇතිවෙයි. සැඩ පරුෂ වචනය අසාසිටි අනෙක් පුද්ගලයාත් එයට ගැලපෙන ආකාරයේ පිළිතුරක් ලබාදීම නිසා ආරවුල් හටගනී. එවැනි කුඩා වචනයක් හේතු කොටගෙන අවුරුදු ගණන් අමනාපයෙන් සිටින ගිහි ගෙවල් දක්නට ලැබෙයි. ඇතැම් අවස්ථාවන් තුළ එවැනි කාරණා තමාගේ දරුවන්ට ඥාතින්ද අහිමි කරයි. අම්මා තාත්තාගේ යුතුකම විය යුත්තේ තමාගේ දරුවන්ට ඔවුන්ගේ ඥාතීන් අහිමි නොකර සිටීමයි. තමාගේ මනස තුළ පවතින වෛරය තරහව දරුවන්ගේ සිත තුළට කා වැද්දීම අයහපත් ක්‍රියාවක් වෙයි. අම්මා තාත්තා දරවාගේ මනස ගොඩනැඟීම වෙනුවට දරුවාගේ මනස විනාශ කර දමයි. නිරෝගී දරුවන් රෝගීන් බවට පත් කරයි.
සමාජය තුළ කිසියම් ස්ථානයක රණ්ඩුවක් ආරවුලක් තිබෙනවා නම්, එම පළාත දෙස බැලීමටවත් අකැමැති බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත.බුදුරජාණන් වහන්සේ ඒ ආකාරයෙන් දේශනා කළත් අප එය පිළිපැදීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. අනෙක් පුද්ගලයන්ගේ අඩුපාඩු , අරගල සෙවීමට ඇතැමුන් කැමැත්තක් දක්වයි.අනෙකාගේ අරගල, රණ්ඩු සරුවල් , අඩුපාඩු ඇසීමට මනුෂ්‍යයා සහජයෙන්ම කැමැත්තක් දක්වයි. එය තමාගේ මනස තුළ පවතින අකුසලයක් බව වටහා ගත යුතුයි. කොසඹෑනුවර විනයධර, ධර්මධර භික්ෂූණ් වහන්සේලා අතර ඇති වුණ අරගලයේදීත් ,මහණෙනි , එවැනි පිරිස් සිටින ස්ථානය දෙස වැඩීමට තියා ඒ පැත්ත බැලීමටවත් කැමැති නැහැ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.
එවැනි පරිසරයකට යාම තුළ තමාගේ සිතද අවුල් වී යයි. ඇතැම් පුද්ගලයන් කුඩා කාරණාවක් අල්ලාගෙන දවස ආරම්භයේදීම අවුල් ඇතිකර ගනී. පුද්ගලයෙකුගේ මනස අවුල් වන ආකාරයෙන් කතා කිරීම අකුසලයක් වෙයි. ඔහු අයහපත් ආකාරයෙන් කතා කළ නිසා තවත් කිහිප දෙනෙකුගේ සිත අවුල් වී යයි. මනස අවුල් වීම නිසා ඔවුන්ගේ වැඩ කටයුතු කරගැනීමට බාධාවක් වෙයි. එවැනි සිදුවීම කළ පුද්ගලයාට බරපතල අකුසලයක් සිදුවෙයි.
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජනවාරි 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment