අද අපි ශීල පාරමිතාව ගැන සඳහන් කරමු. එයත් බොහොම වැදගත් . ශීල පාරමිතාව, ශීල උප පාරමිතාව, ශීල පරමත්ථ පාරමිතාවෙන් සිල් රැකීම වැදගත්. අත පය කැඩී බිඳී ගියත් , දිවි හිමියෙන් සිල් රැකීමෙන් අර්හත්වය, පසේ බුද්ධත්වය, ලොවුතුරා බුද්ධත්වය උදෙසා භාග්‍ය ලැබෙනවා. එසේනම්, අප නිවන් සැප ලැබේවා ‘යි සිතූ පමණින් පමණක් නිවන් සැප ලබන්න බැහැ. ඒ සඳහා දන්දීම, සිල් රැකීම කළ යුතුයි. පන්සිල් , අටසිල් , සාමණේර සිල්, උපසම්පදා සිල් ආදී විවිධාකාර වූ චාරිත්‍ර ශීල, වාරිත්‍ර ශීල ශික්ෂාපද අනුගමනයෙන් තමන්ට උත්තරීතර බව ලබන්න පුළුවන්.
එක්තරා ආත්ම භාවයක ගෞතම මහා බෝසතාණන් වහන්සේ මහා වනයකට පිවිසෙද්දී පිඹුරෙක් වෙලා ගත්තා. තමන් වහන්සේට පිඹුරව පිහියෙන් කපා කොටා මරා දමා නිදහස් වෙන්න තිබුණත් පාරමී ගුණ බලයෙන් සත්‍ය ක්‍රියා කර ඒ සතා ඈතට විසි කළා. දිවි හිමියෙන් සිල් රැකීමෙන් දිවි බේරී එහිම අනුසස් ලැබුවා. එසේනම්, නිවන් සුව පතන්නන් දිවි හිමියෙන් ශීලය රැකීමට පෙරමුණ ගන්නවා.
ශීලය හොඳින් වඩා දියුණු කරන පින්වතුන්ට පමණක් යහපත් තත්ත්වයක් ලබන්න පුළුවන්. කය , වචනය දෙකේ සංවරබව ශීලයයි. සතුන් මැරීමෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, කාම මිථ්‍යාචාරයෙන් වැළකීම, බොරුවෙන් , මත්පැනින් වැළැකී පන්සිල් රැකීම කයේ සහ වචනයේ සංවරයයි. සැමටම සිල් රකින්න බැහැ. සංසාරගත පුරුදු පුහුණු ඇත්තන් පමණක් සිල් රකිනවා. ඇතැම් අය ප්‍රාණඝාතයෙන්, හොරකමෙන් අවිනීතව පාපකාරී දිවිපෙවෙතක් ගත කරනවා. ඒ අයට සිල් රකින්න කොහෙත්ම බැහැ. ශීලාදී ගුණ සම්පත් දියුණුවට තමාගේ සිතේ ශීලය රකින බවට අධිෂ්ඨාන තිබිය යුතුයි. එසේනම් ගුණ දහම් දියුණුවෙන් කායික මානසික දියුණුවෙන් මේ යහගමන ඉදිරියට යා යුතුයි.
සමාදන් වූ ශීලයේ ශික්ෂාපද කඩා බිඳ ගැනීම හානිභාගී ශීලයයි. එය වැඩකට නැහැ. මේ ශීලය කැඩී බිඳී පිරිහීමෙන් අපාය ගාමී වෙනවා. ප්‍රතිභාගී ශීලය යනු සමාදන් වූ ශීලය රැක ගැනීමයි. තෙවැන්න විශේෂභාගී ශීලයයි. ශීල සමාදානය, බුදු ගුණ භාවනාව, මෛත්‍රී භාවනාව, අසුභ භාවනාව, පටිභාන භාවනාව , සමථ භාවනාවෙන් ශීලය වැඩීම විශේෂභාගී ශීලයයි. මේ උත්තමයා සමථ භාවනාවෙන් ශීලය තවත් දියුණු කරගන්නවා. මඟතොට යනඑන විටදී, වාඩිවී සිටියදී , සිටගෙන සිටියදී, නින්දට යන තුරා භාවනාවකට සිත යොමු කිරීමෙන් තමාට ශක්තියක් ගොඩනංවා ගැනීමට ශීල සංවරය බොහොම අගෙයි.
තවත් කරුණක් වන්නේ නිර්වේද භාගී ශීලයයි. එනම්, ශීලයෙන් නිවනට පිවිසීමයි. සිල් හොඳින් රැකගෙන මේ ශරීරය අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි යනුවෙන් මෙනෙහි කරන්න. ඇස අනිත්‍යයයි. දුක්ඛයි, අනාත්මයි - කන අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි - නාසිකාව අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි - දිව අනිත්‍යයයි. දුක්ඛයි, අනාත්මයි - කය අනිත්‍යයයි, දුක්ඛයි, අනාත්මයි.- සිත අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි යනුවෙන් දොළොස් ආයතනයෝ අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි යනුවෙන් ධාතු දහඅටක් මෙනෙහි කිරීමෙන් තමාට ලැබෙන්නේ “විශේෂභාගී ශීලය”යි. නිවනට යොමුවන්නා වූ මෙම ශීලය “නිර්වේද භාගී ශීලය”යි. දන්දීම, සිල් රැකීම, භාවනා කිරීමෙන්, ලෝභ ද්වේශ මෝහ තුරන්වී අලෝභ, අදෝශ, අමෝහ මූලයන් හොඳින් වැඩෙනවා. එසේනම් පින්වත් ඔබත් ශීලය රකිමින් එහි දියුණුවට කටයුතු කිරීම අගෙයි. ශීලය තරම් බලගතු, මහත්ඵල , මහානිශංස දෙයක් ලොවේ තවත් නැහැ. ශීලය දියුණුවෙන් සංසාරයේ සම්පත් බහුලයි. එයින් යස, ඉසුරු , සැප , සම්පත්, ලබා සුවිශේෂී දිවියක් ලැබෙනවා. සිහි නුවණින් මිය යනවා. මිය ගිය පසු උපත ලබන්නේ දෙව් ලොවයි. එසේනම්, සිල් රැකීමෙන් ලබන පින අපමණයි. භාවනා කිරීමෙන් ඊටත් වඩා පින් ලැබෙනවා. සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා’යි සිතුවත් ඇති. අනිත්‍යය සිතීමෙන් ලැබෙන පින අපමණයි. මේ ගැන කවුරුත් කල්පනාවෙන් සිත දියුණු කර ගැනීමේ අදහසින් ප්‍රාර්ථනාවෝ පමණක් සිතෙහි තබාගෙන තමන්ගේ කය, වචන සංවරයට පත් කර ගන්න. ජාතක දේශනා, සූත්‍ර දේශනා, ශීලය ගැන හොඳට කල්පනාවෙන් තමාගේ ගුණ සම්පත්තිය හොඳින් දියුණුවට වෙහෙස මහන්සි වෙන්න. ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා දියුණුවෙන් සුගතියක සැප, නිවන් සැප ලැබීමේ අදහස සිතෙහි පෙරදැරි කරගනිනිමින් ශීලය රැකීමෙන් තමන්ගේ කායික මානසික ශක්තිය ලබන්නට පුළුවන්. නිවන් සැප ලැබේවා අදහසින් පින් කළොත් කාටවත් වරදින්නේ නැහැ. නිවන් සම්පත් ලැබෙන තුරා එහි විපාක ලැබෙන්නේ තමන්ටමයි.
සිතේ මතු වෙන තවත් ගැටලු පහක් වන්නේ මනෝ ගැටලුයි. තණ්හාව, කාමච්ඡන්ද නීවරණ, ව්‍යාපාද නීවරණ(තරහව), ථීනමිද්ධ නීවරණය(කම්මැළිකම), උද්දච්ච නීවරණය, (සිතේ විසිරීම), විචිකිච්චා (සැකය), පංචනීවරණයෝ සංසිඳුවාගෙන ඉදිරියට යාමෙන් දන්දීම, සිල් රැකීම, ප්‍රබල වෙනවා. දානයෙන් භව, බෝග , සම්පත් ලැබෙනවා. ශීලයෙන් පිරිපුන් බව ලැබෙනවා. එය කොපමණ අගේදැ’යි බලන්න. දන් නොදුන් අයට කෑම බීම ඉඳුම් හිටුම් නැහැ. අඩුම ගණනේ බීමට දිය බිඳක්වත් නැහැ. ශීලය නැති තැන පිරිපුන් දිවියක් නැහැ. එසේනම් පින්වතුන් දන්දීම හොඳින් කළ යුතුයි. ශීලය හොඳින් රැකිය යුතුයි
තෙවැන්න නෙක්ඛම්ම පාරමිතාවයි. එය නික්මීමයි. මෛත්‍රී භාවනාවෙන්, අවිව්‍යාපාදයෙන්, සත්ත්ව හිංසාවෙන් වැළකීම අවිහිංසාවයි. ගිහි ගෙදරින් නික්මී බණ, භාවනා කිරීම නෙක්ඛෙම්ම පාරමිතාවයි. රහත්වීම පිණිස වැදගත් වන්නේ නෙක්ඛම්ම පාරමිතාවයි. පසේ බුද්ධත්වය පිණිස නෙක්ඛම්ම උප පාරමිතාවත් , ලොවුතුරා බුද්ධත්වය පිණිස නෙක්ඛම්ම පරමත්ථ පාරමිතාවත් අවශ්‍යයයි. පෙර සඳහන් වූ ලෙස දිවි හිමියෙන් පාරමිතා පිරිය යුතුයි. මාගේ ජීවිතය නැති වුණත් මේ පාරමිතාව මා පුරනවාමි’යි අධිෂ්ඨානය නෙක්ඛම්ම පාරමිතාවයි. එයත් තෙවැදෑරුම් වෙයි.
එසේනම්, සැවොම නිවන් දකින තුරා සුගතියක වාසය පිණිස අපායෙන් නිදහස් වීමට පිරිපුන් දිවියක් අවශ්‍යයයි. එමෙන්ම කරදර , පීඩා, බාධක ජයගෙන ඉවසීමෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් මේ ගමන යා යුතුයි.
අපි දැන් ප්‍රඥා පාරමිතාව ගැන සඳහන් කරමු. මෙය ප්‍රඥා පාරමිතාව, ප්‍රඥා උප පාරමිතාව, ප්‍රඥා පරමත්ථ පාරමිතාව ලෙස තෙවැදෑරුම් වෙයි.
නුවණින් , කර්ම ඵල විශ්වාසයෙන් එක දන් හැන්දක් බෙදුවොත් එය දාන පාරමිතාවයි. රහත් ඵලයෙන් නිවන් දකින්න මේ පාරමිතාව බලවත්. පසේ බුද්ධත්වයෙන් නිවන් දකින්නට නම් එය සාක්ෂාත් වේවා’යි අදහසින් ප්‍රඥා පාරමිතාව පිරිය යුතුයි. ලොවුතුරා බුද්ධත්වය පිණිස ප්‍රඥා පාරමිතාව දිවි හිමියෙන් පුරා ප්‍රඥාව දියුණු කළ යුතුයි. භාවනාවෙන්, බණ ඇසීමෙන්. ධර්ම සජ්ඣායන කිරීමෙන්, ධර්මය මෙනෙහි කිරීමෙන්, විදර්ශනා භාවනාවෙන්, පොත පත කියවීමෙන් නුවණ හොඳින් දියුණු වෙනවා. මේවා නොකළොත් නුවණ දියුණු වෙන්නේ නැහැ. අනුවණයාට නුවණ නැහැ. එසේනම්, නුවණ දියුණුකර ගැනීමේ වැඩකටයුතුවල යෙදිය යුතුයි.
වීර්ය පාරමිතා, වීර්ය උප පාරමිතා, වීර්ය පරමත්ථ පාරමිතාව නමින් වීර්යය ද තෙවැදෑරුම් වෙයි. එය ලොවුතුරා බුද්ධත්වය පතා දිවිහිමියෙන් කරන උත්සාහයයි. එසේනම්, පින්වත් ඔබත් උත්සාහය දියුණු කිරීම උදෙසා අලසකම දුරුකර මේ කටයුතු හරි හැටි සිදු කළොත් කාටවත් කිසිදු වරදක් වන්නේ නැහැ.
ආරණ්‍ය සේනාසනයේ කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජනවාරි 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment