"චේතනා සූත්‍රයට අනුව මතු උපතකට උපකාරවන සිතක් සකස්වීමට සිතේ ක්‍රියාකාරීත්වය තුන් අයුරකින් බලපායි. චේතනාව, කල්පනාව, සැඟව පවතින කර්මය යනුවෙනි. මේ අවස්ථා තුනෙන් එකක් හෝ ඇතිවිට විඤ්ඤාණය පිහිටයි. උපතක් සිදුවෙයි. හදිසි මරණයකදී සිහිසුන්ව මියෙන විට චේතනාව හෝ කල්පනාව ඇති නොවේ. අනුසය නැතිනම් සැඟව පවතින කර්ම ශක්තිය මුල් වී අලුත් භවයක උපත සිදු වේ"
මරණාසන්න මොහොත මතු උපතට බලපාන්නේ කෙසේදැ’යි දැන ගැනීමට බොහෝ දෙනා කැමැතිය. කිට්ටු සෙනෙහෙබර ඥාතියෙකු මිය ගිය විට ඔහු හෝ ඇය හැසිරුණු ආකාරය අනුව සමහරු නොයෙක් අදහස් දරති. මේ අදහස් ඇතැම්විට ජන සමාජයේ විශ්වාස හා පිළිගැනීම් ඇසුරෙන් ඇතිවීමට පිළිවන. එසේ නැතිනම් ආගමික ඉගැන්වීම් පදනම් කරගෙන ජන සමාජය තුළ පැතිරීමටද හැකිය. බෞද්ධයන් අතර ද තමන් ඇසූ අන්දමට මේ පිළිබඳ මතිමතාන්තර ගොඩනඟාගත් අයද සිටිති. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අන්දමට මේ කරුණු සූත්‍ර ධර්ම ආශ්‍රයෙන් පැහැදිලි කිරීම මෙහි අරමුණයි.
යහපත් ලෙස ජීවත් නොවූ අයෙකු මියයන මොහොතේ හ¾ඩමින් වැළපෙමින් කෑගසමින් හැසිරෙතොත් අවට සිටින අය ඔහු අපායේ ගිනිදැල් දැක, යමපල්ලන් දැක බිය වී එසේ හැසිරෙන බව පවසති. වටපිටාවේ වෙසෙන්නෝ මෙසේ මරණයට පෙරම ඔහු අපායට යවති.අනෙක් පැත්ත ගැන ද පොදු ජනයා තුළ පවතින්නේ මෙවැනිම අදහස් ය. ගුණ යහපත්කමින් ජීවත් වූ උපාසිකාවක මිය යන මොහොතේ අත් දෙක එකතු කරගෙන වන්දනා කරන ඉරියව්වෙන් මිය ගියහොත් ඇය නිසැකවම දෙව්ලොව යන බව පවසති.
මෙහිදී අප හමුවේ මතුවන ප්‍රශ්නාර්ථයක්ද වෙයි. සීලාදි ගුණ වැඩූ මවු කෙනෙකු අවසාන කාලයේ දැඩි සේ ගිලන්ව සිහිසුන්ව දින ගණනක් එක් තැන්ව හිඳිමින් මිය යාමට පුළුවන. එවැනි චරිතවත් සිල්වත් ගුණවත් ජීවිතයක් ගතකළ මවක් සිහිසුන්ව මිය ගියහොත් නිරයට යතැයි අපි කෙසේ කියමුද? ගුණ යහපත්කමින් ජීවත් වූ අයෙකු සිහිමුළා වී කලුරිය කළ පමණින්ම ඔහුගේ මතු භවය දුගතිගාමි වේ යැයි කිව හැකිද? අපි බොහෝවිට දහම නිවැරැදිව තේරුම් නොගෙන වරදවා කියන බණ අසා වැරැදි විශ්වාස තුළ සිටිමු. මරණාසන්ත සිත පිළිබඳවත් ඒ අනුව මතු උපත සකස්වන අන්දම ගැනත් දෙසූ විස්තර විවරණ සූත්‍ර ධර්මවල සඳහන් වෙයි. ඒ අතර සංයුත්ත නිකායේ සංචේතනා සූත්‍රයද වැදගත් ය.
සංයුත්ත නිකායෙම එන චේතනා සූත්‍රයෙන් සිහිසුන්ව මරණයට පත්වීම, සිහිමුළා වී කලුරිය කිරීම, හදිසි අනතුරකින් අභාවයට පත්වීම වැනි අවස්ථාවකදී කෙනෙකුගෙ සිත සකස්වන අන්දම ගැන නිවැරැදි දැනුමක් ඇතිකර ගත හැක.
චේතනා සූත්‍රයට අනුව මතු උපතකට උපකාරවන සිතක් සකස්වීමට සිතේ ක්‍රියාකාරීත්වය තුන් අයුරකින් බලපායි. චේතනාව කල්පනාව සැඟව පවතින කර්මය, යනුවෙනි. මේ අවස්ථා තුනෙන් එකක් හෝ ඇතිවිට විඤ්ඤාණය පිහිටයි. උපතක් සිදුවෙයි. හදිසි මරණයකදී සිහිසුන්ව මියෙන විට චේතනාව හෝ කල්පනාව ඇති නොවේ. අනුසය නැතිනම් සැඟව පවතින කර්ම ශක්තිය මුල් වී අලුත් භවයක උපත සිදු වේ.
චේතනාව උපතට මුල්වන අන්දම
චේතනාව, කර්මය බවත් සංඛාර යන්නෙන් අදහස් කරන්නේත් චේතනාව ම බවත් ඔබ හොඳින් දනියි. ඇතැම් අය චේතනාව හැටියට තේරුම්ගෙන ඇත්තේ සිතේ ක්‍රියාකාරීත්වයයි. මෙවැනි නිදසුනකින් චේතනාව මුල් වී කර්ම සිදුවන අන්දම විස්තර කළ අවස්ථාවක් ගැන විමසා බලමු.
“ඔබ විහාරයට වන්දනාවට යන විට ඔබ යන මාර්ගයේ කුඩා පණුවන් ඔබේ පයට පෑගී මරණයට පත්විය හැකිය. ඒ සතුන් මරණයට පත්වුණේ ඔබගේ පයට පෑගී වුවද එයින් ඔබට පවක් සිදු නොවේ. මක් නිසාද ඔබේ චේතනාව වන්දනාවට පන්සලට යෑම මිස සතුන් මැරීම නොවන හෙයිනි. එහෙයින් චේතනාවක් නො තිබූ හෙයින් ඔබට ප්‍රාණඝාතය සිදු නොවේ.” මෙයට සමාන කතාවක් ධම්ම පදට්ඨ කතාවේ ද එයි.
“පාලිත හිමියන් සක්මන් මළුවේ සක්මන් කරනවිට උන්වහන්සේගේ පයට පෑගි කුඩා පණුවන් මරණයට පත් වේ. මේ ගැන භික්ෂුහු භාග්‍යවතුන් වහන්සේට දන්වති. එවිට උන්වහන්සේ පාලිත රහත් භික්ෂුවක් බවත් දෙනෙත් අන්ධ හෙයින් කුඩා පණුවන් තම දෙපයින් මරණයට පත් කිරීමේ අදහස් නොවූ බවත් පවසති.” (ධම්මපදට්ඨ කතා)
කෙසේ නමුත් මෙවැනි අදහස් මුල්කරගෙන යමක් කරන විට හෝ කියන විට සිතක් පහළ වේ නම් එය කර්මයකි යන අදහස ඇතිවීම වැළැක්විය නොහැක. අප කරන හැම ක්‍රියාවකටම හැම වචනයකටම සිත සම්බන්ධය. සිතීමකින් තොරව කිසිවක් කළ නොහැක. නිරායාසයෙන් මෙන් සිදුවන දෙයට ද සිතේ සම්බන්ධය පවතියි. ඒ හැරුණුවිට සිතා කල්පනා කොට කරන බොහෝ දේ එදිනෙදා ජීවිතයෙදී අපට මුණ ගැසෙයි. චේතනාව සිතා මතා කරන දෙය නම් මේ සියල්ල කර්ම ගණයට වැටෙයි. එසේ වූ විට කෙනෙකු ජීවිත කාලය තුළ මොනතරම් කර්ම රැස්කරත්ද? සාමාන්‍යය ජීවිතයෙදී කෙනෙකු යහපත් දෙයට වඩා අයහපත් දෙය කළ හැකිය. එසේ වූ විට සාමාන්‍ය පුහුදුන් පුද්ගලයෙකු මහත් සේ කරන අතර ඒ සියල්ලටම විපාක දුන්නොත් සසරින් මිදීමක් සිදු නොවේ.
භාග්‍යවතුන් වහන්සේ මේ පිළිබඳව මෙසේවදාළහ. මහණෙනි, යමෙක් සත්වයා කරන සියලු කර්මවලට විපාක වින්ද යුතු යැයි කියත් නම් එය මම නොපිළිගනිමි. යමෙක් වින්ද යුතු කර්මවලට විපාක වින්ද යුතු යයි කියත් නම් එය මම පිළිගනිමි. සියලු කර්මවලට විපාක විඳීමට සිදුවුවහොත් බ්‍රහ්ම චරිය වාසය නිෂ්ඵල වෙයි. (අංගු.නි. ලොණඵල වග්ග)
මෙයින් අදහස් කරන්නෙ උතුම් බඹසර හැසිරීමෙන් ලද යුතු නිවන් පසක් කරගැනීම, පුද්ගලයෙකු කරන සියලු කර්මවලට විපාකදීමට සිදුවුවහොත් ඉඩක් නොලැබෙන බවයි.
කෙබඳු කර්මවලට විපාක ලැබේද?
“මහණෙනි, මම රැස් කරන ලද චේතනාත්මක කර්මවලට විපාක වින්ද යුතු බව වදාරමි. සංචේතනාත්මක කර්ම විපාක විඳීමෙන් තොරව අවසන් කළ නොහැක. කළ රැස්කළ සංචේතනික කර්මවලට විපාක නොවිඳ දුක් අවසන් කිරීමක් නොවේ. (අංගු. නිකාය)
සංචේතනාත්මක කර්මවලට මිස මැරෙන මොහොතේ දකින පෙනෙන දෙයට අනුව උපතක් සිදු නොවන බව මේ දේශනාවට අනුව හොඳින්ම පැහැදිලි විය යුතු යි. සංචේතනාත්මක කර්මය යනු චේතනා සහිත කර්මයයි. චේතනා සූත්‍රයේ පළමුවන අවස්ථාව ලෙස සැලකෙන ‘චේතෙති’ යනුවෙන් එය සඳහන් වෙයි.
නැවත නැවත සිතීමයි.
යම් අකුසල් අරමුණක් මුල් වී එය කර්මයක් වන අන්දම දෛනික ජීවිත රටාව තුළින් මෙසේ තේරුම් ගත යුතුයි. චේතනාවේ මූලික ස්වරූපය ලක්ෂණය නැවත නැවත සිතීමයි. අභිසංස්කරණය කිරීමයි. යළි යළි සිතීම නිසා අවට ලෝකය ගැන වැරැදි ලෙස සිතීමට පෙළඹෙයි. දහමේ විපල්ලාස නමින් සඳහන් වන්නේ මේ ලෙස ලොව වරදවා තේරුම් ගැනීමයි. නිදසුනකින් මේ කරුණු මෙසේ තේරුම් කරගත හැකි යි.
දෙදෙනෙකු එක සමාන අභූත අයුතු චෝදනාවකට මුහුණපාති. තමන් නොකළ වරදකට අනුන් විසින් චෝදනා නගනවිට සිතේ සසලවීමක්, කෝපයක් ඇති වෙයි. එක සමාන ගැටලුවට දෙදෙනෙකු ප්‍රතිචාර දක්වන අන්දම කෙසේ විය හැකිද?
ඒ තැනැත්තාට මෙවැනි අභූත චෝදනාවක් කළවිට ඔහු නිහඬව සිතයි. මේ වරද මා ළඟ නැහැ. ඒත් මගෙන් පළිගන්න තමයි මෙවැනි දේ කරන්නෙ. මේවාට මං කලබල වෙලා ඔහු සමඟ එකට එක කරන්න ගියොත් මේ චෝදනාවල කෙළවරක් නැති වෙයි. ඒ වගේම මා මේ වරද නොකළත් සමහරවිට සමාජය මේ ගැන කතාබහ කරන්න පුළුවන්. ඒ සියල්ලට වඩා සිතේ සැනසීමක් නැතිවෙන්න පුළුවන්. මෙසේ සිතමින් ඔහු තුළ උපන් ගැටලු සහගත සිතිවිලි වැඩිදුර ගෙන නොයයි. මිනිසුන්ගේ හැටි ඔහොම තමයි යනුවෙන් සිතා ඔහු සිතේ හටගත් අමනාපය එතැනින් නවතයි
බී නමැත්තා මේ ගැන කණ වැටුණු වහාම කලබලවෙයි. අතනට මෙතනට දුරකථනයෙන් කතා කරමින් දන්න කියන අයට මේ ගැන කියයි. ඔවුන්ද මේ ගැන කියන දෙයින් ගැටෙන සිත තවත් දැඩි කරගනියි. ගෙදර පැමිණි පසුත් සිදුවන්නේ කෝප සිත වැඩෙන දෙය මිස සිත නිවන දෙය නොවේ. මේ අන්දමට සිත තුළ සිතිවිලි ක්‍රියාත්මක වීම නිසා තමාට වීමට ගිය හානිය දෙගුණ තෙගුණ වීමටද බැරි නැත. නිවන් මගින් ඈත්ව මෙසේ සිතිවිලි දිග් ගැසීම තුළ වැඩෙන්නේ අකුසල් සිතිවිලියි. සමහර විට නොසිතූ සිදුවීමක් දක්වා මේ අන්දමට සිත තුළ සකස් කරගත් සිතිවිලි පැතිර යාමට පුළුවන. මෙවැනි මානසික ස්වභාවයක් නිතරම දුක පිණිස පවතියි. එවැනි සිතිවිලිවල වැඩීමක් සංචේතනික තත්ත්වයට පත් වී මරණාසන්න සිතට යොමු වී උපතකටද බලපායි.
ඒ නමැත්තා කී අන්දමට මුල් සිතිවිල්ල අභිසංස්කරණය නො කරත් නම් ඔහුගේ සිත තුළ කර්ම බලවේගයක් ඒ නිමිති කරගෙන ඇති නොවේ.
ද්වේශය මුල් කරගත් සිදුවීම යළි යළිත් සිතීමේ ප්‍රතිඵලය මෙලොව මානසික අස්වැසිල්ල නැතිවීමත් පරලොව දුක් විපාක සඳහා සිත සකස් වී එයට අනුකූල තැනක විඤ්ඤාණය පිහිටීමත්ය.
කුසලාරම්මණයත් මුල්වීමෙන් සැප විපාක සඳහා සිත සකස් වන්නේ මේ අන්දමටයි. මෙසේ අකුසල් සිතිවිලි රැස්වුණත් කුසල් සිතිවිලි රැස් වුණත් සිදුවන්නේ එකම ප්‍රතිඵලයයි. ඒ කර්ම රැස්වීමයි. සසර දිගුවීමයි. එහෙයින් සිතක කර්ම ඇතිවන සැටිත් ඒ සඳහා නැවත නැවත ගැටුමට ලක් වූ නිමිත්ත පත් වූ පරිදි දැකිය යුතු යි. එවිට අපවටා ලෝකය වැරැදි ලෙස හඳුනා ගනියි. මමත්වය මුල් කරගනිමින් අවට ලෝකය වැරැදි ලෙස දකින තුරු අපට ගැළවීමක් නොමැත. නිදහස්ව නිවහල්ව ජීවත්වීමට නම් චේතනාව ඒ සැටියෙන්ම හඳුනාගත යුතුයි. චේතනාව ක්‍රියා කරන අන්දම දැකීමෙන් අපට වහල් බවෙන් මිදිය හැකිය. විදසුන් වඩන යෝගියා සිහි නුවණින් මේ තතු දැක නිවහල් මානසිකත්වයකට හිමිකම් කියයි.
කඩවත සමාධි දහම් පාසලේ ප්‍රධානාචාර්ය
ශාස්ත්‍රවේදී,
පයාගල නන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජනවාරි 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment