Labels

Friday, January 20, 2017

දහම් මඟට ගරු කිරීම

එක් දිනක් කාලි දාසිය වෙනදාට වඩා දවල් වන තෙක් නිදා සිට පමාවී නින්දෙන් නැගිට්ටා. වෙදෙහිකා ගෘහපතිනිය, කාලි දාසිය අමතා ප්‍රශ්න කළා පමා වී නැගිට්ටේ ඇයි ද? කියා. ඇය දවල් වන තෙක් නිදා සිට නැගිටීමට හේතුවක් නැති බවක් ගෘහපතිනියට ප්‍රකාශ කළා. එවිට ගෘහපතිනිය නොසතුටුව මුහුණ හකුලා බලා කෝපය ප්‍රකාශ කළා. දෙවන දිනයේදීත් ඇය පෙර දිනටත් වඩා දවල් වන තෙක් නිදා සිට පමා වී නැගිට්ටා.
බුද්ධ ශාසනය එනම් ශ්‍රී සද්ධර්මය අපිරිසුදු නොවන්නේය. අපිරිසුදු වන්නේ නම් අපිරිසුදු වන්නේ ඒ මඟ අනුගමනය කරන්නට පැමිණෙන්නා වූ පිරිස්ය. ඒ නිසා ශාසනයේ යැයි සංකේතවත් කළත් ඉන් අදහස් කරන්නේ ශ්‍රී සද්ධර්මය නොව අනුගමනය කරන්නා වූ පිරිසෙහි ඇවතුම් පැවතුම් පිළිබඳවමය. නැවත නැවතත් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වාදෙන ලද උපමා කතා සිත්හි දරාගෙන ධර්ම විනයෙහි තමා තුළම වැඩීමත් දියුණුවක් විපුලත්වයක් ඇති කර ගැනීමට උත්සාහ ගත යුතුමයි. මෙසේ මහත් වූ කරුණාවෙන් අවවාද අනුශාසනා කළ තථාගත බුදුරජාණන් වහන්සේ කකචූපම සූත්‍ර දේශනාව තුළින් නැවතත් දේශනා කරනවා.

මහණෙනි, පෙර සිදුවූවක් මතුකර දේශනා කරමි. අතීතයේ මේ සැවැත් නුවරම වෙදෙහිකා නම් ගෘහපතිනියක් වාසය කළා. ඉතා කරුණාවන්ත, ශාන්ත නිවුණු, යටහත් පහත් ඇවතුම් පැවතුම් ඇත්තියක් ඇයගේ මේ නිවුණු ගති ලක්ෂණ කවුරුත් ප්‍රිය කළා. අගය කළා. වෙදෙහිකා ගෘහපතිනියගේ කීර්ති රාවය පිරිස අතර පැතිරී තිබුණා. ඇයට කාලී නම් දාසියක් සිටියා. කාලී දාසිය ඉතා දක්ෂයි. කම්මැලි නැහැ. වැඩකටයුතු මනාකොට සංවිධානය කිරීමේ හැකියාවක් ඇය සතුව තිබුණා. මහණෙනි, කාලී දාසියට දිනක් මෙසේ සිතුණා.
මාගේ ස්වාමිදියණිය එනම් වෙදෙහිකා ගෘහපතිනියගේ පැතිරී පවතින මෙම කීර්ති රාවය සත්‍යයද? සත්‍යයෙන් ම කාරුණික ද, යටහත් ඇවතුම් පැවතුම් තිබෙන උපශාන්ත බවින් ද යුක්ත ද, ගේදොර වැඩ කටයුතු සංවිධානාත්මකව මැනවින් කරන ලද හෙයින් ද ගෘහපතිනිය තමා තුළ ඇත්තා වූ කෝපය පහළ නොකෙරේද? . නැතහොත් නැත්තා වූ ම කෝපය පහළ නොකරේ නොවේ දැයි? මම ගෘහපතිනිය විමසා බලන්නේ නම් ඉතා මැනවි යැයි කාලී දාසිය සිතන්නට විය. එසේ සිතා එක් දිනක් කාලි දාසිය වෙනදාට වඩා දවල් වන තෙක් නිදා සිට පමාවී නින්දෙන් නැගිට්ටා. වෙදෙහිකා ගෘහපතිනිය, කාලි දාසිය අමතා ප්‍රශ්න කළා පමා වී නැගිට්ටේ ඇයි ද? කියා. ඇය දවල් වන තෙක් නිදා සිට නැගිටීමට හේතුවක් නැති බවක් ගෘහපතිනියට ප්‍රකාශ කළා. එවිට ගෘහපතිනිය නොසතුටුව මුහුණ හකුලා බලා කෝපය ප්‍රකාශ කළා. දෙවන දිනයේදීත් ඇය පෙර දිනටත් වඩා දවල් වන තෙක් නිදා සිට පමා වී නැගිට්ටා. එදිනත් ගෘහපතිනිය කාලි දාසියගෙන් දවල් වන තෙක් නිදා සිට නැගිටීමට හේතුව කිමදැයි සැරෙන් විමසුවා. දාසිය පෙර දින මෙන් එදිනත් හේතුවක් නැති බව ගෘහපතිනියට ප්‍රකාශ කළා. වෙදෙහිකා ගෘහපතිනිය නොසතුටුව, නොසතුටු වචන ප්‍රකාශ කළා. එවිට දාසියට මෙසේ සිතුණා. ගෘහපතිනිය තමා තුළම ඇත්තා වූ කෝපය පහළ නොකරන්නේය. නැත්තා වූ කෝපය පහළ නොකරන්නේ නොවේ. යම් විටක මා විසින් ගේදොර කටයුතු ඉතා හොඳින් ඉටු කරන්නේ ද ඒ නිසා මේ වෙදෙහිකා ගෘහපතිනිය තමා තුළ ඇත්තා වූ කෝපය පහළ නොකරන්නේ ද?
තවදුරටත් විමසා බලන්නේ යැයි සිතා තුන්වන දිනයේ පෙර දෙදිනටම වඩා දවල් වන තෙක් නිදා සිට පමාවී නැගිට්ටා. ගෘහපතිනිය එදාත් කාලි දාසියගෙන් පමා වී නින්දෙන් නැගිටීමට හේතුව විමසුවා. පෙර දෙදින මෙන් කාලි දාසිය පමා වී නින්දෙන් නැගිටීමට හේතුවක් පැවසුවේ නැහැ. නිසි පිළිතුරක් නොලැබුණ නිසා ගෘහපතිනිය කිපී නොසතුටුව කාලිදාසියගේ හිසට දොරපොල්ලගෙන හිසට පහරක් ගැසුවා. හිස පැළුණා. ඉක්බිතිව කාලිදාසිය පැළුණු ලේ වැගිරෙන හිසින් යුතුව නගරය පුරා ඇවිදිමින් කරුණාවන්ත, ශාන්ත නිවුණු, යටහත් පහත් ඇවතුම් පැවතුම් ඇත්තියක් සේ පෙනී සිටි වෙදෙහිකා ගෘහපතිනියගේ ක්‍රියාව බලන්න යැයි නුගුණ කියන්නට විය. ඉක්බිති මහණෙනි, වෙදෙහිකා ගෘහපතිනිය පසු කලෙක මෙවැනි අපකීර්තියට පත් වූ කාන්තාවක් බවට පත් වුණා. වෙදෙහිකා ගෘහපතිනිය චණ්ඩයි. ශාන්ත, සංසුන් කෙනෙක් නොවේමය කියා ඇයගේ දුර්ගුණ අපකීර්තිය පැතිරුණා.
එම උපමාව මතුකොට දක්වා භාග්‍යවතුන් වහන්සේ මෙසේ සඳහන් කරනවා. මහණෙනි, එපරිද්දෙන් ම මේ ශාසනයේ ඇතැම් මහණ කෙනෙක් යම්තාක් අමනාප වූ වචන ප්‍රකාශ නොකරෙත් ද? අමනාප වූ වචනවලට සැකසෙන සිතිවිලි සිතෙහි මතු නොවෙද්ද? ඒතාක් ඉතා දක්ෂභාවයෙන්, යටහත් පහත් වූයේ වෙයි. ඉතා සංසුන් වූයේ වෙයි. මහණෙනි, යම් තැනෙක පටන්ගෙන අමනාප වචන ඒ මහණ පිරිස් පවසත් ද? එනම් අමනාප සිතිවිලි පිටවීමට අවශ්‍ය තැනකට යම් වූ ස්පර්ශයක් සිතට එනම් ආරම්මණයක් සකස් වෙයි ද? එතැන් පටන් අමනාප වූ වචනයෝ ඒ මහණ හෝ භික්ෂුව පවසයි. ඒ තාක් ඒ මහණ තෙම සුරතයැයි ද, දක්ෂයැයි ද, නිහතමානි, ශාන්ත යැයි ද දත යුතුය.
මහණෙනි, යම් මහණ කෙනෙක් සිවුරු හෝ පිණ්ඩපාත හෝ සේනාසන, ගිලන් පස, බෙහෙත්, පිරිකර හේතුකොට සුවසේ අවවාද විසින් කිව හැකි වේද? සුවච බවට පැමිණියේද? ඒ මහණ සුවච යැයි මම නොකියමි. එනම්, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පිරිකර පහසුවෙන් තිබෙනතාක් කල් අවවාද දිය හැකි වේද? ඒ අවවාදයට මනා කොට ඇහුම් කන් දී සිටිත් නම් එසේ වූයේ අර පහසුවෙන් ලද චීවර, පිණ්ඩපාත, ගිලන්පස, සේනාසන නිසා නම් ඒ භික්ෂුව සුවච කෙනෙක් යැයි මම පවසන්නේ නැතැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කවර හෙයින් ද යත් මහණෙනි, ඒ මහණ ඒ සිවුරු, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස, බෙහෙත්, පිරිකර නොලබන්නේ නම් සුවච වන්නේ නැහැ. සුවච බවට නොපැමිණෙනවා. අන්න ඒ නිසයි, මහණෙනි, යම් මහණ කෙනෙක් ධර්මයට සත්කාර කරන්නේ, ධර්මයට ගරු කරන්නේ, ධර්මය පුදන්නේ, සුවච වේද? සුවච බවට පැමිණේ ද? මම ඔහු සුවච යැයි කියමි. මහණෙනි, එහෙයින් තොප විසින් මෙහි මෙසේ හික්මිය යුතුයි. ධර්මයටම සද්කාර කරමින්, ධර්මය ගරුකරමින් ධර්මය පුදමින් සුවච වන්නෙමු. සුවච බවට පැමිණෙන්නෙමුයි කියායි. මහණෙනි මෙසේ හික්ම විය යුතුයි.

තස්මාතිහ භික්ඛවේ ඒවං සික්ඛිතබ්බං
ධම්මං යේව සක්කරොන්තා ධම්මං
ගරුකරොන්තා ධම්මං අපචායමානා
සුවචා භවිස්සාම, සෝවචස්සතං ආපජ්ජිස්සාමාති 
යනුවෙනුයි.


භාග්‍යවතුන් වහන්සේ අනුශාසනා කරනවා මහණෙනි, එහෙයින් නුඹලා විසින් මෙහි මෙසේ හික්මෙන්න. කෙසේද? ධර්මයට ම සද්කාර කරමින්, ධර්මය ගරු කරමින් ධර්මය පුදමින් සුවච වන්නෙමුයි, සුවච බවට පැමිණෙන්නෙමුයි කියායි. නුඹලා විසින් එසේ හික්මිය යුතුයි.



බත්තරමුල්ල සිරි සුදස්සනාරාම 
සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය 
මිරිස්සේ ධම්මික හිමි




ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක් වූ දුරුතු අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ජනවාරි 19 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment