Labels

Wednesday, January 11, 2017

පහසුවෙන් පෝෂණය කිරීමයි විවේකයෙන් විසීමයි බෞද්ධ ආර්ථික දර්ශනය – 19:

" දරුවන් ලද දෙයින් සතුටුවන සුභරතා ගුණය පුහුණු වන්නන් වන විට එය දෙමාපියන්ගේ ආර්ථිකයට පහසුවක් වේ. ස්වාමියා මෙන්ම බිරිඳත් එකිනෙකාට බරක් නොවී තම ආදායමට සරිලන ජීවන පිළිවෙතකට යොමුවීම එකිනෙකාගේ ආදරය මෙන්ම බැඳීම තහවුරු වීමට හේතුවේ."
මෙම ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ සුභරතා, සන්තුට්ඨිතා හා පවිවේකතා යන බෞද්ධ පුරුෂාර්ථයන්ය. බෞද්ධ ජීවන පිළිවෙතක දක්නට ලැබෙන එක් වටිනාකමක් ලෙස පහසුවෙන් පෝෂණය කළ හැකි බව දැක්විය හැකිය. අත්ථ කුශල පිළිවෙත පැහැදිලි කරන කරණීය මෙත්ත සූත්‍රයෙහි සුභරතා යනුවෙන් හැඳීන්වෙන්නේ මෙම ගුණයයි. ගිහි පැවිදි දෙපක්ෂය ම මෙම උදාර පුරුෂාර්ථය තම ජීවිතයට එක්කරගත යුතු බව දහමෙන් අවධාරණය කෙරේ.
පහසුවෙන් පෝෂණය කළ හැකි යනුවෙන් අදහස් වන්නේ අවශ්‍යතා අවම වීම යි.
අවශ්‍යතා වැඩි වූ විට කෙනෙකු සමාජයට මෙන්ම පරිසරයට ද බරක් වේ. පහසුවෙන් සෑහීමකට පත්විය නොහැකි වූ විට එක් අතකින් මානසිකව දුකට පත්වන අතර අන් අය සමඟද නිතර නිතර ගැටුම් ඇති වේ. සම්පත් පරිභෝජනයේ මූලික අවශ්‍යතා මැනවින් වටහා ගත්විට අතිරේක බලාපොරොත්තු පිළිබඳ ඇතිකරගන්නා වූ අසීමාන්තික සිහින බැහැර වෙයි. එසේම එකිනෙකා අබිබවමින් සිදුකෙරෙන අන්ධානුකරණය, ප්‍රදර්ශන කාමය හා සම්බන්ධ බහුවිධ මානසික දුර්වලතා පාලනය කිරිමට ඇති එක් ක්‍රමවේදයක් නම් සුභරතාවයි. වර්තමාන පරිභෝජන රටාවේ දක්නට ලැබෙන එක් දුර්වලතාවයක් වන්නේ අසීමාන්තික පරිභෝජනයට ඇති පෙළඹවීමයි. මේ පිළිබද අවබෝධය නොමැති ඇතැම් දෙනෙක් තම වත්පොහොසත්කම්වල නිසි පරිමාණය පිළිබඳ තක්සේරු නොකර ධනපතියන් ලෙස කටයුතු කිරීමට හා පෙනීසිටීමට යාමෙන් සදාකාලික ණය කරුවන් බවට පත්ව තිබෙන අයුරු දක්නට ලැබේ.

ආදායමයි ජීවන පිළිවෙතයි

ආදායමට සරිලන ජීවන පිළිවෙතක් සකස් කරගැනීම ඇති නැති හැම කෙනෙකුටම අවශ්‍ය වේ. නිවසක වුවද ආදායමට නොසරිලන ආකාරයේ වියදම් ලයිස්තුවක් දක්නට ලැබීම අර්බුදය තවත් වර්ධනය වීමට හේතුවේ. කවරෙක් වුවද අන්අයට පමණක් නොව තමාට ද බරක් නොවන අයුරින් ජීවත්වීමට හුරුවීම බෞද්ධ පිළිවෙත වේ. භික්ෂුව තුළ පවතින සුභරතා ගුණය දායක පිරිසට මහත් ආශීර්වාදයක් වේ. විහාරස්ථානය ගමට බරක් වූ විට එය නඩත්තු කිරීම දායකයන්ට මහත් පීඩාවක් විය හැකිය. දරුවන් ලද දෙයින් සතුටුවන සුභරතා ගුණය පුහුණු වන්නන් වන විට එය දෙමාපියන්ගේ ආර්ථිකයට පහසුවක් වේ. ස්වාමියා මෙන්ම බිරිඳත් එකිනෙකාට බරක් නොවී තම ආදායමට සරිලන ජීවන පිළිවෙතකට යොමුවීම එකිනෙකාගේ ආදරය මෙන්ම බැඳීම තහවුරු වීමට හේතුවේ. වියපත් දෙමාපියන් තුළ සුභරතා ගුණය වර්ධනය වී තිබේ නම් තරුණ දූ දරුවන්ට ඔවුන් නඩත්තු කිරීම පහසුවක් වේ. මේ අනුව පහසුවෙන් පෝෂණය කළ හැකි අයෙකු බවට පත්වීම පුද්ගලිකව තමාට පමණක් නොව අන් අයටද විශාල සහනයක් වේ. බුදුදහමට අනුව මිනිසා සතු පරම ධනය සතුටයි (සන්තුට්ඨි පරමං ධනං). ලොව සියලු දෙනාගේම ඒකායන පැතුම හැකිතාක් සතුට අත්පත්කර ගැනීමයි. එහෙත් බොහෝ දෙනෙක් එකී සතුට අත්පත්කරගත නොහැකිව අසහනයෙන් කල් ගෙවති. මේනිසා රට්ඨපාල හිමියන් කෝරව්‍ය රජ අමතා දේශනා කළේ ලොව බොහෝ මිනිසුන් අසම්පූර්ණ ආශාවන්ගෙන් යුක්තව ජිවිතය අත්හැර දමන බවත් පංච කාම ආශ්වාදය තුළ මිනිසාට සෑහීමක් නොමැති බවත්ය. රට්ඨපාල සූත්‍රයේ අන්තර්ගතය වර්තමාන මිනිසාගේ ස්වභාවය මැනවින් විවරණය කරයි. මිනිසා කොතෙක් භව භෝග සම්පත් අත්පත් කරගත්තද ඒ සියල්ලෙන් ඔහු අපේක්ෂා කරන සැපත හෝ තෘප්තිය ලද නොහැකිය. මෙය ධන සම්පත්වල වරදක් නොවේ. වරද තිබෙන්නේ ඒ පිළිබඳ පුද්ගලයා සිතන පතන ආකාරයේය. අනිත්‍ය හා වෙනස් වීම ධන සම්පත්වල ස්වභාවයයි. එහෙත් එම ස්වභාවය දැකීමට අවශ්‍ය ප්‍රඥා සම්පත්තිය නැති තැනැත්තා ඒ සියල්ල ආශාවෙන් ගොඩ ගසා ගන්නා අතර එයින් ස්ථිර වූ සැපතක් හා සතුටක් වින්දනය කළ හැකි යැයි කල්පනා කරයි. මෙනිසා තව තවත් බලාපොරොත්තු ඇතිකර ගනිමින් ලෝභයෙන් භවභෝග සම්පත් එක් රැස් කරයි. රට්ඨපාල සූත්‍රයේ දැක්වෙන පරිදි බොහෝ ධනවත් මිනිස්සු ධනය තිබියදීත් කිසිවක් නොදෙති. එසේම ලෝභකමෙන් යුක්තව ධනය එක් රැස් කරමින් බහුලව පංචකාමය ම ප්‍රාර්ථනා කරති. මිනිසා තුළ පවතින අසීමාන්තික තෘෂ්ණාව හේතුවෙන් සම්පත් අනවශ්‍ය ලෙස ගොඩ ගසා ගැනීම පාලනය කිරීම පිණිස අනුගමනය කළ හැකි බෞද්ධ පිළිවෙත නම් දානය හා පරිත්‍යාගයයි.

අතහැරීමෙන් ලැබෙන සතුට

එය පුහුණු කිරීමෙන් තමා සතු සම්පත්වලින් කොටසක් අන් අයගේ යහපත වෙනුවෙන් පරිත්‍යාග කිරීමෙන් හා අත්හැරීමෙන් ලැබෙන සතුටට හිමිකම් කිව හැකි වේ. ධන සම්පත්වල පවතින යථා ස්වභාවය විදසුන් නුවණින් දකින තැනැත්තාට එම ධන සම්පත් නිසිලෙස භාවිතයට ගැනීමෙන් ආධ්‍යාත්මික වශයෙන් තෘප්තියක් ලද හැකි වේ. යම් ප්‍රඥාවකින් ලොව ආධ්‍යාත්මික සුවය හා සතුට ලැබිය හැකි නම් එම ප්‍රඥාව ධනයට වඩා උතුම් වේ. භෞතික සම්පත්වල සතුට තිබෙන්නේ යැයි විශ්වාස කරමින් එය අත්පත්කරගැනීමේ අරගලයේ නිරත වන මිනිසාට කෙසේවත් සැනසිල්ලක් ලද නොහැකිය. සතුට පවතින්නේ එකී සම්පත්වල යැයි කල්පනා කරන්නේ නම් ලොව බොහෝ ධනවත් පුද්ගලයන් අසතුටෙන් කාලය ගත කරන්නේ ඇයි ද? යන ප්‍රශ්නය නැගිය හැකිය.
ඇතැම් විටෙක මහත් ධනයක් නොමැති තැනැත්තා ධනවතාට වඩා සතුටින් කාලය ගත කරන අවස්ථා තිබේ. ධන සම්පත්හි පවතින යථා ස්වභාවය දකින තැනැත්තාට ඒ කෙරෙහි ඇලීමකින් හා ගැටිමකින් තොරව නිසි ලෙස ධනය පරිහරණය කරමින් සතුටෙන් කාලය ගත කළ හැකිය. ලෝකය අත්පත්කරගන්නා තරමටම කායික මානසික ප්‍රශ්නවල ඉහළ යාමක් දැකිය හැකි අතර ලෝකය අත්හරින පමණටම කායික සුවය මෙන්ම මානසික සුවයද අත්විඳීය හැකි බව බුදුසමයෙන් පෙන්වා දෙන පරමාදර්ශයයි.

ගතෙහි සහ සිතෙහි විවේකය

පවිවේක යනුවෙන් අදහස් වන්නේ විවේකයයි. විවේකී ජිවිතයක වටිනාකම බුදුදහමෙහි නිරන්තර ඇගයීමට ලක්වෙයි. ගිහි වුවද, පැවිදි වුවද අවිවේකී ජිවිතය කායික මානසික සෞඛ්‍ය කෙරෙහි දැඩි ලෙස බලපායි. අවිවේකී බව වර්තමාන මිනිසා මුහුණ දෙන තවත් අභියෝගයකි. අල්පකෘත්‍යතාව හා සැහැල්ලු පැවැත්ම නීරෝගී ජීවිතයක පදනමයි. එකවර වැඩ කීපයක් කිරීම දක්ෂතාවක් ලෙස ඇතැම් අය පිළිගත්තද බුදුසමයෙන් පෙන්වා දෙන්නේ එක්වරකට එක් කටයුත්තක් පමණක් කිරීම සාර්ථකත්වයට හේතුවන බවයි. විවේකී පරිසරයක වාසය කිරීම ආධ්‍යාත්මික දියුණුව පිණිස හේතුවන බව සාමඤ්ඤඵල සූත්‍රයේ දැක්වේ. ආධ්‍යාත්මික විමුක්තිය පිණිස කඩිනමින් ක්‍රියාත්මක වන භික්ෂුවට විවේක සෙනසුනක වාසය අත්‍යාවශ්‍ය වේ. සංකීරණ ගිහි ජිවිතයක් ගත කරන ගිහි සමාජයට ද කලින් කලට ලබාගන්නා කායික මානසික විවේකය ලෞකික දියුණුව පිණිස හේතුවේ.
බුදුරදුන් මෙන්ම ශ්‍රාවකයන් වහන්සේලාද මෙය කාය විවේකය චිත්ත විවේකය හා උපධි විවේකය යනුවෙන් තුන් ආකාරයකින් ක්‍රියාවට නැංවූහ. කලින් කලට පිරිසෙන් හා ඝණ සංඝණිකාවෙන් වෙන්ව හුදකලාව වාසය කිරීමෙන් කායික විවේකයත්, චිත්ත සමාධියට සමවැදීමෙන් චිත්ත විවේකයත් වින්දනය කළ අතර පංච කාම, ස්කන්ධ හා ක්ලේශ යන අභිසංස්කාරයන්ගෙන් යුක්ත උපධීන්ගෙන් අභ්‍යන්තරික වශයෙන් මිදීමෙන් උපධි විවේකයත් වින්දනය කළහ. මේ ත්‍රිවිධ විවේකය වර්තමානයේ කවරෙකුට වුව එපරිද්දෙන් නොවුණත් සරල මට්ටමෙන් හෝ ලද හැකිය. කලින් කලට තම වගකීම් වලින් බැහැර වී හුදකලාව වන අරණක හෝ විවේක සෙනසුනක දින කීපයක් හෝ ගත කිරීමෙන් කායික සුවයත් එහිම භාවනා යෝගීව වාසය කිරීමෙන් චිත්ත විවේකයත් වින්දනය කළ හැකි වේ. කෙලෙස් වැඩෙන පංච කාම ලෝකයෙන් තරමක් හෝ දුරට බැහැර වී ආගමික ප්‍රතිපදාවකට වැඩි කාලයක් වෙන් කිරීමෙන් උපධි විවේකයත් යම් පමණකට ලද හැකි වේ. සංකීර්ණ පරිසරයෙන් මිදී කලින් කලට හුදකලා වෙමින් ගතින් ද භාවනා යෝගීව වෙසෙමින් මනසින්ද විවේකයක් ලැබීම බෞද්ධ පිළිවෙත වන අතර ප්‍රජාවට එවන් විවේකයක් ලද හැකි පරිද්දෙන් බෞද්ධ ආරාම හා විහාරස්ථාන නිර්මාණය විය යුතුවේ.
තමාට මෙන්ම අන් අයටත් බරක් නොවන පහසුවෙන් පෝෂණය කළ හැකි අයුරින් තම ජීවිතය සකස්කරගත් පුද්ගලයාට ආර්ථික අර්බුද විසඳා ගත හැකි අතර භෞතික සම්පත්වල පවතින උපයෝගිතාව හා ස්වභාවය දකින තැනැත්තාට ඒවායේ ඇලීමෙන් හා ගැටීමෙන් තොරව සතුටින් වාසය කළ හැකිවේ. ධනය ඇතැත් නැතත් කයින් මනසින් ලබන විවේකී සුවය දිගුකාලීන සුවපත් ජීවිතයකට හේතුවේ.


කොළඹ විශ්වවිද්‍යාලයේ 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය 
රාජකීය පණ්ඩිත 
උඩුහාවර ආනන්ද හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ක් වූ ජනවාරි 05 වන බ්‍රහස්පතින්දා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment