Labels

Thursday, January 12, 2017

පංචඉන්ද්‍රියයන් ආරක්ෂා කළ ජීවිතකෙතරම් සොඳුරුද?

පංචඉන්ද්‍රියයන් පහම ඉතාම ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතුයි. ඇතැම් අවස්ථාවන්හි ඇසට රැවටී ජීවිතයම අමාරුවේ දමාගනී. මිහිරි ශබ්දයට රැවටී ජීවිතයම අමාරුවේ දමාගනී. ඇතැමි පුද්ගලයන් ඇසයි කනයි දෙකටම රැවටී සම්පූර්ණ ජීවිතයම අවුල් කරගනී. ලංකාවේ හිරගෙවල් තුළ කුඩුවලට ඇබ්බැහි වී සිටින පිරිස බහුලව සිටී.ඇතැම් තරුණ පිරිස් විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබිබැහි වී සිරගත වී ඇත. මේ ඉන්ද්‍රියයන් විඳින්න තිබෙන අවයවයන් නොවන අතර එය ඉතාම ප්‍රවේශමෙන් පරිහරණය කළ යුතු ඒවා වෙයි. විඳින්න ගිය පිරිස සිරගෙවල් තුළ දුක් විදී. එම නිසා අවබෝධයෙන් ගමන් කළ යුතුයි.
ඇස කන නාසය දිව පහස වෙනුවෙන් ජීවිතය අමාරුවේ නොවැටී සිටිය යුතුයි. නිවැරැදි ගමනක අවබෝධයෙන් ගමන් නොකළ පිරිස් කෙතරම් අමාරුවේ වැටී තිබෙනවාද?
දරුවන් පිළිබඳව වගකීමෙන් මිදීමට දෙමවුපියන්ට හැකියාවක් නැත. පාසලක විදුහල්පති වරයාට දරුවන්ට කැමැති ආකාරයෙන් හැසිරීමට ඉඩදී සිටිය නොහැකි අතර එහි වගකීමෙන් බැහැර විමට ඔහුට හැකියාවක් නැත. තමන් වගකීමකින් තොරව ක්‍රියා කළහොත් අවසාන මොහොතේ හෝ තමාට කළ වැරැදි සිහිපත් වනු ඇත. සෑම පුද්ගලයෙකුටම සමාජමය වගකීමක් පවතින අතර එම සමාජ වගකීමේන් මිදිය නොහැකිය.බුදු දහමෙහි වගකීම තමාට පැවරී ඇත. කුමන ආකාරයෙන් නීතිරීති තුළින් ගැලවී ගියද, පුද්ගලයා ජීවත් වනුයේ තමාගේ හෘද සාක්ෂියට අනුවයි. එම නිසා තමා තමාගේ හෘද සාක්ෂියට තට්ටු කරමින් කතා කර බැලිය යුතුයි. අවබෝධයෙන් ජීවත් විය යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. කුඩා අවධිය, ළමා අවධිය, තරුණ අවධිය වැඩිහිටි අවධිය පසුකරමින් මරණය සඳහා මහල්ලන් පමණක් බඳවා ගැනීමක් නොමැති අතර මරණය සඳහා වයස් සීමාවක් නැත.එම නිසා එම කාරණය පිළිබඳව අවබෝධයෙන් ජීවත් විය යුතුය. එම අවබෝධය අත්දැකීම් වනු ඇත. අත්දැකීම තුළින් අවබෝධය ඇතිවෙයි. අත්දැකීම තුළින් අවබෝධය ලබාගත හැකිය.

චුල්ලපන්ථක හාමුදුරුවන්ට කටපාඩම්කිරීමට බැරිනම් පැවිදි ජීවිතය අසාර්ථක බව ත් කටපාඩම් කිරීමට නොහැකි වුවද, පැවිදි ජීවිතය සාර්ථක බවත් එය රහත්භාවය දක්වා ගමන් කළ හැකි බව දක්නට ලැබුනේද මහාපන්ථකට වඩා පුළුල් දෘෂ්ටියකින් බැලූ බුදුරජාණන් වහන්සේයි. බුදුරජාණන් වහන්සේ මාර්ගය අසල ගසක් මුළ වැඩසිටින අවස්ථාවෙහි චුල්ලපන්ථක හාමුදුරුවන් එතනින් වැඩම කරනු ලැබූ අතර එම අවස්ථාව තුළ චුල්ලපන්ථක හාමුදුරුවන්ගෙන් කරුණු කාරණා විමසන විට තමාට ගාථා කටපාඩම් නොසිටින බව බුදුරජාණන් වහන්සේට දන්වා ඇත. චුල්ලපන්ථක හාමුරුවන්ට ලබාදුන් සුදු රෙදි කඩ රජෝ හරණං යනුවෙන් ප්‍රකාශ කරමින් පිරිමදින ලෙස බුදුරජාණන් වහන්සේ චුල්ලපන්ථක හාමුදුරුවන් වදාරා ඇත. දූවිලි නැති කිරීම පිළිබඳව සිතමින් රෙදි කඩ පිරිමැදි චුල්ලපන්ථක හාමුදුරුවන්ට දක්නට ලැබුණේ දූවිලි තුළින් පිරීගිය කිළිටි ලේන්සුවකි. කිළිටි රෙදි කඩ දෙස බලාගෙන සිටියද, එම මොහොත වන විට චුල්ලපන්ථක හාමුදුරුවන්ගේ මනස අවබෝධයෙන් පිරී ඇත. වවිධාකර ලෙස සිතීම තුළින් ගැඹුරු දැනුමක් ලැබෙයි. පළමුවෙන් දකින රෙදි කඩද, පසුව දූවිලිද දකින චුල්ලපන්ථක හාමුදුරුවන්ට අර්ථය අබෝධවෙයි. දූවිලි පිරුණ රෙදිකඩ තුළින් චුල්ලපන්ථක හාමුදුරුවන්ගේ මනසත් කෙලෙස් වලින් පිරි ඇති ආකාරය වටහා ගනි.

මනස සුද්ධ පවිත්‍ර නොකර ද්වේශය, ක්‍රෝධය, වෛරය වැනි පරණ කෙලෙස් මනස තුළ තබාගෙන ජීවත් වන පිරිස් දැකිය හැකිය.එවැනි කෙලෙස් මනස තුළ තිබීමෙන් කයට බලපෑම් එල්ල වන අතර බොහෝ ලෙඩ රෝග හැදීම සඳහා එය හේතුවක් වී ඇත. නිරෝගිකම සඳහා මනස හොඳින් තබාගත යුතු බව වෛද්‍යවරු ප්‍රකාශ කරයි. සෑම මානසික රෝගයකටම කායික බලපෑමක් තිබෙන බවද, සෑම කායික රෝගයකටම මානසික බලපෑමක් තිබෙන බව වෛද්‍යවරු ප්‍රකාශ කරයි. ස්නානය කරමින්, දත්මදිමින්, කොණ්ඩය පිළිවෙලට පීරමින් බාහිර වශයෙන් ශරීරය සුද්ධ පවිත්‍ර කරන්නාසේම මනස පිළිබඳ උනන්දු විය යුතුයි. එනිසා අඩුම වශයෙන් දවසකට විනාඩි පහක් වත් භාවනාවකට මනස පුරුදු පුහුණු කළ යුතුයි.

සෑම පුද්ගලයෙකු විසින්ම මනස තුළ පවතින තරහව, වෛරය, ක්‍රෝධය, මානය නොමනාපය, ඊර්ෂ්‍යාව උද්දච්චකම උඩඟුකම ඉවත් කළ යුතුයි. වාහනය සර්විස් කිරීම නියමිත දිනයට සිදුකළත් මනස තුළ පවතින කෙලෙස් ඉවත් කළ යුතු බවට නොසිතයි. දවසින් දවස මනස අලුත් විය යුතුය. දවසේ කාර්යභාරය අවසන් කර බුදුන් වැඳ නිදාගැනීම සඳහා යන විට මනස තුළ පවතින ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මානය, උඩඟුකම, තණ්හාව වැනි කෙලෙස් ඉවත් කළ යුතුය. ආනාපාන සති භාවනාව වැඩීෙමිදී හුස්ම ගැනීමත් සමඟ හුස්ම පිටකරන විට මනස තුළ පවතින ප්‍රශ්නද පිට කළ යුතුයි. ඊර්ෂ්‍යාව වෛරය ක්‍රෝධය වෛරය ඉවත්කර බලාපොරොත්තු තුළින් මනස පුරවා ගත යුතුයි. දරුවන්ට හොද අධ්‍යාපනයක් ලබාදීම, රැකියාව දියුණු කරගැනීම, ගෙවල් දොරවල් ගොඩනඟා ගැනීම වැනි භෞතික දියුණුව ඇතිවන ආකාරයෙන් බලාපොරොත්තු පුරවාගත යුතුයි. බලාපොරොත්තු තුළ අසීමිත ලෙස එල්ලී නොසිටියද, ජීවිතය තුළ බලාපොරොත්තු ඇති කර ගත යුතුයි. මනසට බලාපොරොත්තු ලබාදීම තුළ ජීවිතය ජීවත් කරවිය හැකියි. බලාපොරොත්තු නොමැති නම්, ජීවිතය ඵලක් නොමැති බවට සිතයි. බලාපොරොත්තු තිබුණද අනවශ්‍ය බලාපොරොත්තු ඇතිකර ගැනීම තුළ ජීවිතය රැවටීම්වලටද හසුවෙයි. බලාපොරොත්තු සමඟ ජීවිතය සාර්ථක වන්නේද, තමාගේ උත්සාහයෙන් ධෛර්යෙන් වීර්යයෙන් යන ගමනක් තුළයි. ලොතරැයි දිනුම් ලද පුද්ගලයන් පිළිබඳ කළ පර්යේෂණයකට අනුව, දිනුම් ලබා වසර දෙක තුනක් ගත වන විට එම පුද්ගලයන් සිටි ස්ථානයටත් වඩා පහළට වැටී ඇති බව අනාවරණය වී ඇත. තමාගේ උත්සාහයෙන් වීර්යෙන් දහඩිය මහන්සියෙන් හම්බකළ දෙයතුළ තමන්ට වටිනාකමක් දැනෙන නිසාම එය ප්‍රවේශම් කිරීමට පෙළඹෙයි. අහඹු ලෙස එකපාරටම ලැබුණ දෙයක වටිනාකමක් දැනෙන්නේද නැත. කුඩු අලෙවිකර විශාල මුදල් ප්‍රමාණයක් ලබාගත්තද, එවැනි ආකාරයෙන් උපයන ලද මුදලින් මිනිසුන් දියුණු වී තිබෙනවාද? යන්න පිළිබඳව සොයා බැලිය යුතුයි. එවැනි ආකාරයෙන් දියුණු වනවා නම් , දියුණුවේ කෙතරම් දුරක් ඉහළට ගිය හැකිද? ලෙඩ රෝගයක් වැළඳී හෝ එම මුදල් විනාශ වී යයි. සාමකාමීව සාධාරණව ජීවත් වනවාට වඩා පගාවෙන් කෙතරම් දියුණු විය හැකිද? එය කෙසේ හෝ විනාශ වී යයි.

පංචඉන්ද්‍රියයන් ආරක්ෂා කරමින් අවබෝධයෙන් ප්‍රවේසමෙන් ගමන් කරන පුද්ගලයාගේ ජීවිතය ලස්සන වෙයි. එය ඔබේ අද්දැකීම් තුළින් සත්‍ය වටහා ගත යුතුයි. අනවබෝධයෙන් අවබෝධය කරා යාම හරිම අපහසුයි. අනවබෝධයෙන් අවබෝධය කරා යාම අන්ධකාරයෙන් ආලෝකය කරා යාම තරම් පහසු දෙයක් නොවෙයි. අනවබෝධය අවබෝධය ලෙස සිතාගෙන ජීවත්වන පිරිස බහුලව දක්නට ලැබෙයි. අවබෝධය ගැඹුරු මානසික ස්වභාවයක් වෙයි. අවබෝධය ලබාගැනීම සඳහා ජීවිත අත්දැකීම් අවශ්‍ය වෙයි. චුල්ලපන්තක හාමුදුරුවන් අවබෝධය තුළින් පිරීගියා මිස ගාථාව කටපාඩම් කළේ නැත. උන්වහන්සේ රහත් වුවා පමණක් නොව මනෝමය රූප මවන්නන් අතර අගතැන් විය.


අපගේ ජීවිතය වුවත්, හැඩවැඩ වන්නේ අවබෝධය මතයි. අවබෝධයත් නොමැති පවුල් ජීවිතය පවුල් ජීවිතයක් නොවෙයි. මල්වත්තක් සහ කැලෑවක් අතර පවතින වෙනස වටහාගත යුතුයි. මල්වත්ත පවිත්‍රතාවයෙන් පිරී ඇති අතර කැලෑව අපවිත්‍රතාවයෙන් පිරී පවතී. කිසියම් පිරිසක් විසින් මල්වත්ත නඩත්තු කරනු ලබයි. කැලෑව එසේ නඩත්තු නොකරයි. ඕනෑම මල්වත්තක් නඩත්තු නොකළ හොත් එය පරිහානියට පත්වෙයි. තමාට අවශ්‍ය නම්, ඕනෑම කැලෑවක් මල්වත්තක් කළ හැකියි. එය සඳහා අවබෝධය අවශ්‍ය වෙයි. වර්තමානය තුළ පවුල් ජීවිත ගත කළාට බොහොමයක් අවුල් ජීවිත දක්නට ලැබෙයි. අවුල් නොමැති පවුල් ජීවිත ඕනෑතරම් තිබෙන අතර එතැන අවබෝධය පවතී. අවබෝධය සහිත ස්ථානයක පංච ඉන්ද්‍රියන් පිළිබඳ ප්‍රවේශම පවතී. රූප නොබලා සිටීම ඇසෙහි ප්‍රවේශම නොවෙයි. ශබ්ද නොඅසා සිටීම කනෙහි ප්‍රවේශම නොවෙයි. නොකා නොබී සිටීම දිවෙහි ප්‍රවේශම නොවෙයි. ප්‍රවේශම යනු මනස තුළ පවතින අවබෝධයයි. පංච ඉන්ද්‍රියන් සඳහා සොඳුරු කොතැනද, අඳුරු කොතැනද, යන්න නිවැරැදිව තීරණය කරගැනීම අපහසු කාරණාවක් වන අතර කය රෝගී වූවාට බෙහෙත් කරන්නාසේම මනස රෝගී වූ විට මනසෙන්ම පාලනය කර ගත යුතුයි. වෛරය මනසට පැමිණි විට මනස තුළම අවෛරී අදහස් කා වැද්දිය යුතුයි. ද්වේශය, උඩඟුකම, මානය මනසට පැමිණි විට මනසින් පාලනය කරගත යුතුයි. සංසාර ගත ජීවිතයේදී ජීවිතය පුහුණු කරගත යුතු බවට බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත.අනෙකාගේ වරද සිතනවාට වඩා තමාගේ ජීවිතය පිළිබඳව නැවත නැවත සිතිය යුතුයි. විවිධාකාරව සීතීම තුළ තමාගේ ජීවිතය උත්තර තුළින් පිරීයන්නා සේම ප්‍රශ්න තුළින් පිරී පවතින ඔබගේ නිවස, ඔබගේ ලෝකය, උත්තර තුළින් පිරී යයි. පින්දහම් කර අපලබාගන්නා අවබෝධය තුළින් ඉමිනා පුඤ්ඤ කම්මේන යනුවෙන් ප්‍රරාර්ථනා කරනු ලබන්නේද,සංසාරය පුරා නිවන් දක්නා ජාති දක්වා යන්නාවූ ගමනේදී උතුම් මිනිසුන් ඇසුරට ලැෙබිවා යන්නයි.





ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ 
පශ්චාත් උපාධි අධ්‍යයන ඒකකයේ අධ්‍යක්ෂක 
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ක් වූ ජනවාරි 05 වන බ්‍රහස්පතින්දා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment