Labels

Wednesday, January 11, 2017

ගතට පහර වැදුනත් සිතට නම් එපා


මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයට අයත් කකචූපම සූත්‍ර දේශනාවෙහි තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ දහම් මඟට නැවතත් අප එකතු වෙමු.


තථාගත භාග්‍යවතුන් වහන්සේ මෙලෙස සඳහන් කරනවා. ඵග්ගුන කවුරුන් හෝ ඔබ ඉදිරියේ ඔබට දොස් කිව්වොත් අන්න එවිටත්, ඒ වගේ ම කවුරුන් හෝ ඔබට අතින්, ගල්වලින්, පොලුවලින්, ආයුධයකින් පහර දුන්නොත් අන්න එවිටත් ඵග්ගුන, ඔබ තුළ යම් බැඳීමක්, බැඳීම් සහගත සිතිවිලි හටගත් විට ඒවා දුරු කරන්න ඕනෙ. මම මගේ යහපත් වූ සිත, සමාධිය වෙනස් කර ගන්නෙ නැහැ. නපුරු වචන කතා කරන්නෙ නැතිව, හිතානුකම්පීව, ද්වේෂයෙන් තොරව මෛත්‍රීයෙන් යුතුව සිටිනවා යැයි කියා සිතමින් ඔබ කෙරෙහි හික්මෙන්න ඕනෙ. තමාගේ සිත වෙනස් කර නොගෙන පුරුදු සමාධිය එලෙසම රැකගන්න පුළුවන් නම් එම ක්‍රියාව මොනතරම් සද්පුරුෂ ජීවිතයක පැවැත්මක්ද? දහමටම එකතු වූ ජීවිතයක් ද කියා අප සිතන්නට ඕනෙ.
නමුත් එහෙම කොහොමද සිත පවත්වා ගන්නෙ, රහතුන් වහන්සේ නමකට ඒ ටික කරන්න පුළුවනි. එහෙම නැතිනම් සෝතාපන්න කෙනෙකුට අඩුම තරමෙ ඒ මාර්ගය තුළ මේ දැක්ම ඇතිකරගන්න පුළුවනි. තවදුරටත් සඳහන් කළොත් සෝතාපන්න නොවුණත් චුල්ලසෝතාපන්න හැටියට දක්වන සෝවාන් කෙනෙක් වගේ සිතිවිලි සමඟ ඉරියව් පවත්වන අයකුටත් ඒ ගැන සිතන්න පුළුවනි. ඒ ආකාරයට හැසිරෙන්න පුළුවනි. නමුත් සාමාන්‍ය ලෝකයා අශ්‍රැතවත් පෘතග්ජන පුද්ගලයෝ ආර්ය ධර්මය අකීකරුයි. ආර්ය ධර්මය නිසි ලෙස දකින්නෙ නැහැ. ආර්ය ධර්මය අනුගමනය කිරීමේ අදක්ෂයි. ආර්ය ධර්මය සුවිනීතත් නැහැ. අන්න ඒ අයකුට කෙහොමද මේ දහම් පෙළ ගැළපෙන්නේ.

ජීවිතයේ වටිනාකම

දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම තේරුම් ගත යුතුයි කියා අප සඳහන් කළා. නැවතත් සතර අපායට නම් නොයා යුතුයි කියල අප තේරුම් ගත්තා. එහෙම නම් තමන් නිවැරැදිව සිටියදීත් යම් කෙනෙකුගේ පහරක් වදිනවා නම් හෝ වදින්න එනවා නම් හැබෑවටම අප ආරක්ෂා විය යුතුයි. අපේ ගත ආරක්ෂා කර ගත යුතුයි. ගතටත් වඩා අපේ සිත ආරක්ෂා කර ගත යුතුයි. ඔබට මේ ආකාරයට සිතන්නට පුළුවනිද? කැඩෙන, බිඳෙන, දිරායන මේ ශරීරයට පහර වැදුනාදෙන්, නමුත් මගේ සිතට නම් පහරක් වදින්න එපා. ගතට වැදුනු පහර නම් රිදෙනවා කියා දුක වේදනාව විඳ දරාගන්න පුළුවනි. එයට ප්‍රතිකාර කරන්නත් පුළුවනි. ඒත් ටික වෙලාවකින් ඒ දුක වේදනාව සංසිදේවි. අභාවිත සිතක් පැවතිලා, එනම් මෙතෙක් සඳහන් කළ මේ දහම් පෙළ තේරුම් ගන්න බැරි හිතක් පැවතිලා ශරීරයට වැදුණ පහර දුක්ඛ වේදනාවක් හැටියට පමණක් නෙමෙයි සිතටත් තරහවෙන්, වෛරයෙන්, පලිගැනීමෙන්, බද්ධ වෛරයෙන් යුතු මහ පහරක් හැටියට සිතට වද්දා ගත්තොත් සසර ගමනම නැසෙන්න පුළුවනි. ගතට වැදුණු පහර දුකක් හැටියට වුණත් පවතින්නෙ මෙලොවට පමණයි. ටික කාලයකටයි. නමුත් තරහව, වෛරය, බද්ධ වෛරය සමඟ පහර සිතට වද්දාගත්තොත් එය තරහව, වෛරය සසර ගමන පුරාම විනාශයට පත්කරවන මාර්ගයක් බවට පත්වී දුක් විඳින්නට සිද්ධ වේවි.


සිත හදා ගනිමු

මේ පිළිබඳව සම්පජානනයෙන් එනම් පරමාර්ථ ධර්මය පිළිබඳව මනා වූ පරීක්ෂාකාරී නුවණින් අප කල්පනා කරන විට කුඩා, අනුකුඩා වරදෙහි පවා බිය දක්නා සුළු ස්වභාවයෙන් සීලයේ පිහිටලා ජීවිතය පවත්වනවා. එවිට හැකිතාක් දුරට අන් අයගෙන් පැමිණෙන කරදර අඩුවේවි. එහෙම සීලයෙන් යුතුව ජීවිතය පවත්වද්දිත් අන් අයගෙන් කරදර විපත් වෙනවා නම් මුලින් සඳහන් කළා සේ නීතියේ පිළිසරණ පතනවා. ඒත් තවමත් කරදර බාධක තියෙනවා නම් හැකිතාක් දුරට තමන් ආරක්ෂා වෙන්නට සිහිය පවත්වනවා. තමන්ගේ වරදක් නැත්නම් ඒ වරද කරුණාවෙන් කියා දෙනවා. මේ සියල්ලම සිද්ධ වෙද්දිත් තවමත් දුක් කරදර ඇනුම් බැනුම් විපත් පැමිණෙනවා නම් එනම් මේවා සංසාරගත දෝෂ විය හැකියි කියා ඔය සිත් හදාගන්න ඕනෙ.
ඒ පිළිබඳ සිදුවීම් බුදු සිරිතෙන් ද දකින්න පුළුවනි. බුදුරජාණන් වහන්සේ අභියසට දෙව්දතුන් විසින් නාලාගිරි ඇතා මත්වතුර පොවා එව්වා. සුප්‍රබුද්ධ රජතුමා බුදුරජාණන් වහන්සේ වඩින මඟ හරස් කර දොස් කිව්වා. චිංචිමානවිකාව, මාගන්ධියා, බැනවැදුණා. යම් භික්ෂුවක් දෙදෙනෙක්, භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ උඩු සිවුර ගලවා අසංවරව හැසිරුණා. සාති වගේ භික්ෂූන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දහම වැරැදියි කියා පෙන්වාදීමට උත්සාහ කළා. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවට පසුවත් මහලු වයසේදී පැවිදි වූ සුභද්‍ර වගේ භික්ෂූන් බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වානය ගැන සතුටු වුණා. සැරියුත් මහ රහතුන් වහන්සේට එක්තරා බමුණෙක් මිට මොළවා පිටට පහරක් ගැසුවා. සුන්දරී පරිබ්‍රාජිකාව බමුණන් විසින් මරා බුදුරජාණන් වහන්සේටත් භික්ෂුන් වහන්සේලාටත් නිග්‍රහ කරන විට අශ්‍රැතවත් පෘතග්ජන මනුෂ්‍යයෝ අවිචාරවත්ව භික්ෂූන් වහන්සේලාට දොස් කිව්වා. කරදර කළා. මුගලන් මහ රහතන් වහන්සේගේ ඒ උතුම් චරිත කතාව මෙනෙහි කරන්න. සොරුන් පහර දෙන්නට එනවිට දෙවතාවක්ම බැහැරට වැඩම කර පහර කෑමෙන් වැළකුණ ද තුන්වන අවස්ථාවේ සොරුන්ගේ පහර දීමට නතුවෙලා එහිම වැඩ සිටියේ සසරගත දෝෂයට අනිටු කර්ම විපාකයට මුහුණපෑ යුතුමයි කියා සිතාය.

කර්ම දෝෂ

කලාතුරකින් නමුත් අපේ ජීවිතවලටත් සද්පුරුෂව සිටිත්දිත් නීතියේ පිහිට පතත්දිත් එවැනි වරදක් වෙනවා නම් කර්ම දෝෂ ලෙස සිතා අපේ සිත වෙනස් කරගන්නෙ නැතිව, එනම් සමාධිය බිඳගන්නේ නැතිව සීලයෙන් බැහැර වෙන්නෙ නැතිව බෝධිසත්ව කෙනෙක් වගේ සිටිය අයෙක් මහ නපුරු කෙනෙක් බවට පත්වෙලා යැයි අන් අයට පවසන්නට ඉඩක් නොදී අවංකවම චිත්ත සමාධිය පවත්වා ගත යුතුමයි. මේ දහම් කතාව කියවන ඔබ, ඔබේ ජීවිතයට එබී බලන්න. ජීවිත කතාව ප්‍රත්‍යවේක්ෂා කරන්න. අවලෝකනය කරන්න. දුර්ලභව ලබාගත් මනුෂ්‍ය ජීවිතයෙන් උතුම් ඵල ලබා ගැනීමට මේ පටිසෝතගාමී දහම

අනුගමනය කළ යුතුමයි.

තථාගත බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් ඵග්ගුන ස්වාමීන්වහන්සේට අවවාද අනුශාසනා කිරීමෙන් අනතුරුව භික්ෂු සංඝයා අමතා මහණෙනි, මම එක වේලක් පමණයි වළඳන්නෙ, එක වේලක් වළඳන මට ලෙඩ අඩුයි. කරදරත් අඩුයි. ශරීරයත් පහසුයි. ශරීර ශක්තියත් ජීවිතයේ පහසු විහරණයත් පවතිනවා. මහණෙනි, ඔබත් අනුගමනය කරන්න, ඔබටත් එය ඒ ආකාරයෙන්ම තේරුම් යාවි.
මහණෙනි, ඒ දවස භික්ෂූන්ට එපමණ අනුශාසනා කරන්න ඕන වූයේ නැහැ. ඒ දවස භික්ෂූන් වහන්සේලාට සිහිය උපද්දවා දෙන එක පමණක්මයි. භාග්‍යවතුන් වහන්සේ මෙහි දී අදහස් කරන්නේ ‘වාදපාඨිමෝක්ෂය’ ගැනයි. තථාගත බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී අවුරුදු විස්සක් යන තෙක්ම නීති පනවා තිබුණෙ නැහැ. ඒ අවධියේ පැවතියේ අවවාද කිරීම පමණක්මයි. භාග්‍යවතුන් වහන්සේ තමන් වහස්සේ විරාගී මඟක නිකෙලෙස් මඟක පහසු ජීවිතය ගත කලා සේ භික්ෂූන් වහන්සේලාත් වීතරාගි මඟක ඒ නිකෙලෙස් වූ උත්තරීතර ජීවිත පැවැත්වූවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කර්මස්ථාන ලබාදී මඟ පෙන්වා සිහිය පවත්වා ගන්නට අනුශාසනා කිරීම පමණක්මයි සිදු කළේ.
භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ මේ දහම් පෙළ අප හැම කෙනෙකුටම ඉතා හොඳින්ම ගළපා ගන්නට පුළුවනි. එසේ නම් අපටත් සිහිය උපද්දවා ගන්න පුළුවනි නම් නිරන්තරයෙන් සිල්පද වචනයෙන් කිය කියා සිටියේ නැතිවුණාට ඔබ අප අතින් වරදක් වෙන්නෙ නැහැ කියා අපේ සිත්වලටම දැනෙන්න පටන් ගන්නවා. එසේ නම් මෙහි අප ඉගෙන ගන්න අනික් කරුණ නම් සතර සතිපට්ඨානයේ පෙන්වා දෙන ඒ සිහිය මනාකොට පුරුදු කිරීමයි.




ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ක් වූ ජනවාරි 05 වන බ්‍රහස්පතින්දා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment