Labels

Thursday, January 12, 2017

දරුවාගේ ජීවිතය කෙසේ හැඩගැසිය යුතු ද?



පාසල නිමවී ආදරණීය දරුවන් පාසලෙන් පිටතට පැමිණෙන අවස්ථාවන් තුළ තම තමාගේ යහළු යෙහෙලියන් කණ්ඩායම් වශයෙන්ද වයස් කාණ්ඩ වශයෙන්ද, ස්ත්‍රී පුරුෂ වශයෙන්ද කණ්ඩායම් ලෙස පිටතට පැමිණෙයි. වයස් මට්ටමින් තමන්ගේ මිතුරන් හා එකට එකතු වන විට වයස් කාණ්ඩයට අනුව එකට එක්කාසු වෙයි. කුඩා දරුවන් සහ වැඩිහිටියන් අහඹු ලෙස යම් ස්ථානයකට ගිය අවස්ථාවක කුඩා දරුවන් නිරායාසයෙන්ම ක්‍රීඩාවක යෙදීම සඳහා එකට එක්කාසු වෙයි. වැඩිහිටියන් වැඩිහිටියන් සමඟ යහළු මිත්‍රකම් ඇතිකරගනී.එය සාමාන්‍ය ස්වභාවය වෙයි. සමාන පව් කරන පිරිසත් එකට එකතු වන බවට බුදුරජාණන් වහන්සේ වදාරා ඇත. සමාන පින් කරන පිරිසත් එවැනි ආකාරයට එකට එක්කාසු වෙයි. මත්පැන් පානය කරන පිරිස එකට එක්කාසු වෙයි.
බේබද්දන් බේබද්දන් වශයෙන් එකට එකතු වන බව නිග්‍රහ වාක්‍යයකින් සඳහන් නොකළද, සුරාපානය කිරීමට කැමැති පිරිස එකට එක්කාසුවන අවස්ථා දැකිය හැකියි. සත්ත්ව ඝාතනයෙහි නියුක්ත පිරිස සත්ත්ව ඝාතනයෙහි නියුක්ත පිරිස සමඟ ගතිනුත් සිතිනුත් එකට එකතු වෙයි. එය සත්‍ය ස්වභාවයයි. පව්කාරයන් එකට එක්කාසු වෙයි. ධර්ම ශ්‍රවණය කරන පිරිස, නිතර ධර්ම සාකච්ඡා කරන පිරිස වැනි සාමාන්‍යයෙන් ධර්මයට කැමැති පිරිස ඒ ඒ ස්ථානයන්හි නිරතුරුවම එකට රැස් වෙයි. දේශපාලන අදහස් දරන පිරිසද සංගීතයට රුච්කත්වය දක්වන පිරිසද පොත පත කියවන පාඨක පිරිසද මිතුරු හවුල් නිර්මාණය වන්නේද සමාන අදහස් තිබෙන සමාන රසවින්දනය තිබෙන, සමාන ලෙස සිතන පිරිස සමඟයි. මිතුරු හමුල් ඇතිවී ඔවුනොවුන් අතර සහ සඹදතා ගොඩනැගෙන්නේද ඒ අනුවයි. ඉතාම වැදගත් එම කාරණාවන් සමඟ ඔබ අවබෝධකරගත යුත්තේ යහපත් දෙයෙහි ඔබ නියුක්ත වුවහොත් එබඳු අදහස් ඇති පිරිස් ඔබට මුණගැසෙන බවයි. යමෙක් පොත් පත් කියවීමට පුරුදු වුවහොත් පොත පත කියවන පිරිස ඔවුන්ට නිරතුරුවම මුණ ගැසේවි. ඔබගේ ආදරණීය දරුවන් ඔබ සිතන ස්ථානයට රැගෙන ඒමට නම්, ඔවුන්ට එකී නිරන්තර යොමු කිරීම අවශ්‍ය ෙවිවි. මෙතනදී බුදුපියාණන් වහන්සේ අවධාරණය කර ඇති පරිදි සමාන සමාන පිරිස එකට එකතුවනවාය යන අදහස අපට අපගේ මෙලොව ජීවිතයත්, පරලොව ජීවිතයත් යන දෙකම සාර්ථක කරගැනීම සඳහා අත්‍යවශයෙන්ම මහෝපකාරී වෙයි. එසේ වන්නේ කෙසේද?

මිතුරන් ආශ්‍රයෙන් ආශ්‍රිතයන් මගින් ජීවිතය සාර්ථක කර ගත් පිරිස ඕනෑතරම් සිටියි. එවැනි ආකාරයෙන්ම මිතුරන් ආශ්‍රයෙන් ජීවිත අසාර්ථක කරගත් පිරිසද ඕනෑ තරම් සිටියි. මිතුරන් නිසා ජීවිත අසාර්ථක කරගත් පිරිස පිළිබඳව උදාහරණ ඕනෑතරම් දක්නට ලැබෙයි. මිතුරන් ආශ්‍රයෙන් සාර්ථක ජීවිතයක් ඔබට නෙළාගැනීමට නොහැකි වී ඇත්නම් , හෝ කල්පසුවී ඇත්නම් ඔබේ දරුවන් එකී සාර්ථක ආශ්‍රයෙන් ඉහළ තලයකට රැගෙන යාමට උපදෙස් උපකාර කිරීමට හා යොමු කිරීමට ඔබට හැකියාව පවතී. එසේ කළ යුත්තේ කෙසේද? ඔබගේ දරුවා සතිපතාම පුස්තකාලයට යන ස්ථානයක් බවට පත්කළ හොත් පුස්තකාලය මිතුරෙකු වශයෙන් භාවිත කිරීමට ඔබේ දරුවාට පුරුදු නොකළ හොත් එම දරුවා පුස්තකාලයෙන් දුරස් වෙයි. ඔබ අනිවාර්යෙන්ම නිරන්තරයෙන් යා යුතු ස්ථාන ලයිස්තුවක් ඇති අතර එම ලයිස්තුවට පුස්තකාලය අතුළත් වී නැත්නම්, ඔබේ දරුවාද පුස්තකාලයට යාමට පුරුදු නොවෙයි. වැරැදි ආශ්‍රය හෝ නිවැරැදි ආශ්‍රය යනුවෙන් අදහස් කරනු ලබනුයේ මිනිසුන් ආශ්‍රය කිරීම පමණක් ලෙස නොසිතිය යුතුයි. ඔබ සැමදාම ටෙලිනාට්‍යයකට ඇබ්බැහිවී තිබෙනවා නම් එය වෛද්‍ය මතය අනුව මානසික ඇබ්බැහිවීම රෝගයක් වෙයි. එවැනි ආකාරයෙන් යමෙකු බීඩි සිගරැටි සුරාව වැනි දේවලට ඇබිබැහි වී ඇත්නම් එයද ඇබ්බැහියක් වෙයි. සූදුවට ඇබ්බැහි වී ඇත්නම් එයද ඇබ්බැහියක් වෙයි. රූපවාහිනියට ඇබ්බැහි වී ඇත්නම් එයද ඇබ්බැහියක් වෙයි.


අන්තර්ජාලයට ඇබ්බැහි වී ඇත්නම් එය විශාලම ඇබ්බැහිවීමක් වෙයි. දුරකතනයෙන් එන අන්තර්ජාල සබඳතා නිසා මේ වන විට දස දහසකට අධික දරුවන් පිරිසක් තමන්ගේ සමස්ත ජීවිතකාලයම නාස්තිකරගෙන අවසානයි.මහා ඛේදජනක ප්‍රවෘත්තියක් ලෙස ඔබ එය දැන ගත යුතුයි. අම්මා රූපවාහිනියටද තාත්තා ටෙලිනාට්‍යකටද ඇබ්බැහි වී ඇත්නම්, එය රෝගයක් වශයෙන් දරුවන්ට එයි. දරුවෝද එම රෝගයේ කාරකයන් බවට පත්වෙයි. දරුවන්ටද එය රෝගයක් වශයෙන් බෝ වෙයි. එම දරුවන් එතැන් සිට එයට ඇබ්බැහි වෙයි. ඔවුන්ද පවුලේ සියලු දෙනා සමඟ එකටම රෝගීන් බවට පත්වෙයි. කොණ්ඩා මෝස්තර දැමීමට පමණක් සම්පූර්ණ ජීවිතයම යොමු කරනවා නම් එය රෝගයක් වෙයි. ඇඳුම් පැළඳුම්, මෝස්තර යාන වාහන තත්වය තරාතිරම වගේම ඇතැම් විට තමාගේ වංශයද ඇතැම් පිරිසකට රෝගයක් වී ඇත.ආශ්‍රය නිශ්‍රය කිරීම යනු මිනිසුන් වශයෙන්ම පමණක් නොවෙයි. භෞතික දේවල් ආශ්‍රය කිරීම නිසාමද ඇතැමි විට ජීවිතය අභාග්‍ය සම්පන්න වන අවස්ථා පිළිබඳව ඕනෑතරම් දැනුවත් වීමට හැකියාව ඔබට පවති. එම නිසා සෑම සතියකම පුස්තකාලය ආශ්‍රය කිරීමට පුරුදු වුවහොත්, එම සතිය ඇතුළත මෙතරම් ප්‍රමාණයක් පොත් කියවනවාය කියන තැනට අධිෂ්ඨානය පැමිණුනහොත්, කෙතරම් පරිවර්තනයක් සිදුවනවාද ? යන්න ඔබට සිතාගැනීමට නොහැකි වෙයි. ඔබ අතර සිටින දරුවන් අතර පාසලේ පුස්තකාලයෙන් හෝ ගමේ පුස්තකාලයෙන් පොත් රැගෙන විත් නිරන්තරයෙන්ම පොත් කියවීමට හුරුපුරුදු වන්නාවූ දරුවන් පිළිබඳව නිරීක්ෂණය කළහොත් එම දරුවන් ඉතා පැහැදිලි ලෙස තමාගේ ජීවිතය ඉතාම සාර්ථක කරගනී. බහුශ්‍රැතයන් බවට පත්ෙවිවි. ඇසූ පිරූ තැන් ඇති ඕනෑම දෙයක් කියවන තත්වයට පත්ෙවිවි. පොත් ලියන පිරිසත්, පොත් මුද්‍රණය කරන පිරිසත්, පොත් අලෙවි කරන පිරිසත් දෙස නිරික්ෂණය කළ බැලුවත් කියවන අයගේ ප්‍රමාණය ඊට වඩා අඩු යැයි සිතෙයි. කෙතරම් ප්‍රමාණයක් පුවත් පත් මුද්‍රණය වෙනවාද? එහෙත් පත්තර කියවීමට වෙලාවක් අපට නැතත් රූපවාහිනිය හා ගුවන් විදුලියෙහි කිසිදු වැඩකට ප්‍රයෝජනවත් නොවන ආකාරයේ වැඩසටහනකට දක්වන අවධානය යොමු කරන තරම වැඩකට ඇති ප්‍රයෝජනවත් දෙයකට යොදවනවා නම්, එහි ප්‍රතිපලය කෙබඳු වෙයිද?එවැනි කටයුතු සඳහා අලුතෙන් ඔබගේ ජීවිතය හැඩගසා ගැනීමට තරම් කාල ෙවිලාවක් නොමැති නම්, ඔබගේ ආදරණීය දරුවන් සදාශ්‍රයට යොමු කරවිය යුතුයි.






කැලණිය විශ්ව විද්‍යාලයේ 
සංස්කෘත අධ්‍යයන අංශයේ 
මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි





ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ක් වූ ජනවාරි 05 වන බ්‍රහස්පතින්දා දින   බුදු සරණ පුවත්පත‍ෙ  පළ වූ ලිපියකි

No comments:

Post a Comment