පිරිවානා පොත් වහන්සේගේ මුලින්ම සඳහන් වන්නේ “සරණා ගමනය” පිළිබඳවයි. එහි අර්ථය තිසරණයට පැමිණීම හෙවත් තෙරුවන් සරණ යාමයි.
තෙරුවන් සරණ යෑම යනු අපගේ බුදුරජාණන් වහන්සේත්, උතුම් ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝ රත්නයත් තමාගේ එකම පිහිට, පිළිසරණ, රැකවරණය, ආරක්ෂාව ලෙස මුළු හදවතින්ම සරණයාමයි. අති බිහිසුණු සසරක සැරිසරන සත්ත්වයන්ට තෙරුවන් සරණ යෑම යනු සුළුපටු දෙයක් නොවේ. එය හැම පැත්තෙන්ම ආරක්ෂාව සහිත පරිපූර්ණ සරණ යෑමකි. මෙය වටහා ගැනීමට නම් ඔහු තුළ නුවණ තිබිය යුතුමය.
එසේනම් මේ ලෝකයේ නුවණැත්තන් යම්තාක් ඇත්නම්, ඒ සියලු දෙනාට සරණ යාහැකි එකම දෙය මේ තිසරණය යි. වෙන පිළිසරණක් නැත්තේම ය. තෙරුවන් සරණ යාමට නම් නුවණැත්තාට තෙරුවන ගැන අසන්නට ලැබිය යුතුය. තෙරුවන් සරණ ගැන අසන්නට ලැබෙන්නට නම් අප උස් හඬින් තිසරණය ගැන ලොවට කිව යුතුය. එවිට නුවණැත්තා මිනිස් ලොව, දෙව් ලොව,බඹ ලොව යන කොතැනත් තෙරුවන හා එක් වේ.
තිසරණ පිහිට
ලෝකයා විවිධ ආගම් සරණ ගියත් සැබවින්ම සියලුම සත්ත්වයන්හට සදා සැනසිල්ල උදාකරදෙන එකම සරණ තිසරණය පමණි. “නත්ථි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණංවරං. . . නත්ථි මේ සරණං අඤ්ඤං ඒතේන සච්ච වජ්ජේන හෝතු මේ ජය මංගලං” බුදුරජාණන් වහන්සේගේ සරණ හැර මට වෙන සරණක් නැත්තේය, උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයේ සරණ හැර මට වෙන සරණක් නැත්තේය. ආර්ය මහා සංඝ රත්නයේ සරණ හැර මට වෙන සරණක් නැත්තේය. මෙය පරම සත්‍යයකි. මේ සත්‍යානුභාවයෙන් මට සෙතක්, ශාන්තියක්, යහපතක්ම වේවා, යනු එහි අර්ථය යි.
ඉතිපිසෝ. . . ස්වක්ඛාතෝ. . . සුපටිපන්නෝ යන ගාථාවන් මේ වාක්‍යයන් එකතුකොට බොහෝ ලස්සනට ඇතැම් අය සජ්ඣායනා කරන නමුත්, ඒවායේ අර්ථයන් නොදනී. එය අවාසනාවකි. බෞද්ධයන්ට තෙරුවන් ගැන මනා අවබෝධයක් තිබිය යුතුමය. ඒ මක්නිසාද යත් නිවන අවබෝධ කර ගැනීමට නම් ඒකාන්තයෙන්ම සදාකාලික විමුක්තියක් මේ ලොව දෙවියෙකු, බ්‍රහ්මයෙකු, මනුෂ්‍යයෙක් බලාපොරොත්තු වේනම් ස්ථිර ලෙස තෙරුවන් සරණ යාම හැර වෙනත් කිසියම් මාර්ගයක් ඒ සඳහා මේ විශ්වයේම නැත.
තුනුරුවන්ගේ දුර්ලභ බව
තිසරණය ලොව පහළවන්නේ කල්ප ගණනකට පසුවය. එය හැම කල්හිම පහළ නොවේ. කල්ප සියයක් ඇතුළත තිසරණය ලොව පහළ වී ඇත්තේ හත්වතාවකි.
මෙකරුණින්ම තෙරුවන් සරණ යෑම කොතරම් දුර්ලභ දෙයක්ද කියා පැහැදිලිය. “කිච්ඡෝ බුද්ධානං උප්පාදෝ” හැමටම වඩා බුදුරජාණන් වහන්සේගේ ඉපදීම දුර්ලභය. “සුඛෝ බුද්ධානං උප්පාදෝ” බුදුරජාණන් වහන්සේගේ ඉපදීම සියලු දෙනාටම යහපතක්ම සැපයක්ම වන්නේය. “බුද්ධෝ හවේ කප්පසතිහි දුල්ලභෝ” බුදුරජාණන් වහන්සේ කල්ප ගණනකින් පහළ නොවේ. මොක් සිරිදෙන මුනිඳුන්ගේ උපතකි. “කප් කෙළ සිය දහසකිනුත් නො ලදැකි” යනුවෙන් ලෝවැඩ සඟරාවේ ද සඳහන්ය. ලෝවැඩ සඟරාවේ ඇති මේ කවිය දෙසත් හොඳින් බලන්න.
බුදු කෙනෙකුන් මේ ලොව නූපන් ව ර
අඳුරෙක් මය සදහම් නැති මේ සස ර
ඉඳුරා නො දැනෙයි මේ පින් තොරතු ර
සිදු නොකළැකි ඉන් සඟමොක් පිරිව ර
අඳුරෙක් මය සදහම් නැති මේ සස ර
ඉඳුරා නො දැනෙයි මේ පින් තොරතු ර
සිදු නොකළැකි ඉන් සඟමොක් පිරිව ර
සම්බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ නොවූ කල්හි උතුම් ශ්‍රී සද්ධර්මයද අසන්නට නො ලැබෙන්නේ ය. එනිසා පව් හා පින්වල කිසිඳු තොරතුරකින් ලෝකයාට දැන ගන්නට කිසිසේත්ම නොහැකි නිසා දිව්‍ය සම්පත් හා ඒ අමා නිවන් සම්පත් ලබන්නට නො හැක්කේම ය යනුයි.
නමස්කාරය
තෙරුවන් සරණ යෑමට පෙර අප අපගේ භාග්‍යවතුන් වහන්සේට “නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස” කියා නමස්කාර කරන්නෙමු. සියලුම සම්බුදු ගුණයන් වැඩ සිටීමට සමත් හෙයින්ද, (භගවතෝ) ගුරු උපදේශ රහිතව සියලුම කෙලෙසුන් නැසූ හෙයින්ද, (අරහතෝ) ගුරු උපදේශ නැතිවම සියලුම ධර්මයන් (ස්වංභූ ඤාණයෙන්) අවබෝධ කළ හෙයින්ද, (සම්මා සම්බුද්ධස්ස) සම්මා සුම්බුදුරජාණන් වහන්සේට නමස්කාර කරන්නෙමු. මේ නමස්කාර පාඨය තුළ සියලුම සම්බුදු ගුණ කැටි වී තිබෙන අයුරු මේ ගැන හොඳින් විමසීමේ දී කාට වුවද දැකගත හැකි කරුණකි. ඒ නිසා අධික කටයුතු තිබෙන අයෙකු වුවද දවසේ ආරම්භයේදීත්, දවස අවසානයේදීත් මේ උතුම් නමස්කාර පාඨය හෝ ඉතා ගෞරවයෙන් යුතුව දොහොත් මුදුන් දී තුන්වරක් කියයිනම් ඔවුන්ට බොහෝ යහපත සැළසෙන්නේ ය.
තෙරුවන යනු
රුවන් යනුවෙන් ලෝකයේ ඉතා අගනා මැණික් වර්ගයක් ගැන කියැවෙයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයට තෙරුවන් කියා කියන්නේ සුවිශේෂී අර්ථයකින්ය. මෙලොව, පරලොව හෝ දෙව්ලොව හෝ කිසියම් තැනක යම් මාණික්‍යමය දේවල් ඇද්ද ඒ කිසිවක් අපගේ බුදුරජාණන් වහන්සේ සමකොට ගත නො හැකිය.
ඡත්ත මානවක කථාවේදී අපගේ බුදුරජාණන් වහන්සේ ඡත්ත මානවකගේ ජීවිතයට ඇති අනතුර බුදු නුවණින් දැක ඔහුට පිහිටවීම සඳහා මහ මඟට වැඩම කොට ඔහු තිසරණයෙහි සමාදන් කරවා පිහිටුවා වදාළ සේක. ඔහු ඒ තිසරණයේ ගුණ සිතමින් යන අතරේ සොරුන්ට හසුවිය. සොරුන්ගෙන් දරුණු ප්‍රහාර එල්ල වෙද්දීත් ඔහු තිසරණය සිහි කළේය. ඒ මොහොතේ මරණයට පත් ඔහු ඒ හේතුවෙන් දෙව්ලොව ඡත්ත මානවක දිව්‍ය පුත්‍රයා නමින් උපන්නේය.
එක්තරා කාන්තාවක් වැටකොළු මල් හතරක් නෙළාගෙන ධාතු තැන්පත් සෑයකට පූජා කිරීම පිණිස ඒ මල් හතර දෝත දරාගෙන අපගේ භාග්‍යවතුන් වහන්සේගේ දෙතිස් මහා පුරිස ලකුණින් හෙබි රන්වන් ඒ බුදු සිරුර ගැනත්, නව අරහාදී බුදු ගුණයන් ගැනත් අපමණ සිත් පහදවාගෙන බුදුගුණ සිතමින් යද්දී ඒ උතුම් සෑය අසලදී උමතු වූ ගව දෙනක් දරුණු ලෙස අනිද්දීත් ඇය බුදු සිරුර ගැනම බුදු ගුණම ගැනම සිතීම නිසා මරණයෙන් මතු දෙව් ලොව උපන් කථාවක් පීති විමාන වත්ථු නමින් විමාන වත්ථුවෙහි ඇත. ඇය අත තිබූ මල් කහ පැහැයෙන් යුතුවීමත්, රන්වන් බුදු සිරුර ගැන සිතීමත් ආදී සිතේ පිවිතුරු බව නිසා ඇයගේ විමානය හා එහි සියල්ලද, ඇයගේ සියලු ආභරණයන් ද, කහ පැහැයෙන්ම වීම අරුම පුදුමය.
හදවතින් සරණ යාම
මහා සමය සූත්‍රයේ බ්‍රහ්මරාජවරු හතර දෙනෙක් කපිලවස්තු මහා වනයට බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණ ඔවුන් හතර දෙනා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වෙන් වෙන් වශයෙන් ගාථා හතරක් ප්‍රකාශ කළේය. ඉන් හතරවැනි බ්‍රහ්මරාජයා මේ ගාථාව කියා සිටියේය.
යේකේචි බුද්ධං සරණං ගතාසේ
න තේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං
දේවකායං පරිපූරෙස්සන්ති
න තේ ගමිස්සන්ති අපායං
පහාය මානුසං දේහං
දේවකායං පරිපූරෙස්සන්ති
යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ ගියේනම් ඔහු අපායට යන්නේ නැත. මිනිස් ජීවිතය අතහැර මියගිය පසුව ඔවුන් සුගතියෙහිම උපදී.
අසිරිමත් බුදුන් සරණ යාම
නිරයගාමි අකුසල්ම බොහෝ සිදුකළ මිථ්‍යා දෘෂ්ඨිකයෙකු වූ අම්බසක්කාර නම් රජ කෙනෙක්, කිසියම් පේ‍්‍රතයෙකු මාර්ගයෙන් මහා කප්පින්න මහා රහතන් වහන්සේ වෙත යොමුව උන්වහන්සේගෙන් බුදුරජාණන් වහන්සේ ගැන අසන්නට ලැබුණු කරුණු වලින් අපමණ පී‍්‍රතියට පත් ඒ රජු පිරිනිවන් පා වදාළ බුදුරජාණන් වහන්සේ මුළු හදවතින්ම සරණ ගොස් සෝතාපන්න ඵලයෙහි පිහිටා සදහටම සතර අපායෙන් නිදහස් වුණි.
පිරිත් දේශනා කරන පිරිසත්, පිරිත් ශ්‍රවණය කරන පිරිසත් තිසරණයෙහි පිහිටා පිරිත් කීම, පිරිත් ඇසීම ඉතා උසස් ඵල ලැබීමටම හේතු වෙයි. එනිසා මේ තිසරණය ගැන අප වෙන් වෙන් වශයෙන් ඉදිරි ලිපිවලදී විස්තර කරනු ඇත.
අද ලිපියෙන් කථා කළ තෙරුවන් සරණ යාම යටතේ බුදුන් සරණ යාම පිළිබඳවයි. බුද්ධානුස්සති භාවනා ගාථාවන්හි එන මේ ගාථාව සිහිපත් කරමු.
ඒ කෝ සබ්බස්ස ලෝකස්ස
සබ්බ සත්ථානුසාසකෝ
භාග්‍ය ඉස්සරියාදීනං
ගුණානං පරමෝ නිධී
සබ්බ සත්ථානුසාසකෝ
භාග්‍ය ඉස්සරියාදීනං
ගුණානං පරමෝ නිධී
සියලු ලෝකයන්හි සියලුම සතුන්හට, නියම අර්ථයෙන් උතුම් දහම් දෙසන එකම එක ශාස්තෘවර අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ පමණි. භාග්‍යවත් ගුණයෙන් විචිත්‍රවත් වූ පිරී ඉතිරි යන ආශ්චර්යමත් වූ අනන්ත ගුණ කඳ උත්තම වූ නිධානයක් වැන්න.
පොල්ගහවෙල මහමෙව්නා
භාවනා අසපුවේ
කළගන්වත්තේ විජිතඤාණ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ දුරුතු පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 ක් වූ ජනවාරි 05 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පතෙ පළ වූ ලිපියකි
No comments:
Post a Comment