කල්ප ගණනකට පසු සම්බුද්ධත්වයට පත් කෝණාගම නම් බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මෙම දිවයින ‘වරදීප’ නම් විය. මහමෙවුනා උයන මහා අනෝම වන නම් විය. උයනට දකුණුදෙස පිහිටි උයන ‘වඪමානක’ පුරය නම් විය. එහි සමිද්ධි නම් රජු රජකම් කළේ ය. දේව කූටය සුමන කූට නම් විය. මෙකල බොහෝ කාලයක් වර්ෂාව වහින්නේ නැතිව දුර්භික්ෂයක් ඇති වී ආහාර නො මැතිව මිනිසුන් පීඩිත බවට පත් වූ කල්හි කෝණාගම බුදුරදුන් ප්‍රධාන තිස් දහසක් රහතන් වහන්සේලා සුමන කූටයට වැඩමවා දස දිසාව බලා වදාරා මුළු දිවයිනෙහි පිහිටි වැව් අමුණු පිරෙන්නට වැස්ස වසීවායි අධිෂ්ඨාන කළ සේක.
එකෙණිහි ම මහා වැසි වසින්නට පටන් ගෙන මුළු දිවයින පුරාම වැසි වැටී වැව් අමුණු පිරුණායින් පසු වැස්ස වැටීම නවත්වා බුදුන් වහන්සේ සියලු සත්ත්වයන්ට ම පෙනී සමාපත්තියට සම වැදී සියල්ලන්ගේම දාහය නිවා පර්වත මුදුන්හි රන් කඳක් සේ වැඩ සිටියහ. මේ මහා ආශ්චර්ය දැක බලා ගැනීමට හා ඒ පිළිබඳව ප්‍රසාදය ඇති කරගත් මහජනතාව බුදුරදුන් වෙත පැමිණ වන්දනාමාන කොට අනෝම උයන බුදුරදුන්ට පූජා කළ කෙණෙහිම මහ පොළොව ගිගුම් දෙන්නට විය.
ඉන් පසු බුදුරජාණන් වහන්සේ තිස් දහසක් ප්‍රාණින් සසරින් එතෙර කරවා සවස් වේලෙහි ශෝභන නම් නුවර ශෝභන නම් රජු ලවා උදුම්බර බෝධියෙහි දක්ෂිණ ශාඛාව සමඟ කනකදන්තා නම් භික්ෂූණිය ප්‍රධාන පන්සියයක් භික්ෂූණීන් මෙරටට ගෙන්වාගෙන සමිද්ධි නම් රජුහු ලවා දැනට බෝධිය පිහිටි ස්ථානයෙහිම උදුම්බර බෝධිය රෝපණය කරවා “නාගමාලක” නම් වූ ලෝවා මහා ප්‍රසාදයට වැඩමවා බණ දේශනා කොට විසිදහසක් ජනතාව මාර්‍ගඵලාවබෝධයට පත් කරවා එයින් ථූපාරාම භූමියෙහි වැඩ හිඳ ධර්මදේශනා කොට දස දහසක් පිරිස සංසාරයෙන් එතෙර කරවා උන්වහන්සේගේ පටී ධාතුව එහි තැන්පත් කොට ස්තූපයක් කරවීමට සලස්වා කනකදත්තා නම් භික්ෂුණිය ප්‍රධාන වූ පන්සියයක් භික්ෂූණීන් හා සුධර්‍ම නම් මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන වූ දහසක් භික්ෂූන් මෙහි රඳවා එයින් සුදස්සන මාලක නම් පිහිටි ස්ථානයේ දී වැඩසිටි සියලු සතුන්ට අවවාද දී දඹදිව බලා වැඩමවා ඇත.







































