කල්ප ගණනකට පසු සම්බුද්ධත්වයට පත් කෝණාගම නම් බුදුරජාණන් වහන්සේගේ සමයෙහි මෙම දිවයින ‘වරදීප’ නම් විය. මහමෙවුනා උයන මහා අනෝම වන නම් විය. උයනට දකුණුදෙස පිහිටි උයන ‘වඪමානක’ පුරය නම් විය. එහි සමිද්ධි නම් රජු රජකම් කළේ ය. දේව කූටය සුමන කූට නම් විය. මෙකල බොහෝ කාලයක් වර්ෂාව වහින්නේ නැතිව දුර්භික්ෂයක් ඇති වී ආහාර නො මැතිව මිනිසුන් පීඩිත බවට පත් වූ කල්හි කෝණාගම බුදුරදුන් ප්‍රධාන තිස් දහසක් රහතන් වහන්සේලා සුමන කූටයට වැඩමවා දස දිසාව බලා වදාරා මුළු දිවයිනෙහි පිහිටි වැව් අමුණු පිරෙන්නට වැස්ස වසීවායි අධිෂ්ඨාන කළ සේක.
එකෙණිහි ම මහා වැසි වසින්නට පටන් ගෙන මුළු දිවයින පුරාම වැසි වැටී වැව් අමුණු පිරුණායින් පසු වැස්ස වැටීම නවත්වා බුදුන් වහන්සේ සියලු සත්ත්වයන්ට ම පෙනී සමාපත්තියට සම වැදී සියල්ලන්ගේම දාහය නිවා පර්වත මුදුන්හි රන් කඳක් සේ වැඩ සිටියහ. මේ මහා ආශ්චර්ය දැක බලා ගැනීමට හා ඒ පිළිබඳව ප්‍රසාදය ඇති කරගත් මහජනතාව බුදුරදුන් වෙත පැමිණ වන්දනාමාන කොට අනෝම උයන බුදුරදුන්ට පූජා කළ කෙණෙහිම මහ පොළොව ගිගුම් දෙන්නට විය.
ඉන් පසු බුදුරජාණන් වහන්සේ තිස් දහසක් ප්‍රාණින් සසරින් එතෙර කරවා සවස් වේලෙහි ශෝභන නම් නුවර ශෝභන නම් රජු ලවා උදුම්බර බෝධියෙහි දක්ෂිණ ශාඛාව සමඟ කනකදන්තා නම් භික්ෂූණිය ප්‍රධාන පන්සියයක් භික්ෂූණීන් මෙරටට ගෙන්වාගෙන සමිද්ධි නම් රජුහු ලවා දැනට බෝධිය පිහිටි ස්ථානයෙහිම උදුම්බර බෝධිය රෝපණය කරවා “නාගමාලක” නම් වූ ලෝවා මහා ප්‍රසාදයට වැඩමවා බණ දේශනා කොට විසිදහසක් ජනතාව මාර්‍ගඵලාවබෝධයට පත් කරවා එයින් ථූපාරාම භූමියෙහි වැඩ හිඳ ධර්මදේශනා කොට දස දහසක් පිරිස සංසාරයෙන් එතෙර කරවා උන්වහන්සේගේ පටී ධාතුව එහි තැන්පත් කොට ස්තූපයක් කරවීමට සලස්වා කනකදත්තා නම් භික්ෂුණිය ප්‍රධාන වූ පන්සියයක් භික්ෂූණීන් හා සුධර්‍ම නම් මහා ස්ථවිරයන් වහන්සේ ප්‍රධාන වූ දහසක් භික්ෂූන් මෙහි රඳවා එයින් සුදස්සන මාලක නම් පිහිටි ස්ථානයේ දී වැඩසිටි සියලු සතුන්ට අවවාද දී දඹදිව බලා වැඩමවා ඇත.
තුන්වනුව බුදු වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සමයේ දී මෙම දිවයින මණ්ඩද්වීපය නම් විය. මහමෙවුනා උයන මහාසාර උයන නම් විය. එයට බටහිර පැත්තට වන්නට පිහිටි නුවර විශාලාපුර නම් විය. මෙහි ජයන්ත නම් රජතුමෙකු එකල රජකම් කළේ ය. සුමන කූටය ශුභ කූට නම් විය. එකල රජ යුවරජ මහා ඇමතියන් විරසකව ඔවුනොවුන් යුධ වැදීමට පටන් ගත්තේ ය. මේ පිළිබඳව සම්බුදු නුවණින් බලා යුද්ධයක දී විනාශ වන්නා වූ ජීවිත ගැන අනුකම්පාවෙන් හා කරුණාවෙන් විසිදහසක් රහතන් වහන්සේලා පිරිවරාගෙන කාශ්‍යප බුදුරදුන් ශුභ කූටයට වැඩමවා එයින් පර්වත පාමුලට වඩමවා මහ අඳුරක් මවා දෙදෙනෙකුට එකිනෙකා නො පෙනේවායි අධිෂ්ඨාන කොට අන්ධකාරයේ ගිල්වා දෙවනුව ඒ අඳුර දුරු කළ සේක. ඉන්පසුව ද මිනිසුන් එකිනෙකා යුධ වැදීමට පටන් ගත් විට බුදුරජාණන් වහන්සේ සියලු දිවයින ම දුමෙන් වස්වා තේජෝ කසිණ ධාතුවට සමවැදී විසි රියන් උස බුද්ධ කයෙන් මුළු දිවයිනම එකම ගිනි ගත් ගෙයක් සේ බියට පත් කළ සේක. එයින් තැති ගත් මිනිස්සු තම තමන්ගේ අත්වල තිබූ අවි ආයුධ බිම හෙළා ඔවුනොවුන් සමඟි වූහ.
ඉන්පසු බුදුන් වහන්සේ ඔවුන්ට දැකීමට සලස්වන ලදී. පුන්සඳක් වන් බුදු මුහුණ දැක ඔබ කවරෙක්දැයි විමසා සම්බුදුරජාණන් වහන්සේ බව දැන සන්තෝෂයෙන් උත්සව පැවැත්වී ය. ඉන් පසු මහාසාර උයන බුදුරදුන්ට පූජා කළ බවත් එවිට මහ පොළොව කම්පා වූ බවත් දැක්වේ.ඉක්බිති බුදුරදුන් එහි දන් වළඳා දේශනා අවසානයේදී විසිදහසක් මාර්ගඵලාවබෝධයට පත් කරන ලද බව දැක්වේ.
ඉන්පසු එදින සවස ශ්‍රී මහා බෝධිය පිහිටි ස්ථානයට වැඩමවා පෙර සේම අධිෂ්ඨාන කොට බරණැස බ්‍රහ්මදත්ත නම් රජු ලවා තමන් වහන්සේ පිට දී බුදු වී වදාළා වු නිග්‍රෝධ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වෙන්කරවාගෙන සුධර්මානම් භික්ෂුණිය ප්‍රධාන පන්සියයක් භික්ෂූණීන් මෙරටට වැඩමවා ගෙන ජයන්ත නම් රජු ලවා නිග්‍රෝධ බෝධින් වහන්සේ පිහිටුවා අශෝකමාලක නම් වූ ලෝවාමහාප්‍රාසාද භූමියෙහි වැඩ හිඳ ධර්‍මදේශනා පවත්වා හාර දහසක් මිනිසුන් සසරින් එතෙර කරවීය.
ථූපාරාම ස්ථානයට වැඩමවා ධර්මදේශනා කොට දස දහසක් සත්වයින්ට මාර්ගඵලාවබෝධය ලබා දී තමන් වහන්සේගේ ජලසාටකය ලබා දී සුධර්මා භික්ෂුණිය ප්‍රධාන පන්සියයක් භික්ෂූණීන් හා සර්වනන්ද නම් මහ තෙරුන් වහන්සේ ප්‍රධාන වූ දහසක් භික්ෂූන් වහන්සේලා මෙම දිවයිනෙහි රඳවා එයින් සෝමනස්ස මාලක නම් වූ තුන්වන මහසල මහ සෑ තන්හි වැඩ හිඳ සියලු දිවයින් වැසියන්ට හා දෙව් මිනිසුන්ට අනුශාසනා කොට අහස් කුසට පැන නැගී දඹදිවට වැඩි සේක.
මෙයින් පසු සම්බුද්ධත්වයට පත් අප ගෞතම සම්බුදුරජාණන් වහන්සේ පිට දී බුදු වී වදාළා වූ උතුම් ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව සංඝමිත්තා මහ රහත් මෙහෙණිය ප්‍රධාන භික්ෂුණීන් මෙරටට වැඩම වූ පුවත කවුරුත් දන්නා ප්‍රකට ඓතිහාසික පුවතක් බැවින් මෙහි එහි වැඩි විස්තර සඳහන් නො කෙරේ. සිංහල ජන වංශය සකල පුණ්‍ය ඵලයක්ම එක් තැනක ඵල දුන් කලක් මෙන් ලංකා ධරණි තලයේ එනම්, අනුරපුර අපරාජිත ශුද්ධ භූමිය ඒ මහා ජය භූමිය ජය ශ්‍රී මහා බෝ හිමි මුල් බැස ගියේ ය.
මුළු ලෝකයේ ම තිබෙන ඓතිහාසික පැරණිතම වෘක්ෂ රාජයාණන් වූ ද සිංහල බෞද්ධයන්ගේ ශ්‍රේෂ්ඨතම පූජනීය වස්තුව වූ ද සිරි මහා බෝ හිමි ලක්දිවට වැඩම වීම පිළිබඳව මංගල පුවත සිදු වූයේ උඳුවප් පෝය ශ්‍රේෂ්ඨ ආගමික දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලෝකයේ සිදුවුණ ඓතිහාසික, අපූර්වතම සංග්‍රාමයක තොරතුරු ලෝකයා හමුවේ කියාපාන එනම්, බුද්ධත්වය පිළිබඳ ශ්‍රේෂ්ඨ පණිවුඩය සමස්ත ලෝකයා හමුවේ ප්‍රදර්ශනය කරන ජයසිරි මහා බෝ හිමියන්ගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට ලැබීමත් මේ දක්වා එය නිර්මලව ආරක්ෂා වීමත් සිංහල බෞද්ධයන් වූ අපගේ මහා වාසනාවකි.
බුදුරජාණන් වහන්සේගේ නිකෙලෙස් සිරුරේ සිහිල් පහසලත් බෝ හිමි පාරිභෝගික චෛත්‍යයකි. දඹදිව බුද්ධගයාවේ අද පවතින්නේ එදා බුදුරජාණන් වහන්සේ පිට දීමෙන් පරම පූජනීය බවට පත් මහා බෝධීය නොව විනාශයට පත් කිරීමෙන් පසු ඇති වුණු අංකුරයකි. එහෙත් ධර්මාශෝක අධිරාජයාගේ දවස වනතෙක් නිර්මලව නිරුපද්‍රිතව පැවතුණේ ය. දෙවන පෑතිස් නිරිඳුන් දවස ලක්දිවට ලැබුණේ ඒ නියම බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි. මෙසේ සලකන කල අනුරාධපුර මහමෙවුනා උයනේ වැඩ වෙසෙන සිරිමා බෝ හිමි අද දඹදිව තිබෙන බෝධිරාජයාට වඩා පැරණි ද පූජනීය ද වේ.
මේ අනුව මෙම භද්‍රකල්පයෙහි සම්බුද්ධත්වයට පත් සතර බුදුවරයින් වහන්සේලාගේ ම බෝධීන් වහන්සේලා රෝපිත උත්තම පුණ්‍ය භූමිය වනුයේ මෙම ලංකා ද්වීපයම බව පැහැදිලි වේ.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
අනුරාධපුර අභයගිරි රජමහා විහාරාධිකාරි,
ආචාර්ය
කල්ලංචියේ රතනසිරි හිමි
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
අනුරාධපුර අභයගිරි රජමහා විහාරාධිකාරි,
ආචාර්ය
කල්ලංචියේ රතනසිරි හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 10 වන ඉරිදාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment