Labels

Friday, December 15, 2017

දරුවන්ගේ වගකීම් පැහැර හැරිය හැකි ද?

අප පරලොව ජීවිතය සාර්ථක කරගැනීමට නම්, මෙලොව ජීවිතය සාර්ථක කරගැනීම අත්‍යවශ්‍ය වෙයි. මෙලොව සාර්ථක ජීවිතයක් ගත කරන බොහෝ පුද්ගලයන් පරලොව ජීවිතය සාර්ථක කරගැනීමට උත්සාහ දරයි. ඒ සඳහා භෞතික දියුණුව මෙන්ම අධ්‍යාත්මික දියුණුවද එක හා සමානව ගොඩනැඟිය යුතුය. අරමුණු එසේ වුවද, ශෝචනීය තත්ත්වයනට ඇද දමන ඇතැම් අවස්ථාවන් දක්නට නැතිවාම නොවෙයි.

ඇතැමුන් දුක් විඳිමින් හම්බකරන මුදලින් හැන්දෑවට මත්වතුර බොනවා නම්,අප හිඟන්නන් වීම වැළැක්විය නොහැකි ය. සමෘද්ධි ආධාර ලබාදීමෙන් එම ප්‍රශ්නය විසඳිය හැකිද? සමෘද්ධි ආධාර ලබන බොහෝ ගෙවල්වල පිරිමින් හැන්දෑවට මත්වතුර පානය කරයි. මිනිස්සු නැඟිටින්න නම්, ඔවුන් ප්‍රඥාවන්ත වීම අත්‍යවශ්‍යය. කවුරුන් හෝ පුද්ගලයෙකු කුසගිනි බවට ප්‍රකාශ කරගෙන පැමිණි විට ඔහුට බිලී පිත්තක් ලබාදිය යුතු බවත්, මාලුකූරියෙකු ලබානොදිය යුතු බවටත් චීන ප්‍රකාශයක් පවතී. එම උදාහරණය අපට නොගැලපුන ද , එයින් ගත යුත්තේ ඔහුට කුසගිනි නම්, හම්බකළ හැකි ක්‍රමයත්, නිෂ්පාදනය කළ හැකි ක්‍රමයත් සූදානම් කළ දිය 


යුතු වුවද, ඔහුට කෑම නොදිය යුතු බවය. කෑම ලබාදුන් විට කුසගිනි නිවාගැනීමට එය ප්‍රයෝජනයට යොදාගනිමින් නැවත කුසගිනි වූ විට ආපසු ඉල්ලාගෙන පැමිණෙයි. එම නිසා මිනිසුන් යමකට යොමු කළ යුතු ය. මිනිසුන්ට හැකිතරම් ආහාර ලබාදීමෙන් එය නිවැරැදි කළ නොහැකි ය. මිනිසුන්ගේ දැනුම වැඩි කළ යුතුය. නැතහොත් හම්බකර ගැනීමට කුසලතාවයන් දියුණු කරදිය යුතුය. දැනුමයි, කුසලතාවයි වර්ධනය වුවහොත් අඩුම වශයෙන් තමන්ගේ නාස්තිකාර වියදම් කපාදමයි. තාත්තා ෙබිබදුකමටත් ,අම්මා දුරාචාරයටත් යොමු වුවහොත් එම ගෙදර යහපත් සබඳතාවයක් ගොඩනැඟිය නොහැකිය.
තාත්තාට පවතින විශාල වගකීමේ භූමිකාව නම්, දරුවා කුඩා කල ආරක්ෂාව සහ පෝෂණය වෙනුවෙන් කැපවීමයි. තාත්තාගේ දෙවන පියවර නම්, දරුවන්ට වයස අවුරුදු පහළොව වන විට තාත්තා දරුවන්ට මඟ පෙන්වන්නෙකු විය යුතු ය. දරුවාට අවුරුදු විස්ස සම්පූර්ණ වන විට තාත්තා දරුවාගේ මිත්‍රයෙකු විය යුතුය. පළමු පියවර දරුවාගේ ආරක්ෂාව සහ පෝෂණයයි. එම කාලය තුළ රළුව, තදට ක්‍රියාත්මක වන තාත්තා දරුවාට අවුරුදු පහළොව වන විට එම රළු බව අතහරිමින් දරුවා සමඟ සුහදව කතාබස් කරමින් දරුවාට මග පෙන්වන්නෙක් විය යුතුය. දරුවා ඉපදී පළමු අවුරුද්දේ සිට අවුරුදු දහහතර දක්වා දමන ලද නීතිරීති අවුරුදු පහළොව සම්පූර්ණ දරුවෙකුට දැමීමට ගියහොත් කවදාවත් එම දරුවා හදාගැනීමට හැකිවන්නේ නැත. එම නිසා තාත්තා බුද්ධිමත්ව පෙන්වන මාර්ගය නිවැරැදි බවට ඒත්තු ගැන්විය යුතු ය. එම විශ්වාසය තාත්තා විසින් දරුවා තුළ වර්ධනය කිරීම අවශ්‍ය වේ.
අවුරුදු විස්ස සම්පූර්ණ දරුවාගේ මිතුරා තාත්තා බවට පත්වීම අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණ විට පිටතින් යහළුවන් සොයා ගැනීමට උත්සාහ කරන දරුවා බොහෝ දුරට විනාශ වී යයි. එම තත්ත්වය වළක්වා ගැනීමට නම්, දරුවා සමඟ මිත්‍රත්වයක් ගොඩනඟා ගත යුතු ය. ගම්වල ජීවත්වන ඇතැම් පියවරුන් පවුලේ වගකීම මගහරින අවස්ථාවන් නැතිවා නොවේ. තාත්තා පවුල ඇතුළතින් ඈත්වීමත් සමඟ එම ස්වභාවය වෙනස් වී යයි. තාත්තාගේ මුහුණ මඟහැර යන ප්‍රමාණය වැඩිවන තරමට දරුවා වැරැදි වැඩවලට පෙළඹෙණ ප්‍රමාණයද වැඩිය.

ඉතාම නරක හැසිරීම්වලට සූදානම් වෙයි. පවුලක් ලෙස ඉහළට යාමට නම්, ශ්‍රද්ධාවත් , ශීලයත් ඇති කර ගත යුතුය. එම තත්ත්වය තුළ දෙමව්පියන් හා දරුවන් අතර නියම සම්බන්ධතාවය ගොඩනැඟෙයි. එබඳු සිල්වන්ත පරිසරයක් මත පදනම් වන විට බිරිඳ සහ ස්වාමියා අතරද ඉතාම ශ්‍රේෂ්ඨ ගෞරවනීය බැඳිමක් ඔවුනොවුන් තුළ පැන නැඟීමට අවශ්‍ය පදනම ගොඩනැඟෙයි.

හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත 
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරී 
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍උඳුවප් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 10 වන ඉරිදාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment