බිහිසුණු සාහසිකයෙක් පිළිබඳ පුවත ගංවතුරක් සේ පැතිර යමින් තිබිණ. ගම් දනව් දනන් ලොමු දැහැ ගන්වමින් සිටි ඒ අඟුල්මල් නම් සැහැසියාගෙන් තමන් මුදවා ගන්නා ලෙස කොසොල් රජ මැඳුර අබියසට රැස් වූ දනෝ කියා සිටින්නට වූහ.
භාර්ග නම් පුරෝහිතයාගේ සහ මන්තානී නම් බැමිණියගේ පුත් අහිංසක නම් විය. ඔහු නිසි වයසට පැමිණි කල්හි ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම සඳහා තක්සලා නුවරට පිටත් කර හැරියේ ය. අහිංසක ගුරුසිත නොරිදවා උගත යුතු ශිල්ප ශාස්ත්‍ර මනා සේ උගත්තේ ය. මෙය නොරිස්සූ තක්ශිලාවේ අනිත් සිසුහු අහිංසකට විරුද්ධව කේළාම් කියා ඇදුරු සිත බිඳවූහ. අහිංසක, දිසාපාමොක් ඇදුරුතුමාගේ බිරිඳ සමඟ සසඟ ඇත්තේ යැයි ඇදුරුතුමාගේ කන වැටිණ. දිසාපාමොක්ගේ සිත වූ වෛරය අළුයට ඇති ගිනි පුළිඟු මෙන් බුර බුරා නැඟෙන්නට විය.
“අහිංසක ඔබ උගත් ශිල්පයට උපචාර දැක්වීමට නම් මිනිසුන් දහසක් මැරිය යුතු ය. එවිට ශිල්පයට උපචාර කළා වෙයි.” ඇදුරු කීවේ ය. ‘ගුරු සිත නොරිදූ අහිංසක ආචාර්යවරයාට වැඳ නමස්කාර කර වනයට නික්මිය.
බිහිසුණු සාහසිකයෙක් පිළිබඳ පුවත ගංවතුරක් සේ පැතිර යමින් තිබිණ.
ගම් දනව් දනන් ලොමු දැහැ ගන්වමින් සිටි ඒ අඟුල්මල් නම් සැහැසියාගෙන් තමන් මුදවා ගන්නා ලෙස කොසොල් රජ මැඳුර අබියසට රැස් වූ දනෝ කියා සිටින්නට වූහ.
අනතුරුව, සෙන්පති පැමිණ ජනයාට මෙසේ කීවේ ය.
“වැසියනි, රාජ අණ පරිදි මම දැන්ම ඒ චාලනී වනයට අසුන් සහිත සේනාවක් ම පිටත්කර යවන්නෙමි. දින දෙකක් ඇතුළත ඒකාන්තයෙන් ම ඒ සාහසිකයා ද ඔහුගේ දුෂ්ට ක්‍රියා ද අවසන් වනු ඇත.”
එමඟ දෙපස කිසිදු මිනිසෙක් හෝ ගැහැනියෙක් එළිමහනක නොවූහ. බුදුන් වහන්සේ ද සන්සුන් ව ඒ මඟ ඔස්සේ වඩිමින් සිටියහ.
එවේලෙහි අංගුලිමාල ඒ මාවත ඔස්සේ ම පෙරට එමින් සිටියේ ය. හේ එක්වරම සන්සුන්ව වඩිනා බුදුන් වහන්සේ දෙස බලා සිටියේ ය.
“මේ ශ්‍රමණයෝ ඒකාන්තයෙන් ම මා පිළිබඳ තතු නොදනිති. ඔහුගේ මුහුණ කාන්තිමත් ය. පි‍්‍රය වඩන සුළු ය. මෙවන් ප්‍රසන්න ශ්‍රමණයකු වැනසීම මට තරම් නොවේ. එහෙයින් හඬ නඟා ඔහු බිය ගන්වා එළවා දමමි.”
අංගුලිමාල එසේ සිතමින් ම සිය සුපුරුදු භීෂණයේ රාවයෙන් වනගැබ සෙලවී ය. බුදුන් වහන්සේ ඒ හඬ නෑසුණාක් මෙන් ඔහු අභිමුවට වඩින අයුරු දුටු අංගුලිමාල විස්මිතව මෙසේ කීහ.
“එම්බා ශ්‍රමණය, මම නුඹට අභයදීමට සිතා පහසුවෙන් ම නුඹ මැරීමට තිබුණු අවස්ථාව ද අත්හලෙමි. එහෙත් නුඹ අහංකාර ශ්‍රමණයකු සේ මට හැඟෙයි. මම ඒ අහංකාර මානය බිඳ හෙලමි."
අංගුලිමාල එසේ වහසිබස් දොඩමින් අසිපත ද ඔසවා මාරාවේශයෙන් මෙන් දිව එන්නට විය. එහෙත් ඔහුට කෙසේවත් බුදුන්වහන්සේ සමීපයට ළංවිය නොහැකි විය.
“මේ කිමෙක්ද? මම මේසා වේගයකින් හඹා එන්නේ වුව ද මේ පියවි ගමනින් යන ශ්‍රමණයන්ට ළංවිය නොහැකි වෙමි.”
අංගුලිමාල මෙසේ කියන්ට විය.
“නවතිනුව, මම අද ඔබගේ බල සිඳලමි. අංගුලිමාලගේ විලාසය කෙබඳුදැයි දැන ගන්නට සලස්වමි.”
බුදුහු සන්සුන්ව මෙසේ වදාළහ.
“මම නතර වී සිටින්නෙමි. තවමත් දුවන්නේ ඔබ ය. ඔබ ද නතර විය යුතු ය. ඔබ කෙබඳු ජව සම්පන්නයකු වු ව ද මා අසලට වත් ළංවිය නොහැකි බව ද දැනගනු යෙහෙකි.”
අංගුලිමාල මහත් වෙර යොදා උඩට එසවුණු අත පහත හෙලීමට වෑයම් කළ ද එය අසීරු විය. දහදියෙන් ගතම වැසී යයි. සිය සිත සන්සුන් කර ගැනීමට ඔහුට වුවමනා විය.
බුදුන් වහන්සේ ඔහු දෙස මොහොතක් බලාසිට යළි මෙසේ වදාළහ.
“අංගුලිමාලය, ඔබට අවශ්‍ය නම් නැවතීමට බාධාවක් නැත. එහෙත් ඒ ස්ථිරවම නතර වන්නේ නම් පමණි.”
සුරත වූ අසිපත නොදැනීම ගිලිහිණි. දෙදණ බිම වැදිණි. දෙඅත් එක්ව බුදුන් වහන්සේ දෙසට යොමුවිණි. දෙනෙත්වලට කඳුළු පිරිණි. ඔහුගේ මතකය අලුත් විය. දිසාපාමොක් ඇදුරුතුමන්ගේ පි‍්‍රයතම සිසු ලෙස ආදරයට පාත්‍ර වූ තමන් මෙබඳු සාහසිකයකු වූයේ කෙසේ දැයි සිතන්නට ද විය. කිසිවක් නිරවුල්ව සිතා ගැනීමට අසමත් වූ හේ බිම පෙරළෙමින් හඬන්නට ද විය.
බුදුන් වහන්සේ ඔහුට කාරුණිකව මෙසේ වදාළහ.
“අහිංසක..... මම නුඹ කෙරෙහි උපන් කරුණාවෙන් ම මෙහි පැමිණි, සම්මා සම්බුදු වන්නෙමි.”
“මම නුඹට පිහිට වන්නෙමි. නුඹ විසින් කරන ලද ප්‍රාණඝාතය යළි නිවැරදි කළ නොහැකි බව සැබෑ ය. එහෙත් බුද්ධියෙන් ද සිහියෙන් ද ඒ දෙස බලා සත්‍යයේ එළිය ද, විමුක්තියේ සිසිල ද ලබාගැනීමට තවමත් ඔබට හැකි ය. ජීවිතය යනු විනාශ වූ කල ලබා දිය නොහැක්කක් බව නුඹට දැන් පසක් විය යුතු ය. එහෙත් පසු තැවීමෙන් ම එයට වන්දි ගෙවිය නොහැක. ඒ සඳහා අධිෂ්ඨානශීලීව ජීවිතයට මුහුණ දිය යුතු ය. වෛරය අත්හැර දයාවෙන් ද, මෛත්‍රියෙන් ද යුතු අලුත් ජීවිතයක් ඇරඹීමට මම නුඹට උපකාර වන්නෙමි.”
අංගුලිමාල සිය උරයෙහි රැඳි ඇඟිලිමාලය ගලවා වන ගැබට විසි කළේ ය. පසඟ පිහිටුවා බුදුන් වහන්සේට නමස්කාර කළේ ය. බුදුහු හෙතෙම පන්සිල්හි පිහිටුවා ආපසු ඔහු සමඟ ජේතවනාරාමය බලා වඩින්නට වූහ.
මේ අතර තමන් වහන්සේ වඩිනා මඟ දෙසට එන කිසියම් කාන්තාවක් දුටු බුදුන් වහන්සේ එහි නතර වූ සේක. අංගුලමාල ද බුදුන් වහන්සේ අනුවම නතර විය. ඇය බෙහෙවින් විඩාබර විලාසයක් පෑවා ය. ඇගේ දෙපා රත් පැහැවී ඉදිමී තිබිණි.
“මම මගේ පුතු සොයමින් මේ වන අරණේ සරන්නෙමි. ඒ මගේ එකම පුතු ය. නොමද ගුරු බැතියෙන් යුතු ඔහු ගුරුන් කෙරෙහි බිඳවනු ලැබිණි. හේ ගුරු පූජාවක් සඳහා ඇඟිලි සොයමින් වන ගතවිය. දැන් අවිගත් සෙබලෝ ඔහු සොයා මේ අරණ පීරති. ඔහුට විපතක් වනු මට දරාගත නොහැකි ය. මෙතෙක් ඔහු නෙත නොගැටුණි. ඔබ ඉතා උතුම් කෙනෙක් සේ මට හැඟෙයි. නොමග ගිය මපුතු මට සොයා ගන්නට පිහිටවනු මැනවි.”
බුදු රජාණන් වහන්සේ මෙසේ වදාළහ.
“මෑණියනි දැන් සියලු විපත් මඟහැරී ගොසින් ය. ඔබ මෙන් ම ඔබගේ පුතු ද භාග්‍යවන්තයහ. නොමඟ ගිය හේ දැන් සුමඟට වැටී සිටින්නෙහි ය. මම ඔහුට පරම ශාන්තිය ලබා දෙන්නෙමි.”
බුද්ධ යන වදන ඇසෙත් ම ඇගේ ළසෝ ගිනි නිවී යන අයුරු ඇයට දැනුණි. ඕ දොහොත් නගා බුදුන්ට යළි නමස්කාර කළා ය. පසුව ඇය ද සිය පුතු සමග බුදුන් වහන්සේ පසු පසම ඇදුණා ය.
අහිංසක භාග්‍යවතුන් වහන්සේ වෙත අවුත් වැඳ පැවිදි කරන සේ අයැදී ය. භාග්‍යවතුන් වහන්සේද ඔහු ඒහි භික්ෂු ප්‍රවෘජ්‍යායෙන් පැවිදි කොට, ඔහු හා ජේතවනාරාමයට වැඩි සේක. කොසොල් රජ ද සොරා අල්ලනු පිණිස සෙනඟ ගෙන නික්ම යනුයේ ජේතවනාරාමයට ගියේ ය. භාග්‍යවතුන් වහන්සේ ඔහු යන ගමනේ තොරතුරු විචාළ සේක. අංගුලිමාල සොරහු අල්ලා ගෙනෙන්නට යන බව රජ කීය.
“අංගුලිමාල පැවිදි ව මැනවින් මහණ දම් රකින්නා දුටුවොත් කුමක් කරවු දැයි” භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක. තමා හැම අතින් ම සත්කාර ගරුකාර කරන බව රජ කීය.
එ වේලෙහි අංගුලිමාල හිමියෝ සමීපයෙහි උන්හ. භාග්‍යවතුන් වහන්සේ දකුණත ඔසවා මහරජ, මේ අංගුලිමාලයෝ යැයි එ හිමියන් පෙන් වූ සේක. රජ ඒ හිමියනට සිවු පසයෙන් උවටැන් කරන කැපකරු දායකයෙක් විය.
අංගුලිමාල හාමුදුරුවෝ ද භාග්‍යවතුන් වහන්සේ වෙතින් භාවනා ඉගෙන මහණ දම් පුරා නො බෝ කලෙකින් රහත් වූහ. ඉන් පසු බුදුසස්නෙහි ඉර සඳ සේ ප්‍රකට වූ, මහානුභාව සම්පන්න මහ සවු කෙනෙක් වූහ. පාප මිත්‍ර ඇසුර නිසා මුල දී පව් ගොඩක් ව සිට පසු ව භාග්‍යවතුන් වහන්සේ ඇසුර ලැබ පින් පිඬක් බවට පැමිණි අංගුලිමාල මහ රහතන් වහන්සේට වඳිමු. පුදමු.
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 26 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment