බුද්ධෝහං බෝධයිස්සාමි
මුත්තෝහං මෝචයේ පරෙ
තිණ්ණෝහං තාරයිස්සාමි
සංසාරෝඝා මහබ්භයා
මුත්තෝහං මෝචයේ පරෙ
තිණ්ණෝහං තාරයිස්සාමි
සංසාරෝඝා මහබ්භයා
සම්මා සම්බුද්ධත්වය ලබා සියලු සත්ත්වයන්ට ද ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවමි. මේ භයානක වූ සසර ගමනෙන් අත්මිදෙමි. මේ සසර නම් වූ ඝෝර සාගරය තරණය කරමි. ඒ මහා බෝධිසත්වයන් වහන්සේගේ අධිෂ්ඨානයයි.
තථාගත බුදුරජාණන් වහන්සේ නමකගේ සම්මා සම්බුද්ධත්වය පිණිස ගමන ආරම්භ වන්නේ උන්වහන්සේගේ මනසින් කරන
අධිෂ්ඨානය, ප්‍රාර්ථනාව හා සමගිනි. තම සිතින් උන්වහන්සේ මේ පාරමී මඟ අනුගමනය කරන්නට අධිෂ්ඨානය කරති.
බෝධිසත්වයන් වහන්සේ නමක් නුවණින් දකින්නේ සියලු සත්ත්වයන් මේ සසරෙහි ඉපැදෙමින් මරණයට පත්වෙමින් මහා දුක් කන්දරාවක ගැලී පැටලී සිටින බවයි. මේ සියලු සත්ත්වයන් නරක, තිරිසන්, ප්‍රේත, අසුර නම් වූ සතර අපායේ ඉපදී වඩාත් ම දුක් විඳින බව බෝධිසත්ව උතුමන් වහන්සේ තම නුවණින් දකිති.
මේ අනුව තමන්ට මුණගැසෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් අභියස, ප්‍රාර්ථනාවක් සිදු කරන්නේ තමන් ද මේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෙසින් ම අනාගතයේ දවසක ඒ උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ ඇති කරගෙන, අනිකුත් සත්ත්වයන්ට ද සසර තරණය කිරීම පිණිස දුකින් මිදීම පිණිස චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කොට අවබෝධය පිණිස මඟ සලසා දෙන බවටයි.
අපගේ ගෞතම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ද සුමේධ තාපසව එදා දීපංකර පාද මූලයේ දී ඇති කර ගත්තා වූ අධිෂ්ඨානයත් එයම යි.
අප ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගේ මහා කරුණා ගුණය සිහිපත් කරන විට මුලින් ම සිහිපත් වන්නේ පළමු නියත විවරණය ලබන්නටත් මත්තෙන් අම්මාගෙන් ලද නියත විවරණයයි. එනම් නැව් නැගි පුතා අම්මා ද, බොහෝ පිරිස් සමඟින් එතරට යන්නට වූ අවස්ථාවේ කුණාටුවකට හසු ව නැව මහ සාගරයේ දී අනතුරකට පත්වන්නේ ය. මුහුදු බත්වෙන නැවෙහි සිටි සියලු දෙනා විපතට පත්වෙන මොහොතේ, ඔවුනොවුන් විසින් තම තමන්ගේ ජීවිත කෙරෙහි පවතින්නා වූ ආශාව නිසා ජීවිත තෘෂ්ණාවෙන් දිවි බේරා ගැනීමට උත්සාහ කරන ලදී. මේ පුතා තම මව් උරමත, නංවාගෙන දින හතක් පුරා මෙගොඩට පීනා ආ බව අතීත ධර්ම කතාවෙහි සඳහන් වේ.
මහත් සේ වෙහෙස දරමින් තම අම්මා හා සමඟින් මුහුදු වෙරළට පිහිනාගෙන පැමිණි පුතාට අම්මාගෙන් ලැබුණු ආශිර්වාදය වූයේ “පුතේ බුදුවෙන්න” කියන අදහසයි. මේ අතීත කතාව අප සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ මහා කරුණා ගුණයේ පළමු ප්‍රතිමූර්තිය යි.
දීර්ඝ සංසාර ගමනේ සියලු සත්ත්වයන් මෙන් ම අප්‍රමාණව දුක්විඳිමින් මහා බෝධිසත්ව ගුණයෙන් යුක්තව දස පාරමී ධර්ම සම්පූර්ණ කොට පැමිණ මේ මහා භද්‍ර කල්පයෙහි ගෞතම නමින් සම්මා සම්බුදු රජාණන් වහන්සේ බවට පත්විය. එම ජීවිතයේ පළමු අවස්ථාව අප හඳුනා ගන්නේ සුදොවුන් රජතුමාට දාව මහාමායා දේවියගේ කුසෙන් බිහි වූ සිද්ධාර්ථ කුමාර චරිතය ලෙසටයි. සිද්ධාර්ථ කුමාර චරිතයේ දී සම්මා සම්බුද්ධත්වයට පත්වන උතුමකුගේ ගුණාංග කුඩා කල සිට ම පෙන්නුම් කළ සේක.
සියලු සත්ත්වයෝ ම දඬුවමට, මරණයට බිය වෙති. සියලු සත්ත්වයෝ ම තම ජීවිතවලට ආදරය කරන බවත් ප්‍රිය කරන බවත් මේ නිසා තමා තමාට උපමා කරගෙන සියලු සත්ත්වයන්ට නිදහසේ ජීවත් වෙන්නට ඉඩදිය යුතු බවත් අභය දානය දිය යුතු බවත් සම්මා සම්බුද්ධත්වය ලබා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පෙළ සිද්ධාර්ථ කුමාර චරිතයෙන් ම දකින්නට ලැබුණි. සිද්ධාර්ථ කුමාරයා ගෘහස්ථ ජීවිතය ගත කල අවසන් කාලයේ සතර පෙර නිමිති දැකීම නම් වූ ඒ සිදුවීම මහා කරුණාගුණය ලෝකයට ම මතුකොට දෙසන්නත්, චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලැබීම පිණිස ගමන ආරම්භ කරන්නටත් කාලයක් සකස් වූ සංසිද්ධීන් බව පැහැදිලි කරගත හැකියි. තවුස් ජීවිතයට පත් වූ එතුමෝ ආලාරකාලාම, උද්දකරාමපුත්ත, වැනි ගුරුවරුන් සොයා ගොස් ලෞකික වශයෙන් ලැබිය හැකි ඒ සමාපත්තීන් ද ලබා එය තමන් වහන්සේ සොයන මහා කරුණාවෙන් යුතුව අවබෝධ කරගත යුතු චතුරාර්ය සත්‍යයට මඟ නොවන බව දැන ගත්හ. ‘කිං සච්ඡ ගවේසි’ සත්‍ය නම් කුමක් ද? ‘කිං කුසල ගවේසි’ කුසලය කුමක් දැයි සොයමින් මහා කරුණාවෙන් ම උන්වහන්සේ ගේ මඟ ආරම්භ කළ සේක. මෙසේ සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියාවේ යෙදුණේ සියලු සත්ත්වයන් කෙරෙහි වූ මහා කරුණාවෙනි.
අප මහා බෝධිසත්වයන් වහන්සේ චතුරාර්ය්‍ය සත්‍ය ධර්ම අවබෝධයෙන් යුතුව සම්බුද්ධත්වයට පත් වූ සේක. සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව දවසකට පැය දෙකක් පමණ කාලයක් උන්වහන්සේ කායික විවේකයක් ලැබූහ. අන් සියලු අවස්ථාවන් හි දෙවියන්, බඹුන්, මනුෂ්‍යයන්, තිරිසන් සත්ත්වයන් ද ඇතුළු සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් උන්වහන්සේ පරමාර්ථ ධර්මය ම මුල්කොටගෙන ශ්‍රී සද්ධර්මය දේශනා කළ සේක.
ගිහි කල එකම පුතු පුංචි රාහුල කුමරුන්ට මෙන් ම සම්මා සම්බුද්ධත්වය ලැබීමෙන් අනතුරුව සුනීත, සෝපාක, කිසාගෝතමී, පටාචාරා, රජ්ජුමාලා වැනි හැඬූ වැළපුණු හදවත් ඇති, අසරණ වූ, ලෞකික ව අප්‍රමාණ දුකට පත් වූ සියලු දෙනාට ම එක හා සමානව කරුණාවෙන් ම පිහිට වූ සේක. මෙසේ සියලු සත්ත්වයන් කෙරෙහි මහා කරුණාවෙන් පිහිට වූයේ මේ සියලු සංඛත, සංඛාර වස්තු හෙවත් පඨවි ආදී ධාතූන්ගෙන් හටගත් පණ ඇති, පණ නැති සියලු වස්තූන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ ත්‍රිලක්ෂණයට යටත් බව අවබෝධ කර ගනිමිනි.
අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන්ට පමණක් නොව තමන් වහන්සේට නින්දා කළ ආලවක වැනි යක්ෂයටන්ටත්, නාලාගිරි වැනි හස්තිරාජයන්ටත්, නන්දෝපනන්ද නාග රාජ දමනයේ දී ත් පැතිර වූයේ සම සිතයි. මහා කරුණාවයි. එපමණක් නොව සංසාර ගමනේ පටන් කරදර කරමින් පැමිණි දෙව්දත් කෙරෙහි ද පැවැත් වුයේ එක හා සමානව ම මහා කරුණා ගුණයයි. ගිහි කල පුංචි රාහුල කෙරෙහි පැවැති කරුණා ගුණයේත්, සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් අනතුරුව භික්ෂු, භික්ෂුණි, උපාසක, උපාසිකා නම් වූ සිව් පිරිසට ම පැවැත් වූයේත් මහා කරුණා ගුණයයි.
තමන් වහන්සේට බැන වැදුණු මාගන්ධියා, චිංචිමානවිකාව, සුප්‍රබුද්ධ රජු, වැනි හැම අයෙක් කෙරෙහි පැවැත් වූයේ එක හා සමාන කරුණා ගුණයක්මයි. තමන් වහන්සේගේ ශාසනයේ වැඩ සිටි සාති වැනි භික්ෂූන්ගේ අධර්මවාදී අදහස් ප්‍රකාශ කිරීමේ දී ත් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සද්ධර්මය කියා දුන්නේ සියලු සත්ත්වයන් කෙරෙහි ඇති කළා වූ මහා කරුණා ගුණයෙන් යුක්තවයි. තමන් වහන්සේට දානයකට ආරාධනා කොට ‘මුඩු මහණ වසලය, ශ්‍රමණය යැයි බැන වඳිද්දී මහා කරුණා ගුණයෙන් යුතුව තම සිතෙහි කිසිදු වෙනසක් නොමැතිව එනම් ද්වේෂයකට අවස්ථාවක් සලසන්නේ නැති බව පෙන්වා වදාළහ. එනම් වෙනස් නොවන මහා කරුණාගුණයෙන් යුතුව එම බ්‍රාහ්මණයා ධර්මය වෙතට යොමු කොට සැනසිල්ලේ මඟ පෙන්වා වදාළහ.
තථාගත බුදුරජාණන් වහන්සේ පළමුවරට විනය නීතිය පනවන්නේ සුගින්න භික්ෂුවගෙන් සිදු වූ පළමු වැනි වැරැද්ද හේතුකොටගෙනයි. ඒ අවස්ථාවේ දී තථාගත බුදුරජාණන් වහන්සේ ඒ වරදෙහි ඇති ආදීනවය පෙන්වා දී එනම් කාමයන්හි ඇති භයානක බව නුවණින් පෙන්වා දී සම්බුද්ධ ශාසනය කෙරෙහි මහත් වූ කරුණාවෙන් විනය නීති අනු දැන වදාළ සේක. පළවෙනි විනය නීතිය නම් වූ පළමු පාරාජිකා ශික්ෂා පදය පනවන්නේ සම්මා සම්බුද්ධත්වය ලබා අවුරුදු විස්සකට පමණ පසුවයි. අවුරුදු විස්සක් ම පමණ කාලයක් තථාගත බුදුරජාණන් වහන්සේ සිදු කරනු ලැබූයේ මහා කරුණාවෙන් ඕවාදපාතිමෝක්ෂය හෙවත් අවවාද කිරීමෙන් භික්ෂු සංඝයාගේ සිත් සුවපත් කරමින් ධර්මය දේශනා කිරීමයි.
සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ ඒ මහා කරුණා ගුණය ඔබට වැටහෙන ආකාරයෙන් සඳහන් කළොත්, කෝටියක් මව්වරුන්ගේ, කෝටියක් පියවරුන්ගේ ඒ සත්පුරුෂ ඉතා ම ගුණවන්ත වූ ඒ මව්පියන්ගේ කරුණාගුණය එක පිඬක් කළ ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ කරුණා ගුණයට මහා කරුණා ගුණයට උපමා කළ නොහැකි බව පැහැදිලියි.
“පරිපක්කෝ වයෝ මය්හං
පරිත්තං මම ජීවිතං
පහාය වො ගමිස්සාමි
කතං මෙ සරණ මත්තනා”
පරිත්තං මම ජීවිතං
පහාය වො ගමිස්සාමි
කතං මෙ සරණ මත්තනා”
“තව ටික දිනකින් මම නුඹලා අතහැර යන්නට යනවා. මම හොඳට ම දිරාගෙන ගිහිල්ලා. මම මට පිහිටක්, සරණක් කර ගත්තා වූ මම දේශනා කළ මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කොටගෙන නුඹලා ද නුඹලාට පිහිටක්, සරණක් කොට ගන්න. අවසාන මොහොතේ දී ත් නුඹලාට යම් වූ ද සැකයක්, ප්‍රශ්නයක් තිබේ නම් අසන්න” යැයි ද උන්වහන්සේ දේශනා කළ සේක. ගස් මුල් තිබෙනවා. සේනාසන තියෙනවා. හුදකලා වෙන්න. භාවනා කරන්න. ධර්ම අවබෝධයට එන්න. යම් වූ ද ශාස්තෘවරයෙක් විසින් යමක් කළ යුතු ව තිබේ ද ඒ සියල්ල මා නුඹලාට මහා කරුණාවෙන් ම ඉටු කළ බව භාග්‍යවතුන් වහන්සේ අවසානයේ දේශනා කළ සේක.
අවසන් බුද්ධ වචනය වූයේ “වය ධම්මා සංඛාරා - අප්පමාදේත සම්පාදේත” සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි. අප්‍රමාදීව කුසල් රැස් කරන්න. ඒ මහා කාරුණිකයාණන් වහන්සේ ගේ මහා කරුණාවෙන් ම පැවසූ අවසන් වදන් පෙළයි.
බත්තරමුල්ල සිරි සුදස්සනාරාම
සදහම් සෙනසුනෙහි
ප්‍රධාන අනුශාසක
ආචාර්ය
මිරිස්සේ ධම්මික හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 03 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment