"
අකුසල කර්ම විපාකය පළ දීමේ දී ගොනා පසු පස කරත්ත රෝදය යන්නා සේ තමන් කළ අකුසල කර්මය පැමිණ තමා පීඩාවට පත් කරනවා. ඒ වගේ ම පැහැදුණු සිතින් යමක් කරයි ද, කියයි ද ඒ සැප කර්මය තමා පසුපස එන සෙවණැල්ල සේ පැමිණ උදව් කරනවා. හොඳ හෝ නරක කර්මයක් යම් කෙනෙක් කළේ නම් එය විපාක නොදී අවසන් වීමක් නැති බව තථාගත දේශනාව යි."
කර්මය පිළිබඳ ව බුදුරජාණන් වහන්සේට තිබුණේ විස්මිත වූ අවබෝධයක්. ඒ අවබෝධය මේ ලෝකයේ වෙන කාටවත් තිබුණේ නැහැ. කර්මය යනු චේතනාත්මක ව කයින්, වචනයෙන්, මනසින් කරන ක්‍රියාවන්. ඒ කර්මයන්ගේ විපාක දෙන ස්වභාවය සාමාන්‍ය මනසට අචින්ත්‍ය වූ, සිතන්නට අසීරු වූ විෂයක් ලෙසයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. කර්මය ක්‍රියාව ලෙසත් හඳුන්වනවා. කර්මය හොඳ සහ නරක ලෙස කොටස් දෙකකට බෙදෙන අතර, පුහුදුන් සිතට එය විෂයය නොවන දෙයක්.
මේ ලෝකයේ පුහුදුන් පුද්ගලයාට සිතා අවසන් කළ නොහැකි විෂයයන් හතරක් තිබෙනවා. සත්ත්ව විෂයය, විශ්ව විෂයය, බුදුරජාණන් වහන්සේගේ ඤාණය පිළිබදව විෂයය සහ කර්ම විෂයය පිළිබඳව යි. මේ විෂයයන් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකට හැර වෙනත් කෙනෙකුට පැහැදිලි කරගත නො හැකි බව ධර්මයේ සඳහන් වෙනවා.
කර්මය සුගති කර්ම සහ දුගති කර්ම ලෙස ද කොටස් දෙකකට බෙදෙනවා. එය සිතින්, කයින්, වචනයෙන් සිදුවෙනවා. අලෝභ, අද්වේෂ, අමෝහය මුල් කරගෙන කරන දේ පින ලෙසත්, ලෝභය, ද්වේෂය, මෝහය මුල් කරගෙන කරන දේ පව ලෙසත් දක්වා තිබෙනවා. කෙනෙකුට කුසල කර්ම කරන්න ඉතා අමාරුයි. එහෙත් අකුසල කර්ම කරන්න පහසුයි. අකුසල කර්ම විපාකය පළ දීමේ දී ගොනා පසු පස කරත්ත රෝදය යන්නා සේ තමන් කළ අකුසල කර්මය පැමිණ තමා පීඩාවට පත් කරනවා. ඒ වගේ ම පැහැදුණු සිතින් යමක් කරයි ද, කියයි ද ඒ සැප කර්මය තමා පසුපස එන සෙවණැල්ල සේ පැමිණ උදව් කරනවා. හොඳ හෝ නරක කර්මයක් යම් කෙනෙක් කළේ නම් එය විපාක නොවී අවසන් වීමක් නැති බව තථාගත දේශනාව යි. එහෙත් සියල්ලම කර්මයට බාර දී බලා නො සිට, තමන්ගේ ශරීර ශක්තිය, නුවණ, උත්සහාය, අධිෂ්ඨානය, අරමුණට හඹා යාම ආදිය තුළින් කළ අකුසල කර්මය යටපත් කර, ප්‍රබල කුසල කර්ම කිරීම කළයුතු වෙනවා.
බුදුරජාණන් වහන්සේ වරෙක “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” ( මහණෙනි, චේතනාවට මම කර්මය කියා වදාරමි) යැයි දේශනා කොට වදාළා. දස පුණ්‍ය ක්‍රියා, දස කුසල කර්ම, ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා, දස පාරමි ධර්ම, මේ ආදී දේ යහපත් කර්මයන් ය . ඒ වගේ ම පස් පව්, දස අකුසල්, අධර්ම වෙළෙඳාම් අකුසල කර්මයන්ට අයත් වෙනවා.
කුසල, අකුසල කර්ම විපාක දීමේ දී භාග්‍යවතුන් වහන්සේ වදාළා දිට්ඨධම්මවේදනීය කර්ම, උපපජ්ජවේදනීය කර්ම, අපරාපරියවේදනීය කර්ම සහ අහෝසි කර්ම ලෙස. මේ කර්ම මේ ජීවිතයේ දී ම ලැබෙන්න පුළුවන්. නැතිනම් ඊළඟ ජීවිතයේ විපාක ලැබෙනවා. මේ ජීවිතයේ් නැතිනම් ඊළඟ ජීවිතයේ නැතිනම් නිවන් දකිනතුරු රැස්කළ කර්ම විපාකයට මුහුණ දෙන්න සිදුවෙනවා.
එදා බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ පුණ්ණ කියා දාසයෙක් සිටියා. ඔහු බොහෝ ම අසරණ කෙනෙක්. ජීවිකාව අනේපිඬු සිටුතුමාගේ වතුපිටිවල බෝග වගා කිරීම යි. දිනක් ඒ නගරයේ සැණකෙළියක් පැවැත්වුණා. සියලු දෙනා ඒ සැණකෙළිය බැලීමට සූදානම් වුණා. නමුත් පුණ්ණ සිතුවා මම සිටුතුªමාගේ සේවකයෙක්. මගේ ආර්ථිකය දුර්වල යි. සැණකෙළියට යාමට වඩා අද දවසේත් වැඩ කිරීමයි හොඳ. මට අද දිනටත් වැටුපක් ලැබෙනවා. ඒ නිසා මම කුඹුරට යනවා’ යි සිතා එහි ගියා.
එදා සාරිපුත්ත මහරහතන් වහන්සේ නිරෝධසමාපත්තියෙන් නැඟිට, අද කාටද පිහිට විය හැක්කේ කියා විමසා බැලුවා. එදා උන්වහන්සේ දුටුවේ දුකසේ ජීවත්වෙන මේ පුණ්ණ සහ ඔහුගේ බිරිඳ යි. මොහු ඉතා ශ්‍රද්ධාවන්ත යි. එහෙත් දුප්පත්.
පුණ්ණගේ බිරිඳ කුඹුරේ වෙහෙසෙන තම ස්වාමියාට දිවා ආහාරය රැගෙන යාමට පිටත් වුණා. සාරිපුත්ත මහරහතන් වහන්සේ ද එම මාර්ගයට වැඩියා. පුණ්ණගේ බිරිඳ උන්වහන්සේ දුටුවා. “අනේ මට මහා ප්‍රඥාවන්තයාණන් වහන්සේ මුණ ගැසුණා. මගේ අතේ දානය සඳහා පූජා කිරීමට යමක් තිබෙනවා. මේ දෙකම සිදුවන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ නිසා දෙවරක් නොසිතා මම මේ දානය සාරිපුත්තයන් වහන්සේට පූජා කරනවා” කියා සිතා මහත් වූ ශ්‍රද්ධාවෙන් ඒ දානය පූජාකර ගත්තා. ඉන්පසු ඇය නැවත නිවසට ගොස් තිබූ සුණුසහල් වලින් බතක් පිස තම ස්වාමියාට රැගෙන ගියා. ඒ වනවිට මධ්‍යාහ්නය ගෙවෙමින් තිබුණේ. පුණ්ණ කුඹුරේ වැඩ කර ඉතාමත් වෙහෙසට පත්ව කුසගින්නේ තම බිරිඳ ප්‍රමාද ඇයිදැයි සිතමින් නො ඉවසිල්ලෙන් බලා සිටියා. ඇය කුඹුර ආසන්නයට ගොස් හඬනගා
“ස්වාමිනි අද මම මහත් වූ විශාල පිනක් කර ගත්තා. ඔබට ගෙන ආ කෑම මම සාරිපුත්ත මහරහතන් වහන්සේට පූජා කරගෙන අපමණ පිනක් කර ගත්තා. ඔබත් ඒ පින සතුටින් අනුමෝදන් වෙත්වා” යැයි කියා සිටියා. පුණ්ණට එය ඇසුණ විගස මහත් වූ සතුටක් ඉපදුණා.
“අනේ කෙතරම් වූ පිනක් ද එය. අපට බොහෝ කාලයක් හිතසුව පිණිස මේ පින පවතියි, කියා සතුටු වුණා.
පුණ්ණ ආහාර ගෙන වෙහෙස නිවෙන්නට කියා මදක් සැතපුණා. ඔහු පිබිදී බලද්දී මුළු කුඹුර ම රන්වන් පාටින් දිලිසෙනවා. ඔහු හාරා බලද්දී මුළු කුඹුරු යාය ම රන් බවට පත් වෙලා. වහාම රජතුමාට දන්වා සිටියා. රාජපුරුෂයන් ගොස් ඒ කුඹුරේ රත්තරන් කැපුවා. එවිට ඒවා අතුරුදහන් වුණා. රජතුමාට එය සැලකළා. රජතුමා කිව්වා පුණ්ණට ලැබුණ රත්තරන් අපි කපනවා කියා කපන්න කියා. එවිට ඒ සියල්ල කපා ගන්න පුළුවන් වුණා. රජු පුණ්ණට සිටු තනතුරක් දී බෝග සම්පත් ලබා දුන්නා. මේක දිට්ඨධම්මවේදනීය කර්ම විපාකයක්.
ඒ නිසා පින සහ පව හොඳින් හඳුනාගත යුතු වෙනවා. තව කෙනෙක් කරන පිනක් හෑල්ලු කරන්නටත් එපා. ස්වාමින් වහන්සේලාට දොස් කියන්න එපා. මව්පියන්ට නො සළකා ඉන්න එපා. ඒ සියල්ල දිට්ඨධම්මවේදනීය ලෙස අයහපත් කර්ම ලෙස අපට විපාක ගෙන දෙන්න පුළුවන්. ඒ වගේ ම මංමාවත් ඉදිකිරීම, පොදු ළිං පොකුණු ඉදිකිරීම, රෝහල් ඉදිකිරීමත් මහත් සේ පුණ්‍ය ගංගා ගලන පින් වෙනවා. එයත් අපට කිනම් මොහොතක හෝ දිට්ඨධම්මවේදනීය ලෙස විපාක ගෙන දෙන්න පුළුවන්.
ඒ නිසා කිසිවෙකුට හිංසා, පීඩා නොකර කර්මය කර්මඵලය හොඳින් විශ්වාස කරමින් භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය මැනවින් සිහිතබා ගැනීම බෞද්ධ අප නිරන්තරයෙන් කළයුතු වෙනවා. වෛර කරන මිනිසුන් මැද අවෛරීව ජීවත් වීමත්, ක්‍රෝධ කරන මිනිසුන් මැද ක්‍රෝධ නැති සිතින් ජීවත් වීමටත් ඔබට පුළුවන්නම් එය ලාභයක්.
බුදුරජාණන් වහන්සේ වැඩසිටි කාලයේ චිංචිමානවිකාව කියා එක් කාන්තාවක් විසුවා. ‘චිංචි’ කියන්නේ පාලියෙන් සියඹලාවලට යි. මානවිකාව කියන්නේ ගැහැනු ළමයා. මේ සියඹලා විකුණු ගැහැනු ළමයා දිනක් දර මිටියක් බඩේ බැඳගෙන ඇවිත් පිරිස මැද දී භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කළා. ඒ වගේ ම සුන්දරි පරිබ්‍රාජිකාව අරභයා අන්‍ය තීර්ථකයන් භාග්‍යවතුන් වහන්සේට චෝදනා කළා. ඒ අයට දිට්ඨධම්මවේදනීය ලෙස ඒ කර්මය විපාක දුන් අයුරු ධර්මයේ සඳහන් වෙනවා.
ඒ නිසා අපගේ සිත, කය, වචනය යහපත් කර්මවලට යොමු කළ යුතු වෙනවා. සතුටු වෙන දේ කළ යුතු වෙනවා. එවිට මෙලොවත්, පරලොවත් සතුටු විය හැකියි. දාන, සීල,භාවනා ඔබගේ ජීවිතයට එකතු කරගෙන කුසල කර්ම පමණක් කරගෙන ලැබුණා වූ මේ මිනිස් ජීවිතය සාර්ථක කර ගන්නට වාසනාව උදාවේවා.
මීරිගම, හල්පේ ශ්‍රී මුනින්දාරාමාධිපති
ශාස්ත්‍රපති , පණ්ඩිත
ඉඳුරුවේ නාරද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 03 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment