Labels

Thursday, December 14, 2017

සියල්ල කර්මයට බාර දෙනවාද?


ලෝකයේ මෙතෙක් පහළවූ ශාස්තෘවරු අතර බුදුරජාණන් වහන්සේ අසහාය, ශාස්තෘවරයකු වේ. ඒ උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ උතුම් වූ ධර්මය නිසා ය. අවුරුදු දෙදහස් පන්සියයකට අධික කාලයක් පෙර අපර දෙදිග බුද්ධිමත් ජනතාව බුදුරජාණන් වහන්සේට අතිශයින් ගෞරව පුදකරන්නේ, තම සිත් සතන් ප්‍රබෝධමත් කළ හැකි සනාතන ධර්මයක් උන්වහන්සේ වෙතින් දේශිත බැවිනි. චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, කර්මය පිළිබඳ ඉගැන්වීම, පුනර්භවය, වැනි විශිෂ්ට දහම් කොටස්, එදා මෙදා තුර සුවහසක් ජනයාගේ බුද්ධි කලම්බනයට විෂයය වු සුවිශේෂ දහම් කොටස් ලෙස සැලකිය හැකි ය. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ කර්මය පිළිබඳ විශිෂ්ට දේශනාව පොදු ජනතාවට ඉමහත් අස්වැසිල්ලක් ම වූයේ ය.

ආගමික ශාස්තෘවරු අතර අකිරියවාදී ශාස්තෘවරු මිනිසා විසින්, සිදුකරනු ලබන හොඳ – නරක කිසිම ක්‍රියාවක විපාකයක් පිළිනොගනී. ඒ අංශයෙහි ලා සලකන විට බුදුරජාණන් වහන්සේ ක්‍රියාවාදී ශාස්තෘවරයෙකි. මිනිසා විසින් සිදුකරනු ලබන හොඳ – නරක ක්‍රියාවන්ට සමාන විපාකයක් ඇති බව දේශනා කළ උන්වහන්සේ, හොඳ කර්ම නිසා මිනිසා පිරිසුදු වන ආකාරයත්, නරක කර්මතුළින් මිනිසා කෙළෙසීමට පත්වන ආකාරයත් දේශනා කළ සේක. මිනිසා උසස් අයකු හෝ පහත් අයකු වන්නේ තමන් විසින් ම සිදුකරනු ලබන හොඳ නරක ක්‍රියාවන් හේතුකොට ගෙන බව බුද්ධ මතය විය. කර්මය වූකලි සංකීර්ණ ධර්මයකි. ඒ පිළිබඳ සාමාන්‍ය ඤාණයකින් සිතා තීරණ ගැනීම උගහටය. අචින්ත්‍ය (නොසිතිය යුතු) ධර්ම කීපය අතරට කර්මය ද එකතු කොට ඇත.

කර්මය යන්නෙහි සරල අදහස කිරීම යන්නයි. එහෙත් කුසලා කුසලකර්ම පිළිබඳ සාකච්ඡා කරන අවස්ථාවකදී, ඒ අදහසින් පමණක් කිරීම යන්න විවරණය නොවේ. “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” යන බුදු වදනට අනුව සිතින් සිතා කරනු ලබන හොඳ නරක ක්‍රියා කර්ම සංඛ්‍යාවට වැටේ. ඉහත සඳහන් පාලි පාඨයේ ද සරල අදහස එයයි. මහණෙනි! සෑම චේතනාව කර්මය යැයි කියමි. එය සිතින් සිතා, කයෙන්, වචනයෙන් හා මනසින් කරනු ලැබේ. ඒ අනුව හුදු ක්‍රියාවක් පමණක් කර්මයක් නොවන අතර එයට සිත මුල්විය යුතු ය. නිඝණ්ඨ ශ්‍රාවකයෙකු වූ අභය රාජකුමාරයා හා බුදුරජාණන් වහන්සේ අතර වූ සාකච්ඡාවක් පිළිබඳ අවධානය යොමු කිරීමෙන් ද මේ කරුණු තවදුරටත් පැහැදිලි වේ. මෙහි දී බුදුරජාණන් වහන්සේ, අභයරාජගෙන් විමසා සිටියේ නිඝණ්ඨනාථ පුත්ත ශාස්තෘවරයා කුමන කර්මයක් මහා සාවද්‍ය කොට හෙවත් බරපතල ලෙස සඳහන් කරන්නේ ද යන්නයි. එයට පිළිතුරු දුන් අභය රාජ ස්වාමීනි! නිඝණ්ඨනාථපුත්ත තුමා කාය දණ්ඩය මහා සාවද්‍ය කොට දක්වයි. එහි දී අභයරාජ ද පෙරළා බුදුරජාණන් වහන්සේගෙන් ඒ ප්‍රශ්නය ම විමසනු ලබයි. ස්වාමීනි! ඔබ වහන්සේ කුමන කර්මයක් මහා සාවද්‍ය කොට දක්වන්නේ ද යනුවෙනි. එයට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ අභයරාජ, මම මනෝදණ්ඩය මහා සාවද්‍ය කොට දක්වමි. ඉන් පසුව බුදුරජාණන් වහන්සේ, අභයරාජ කුමාරයාට, කායදණ්ඩයට වඩා මනෝදණ්ඩය ම ප්‍රධාන වන ආකාරය, නොයෙක් නිදසුන් මගින් පෙන්වා දෙනු ලබන අතර, අන්තිමේ දී අභය රාජ කුමාරයා මනෝදණ්ඩය ප්‍රධාන වන බව පිළිගනු ලබයි.
ධම්මපදයේ, යමක වග්ගයේ මුල් ගාථා දෙකෙන් ද සෑම ධර්මයකටම සිතමුල් වන බව, දේශනා කොට තිබේ. “මනෝ පුබ්බංගමා ධම්මා, මනොසෙට්ඨා මනෝමයා” යනුවෙන් හැම ධර්මයකට ම සිත මුල් වේ. මනසම ශ්‍රේෂ්ඨකොට, මනසින්ම උපදින බව ඒ දේශනා පාඨයේ සරල අදහසයි. මේ අයුරින් සිත සියලු ක්‍රියාවන්ට මූල බීජය වන හෙයින්, සිතින් සිතා කරනු ලබන ක්‍රියාවන් ම කර්ම සංඛ්‍යාවට වැටේ.
නිඝණ්ඨ නාථ පුත්ත ශාස්තෘවරයා ද ක්‍රියාවාදී ශාස්තෘවරයකු වුවද, එතුමාගේ කර්මය පිළිබඳ ඉගැන්වීම්, කායදණ්ඩය හෙවත් කය මුල්කොට පවතී. එතුමාට අනුව අප විසින් නොසිතා අපේක්ෂා නොකොට කරනු ලබන ක්‍රියාවන් ද කර්ම ගණයට අයත් වේ. වෙනත් ලෙසකින් කිවහොත්, අප සිතාමතා නොකරන සියලුම කර්මවලටද විපාකයක් තිබේ. අප යන එන විට අපේ පයට පෑගීමෙන් කුහුඹු ආදී සතුන් අපමණ සංඛ්‍යාවක් මිය යයි. බුදු දහමට අනුව එය කර්ම සංඛ්‍යාවට නොයන්නේ, එය අප විසින් සිතා, නොකරන ඉබේ සිදුවන ක්‍රියාවක් වන හෙයිනි. එහෙත් නිඝණ්ඨ ධර්මයට අනුව, එය ද අකුසලයකි. සත්ත්ව ඝාතනයකි. කාය දණ්ඩයේ මනෝ දණ්ඩයේ වෙනස ද, මෙයින් පැහැදිලි වේ.
මේ ආකාරයෙන් කර්මය අපගේ ජීවිතවලට බලපාන ප්‍රබල සාධකයක් වුව ද, සියල්ල කර්මයෙන්ම සිදුවේය යනමතයද බුදු දහම ඉවත දමන්නකි. බුදුන් දවස සියල්ල පූර්ව කර්මයෙන් ම සිදුවේය යන පිළිගැනීමක් භාරතයේ පැතිරී තිබුණු බව ද පෙනෙන්නට තිබේ. පුබ්බේකත හේතු වාදය යනුවෙන් හැඳින්වුණු මේ මතවාදය ද බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද්දකි. ලොව යම් යම් දේ සිදුවන ධර්මතා පහක් බුදුදහමේ ඉගැන්වෙන අතර ඒවා පංච නියාම ධර්මය ලෙස ප්‍රසිද්ධ ය. කර්මය එයින් එක් නියාම ධර්මයක් පමණි. උතු නියාම, බීජනියාම, ධම්මනියාම, චිත්තනියාම, ඒ නියාම ධර්ම අතර සෙසු ධර්මවෙති, සෘතු විපර්යාස සිදුවන්නේ උතු නියාමය අනුව ය. ඒ ඒ ගස්වලට අදාළ මල්, කොළ, ඵලාදිය හට ගන්නේ බීජ නියාමය නිසාවෙනි. වයසට පත්වීමේ දී ජරා ලකුණු පහළ වන්නේත්, බුද්ධාදී උතුමන්ට පමණක් සීමා වූ ආශ්චර්යවත් දේ සිදුවන්නේ ධම්ම නියාම බලයෙනි. මිනිසාට ඇතිවන සිතුවිලිත්, ඒ ඒ සිත්වලට අදාළ චෛතසික ආදිය පහළවන්නේ එය චිත්ත නියාමයට යටත් හෙයිනි. ඒ ඒ කර්මයට අදාළ විපාක ගෙනදීමේ ධර්මය කර්ම නියාමය නම් වේ. බොහෝ දෙනෙකු මේ කරුණු නොදැනීම නිසා හෝ වැරදි ලෙස අවබෝධ කර ගැනීම නිසා හෝ සියල්ල කර්මයටම බාර දී බලා සිටීම, කණගාටුවට කරුණකි. බුද්ධිය, වීර්යය උත්සාහය, උපාය කුසලත්වය ඇතැම් කර්ම, වෙනස් කිරීමට තරම් ප්‍රබල කරුණු බව වටහාගෙන ඇත්තේ සමාජයේ අතලොස්සකි.
කර්ම විපාකයකින් බේරී, ඉවත් වී සිටීමට කිසිවෙකුටත් නොහැකි ය. බුදු,පසේබුදු, මහරහත් උතුමන් වහන්සේලාට පවා කර්ම විපාකවලින් ඉවත්විය නොහැකි විය. අහසෙහි හෝ මහමුහුද මැද හෝ පර්වත ගුහාවකට පිවිස හෝ කර්ම විපාක වලින් ගැලවිය නොහැකි බව වදාළ බුදුරජාණන් වහන්සේ කර්ම විපාක වලින් ගැලවිය හැකි ක්ෂේම භූමියක් ලොව නැති බව වදාළ සේක. අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට ද යම් යම් කර්ම නිසා පීඩා විඳින්නට සිදුවු බව අපේ බණ පොත්වල සඳහන්ව තිබේ.
කර්මය , විපාකදීමට ඉදිරිපත්වන ආකාරයට අනුව කොටස් හතරකට බෙදනු ලැබේ. දිට්ඨධම්ම වේදනීය, උපපජ්ජවේදනීය, අපරාපරිය වේදනීය , අහෝසි කම්ම යනුවෙනි. එයින් අපරාපරිය වේදනීය කර්මය සුවිශේෂ කර්මයකි. අපරාපරිය යන්නට,කෝෂ ග්‍රන්ථවල දී ඇත්තේ, “භවයෙන් භවයට නොසිඳී යන “අර්ථයයි . එසේ ගත් කල අපරාපරිය වේදනීය කර්මය යනු භවයෙන්, භවයට පසුපස යමින් විපාක දෙන කර්ම කොටසකි. මීළඟ ආත්ම භාවයෙන් පසුව, ඉදිරියට නිවන් දක්නා ජාති දක්වා සුදුසු අවස්ථාවක් ලැබෙන ඕනෑම අවස්ථාවක දී විපාක දීමට තරම් ශක්තිමත් කර්මය අපරාපරිය වේදනීය කර්ම ලෙස සැලකිය හැකි ය. අභිධර්මයට අනුව චිත්ත වීථියක මැද ජවන් පස ශක්තිමත් ය. එයට හේතුව මුලින් පවතින ජවන්වලින් ආසෙවන ප්‍රත්‍ය ලද බැවිනි. එම ජවන් සිත් පස, කල්ප ගණනක් කල් ගත වුව ද කවදා හෝ ඉඩක් ලැබෙන විටක ප්‍රතිසන්ධි පහක් ජනිත කිරීමට ඒවා සමත්වෙති. අපරාපරිය වේදනීය යනු ඒ ජවන් පසයි. අපගේ ඉපදීම කවදා ආරම්භ වීදැයි කිව නොහැකි නිසා එබඳු කර්ම කිව නොහැකි තරම් ප්‍රමාණයක් අප කාටත් කුසල අකුසල වශයෙන් තිබිය හැකි ය. සසර පැවැත්ම ඇතිතාක් ,අපරාපරිය කර්ම අහෝසි නොවේ.
අප විසින් කරනු ලබන සියලු කර්මවලට, මෙලොවදී විපාක නොලැබේ. කර්මය වනාහි, එය කරන්නා අනුව පසුපස එමින් ඉඩ ලද විටෙක විපාක දෙන්නකි. ධම්මපදයේ දී ‘චක්කංව වහතො පදං” යනුවෙන් කරනු ලබන අකුසල කර්ම ගොනාගේ පයට අනුව කැරකෙන කරත්ත රෝදය මෙන්, පසුපස විත් විපාක දෙන ආකාරයත්, කරනු ලබන කුසල කර්ම “ඡායාව අනපායිනී” තමන් අත් නොහැර යන සෙවැනැල්ල මෙන් පසුපස එන ආකාරයත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි ලෙස වදාළ සේක. දොවාගත් කෙනෙහි ම කිරි නොමිදෙන සේ කර්මය ද කළ මොහොතේ ම විපාක නොදේ. කර්මය පිළිබඳ අවබෝධයක් නැති අය එය වරදවා වටහා ගෙන මිහිරි සේ සලකා පව් කොට, විපාක දෙන කලක දැවේ. තැවේ.


පස්යාල නාබුළුව 
සිරිමංගලාරාමාධිපති 
මිණිඔලුව විද්‍යාවාස පිරිවෙනෙහි අචාර්ය 
පනාවල නාරද හිමි

ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍උඳුවප් අව අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 10 වන ඉරිදාදින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment