ආවේග නම් බියක්, තැතිගැන්මක්, දැඩි කාමාශාවක් වැනි අර්ථ දෙයි. ඒ රාග, ද්වේශ ,මෝහ ආදි සිතිවිලි සිත උපදින මොහොතේ, ඒ සමගම ස්නායුගතව නිෂ්පාදනය වන හෝමෝනයක ක්‍රියාකාරිත්වයක ප්‍රතිඵලයකි. මේ හෝමෝනය සිරුරට ක්ෂණික ශක්තියක් ලබාදෙයි. ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වෙයි. සත්ත්ව ලෝකයේ නම්, එය පාලනයකින් තොරව සිදුවෙයි. බියක් ඇති වූ විට ශරීරයට ශක්තියක් ලැබේ. එවිට වේගයෙන් දුවන්නට හැකිවේ. කුසගින්නක දී අනෙක් අය පෙරළාගෙන හෝ කුස පුරවා ගන්නට ශක්තියක් ලැබේ. උපද්‍රවයක දී සතුරාට පහර දෙන්නට ශක්තිය ලැබේ. මේ නිසා සතුන්ට ආවේගය අත්‍යවශ්‍ය ය. පාලනය කර දිවි පැවැත්ම අසීරු ය.
සත්ත්වයා මනුෂ්‍යයා බවට පරිණාමය වීමේ දී මිනිසා තුළ තවමත් ඉතිරි වී තිබෙන සත්ත්ව ගතිය ආවේගයයි. වරින් වර ඇතැම් පිරිස් වෙතින් එය විවිධ ස්වරූපයෙන් ඉස්මතු වේ. එහෙත් ශිෂ්ඨාචාරවත් මිනිසාට ආවේගය අනවශ්‍ය ය. එය දිවි පැවැත්මට කරදරය. දියුණුවට බාධකයකි. පරිහානියට, විනාශයට හේතුවකි. ජාතිවාදී අරගල ආවේගයේ එක් ප්‍රතිඵලයකි. ආත්මාර්ථකාමී හෝමෝන ඒ ආවේගයට ජීවය දෙයි. ප්‍රතිඵලය මිනිස් සංහාරයක් විය හැකි ය. දේපළ විනාශයක් විය හැකි ය. මේ එක් උදාහරණයක් පමණි. පෞද්ගලිකව තමන්ට, පවුලට, සමාජයට, ගමට,රටට ආදි නොයෙක් තැනට මේ ආවේගය විපතක්, කරදරයක්, ව්‍යසනයක් මිස සාමයක්, සංහිඳීමක් ලබා දෙන්නේ නැත.
ඒ නිසා ආවේග පාලනය කරගත යුතු ය. ඊට බුද්ධිය ඇවැසි ය. මනුෂ්‍යයා තිරිසන් සතුන්ගෙන් වෙසෙසින් වෙනස් වන්නේ ශාරිරික අංග හෝ ක්‍රියාකාරිත්වය අනුව නොවේ.
‘මනස්ස උස්සන්නත්ථා මනුස්සා’
මනසේ උසස් බව නිසා ය. එය ඇති කර ගන්නේ කෙසේ ද? බුදුරජාණන් වහන්සේ එය මනාව පෙන්වා වදාළහ.
කායෙන සංවරො සාධු – සාධු වාචාය සංවරො
මනසා සංවරො සාධු – සාධු සබ්බත්ථ සංවරො
මනසා සංවරො සාධු – සාධු සබ්බත්ථ සංවරො
කය සංවර කරගත යුතු ය. වචනය සංවර කරගත යුතු ය. මේ සියල්ලට මුල්වන සිත සංවර කරගත යුතු ය.
සබ්බත්ථ සංවුතො භික්ඛු -සබ්බ දුක්ඛා පමුච්චති
සෑම අතින් ම ආවේග පාලනය කර ගැනීමෙන්, සංවරය ඇති කරගැනීමෙන් සියලු දුකින් අත්මිදිය හැකි වන්නේ ය. ආවේගය නැතිකර ගැනීමේ ශික්ෂණ ක්‍රම තුනක් උන්වහන්සේ පෙන්වා වදාළහ. ඒ ශීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාව ය.
සීල නම්, හීලෑකම ය. හීලෑකම නැති තැන වනචාරි බව මතුවන්නේ ය. මේ කරුණු වඩාත් වැදගත් තාරුණ්‍යයට ය. ඒ කුමක් නිසා ද? තාරුණ්‍යයේ ශක්තිය වැඩි ය. තාරුණ්‍යයේ නිරෝගි බව වැඩි ය. ආවේග නිසා ශක්තිය ප්‍රශක්තියක් බවට පත්වන්නේ ය. එනම් දෙගුණ තෙගුණ වන්නේ ය. ශාරිරික ශක්තිය වැඩි වූ විට ඒ පුද්ගලයාගෙන් සිදුවන අයහපත වැඩි වීමට පුළුවන. මේ නිසා තාරුණ්‍යයේ දී ආවේග පාලනය අත්‍යවශ්‍ය ය.
එක් තරුණයෙක් ආකර්ශණීය රුවක් දකින්නේ ය. ඒ සමඟ ආවේගයක් පැමිණේ. කුමට ද? රුව අයිතිකරගන්නට ය. ඒ තරුණ සිතේ ඇතිවන හැඟීම විශාරද ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගායනයට මුසු කර ඇත්තේ මෙලෙස ය.
කුමරියක පා සළඹ සැලුණා
වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමරි බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුණා
වසා සිටි නෙතු පියන් ඇරුණා
කුමරි බඹසර අසපුවේ මා
සමවැදී උන් දැහැන් බිඳුණා
රාගය නිසා තරුණ සිතක් ආවේග වන අයුරු, සංයමයෙන් ද, ව්‍යංගාර්ථයෙන් ද මෙහි අපූර්ව ලෙස වදනට හසු කරගෙන ඇත. ආවේගය ඇති වන්නේ කුමරියගේ පා සළඹේ හඬ ඇසෙනවාත් සමඟ ය. ආවේගය පාලනය නොවු තැන තරුණයා සිතින් ඇය සමඟ කාම සංවාදයේ යෙදෙයි. සිතින් ධාරණය කර, එය සිතින් ම විඳියි. මේ ව්‍යාකූල බව මඟ හැරෙන්නේ ද නැත. අවසානයේ සිදුවිය හැකි වන්නේ කුමක් ද? හැඟීම් ප්‍රකෝප වීම ය. සිත මංමුලා වීම ය. එවිට තැන නොතැන නොබලා, සුදුසු නුසුදුසුකම් නොබලා ආවේග ක්‍රියාත්මක කරන්නට යන්නේ ය. එවිට බාල මහලුකම්, ගැලපීම් නොගැලපීම් අමතක වන්නේ ය. හීලෑකම ඇවැසි මෙතැනට ය.
ඉඳුරන්ට වහල්වීම තරුණකමට නිගාවකි. සිතිවිලි ඇතිවු විට එහි වහලෙක් විය යුතු නොවේ. සුදුසු නුසුදුසු බව සිතා පාලනය කරගත යුතු වේ. තාරුණ්‍ය අනුකරණයට බොහෝ පි‍්‍රය ය. ඒත් දකින දේ තෝරා බේරා ගැනීමකින් තොරව ඒ ලෙසම ක්‍රියාත්මක කරන්නට යනවා නම් ඒ පුද්ගලයා ආසන්න වන්නේ මනුෂ්‍යයකුට නොවේ. සතෙකුට ය. සුනඛයකු දෙස බලන්න. අවශ්‍යතාවය දැනුණේ නම් ලස්සනට අතුගා පිරිසුදු කර ඇති මිදුලක වුව ඒ සතා අපවිත්‍ර කරයි. දෙවරක් නොසිතයි.
‘මනුස්ස රූපෙන මෘගඞ චරන්ති” සමාජයේ සමහර පිරිස් ඇඳ පැළඳ ශිෂ්ඨාචාරවත් ලෙස සිටියාට හැසිරීම මෘගයන්ගේ වැනි ය.
කල කෝලාහල, අසමගිය, යුද්ධ විනාශ ඇති වන්නේ මේ මෘග තත්ත්වය නිසා ය. මනුස්සකම තිබෙන්නේ ඊට විරුද්ධ පස ය. යම් සිතිවිල්ලක් උපන් හැටියේ ම මෙය මගේ සෞඛ්‍යයට හොඳද, මගේ කීර්තියට, පවුලේ යසසට, සමාජයේ යහපතට, පරලොව යහපතට හොඳද? යන ප්‍රශ්නවලට සාධාරණ පිළිතුරක් නොලැබෙන්නේ ද ඒවායින් මඟ හැර සිටීම හීලෑකමයි. ආවේගවලට ඉඩ නොතබා වහලෙකු නොවී, වැඩ කටයුතු කරන කෙනා සත්‍ය වශයෙන් ම මෙලොව සතුටු වේ. පරලොව ද සතුටු වේ.
නතං කම්මං කතං සාධු – යං කත්වා නානුතප්පති
යමක් සිදුකොට අවසානයේ සිතට දුකක් එනවා නම්, වේදනාවක්, කම්පාවක්, පශ්චත්තාපයක් දැනෙනවා නම් ඒ දෙය නොකළ යුතු ය. ඒ මොහොතේ සුවයට යහපතට, වින්දනයට වැඩ කිරීම බුද්ධියට නිගාවකි.බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ප්‍රඥාව මුල් කරගත් වීර්ය උපදවාගෙන කටයුතු කරන ලෙස ය. එසේ වූ තරුණ පරපුරක් ඒකාන්තයෙන් ම සෞඛ්‍යයෙන් වැඩි දියුණු වේ. ආචාර සම්පන්න වේ. දීර්ඝායු වේ. පරලොවද සතුටු වේ.
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක
ආචාර්ය
ඕමල්පේ සෝභිත නා හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 03 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment