සසර කතරේ අතරමං වී සිටින අප නිවන් සුවය සාක්ෂාත් කරගැනීම උදෙසා පින්කම් සිදුකළ යුතුය. ඒ සඳහා මනස සකසා ගත යුතුය. සීල, භාවනා දී පින්කම් හි යෙදීමෙන් දානාදී කුසල කර්ම කෙරේ සිත නැඹුරු වේ.
එනිසා ම පරාර්ථ චර්යාව කෙරේ සිත යොමු වේ. පැහැදුණු සිතින් පින්කම් කිරීමෙන් ලැබෙන සතුට සැනසුම ශාන්තිය සුවිසල්ය.මෙලොවින් සමුගන්නා මොහොතේ මෙම පින්කම් සිහියට නැඟේ නම් එය භාග්‍යයකි. ජීවිතයේ කවර හෝ කාලයක දී එසේත් නැතිනම් සැඳෑ සමයේදී කළ හොඳ පින්කම් සිහිපත් කිරීමෙන් සතුටට පත්විය හැකියි. “සංතුට්ඨි පරමං ධනං” ලෙසම පරම ධනය වන සතුට ළඟාකර ගත හැකිය. එනිසා ම චිත්ත ප්‍රබෝධය ද සිදුවීමෙන් මෙලොව වශයෙන් මෙන්ම පරලොව වශයෙන් ද සුඛිත, මුදිත භාවයට පත්වන බැවින් එයම සසර ගමන කෙටිකර ගැනීමට පහසු මඟක් වනු ඇත.
අපේ හාමුදුරුවනේ, කලාතුරකින් ලැබිය හැකි මිනිසත් බවක් ලැබුව අපි උතුම් පින්කම් කටයුතුවල යෙදීමෙන් නැවතත් මිනිසත් බව හෝ උතුම් ආත්ම භවයක් පතන්නෙමු. එහෙයින් දැන අවබෝධයෙන් පින්කම් කිරීම උදෙසා ඒ ඒ පින්කම වෙනුවෙන් ලැබෙන අනුහස් මෙලෙස යැයි වදාරනු මැනවි. පින උසස් පහත් වන්නේ, අඩු වැඩි වන්නේ කරන තැනැත්තාගේ කිරීමේ හොඳ නොහොඳකම් අනුවය. තුනුරුවන් ගැන දැනුමක් නැතිව වැඳුම් පිදුම් කළ යුතු වස්තු, පූජා කළ යුතු වස්තු ගැන, ඒවායේ අනුසස් ගැන හරි දැනුමක් නැතිව ගතානුගතිකව සිදු කළ පමණින්ම උසස් පිනක් රැස් නොවේ. උසස් පිනක් ලැබිය හැකි වන්නේ ඒවා ගැන දැනුම ඇතිව ක්‍රමානුකූලව එය කරන තැනැත්තාටය.
වැඳීමේ අනුසස්
වැඳීමට පිදීමට සුදුසු ගුණයන්ගෙන් යුත් බුද්ධාදී උත්තමයන් වහන්සේලාට වැඳීමෙන් ලැබෙන අනුහස මෙලොව පරලොව දෙකෙහිම ලැබෙන්නේය. තථාගතයන් වහන්සේ සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන්, සෘද්ධි බලයෙන් අග්‍රය. ඒ ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ රූපකාය, ගුණ අරමුණු කොට වන්දනා කරන්නවුන් හට වාතාදී දෝෂයන් කිපී ඇත්නම් ඒවා සන්සිඳේ. ධර්ම, සංඝ රත්න දෙක ද අනන්ත ගුණයෙන් යුක්ත වන බැවින් ඒවා වන්දනා කිරීමෙන් ජීවන ශක්තිය ලැබී අතරමඟකදී මිය නොගොස් නියමිත ආයු කල ජීවත් විය හැකිය. නිතර තෙරුවන් වඳින තැනැත්තා දෙවියෝ රකිති. ග්‍රහ අපල දුරුවේ. මරණින් මතු දෙව් ලොවත් මිනිස් ලොවත් ඉපිද දෙව් මිනිස් සැප ලැබේ. උපනූපන් ජාති අන්‍යයන් විසින් ගරු බුහුමන් දක්වති.
බුද්ධ ප්‍රතිමා කරවීම
ගින්නක් ඇතිවනු සමඟ ම එයින් ආලෝකය විහි දී අවට පැතිරී යයි. සත්ත්වයාගේ හෘදයෙහි සිතක්
ඇතිවනු සමඟ ම ඒ සිතින් ආලෝකය වැනි යමක් පැතිර යයි. ශරීරයෙන් යමක් ක්‍රියාවට නැඟෙන්නේ එලෙසය. එබැවින් කෝපය, භය, ශෝකය යන මේවා ඇති වූ කල්හි ඒ පුද්ගලයාගේ ශරීර වර්ණය වෙනස් වී විරූපී වේ. ප්‍රීතියෙන් සිටින තැනැත්තකු දෙස බැලුවහොත් ඔහුගේ ශරීරය පිනා ගොස් පැහැපත්ව ඇති බව දැකිය හැකිය. තථාගතයන් වහන්සේ ශීල, සමාධි, ප්‍රඥාවෙන් ලෝකාග්‍ර බැවින් උන්වහන්සේගේ රූපකාය සෝමනස්ස සහගතය. එබැවින් බුද්ධාදි ප්‍රතිමා කොට පූජා කිරීමෙන් උපනුපන් ජාති ජාතිත් ආයු, වර්ණ, සැප, බලයම ලැබේ. පිරිවර සම්පත්තියෙන් ද යුක්ත වේ.
මල් පූජාව
මල්, ජනයන්ගේ නෙත් සිත් පිනවන ශෝභාවක් හා සුගන්ධයක් ද ඇත්තා වූ ජනප්‍රිය දෙයකි. එය පිදීමේ පිනෙන් විශේෂයෙන් උපනූපන් ජාතිවලදී රූප ශෝභාව ඇති වේ. ස්ත්‍රියකට නම් පුරුෂයන් වශී වන, උමතු වන රූප ශෝභාවක් ඇති වේ. උපනූපන් තැන බොහෝ දෙනාට ප්‍රිය පුද්ගලයන් වීමට ද මල් පූජාව විශේෂයෙන් හේතුවේ.
පහන් පූජාව
“දීපදෝ හොති චක්ඛුදෝ” පහන් දෙන, පුදන තැනැත්තෝ ඇස් දෙන්නේ වේ යයි තථාගතයන් වහන්සේ වදාළ සේක. ආලෝකය ඉතා ප්‍රයෝජනවත් වටිනා දෙයකි. ඇස් ඇත්තේ ද ආලෝකය නැති තැන අන්ධයෙකි. ඇසින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ආලෝකය ඇති තැනකදි පමණි. එබැවින් ආලෝකය දීම ඇස්දීමක් වැනිය. පහන් පූජාව ප්‍රඥාව ලැබීමේ විශේෂ පින්කමකි. ශරීර කාන්තිය ලැබේ. දිවැස් ලැබීමට ද විශේෂ පිංකමකි.
සුවඳ පූජාව
දුමක් වශයෙන් ද, වතුරක් තෙලක්, කල්කයක්, චූර්ණයක් වශයෙන් ද සුවඳ ඇති ද්‍රව්‍යයන් පූජාව ද සුගන්ධ පූජාවකි. මෙහි ඇති විශේෂ ආනිසංසය වන්නේ උපනූපන් ජාතියේ අන්‍යයන්ට ප්‍රිය පුද්ගලයකු වීමය.
පැන් පිදීම, ළිං පොකුණු කරවීම
ආයුෂයෙන් ද, රූප ශෝභාවෙන් ද, සැපයෙන් ද, පිරිවරින් ද, ආධිපත්‍යයෙන් ද යුක්ත වේ. දෙව්, මිනිස් ලොවම උපදී. අහසෙහි වුව ද කඳු මුදුනකදී වුව ද පැන් වුවමනා වෙතොත් ලැබේ. කිසි විටෙක ශරීරයට උෂ්ණයෙන් පීඩාවක් නොවන්නේය.
ගිලන්පස පූජාව, ඖෂධ පූජාව
අම්බපානාදි අෂ්ටපානත්, ඒවාට සමාන වන දෙහි දොඩම් ආදියෙන් කරන පාන වර්ගත්, වෙඬරු ගිතෙල්, සීනි, සූකිරි, සීනිබෝල, පැණි, හකුරු, තලතෙල් යන මේවාත්, සියලුම බෙහෙත් වර්ගත් ගිලන්පස වශයෙන් පිදිය හැකිය. ආයුෂය, ශරීර ශක්තිය, නුවණ, ශරීරයේ යහපත් පැහැය, පිරිවර සැපය, උපද්‍රව නැති බව, ගොවිතැන් පාළුවීම ආදී ව්‍යසන නොවීම, ගරු බුහුමන් ලැබීම, ප්‍රියයන්ගෙන් වෙන් නොවීම ආදිය ගිලන්පස පිදීමේ ආනිසංසය. ඖෂධ පිදීමෙන් නිරෝගී සම්පත්තියම හිමිවේ.
ආහාර සහ කැඳ පිදීම
ජීවිතය ඉදිරියට පවත්වාගෙන යාමට ආහාරය අවශ්‍යය. එබැවින් ආහාර දීම ජීවිතය හෙවත් ආයුෂය දීමක් වේ. කෙතරම් රූප ශෝභාව ඇති අයකු වුව ආහාර හිඟ වුවහොත් විරූපී වේ. එබැවින් රූප ශෝභාව ඇතිවීමට ද ආහාර පිදීම බලපායි. ආහාර පිදීම සැපය ලැබිමට ද, ප්‍රඥාව ලැබීමට ද හේතුවකි. ආයුෂ, ශරීර වර්ණය, සැපය, ශරීර ශක්තිය, ප්‍රඥාව යන කරුණු පහ සත්ත්වයා හට ඉතා උසස් ලැබීමකි. එබැවින් ඒවා ලැබීමට හේතුවන උසස්ම දානමය පූජාවකි ආහාර පූජාව. කැඳ පූජාවේ බල මහිමය ද නිරෝගී බව, රූප ශෝභාව, ධර්මය තේරුම් ගැනීමේ හැකියාව, ආහාරපාන නොඅඩු වීම හා දිර්ඝායුෂ වීම ලෙස සඳහන් කළ හැකියි.
කොඩි පූජාව
බුද්ධාදි උත්තමයන්ට ගරු කිරීම වශයෙනුත් පූජා වශයෙනුත් මාර්ගවල හා දැගැබ්, මහ බෝ ප්‍රතිමා ගෘහ පිහිටි තැන්වල සැදැහැවතුන් කොඩි එල්ලති. කොඩිය දර්ශනීය ජනප්‍රිය වස්තුවකි. එබැවින් කොඩි පූජාවෙන් ලැබෙන පින උපනූපන් තැන උසස් පුද්ගලයකු වීමටත්, ජනප්‍රිය පුද්ගලයකු විමටත් හේතු වේ.
ශබ්ද පූජාව
බෞද්ධයන් කරන පින්කම්වලින් ශබ්ද පූජාව එකකි. එය මහත් ඵල ගෙනෙන පින්කම්වලට තිබිය යුතුම අංගයක් ලෙස බෞද්ධයෝ සලකති. මෙමඟින් මධුර කටහඬක්, උපනූපන් ජාති අංග විකල නොවීම, දර්ශනීය රූප ශෝභාව, පිරවර සම්පත්තිය මෙන්ම පාලනය, අධිපතීත්වය ලැබීමට හිමි පුණ්‍ය කර්මයකි.
ඇමදීමේ අනුහස්
වන්දනාව සඳහා විහාරයට පැමිණෙන පින්වතුන් ඒ ඒ ස්ථාන අපවිත්‍රව ඇත්නම් එය නොසලකා නොයා යුතුය. මල් අසුන්වල පරමල් ඉවත් කළ යුතුය, විහාර ගෙය, විහාර මිදුල, දැගැබ අවට, බෝධිය අවට ඇමදිය යුතුය. මෙය එතරම් නොසැලකුවත් කාහටත් කිසිදු මිලක් වැය නොකොට කළ හැකි උසස් පින්කමකි. උපදින ජාතියේ අංග ප්‍රත්‍යාංග සම්පූර්ණ වීම, උස මහතින් යුක්ත වීම, දීර්ඝායුෂ වීම, ශරීරය ශක්තිමත් වීම, බෝකල් දුක් විඳින අප්‍රිය ලාදුරු හා නපුරු කුෂ්ඨ රෝග ඇති නොවීම, කබර, අලුහන්, තොල් පැළීම, සම ඉරිතැලීම යන මේ රෝග හට නොගැනීම ඇමදීමේ අනුසස්ය.
අෂ්ඨ ගරු පිංකම්
විහාරස්ථානයට, ආරණ්‍යයට අවශ්‍ය කරන ඉඳල්, කොසු පිරිනැමීම, කැඩුණු බිඳුණු තැන් පිළිසකර කිරීම, මල් ආසන තනාදීම ආදී පුණ්‍යකර්ම මඟින් කල්ප දහස් ගණන් ගෙවී ගිය ද දුගතිගාමී නොවීමට හේතු වේ. උපනූපන් භවයේ පතිරූප දේසවාසය ලැබේ.
චෛත්‍ය, විහාර කරවීම
බුද්ධ ස්තූප කරවීම, එළි පෙහෙළි කිරීමේ ආනිසංස ලෙස කුෂ්ඨ, ගඩු, සුදු කබර, අපස්මාර, අතුල් පතුල් පැලීමේ රෝග, දද, ඇඟ කැසීම යන රෝග කිසික් නොසෑදේ. තමන්ට ප්‍රිය උපදවන දේම ළං වේ. අමනාප අප්‍රිය දෙයින් ඈත් වේ. සිත පිරිසුදු වෙයි. දිව්‍ය මනුෂ්‍ය ආත්මවලම උපත ලබයි. සෑම අයකුටම අලුත් දාගැබක්, ප්‍රතිමා මන්දිර, සංඝාවාස ඉදි කිරීම කළ නොහැකිය. එහෙත් යම් තරමකින් හෝ දායකවීම, ප්‍රතිසංස්කරණය කරවීම සිදු කළ හැකි වේ. එබැවින් එවැනි දේකට දායක වීම උදාර පුණ්‍ය කර්මයකි.
ගස් වැවීම, මං මාවත් කරවීම
යමෙක් ආරාම කරවීම, ගස් වැවීම, මං මාවත් ඉදි කිරීම, එළි පෙහෙළි කිරීමට උදවූ උපකාර කරයි නම් ඒ පුණ්‍ය ශක්තියෙන් නිරෝගී සුවය, දීර්ඝායුෂ ලැබීමට ප්‍රමාණවත්ය. කෙලෙසුන් සමනය වේ. පතිරූප දේස වාසයට හේතු වේ. උදාර පුණ්‍යකර්ම කළා යැයි නිතර දෙවේලේ සතුටු විය හැකියි. පිරිවර සම්පත්තිය ඔවුන් ලබන තවත් භාග්‍යයකි.
මුතුකුඩ, අටපිරිකර පූජාව
මුතුකුඩ, අටපිරිකර පූජාව ඔබ උපනූපන් ආත්ම භවයන්හිදී අග තනතුරු ලැබිමටත්, උසස් කුලවල ධනයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් උපත ලැබීමටත් හේතු වේ. සැමටම ප්‍රිය උපදවන රූපශ්‍රියාවක් මෙන්ම නිරෝගී දිවියක් ද ඒකාන්තයෙන්ම හිමි වනු ඇත.
ධර්ම ග්‍රන්ථ පූජාව
ඔබට ප්‍රඥාව පහළ වීම, තියුණු නුවණ ලැබිමට වාසනා ගුණය ලබා දේ. අධ්‍යාපනය ලබත් නම් මතක ශක්තිය ප්‍රගුණ වේ. මෙලෙස තමන්ට ඇති හැකි පමණින් උදාරතර පින්කම් කිරීමත්, අන්‍යයන් සිදු කරන පින්කම් සඳහා සහභාගීවීමත් මෙලොව මෙන්ම පරලොව ද සුඛිත මුදිත වීමට ඉවහල් වනු ඇත.
අනුශාසනාව කැටවල හේමාලෝක ස්වාමීන් වහන්සේ
No comments:
Post a Comment