Labels

Saturday, December 2, 2017

තමන්ට ඇවැසි ලෙස සියල්ල සිදුවිය යුතුද? ( ත්‍රිලක්ෂණය හා සහජීවනය - 04 )


සත්ත්වයා ඇතුළු සමස්ත විශ්වය තුළම පවතින සදාකාලික වූ ලක්ෂණ තුනකි. ජීව, අජීව භේදයකින් තොරව සෑම වස්තුවකටම පොදුවු මෙම ලක්ෂණ තුන ත්‍රිලක්ෂණය නම් වේ. මේ ලෝකයේ පවතින සියල්ල අනිත්‍ය, දුක්ඛ මෙන් ම අනාත්ම ලක්ෂණයන්ගෙන් යුක්ත ය. යමක් අනිත්‍ය ද එය දුකකි. යමක් දුක ගෙන දෙන්නේ ද, එය ආත්ම වශයෙන් මමය, මගේය කියා ගත නොහැකි ය. එය අනාත්ම වේ. ආගම්, පාට, පක්ෂ භේදයකින් තොරව මෙම ලක්ෂණ ක්‍රියාත්මක වේ. වෙනස් වෙමින් පවතින ලෝකය තුළ නො වෙනස් යමක් ඇතියැයි මිථ්‍යාදෘෂ්ටීන් සකසා ගැනීම යෝග්‍ය නොවේ.


වෙනස්වීමට භේදයක් නැත


එකිනෙකා පිළිබඳ සුහදත්වයෙන් කටයුතු කළ යුතු වන්නේ ද සමගියෙන්, සහජීවනයෙන් සිටීම වැදගත් වන්නේ ද අනිත්‍ය නිසාවෙනි. තවද සතර බ්‍රහ්ම විහරණයෙන් යුක්තවීම සතර සංග්‍රහයෙන් යුක්තවීම සතර අගතියෙන් ඉවත්වීම වැදගත් වන්නේ ද ඒ සියල්ල අනිත්‍ය නිසාය. නිත්‍ය නම්, වසර හාර පන්සියයක් ජීවත්විය හැකි නම් දැඩි මතවාදයන් සකසා ගෙන අනෙකා පිළිබඳ නොසිතා කටයුතු කිරීම සාධාරණ ය. තමන්ගේ ජීවිතය මෙන් ම උපයන දෑ විනාශවන සුළුය. තනතුර තානාන්තර තාවකාලික ය. එහෙයින් සුහදත්වයෙන් එකිනෙකාට ගෞරව ලබාදෙමින් ජීවත්වීම වැදගත් ය. තමන්ගේකම්, අනුන්ගේකම් තාවකාලික ය. එහෙයින් පටු සීමාවන් තුළ තමන්ගේ, අනුන්ගේ ලෙස බෙදීම් සකසා ගෙන තවකෙනකුගේ සාධාරණ අයිතිවාසිකම් වලට අකුල් නොහෙලිය යුතුය. එසේ කරන්නේ නම් ඒ අනිත්‍යතාව හඳුනා නොගැනීම නිසා ඇතිවන්නකි. බෞද්ධයින් අනිත්‍යතාව නොදැනීම විදර්ශනා ඤාණය ලබා ගැනීමට බාධාවකි. විදර්ශනාව යනු පංචස්කන්ධය තුළ ක්‍රියාත්මක ත්‍රිලක්ෂණ ධර්මතාව නුවණින් දැකීම ය. ඒ අරුතින් ගත් කල සමස්තය තුළම ක්‍රියාත්මක මෙම ධර්මතාවය හඳුනාගැනීම දෙලොව දියුණුවට හේතුවකි. අනිත්‍යතාව සඳහා ජාතියක්, ආගමක්, කුලයක් අදාළ නොවේ.


සැමට පොදු දෙය


නිත්‍ය නොවීම, වෙනස්වන බව සෑම කෙනෙකුටම පොදුවූවකි. ඇතැම් දෑ කාලානුරූපව වෙනස් කර ගත යුතු ය. එසේ නොවන පරිසරයක ගැටුම් නිර්මාණය වේ. අනවශ්‍ය දැඩි මතවාද තුළ එල්බ සිටීම ඒ හේතුවෙන් අයහපත් උපාය උපක්‍රම භාවිත කිරීම අනිත්‍යතාව තේරුම් නොගැනීමේ දුර්වලතාවයයි. සියල්ල නිත්‍ය නොවන පරිසරයක එක් කරුණක් දෙකක් පමණක් නිත්‍යයැයි සිතීම පවා බලවත් මුලාවකි.
ඇතිවු යමක් ද, එය නැතිවන සුළුය. උපත ලබන සෑම සත්වයෙකුම මරණයට පත්වේ. සියලු සංස්කාර ධර්මයන් නැසෙන සුළු ය.එය නුවණින් හඳුනාගැනීම නිවන බව ධම්මපදයේ දී පැහැදිලි වේ. උපත ලබන සෑම කෙනෙකු ම මරණයට පත්වන බව හඳුනා ගන්නව නම් නොමැරෙන මිනිසුන් ලෙස ජීවත්වීමට උත්සාහ නොකරති. ජීවිත කාලය ඉතා අල්ප ය. මිනිසෙකු වසර සියයක් ජීවත් වන්නේ නම් එය මාස 1200 කි. දින 33600 කි. දිනකට ආහාර වේල් දෙකක් අනුභව කළහොත් වේල් 67200 ක් අනුභව කරයි. එයින් ද අඩුවිය යුතු ආහාර වේල් සංඛ්‍යාවක් ඇත. පුංචි කාලයේ ගමන්බිමන් ගිය වාරයන් . නිවසත් සමඟ අමනාප සකසාගත් අවස්ථා හා ලෙඩ වූ අවස්ථාවන් ය. තවද වර්තමානයේ මිනිසා ගේ ආයු ප්‍රමාණය ඉතා කෙටි ය. මේ අතින්ගෙන බලන කල මිනිසා සියල්ල කරනුයේ ආහාර වේල් 4000 ක් පමණ අනුභව කිරීම සඳහා ය.

වඩාත් වැදගත් කුමක් ද?


කෙනෙකු අනුභව කරන ආහාර වේල් ප්‍රමාණය හෝ ඔහුගේ ජීවිතය වැදගත් නොවේ. වඩාත් වැදගත් වන්නේ ජීවත්වන කල ඉතා යහපත්ව අනෙකාට කරදර නොවන සේ ජීවත්වීමයි. කුමන පරිවාර සම්පත් සහිතව ජීවත් වූව ද මරණයට සියල්ලෝ ම සූදානම් විය යුතු ය. ඒ සඳහා ජාති, ආගම්, පාට, පක්ෂ වැදගත් නොවේ. මහා ඇලෙක්සැන්ඩර් රජු පවා මරණයට පත්විය.
අශෝකට පසු මහා අධිරාජ්‍යයක් ගොඩනැගූ මොහු ඉතා තරුණ වයසක දී මිය ගියේ ය. මිය යන අවස්ථාවේ දී තම අවසන් කැමැත්ත බොහෝ දෙනෙකුට ආදර්ශයක් ලබා දෙමින් සටහන් කර තැබූහ. එතුමාට අනුව තමන්ගේ දේහය කනත්තට ගෙන යා යුත්තේ එතුමාගේ අධිරාජ්‍යයේ දක්ෂ වෛද්‍යවරුන් විසිනි. දේහය වටා තමා එකතුකරගත් රන් රිදී මසු කහවණු තම පෙට්ටිය මත අතුරන්න. දේහය පෙට්ටියේ තැන්පත් කරන විට දෑත විහිදුවා ඇඟිලි දිගහැර අල්ල පේන ලෙස තැන්පත් කරන්න වශයෙනි. මේ තුළින් නායකකාරකාදීන්ට ලබාදෙන පණිවුඩය සුළුපටු නොවේ. කෙතරම් වස්තුව තිබුණත් ඇලෙක්සැන්ඩර් පවා අවසන් ගමන් ගියේ භෞතික වශයෙන් හිස් අතිනි. සාමාන්‍ය ඇඳුම්වල කෙතරම් සාක්කු තිබුණත් මරණ ඇඳුම් තුළ සාක්කු නැත. සාක්කු පමණක් නොව ඇඳුමෙහි පිටක් නැත. ගෙන යා හැකි එකම දෙය හොඳ හෝ නරක පමණි. එහෙයින් ඉන්නා කෙටිකාලය තුළ වඩා සාධාරණ ජීවිත ගත කිරීම දෙලොව යහපත සඳහා හේතුවකි.

කෙසේ හෝ ජීවත්වීම


කෙසේ හෝ කොහොම හෝ ජීවත් වීම ප්‍රඥාගෝචර තත්ත්වයක් නොවේ. මවුපියන්ට, දරුවන්ට, බිරිඳට සැලකීම යහපත් ය. එහෙත් කෙසේ හෝ කොහොම හෝ ඒ පිරිස්වලට සැලකීමට යාම අයහපත් ය. තම දෙමාපින්ට සැලකීමට යාම නිසා එවන් මව්වරු විශාල පිරිසකට හානියක් නම් එම සැලකීම අගය කළ නොහැක. අනෙක් කාරණාවන් ද එසේම ය. ආගමක් දර්ශනයක් වුව ද අවශ්‍ය වනුයේ පුද්ගල සංවර්ධනය, සමාජ සංවර්ධනය හා පුද්ගල සමාජ ශික්ෂණය ඇති කිරීමට ය. යම් ආගමකින් හෝ දර්ශනයකින් එවන් දෙයක් සිදු නොවන්නේ නම් එය ආගමක් ද යන ප්‍රශ්නය මතුවේ.
ආගමෙන් ලෝකසාමය ඇතිවිය යුතු ය. බුදු දහමේ අනිත්‍ය සංකල්පය පුද්ගලයා අයහපතට පෙළඹීම හීන කරයි. ඒ තුළ පුද්ගල ශක්තිය හීන නොකරයි. ස්ථිර නොවන යමක් නිසා ස්ථිරසාර වෛරයක් හෝ ගැටීමක් නුසුදුසු ය. වෙනස් වීම් හා කාලානුරූප අවශ්‍යතා මනාව දැන හැඳිනගෙන කටයුතු කිරීම වඩා වැදගත් ය.
අනිත්‍ය සෑම දෙයක් ම දුකකි. ලෝකයේ සියල්ලෝම දුක පිළිකුල් කරන අතර සැප කැමති වෙති. එහෙත් ලෝකය පිහිටා ඇත්තේ දුක මත ය. එය පරම සත්‍යයකි. එහෙයින් ලෞකික ලෝකය තුළ සදාකාලික සැපතක් සෙවීම නිෂ්ඵල ය. එය අදහසක් පමණි. තමන් පෞද්ගලිකව දුක ප්‍රතික්ෂේප කරන්නේ නම් අනෙකා උදෙසා එම දුක මුදානොහැරිය යුතු ය. දුකට හේතුව තමන් බලාපොරොත්තු නොවන ආකාරයෙන් කටයුතු සිදුනොවීමයි. සියල්ල තමන්ට අවශ්‍ය ලෙස ඒ අයුරින් ම සිදුවිය යුතු යැයි කුමන අවස්ථාවකවත් නොසිතිය යුතු ය. එසේ සිදු නොවන කල අනෙකා පීඩාවට පත්කිරීම නොවැදගත් ය.
සියල්ල අනිත්‍ය ලෝකයක තමන්ගේ රුචිකම් පමණක් නිත්‍ය යැයි සිතීම අඥානකමකි. හැම සැපක් කෙළවරකම ඇත්තේ දුකකි. සැප යැයි ළංකරගත් හැම දෙයක් ම දුකකි .එහෙයින් තම සැප පහසුව තකා අනෙකා බිල්ලට දීම වැරැදි මතවාද පටිගත කිරීම මිතුරන් අඹූසැමියන් මෙන් ම ජාති ආගම් අතර ගැටුම් ඇති කිරීම අපාගත වන බලවත් පාපයකි. කෙනෙකු ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නිවැරදිකළ නොහැකි වරදක් සිදුකිරීම අපාගත වන අංගවිකල වන පවකි. ඉන් අත්මිදිය යුතු වන්නේ නිවන හැර වෙන සැපයක් බෞද්ධයෙකුට නැති බැවිනි.


අනන්‍යතාවය රැක ගැනීම



මමය, මගේය ලෙස ගත හැකි කිසිවක් නැති බැවින් ආත්ම ලෙස කිසිවක් අල්ලාගත යුතු නොවේ. ඉතා ශක්තියෙන් වැඩකළ හැකි කාල සීමාව අල්පය. වැඩ කළ යුතු කාලයේ දි තමා, තම පවුල පිළිබඳව පමණක් කල්පනා නොකළ යුතුය. ළමා කාලය සහ මහලු කල බෙහෝ ක්‍රියාවන් හා දැනීම් සමාන වේ. ආධානග්‍රාහීව යමක් එල්බගෙන සිටීම ධර්මයට පටහැනි වේ. එයින් අදහස් වන්නේ තම කටයුතු පිළිබඳ මන්දෝත්සාහි වෙන ලෙස හැඟවීම නොවේ.
තම කටයුතු තම අනන්‍යතා ආරක්ෂා කරගත යුතුය. එය එසේ යැයි අනෙකා වෙත ප්‍රචණ්ඩත්වය මුදානොහැරිය යුතුවේ. තම අභිමානය කෙළසීම හෝ තම සමාජයේ දෙවැනි තෙවන තැනට වැටීම පිළිබඳ තව පිරිසකට චෝදනා කිරීම අර්ථශූන්‍ය වේ. තමා පහළට වැටුණානම් එය තම වරදකි. එය නිවැරදි කරගත යුතුවේ. මෙතැන දී සදාකාලික යමක් නැතිබවත්, ගොඩනගාගැනීම් සහ උත්සාහය මත දියුණුව ඇති බව පමණක් සිතිය යුතු ය.
සමාජය තුළ මෙන් ම පුද්ගලයා තුළ ක්‍රියාත්මක මෙම ත්‍රිලක්ෂණය බුද්ධියෙන්, ප්‍රඥාවෙන් කල්පනා කරන කල අන්‍යෝන්‍ය සුහදත්වය ගොඩ නැඟේ.එසේ නොමැති විට ආධ්‍යාත්මික විමුක්තිය සලසා ගැනීම යැයි සිතා එකම දර්ශනය තුළ පිල් බෙදීම් ඇතිකර ගනී. මල් පූජාවට, බුදුරදුන් පිදීමට එවන් අයහපත් සිතිවිලි සකසාගෙන කටයුතු කරන්නේ සැබෑ බෞද්ධයන් නොවේ.
කාලය සීමිත නම් විමුක්තිය, ස්වර්ගය, දිව්‍ය සහවශ්‍යතාව ඇතිකරගැනීමට එකිනෙකාට චෝදනා කිරීම ආගමික සම්ප්‍රදාය නොවේ. කිසිම ශාස්තෘවරයෙකු එවැනි අයහපත් මාර්ග දේශනාකොට නැත. තම විමුක්තිය, ස්වර්ගය සෙවීමට යාමේ දී අනෙකාගේ නිදහසට බාධා එල්ලවන්නේ නම් එය අගය කළ හැකි තත්ත්වයක් නොවේ.

ත්‍රිලක්ෂණය අවබෝධ කිරීම අවශ්‍ය වන්නේ නිවන සඳහා ය. එය එසේ වුව ද නිවන් ලබන තුරා සසර පැවතීම අවශ්‍යය. එසේ පැවතීමේ දී ගහ,කොළ ඇතුළු සතා සිව්පාවාට හානි සිදු නොවීම අවශ්‍ය වේ. නිවන් ලබන තුරු දීර්ඝ සසර ගමනේ දී අනෙකා පීඩා විඳී නම් ඔහුට නිවන තව දුරය .එහෙයින් ලෞකික ජීවිතය තුළ යහපතින් ජීවත්වීම සඳහා ත්‍රිලක්ෂණය ඉතා වැදගත් ය. යමෙක් මනාව මෙය තේරුම්ගනී නම් ඔහු වසන පරිසරය වඩා සාමකාමී ය. ඒ තුළ ගොඩ නැගෙන්නේ සහජීවනයයි.


ශාස්ත්‍රපති 
සියඹලාගොඩ ධම්මින්ද හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍උඳුවප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 26 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment