Labels

Saturday, December 2, 2017

දෙව් ලොව ගිය තිස්ස සන්නාලියා ( සීහළවත්ථු කතා ඇසුරිනි )

මීට බොහෝ කලකට පෙර අනුරාධපුරයේ ඇඳුම් මැසීම ජීවනෝපාය කරගත් තරුණයෙක් සිටියේ ය. ඔහු තිසරණයේ පිහිටමින් පන්සිල් ආරක්ෂා කරන උපාසකයෙකි.

බුදුසසුන කෙරෙහි පැහැදුණු, ශ්‍රද්ධාවන්ත මේ උපාසක දිනපතා උපයන දේ කොටස් දෙකකට බෙදාගෙන වියදම් කරයි. ඉර උදා වූ වෙලාවේ සිට මධ්‍යාහ්නය දක්වා ඇඳුම් මසා යම් මුදලක් උපයයි ද, එය භික්ෂුන් වහන්සේගේ පරිහරණය සඳහා වෙන් කරන්නේ ය. මධ්‍යහ්නයේ සිට ඉර අවරට යන තෙක් යමක් උපයන්නේ ද, එයින් මව්පියන් පෝෂණය කරන්නේ ය.
ඔහු දිනපතා දස නමකට, විසි නමකට, තිස් නමකට, හතළිස් නමකට, පනස් නමකට හෝ සියක් නමකට ද නැතිනම් ඊට වැඩි භික්ෂූ පිරිසකට ද ආදී ලෙස මහත් වූ ශ්‍රද්ධාවෙන් දන් පූජා කරන්නේ ය. සිවුරු පිරිකර ද වෙනත් අවශ්‍ය දෑ ද සොයා බලා පූජා කරන්නේ ය.
දිනක් මවුපිය දෙදෙනා තිස්සට කතා කළේ ය.
”පුතේ! ඔබ අප නිසා බොහෝ සේ වෙහෙස මහන්සි වෙයි. නිතරම අප ගැන සොයා බලයි. එහෙත් අප නැතිදාක ඔබට පිහිටට ඉන්නේ කවුරුන් ද? ඒ නිසා සුදුසු විවාහයක් කර ගන්න. පුතුනි, එය ගිහි ගෙදර වසන අපගේ යුතුකමක්. ඇය ඔබට යහපත් බිරිඳක් වේවි.”
”මෑණියනි, මම වගේ ධාර්මිකව ජීවත් වෙන්නෙකුට බොහෝ අය කැමැති නො වෙති. මගේ සිත දන් දීමෙහි කැමැති ය. සිල් රැකීමට කැමැති ය. ස්ත්‍රිය නම් පුරුෂයෙකුට උලක් වැනි ය. ඇලෙන ලාටුවක් වැනි ය. මඩ ගොහොරුවක් සේ ය. ශරීරයේ හටගත් ගෙඩියක් සේ ය. රෝගයක් වැනි ය. ඇය නිසා මාගේ ප්‍රඥාාව අහිමි වෙයි. උගත් දේ විනාශ වෙයි. ශීලය ද නැසේ. හිරිඔතප් වැනසෙයි. ධ්‍යානලාභීව අහසින් ගමන් කළවුන් ද ස්ත්‍රිය නිසා අල්පේශාක්‍ය වූ බව මම අසා ඇත්තෙමි. ඇඳුම් පැළඳුම්, ආහාරපාන, විලවුන් ආදියෙහි ස්ත්‍රින්ගේ තෘප්තියක් නැත. මෑණියනි, කාමයේ ආදීනව දකින්නෝ විෂ වර්ගයක් දුරු කරන්නා සේ ස්ත්‍රිය පිටු දකින්නේ ය. මටත් භාර්යාවක් සිටියහොත් දරුවන් උපදී. අඹුදරුවන් නිසා ප්‍රමාද වීමට සිදුවෙයි. කුසල් රැස් කිරීමට අවස්ථාව අහිමි වෙයි.

ඉතින් කුසල් රැස් කිරීම අත්හැර, කාමයන්හි ප්‍රමාද වුවහොත් ඒ අඥාන පුද්ගලයාට බොහෝ සේ පසුතැවීමට සිදුවෙනු ඇත. ඔහු මෙලොවත්, පරලොවත් ශෝක කරති” යි මවුපියන්ට පහදා දුන්නේ ය. තිස්ස බ‍්‍රහ්මචාරීව, සිල්වත්ව ජීවත් විය.
එකල වැඩසිටි රහත් භික්ෂූන් වහන්සේ නමක් නිතර දෙව්ලොව සංචාරය කළ සේක. දිනක් සුන්දර වූ දිව්‍ය විමාන දෙකක් දැක උන්වහන්සේ දෙව් පුත්‍රයෙකුගෙන් මෙසේ ඇසූ සේක.
”දේවපුත්‍රය, දිව්‍ය ලොව පහළ වී ඇති මේ දිව්‍ය විමාන දෙක ඉතා සුන්දර යි. සිත්කළු යි. ඒත් මේ විමානවල අයිතිකරුවෙකු සිටින බවක් නො පෙනේ. දේවේන්ද්‍රය, මේ විමාන කාට අයත් ඒවා ද?”
”ස්වාමිනි, මේ විමාන දෙකේ ම අයිතිකරුවෝ තවමත් මනු ලොව ජීවත් වන්නෝ ය. මේ එක් විමානයක් සද්ධාතිස්ස රජු වෙනුවෙන් ද, අනෙක් විමානය අනුරාධපුරයේ වෙසෙන තිස්ස නමැති සන්නාල තරුණයා වෙනුවෙන් ද පහළ වී තිබේ”.
රහතන් වහන්සේ මිනිස් ලොවට වැඩම කොට අනුරාධපුරයේ චාරිකාවේ යෙදෙන අතරතුර දී එම පුවත මිනිසුන්ට පැවසූහ. ඔවුහු ඒ පුවත සද්ධාතිස්ස රජතුමාට හෙළි කළේ ය. රජතුමා තිස්ස සන්නාලියා කැඳවා ඔහුගෙන් විස්තර විමසා, පැහැදී සියලු සැප සම්පත් සහිතව මාළිගාවක් ද, වස්ත්‍ර ද, මහා ධනය ද, ගම් නිදියක් ද ලබා දුන්නේ ය. එ පමණක් නොව ඔහු මහාදානපතියෙක් ලෙස නම් කළේ ය. එදා පටන් මේ තරුණයා සංඝයා වහන්සේ උදෙසා කැමැති කැමැති දේ පූජා කරමින් ජීවිතයට බොහෝ පින් රැස්කර ගත්තේ ය.
කලක් ගත විය. ඔහු මරණාසන්න විය. ස්වාමින් වහන්සේ ඔහු වෙත පැමිණ ධර්මය දේශනා කරමින් සිටින අතරතුර දී තිස්ස උඩ බලාගෙන ප්‍රලාඵ කියවන බව අවට සිටි පිරිස දුටුවේ ය.
”අනේ මේ තිස්ස බොහෝ සේ පින්දහම් කළ අයෙක් නේ. මව්පියන් පෝෂණය කරමින්, මහසඟ රුවනට දන් පූජා කරමින්, ගෞරව කරමින් උපස්ථාන කළ අයෙකි. එසේ පින් කළ මොහු මරණාසන්න මොහොතේ දී මෙසේ නන් දොඩවන්නේ කිනම් කරුණක් නිසා ද? අනේ මේ කිනම් වූ අභාග්‍යයක් ද? කියමින් මැසිවිලි කියන්නට වූහ.
”මම මේ නන් දොඩනවා යැයි නො සිතන්න. දිව්‍ය ලෝක හයේම දේවතාවුන් ඇවිත් මට ඉක්මණින් මනු ලොවින් තම තමන්ගේ දෙව් ලොවට එන ලෙස ආරාධනා කරයි. නමුත් ධර්ම දේශනාව අවසන් වනතුරු පැමිණිය නොහැකි බවයි මම කියා සිටියේ. මම මේ ජීවිතයේ දී බොහෝ සේ පින් කළ අයෙක් වෙමි. මා මේ ද්වීපයේ වෙසෙන බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලා කෙනෙක් වසන්නාවූ ද, උන්වහන්සේ උදෙසා තුන් වරක් තුන් සිවුරු පිදුවෙමි. දහස් වරක් පහන් දහස බැගින් දැල්ලුවෙමි. ධර්ම දේශනා දහසක් කෙරෙව්වෙමි. මී පැණි, ගිතෙල්, තලතෙල් පැණි හා ඖෂධ වර්ග බොහෝ වර පුජා කළෙමි. එවන් පින්කළ මම කුමටනම් නන් දොඩන්නේ ද? ත්‍රිවිධ රත්නය මුල් කරගෙන නොයෙක් කුසල් කළෙමි. බුද්ධ ශාසනය උදෙසා බොහෝ කුසල් සිදුකොට පී‍්‍රති වුණෙමි.
දැන් මට යාමට කාලය පැමිණ ඇත. රහතුන් වසන නගරයක් වැනි වූ තුසිත දෙව්ලොවෙහි නිතර ධර්ම කථා ඇසේ. ඒ මනරම් දෙව්ලොව පෙර අජිත නමින් විසූ මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ සිටින සේක. ඒ නිසා තුසිත දෙව්ලොව යමියි කියා ඒ දෙව්ලොවින් ආ රථයට ගොඩ විය.

යම් කෙනෙක් අකුසල් දුරලමින් නිරන්තරයෙන් කුසල් කරයි ද, ඔවුන් අපරිමිත සැප ලබා සුවසේ නිවන් සුවය ලබන්නේ ය.




ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍උඳුවප් පුර අටවක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 නොවැම්බර් 26 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment