Labels

Thursday, December 7, 2017

පතිධර්ම ඇති බිරිඳ (පතිව්‍රතා විමානය)

විමාන වත්ථු කතා

මෙහි ‘පති’ යනු ස්වාමිපුරුෂයා, ස්වාමියා, අධිපති, ඉසුරු ඇත්තා යන තේරුම් දෙයි. ව්‍රත නම් හොඳ පිළිවෙත් ය. යහපත් ප්‍රතිපත්තිය, මනා පැවැතුම් ය. ඉන්ද්‍රියන් හික්මවීම පිණිස හේතුවන පැවතුම් ය. හැසිරිය යුතු වතාවත් ය.
‘පතිව්‍රත’ හෙවත් ‘පතිවත’ යනු පරපුරුෂයන් – අන් පුරුෂයන් නො පතා සිය සැමියාට කීකරුව විසීම වෙයි. මෙසේ වූ භාර්යාවක් තුළ ඇති ධර්මතාවය ‘පතිධර්ම’ නම් වේ. එය ස්වාමියාට සම වූ දුක් - සැප ඇති බව ලෙසින් ශබ්ද කෝෂයන්හි දක්වා ඇත. බිම්බා දේවිය (යසෝධරා දේවිය) තම ස්වාමියා රජ මාලිගයෙන් නික්ම ගිය දා සිට, හුදෙකලාව වනයේ විසූ ඇවැතුම් පැවැතුම් අසා දේවිය ද ඒ අයුරින් ම කසාවන් වස්ත්‍ර දරමින් එක් වේලක් වළඳමින් ආදී ලෙස මාලිගයේ රැඳෙමින් විසූ බව බෞද්ධ සාහිත්‍ය ග්‍රන්ථවල සඳහන්ව ඇත. මෙවැනි ගති ලක්ෂණ බිරිඳකට පමණක් නොව ස්වාමිපුරුෂයෙකු හට ද තිබිය යුතු බව ‘කාමෙසුමිච්ඡාචාර වේරමණි’ ශික්ෂා පදය තුළ ‘කායික සමාචාර’ අංගයක් ලෙසින් ඇතුළත් බව පුරුෂ පාර්ශ්වය ද සිහි තබා ගත යුතු ය.

මහත් සෘද්ධි ඇති මුගලන් මහරහතන් වහන්සේ තව්තිසා දෙව්ලොව කළ සංචාරයක දී එක් දිව්‍ය විමානයක් දුටු සේක. නොයෙක් මලින් ගැවසුණු, නොයෙක් සිතුවම්වලින් විසිතුරු වූ, රමණීය වූ, මේ විමානයෙහි කොස්වාලිහිණියෝ ද, මොණරු ද, හංසයෝ ද මිහිරි නාද ඇති කොවුලෝ ද නිතර අවටින් පැමිණෙති. දෙවිවරු හා දේවතාවියන් මෙහි හැසිරෙති. මුගලන් මහරතන් වහන්සේ එහි වූ එක් දේවතාවියක් දැක මෙසේ විමසූහ. මහානුභාව ඇති දෙව්දුවනි. ඔබ විවිධ සෘද්ධීන් දක්වමින් සිටින්නී ය. ඔබගේ දිව්‍ය අප්සරාවෝ ද හාත්පස නටමින් ගයමින් ඔබ සතුටු කරවති.
මහත් අනුභාව ඇති දෙව්දුව, ඔබගේ සිරුර පැහැය ද සියලු දිගින් බබුළුවයි. මිනිස් දුවක් වූ ඔබ කවර පිනක් කොට මෙ දිව්‍ය සම්පත් ලැබුයේ දැයි මට කියන්න.
මහ මුගලන් මහ රහතන් වහන්සේ විසින් අසන ලද පැනයට ඒ දෙව්දුව බොහෝ සතුටු වූවා ය.
“ස්වාමීනි, මම පෙර ආත්මයෙහි මිනිස් දුවක් වූ වෙමි. අන්පුරුෂයකු සිතින් පවා නො පතමින් පතිව්‍රතා ධර්මය ආරක්ෂා කළෙමි. පුතු රකින මවක මෙන් තම ස්වාමියා රැක්කෙමි. (මාතුභරියා) අනුන් විසින් තමන්ට කියන කරන දෙයට වුව ද කිපුණු මුත්, පරුෂ බස් නොකීමි.
බොරුකීම නොකළෙමි. සත්‍යයෙහි ම පිහිටියෙමි. දීමෙහි ඇලුණෙමි. දානයෙන්, පි‍්‍රය වචනයෙන්, අර්ථ චරියාවෙන් සමානාත්මතාව -යෙන් අනුන්ට සංග්‍රහ කෙළෙමි. පහන් සිතින් යුතුව ආහාර ද පැන් ද සමග මහ දන් දුනිමි. ඒ පිනෙන් මාගේ සිරුර පැහැ ය ද මෙබඳු වෙයි. සමෘද්ධි සම්පත්තීහු ද වෙයි.” දේවතාවිය කියා සිටියා ය. මේ පිළිබඳ අටුවා කතාවේ මෙසේ සඳහන් වේ.
බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවනාරාමයේ වැඩවසන එක් කාලයක එම සැවැත් නුවරම පතිව්‍රතා ධර්මය රකින, ස්ත්‍රියක් වූවා ය. ඇය ස්වාමි පුරුෂයාට අනුව පවත්නී ය. කිපීමට හේතුවන කරුණු ඇතිවුව ද, ඉවසන්න ය. සැමියාට ගරු කරන, ධාන්‍ය පොතුවල කුඩු පවා අපතේ නොයවන සුළු වූවා ය. එනම් ස්වාමියාගේ වස්තුව රැක ගත්තී ය. පරුෂ වචනයෙන් තොර වූවා ය. බොරු නොකීවා ය. සත්‍යවාදී වූවා ය. ශ්‍රද්ධා සම්පන්න වූවා ය. ඇය හැකි හැමවිට ම තමන්ට හැකි අයුරින් දන් දීම හා අනුනට සංග්‍රහ කරන්නට ද පුරුදුව සිටියා ය. ස්වාමියාට කීකරු ඇය පසු කලෙක කිසියම් රෝගයක් බලවත් වී කලුරිය කොට දහසක් අප්සරාවන්ට අධිපති ව තව්තිසා දෙව්ලොව උපන්නා ය. ඇය ගැල් හයකින් ගෙන යා හැකි බර ඇති අභරණින් සැරැසී රූ සිරියෙන් සපිරිව සිටිය දී මුගලන් මහරහතන් වහන්සේ දැක හිස නමා රහතන් වහන්සේට වැඳ උන්වහන්සේ විමසූ ප්‍රශ්නවලට ඉහත පරිද්දෙන් පිළිතුරු දුන්නා ය.
මුගලන් මහරහතන් වහන්සේ පිරිස සමඟ හුන් ඇයට දහම් දෙසා මිනිස් ලොවට පැමිණ භාග්‍යවතුන් වහන්සේට මේ පුවත දැන්වූහ. බුදුරජාණන් වහන්සේ ද අවස්ථාවෝචිත තැන්හි මෙයට අදාළව දෙසූ ධර්මය අසා බොහෝ දෙනාට ධර්මාවබෝධය ලබාදුන් සේක. මේ කථා වස්තුවට අදාළව ස්ත්‍රී පුරුෂ ගිහි අපට ත්‍රිපිටක ධර්මය ඇසුරු කොට මතුකරගත හැකි බොහෝ ධර්මයෝ වූ මුත් එයින් බිඳක් මෙසේ දක්වමි.
අනේපිඬු සිටු නිවසට වරක් වඩින භාග්‍යවතුන් වහන්සේ නිවස තුළින් නො පුරුදු ඝෝෂාවක් ඇසී ඒ කවරේදැයි සිටුතුමාගෙන් විමසූ විට, පිළිතුර වූයේ අලුතෙන් ගෙට කැන්දාගෙන ආ ධනවත් ලේලිය ගේ ශබ්දයක් බව ය. මේ ලේලිය වූ සුජාතා අරභයා ‘සප්ත භරියා’ සූත්‍රය බුදුපියාණන් වහන්සේ දේශනා කළ සේක. එහි නිවසකට කැන්දාගෙන එන බිරින්දෑවරු හත් දෙනෙකුගේ ගති ගැන විස්තර දක්වා ඇත. වධක සමාය, චෝරි සමාය, ආර්ය සමාය, මාතු සමාය, භගිනි සමාය, සඛී සමායා හා දාසී සමායා යනුවෙනි. මොවුහු කවරේ දැයි තමා නොදන්න බව සුජාතා කුල දුව කීවා ය. එවිට බුදුපියාණන් වහන්සේ කර ඇති පැහැදිලි කිරීම වර්තමාන මුළු ලෝකයටම කොතරම් ගැලපේ දැයි කියවා දැනගැනීමට අපි උනන්දු විය යුතු වෙමු.
මේ පැහැදිලි කිරීම වදාළ බුදුපියාණන් වහන්සේ සුජාතාවෙනි, මේ සත් දෙනා අතුරින් ඔබ කවරෙක් වෙයි දැයි සුජාතාවන්ගෙන් විමසූ හ. “භාග්‍යවතුන් වහන්ස, අද පටන් කොට ( ඒ දක්වා ඇයගේ ගති ලක්ෂණ පිහිටියේ සැමියා අභිබවා ගිය ආර්ය භාර්යාවක් ලෙසින් බව වැටහී) මා සැමියාගේ දාසියක සම වූ බිරිය කොට ධරණ සේක් වයි, කීවා ය.

යම් සැමියෙක්තම බිරිඳගෙන් මෙවැනි ගතිගුණ අපේක්ෂා කරන්නේ නම්, පුරුෂයා ද තම බිරිඳ කෙරෙහි වරෙක මවක වශයෙන් ද, වරෙක තම බාල නැගණිය ලෙසින් ද, තවත් වරෙක තම හෘදයාංග මිතුරියක් ලෙසින් හා ලෙන්ගතු දාසියක් ලෙසින් ද සලකා තම චරියාවන් හසුරුවා ගත යුතු ය. ඒ පුද්ගලයා මෙලොව දී ලබන ගිහි සැප මෙන් ම මෙම කතා වස්තුවේ දක්වන ලද පරිදි මරණින් මතු දෙව් සැප ලැබීමටද සුදුසු වන්නේ ම ය.


ශ්‍රී ලංකා පරිපාලන සේවයේ
( විශ්‍රාමික) 
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව
ත්‍රිපිටක ග්‍රන්ථ පරිවර්තන මණ්ඩලයේ ලේකම්
කේ.කේ. සුගතපාල


ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ ‍උඳුවප් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 03 වන ඉරිදා  දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි

No comments:

Post a Comment