සම්බෝධියේ පියවි නම ඇසතු වෘක්ෂයයි. ඇසතු වෘක්ෂය ගෞතම සම්බුදුපියාණන්ට බුද්ධත්වයට පත්වීමට උරදුන් නිසා එය සම්බෝධිය ලෙස ජන ව්‍යවහාරයට එක් විය. ගෞතම බුදුපියාණන් වහන්සේ, සිද්ධාර්ථ ලෙස මෙලොව පහළ වූ දා ඒ සමඟ තවත් කීප දෙනෙකු එදාම මොලොවට පහළ විය. යශෝධරා දේවිය, කන්ථක අසු, ඡන්න ඇමැති, ඇසතු වෘක්ෂය එම වස්තු අතර වෙයි. මෙයින් වසර දෙදහස් පන්සියයකට පමණ ඉහත දී උපන් මේ වස්තූන් අතර අදවනතුරුත් ජීවමානව පවතින්නේ සම්බුදුපියාණන්ගේ බුද්ධත්වයට උරදුන් ඇසතු වෘක්ෂය හෙවත් සම්බෝධිය පමණි.
බුද්ධත්වයට පත්වීමෙන් පසු ගෞතම සම්බුදු පියාණෝ සති හතක් පුරාවට සම්බෝධිය හාත්පස පරිසරයේ හිත නිවීගිය සුවයෙන් ගත කළහ. විශේෂයෙන් තමන්ට බුද්ධත්වයට පත්වීමට සෙවන දුන් ඇසතු වෘක්ෂයට හෙවත් සම්බෝධියට කළගුණ දක්වමින් පුරා සතියක් මුළුල්ලේ දෑස් පුරා ඇසතු වෘක්ෂය දකිමින් අනිමිසලෝචන පූජාව පැවැත්වූ සම්බුදු පියාණෝ ‘කළගුණ සැලකීම’ බුද්ධ ජීවිතයේ ප්‍රථම පූජාව බව ලෝකයට පෙන්වමින් සම්බෝධිය බුද්ධ පුජාවට ද පත් වූ පූජනීය වස්තුවක් බව සනාථ කළහ.
සමහරදාට සම්බුදු හිමිපාණන් ජේතවනාරාමයේ නැතිදාට වැඳුම් පිදුම් කරන්නට එන බැතිමත්තු අසරණ වෙති. මේ ගැටලුව පිළිබඳව ආනන්ද හිමියන් විසින් සම්බුදු හිමියන්ට කරුණු කියා සිටි පසු ශ්‍රී මහා බෝධියේ පැළයක් ගෙනැවිත් ජේතවනාරාම භූමියේ සිටුවන ලෙසට ආනන්ද හිමියන්ට උපදෙස් දෙනු ලැබී ය. ජේතවනාරාමයේ ආනන්ද බෝධිය පිහිටවූයේ ඒ ආකාරයට ය. සම්බුද්ධ ජීවිතය හා බැඳුණ දෙවෙනි බෝධිය හැටියට ආනන්ද බෝධිය සැලකිය හැකි ය.
සම්බුද්ධ ශාසනය මෙරට පිහිටුවද්දී, සම්බුදු හිමියන් සත් සතිය ගතකළ සම්බෝධියේ දක්ෂිණ ශාඛාව ලබා ගැනීමට ද, මිහිඳු මහ රහතන් වහන්සේත්, තිස්ස රජතුමාත් දඹදිවට දූතයන් යවා ධර්මාශෝක රජුගෙන් ඉල්ලා සිටියහ. මේ පිළිබඳව එවකට වැඩසිටි මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට ගිය ධර්මාශෝක රජතුමාට සම්බුදු හිමියන් වෙත පැවැති පංච මහා අධිෂ්ඨානයන් පිළිබඳව විස්තර කර දෙන ලදී. එම පංච මහා අධිෂ්ඨානයන් මෙසේ ය.
1. ධර්මාශෝක රජු යම් දිනෙක ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලබා ගැනීමට යන්නේ ද, ඒ මොහොතේ දක්ෂිණ ශාඛාව ඉබේටම මුල් කඳින් වෙන් ව ස්වර්ණමය කටාහය තුළ තැන්පත් වීම.
2. ඒ අවස්ථාවේ දක්ෂිණ ශාඛාවේ බෝපත්වලින් සවණක් රැස් පිටතට කාන්දු වීම.
3. ශ්‍රී මහා බෝධියේ සෙසු කොටස් අහසට වැඩම කොට පුරා සතියක් අදෘෂ්‍යමානව අහසේ වැඩ විසීම.
4. සිය දකුණු අකු ධාතුන් වහන්සේ ලක්දිව රජරට ථූපාරාම ගර්භයේ වඩා හිඳුවන දවසේ යමක මහා ප්‍රාතිහාර්යය පෑම.
5. බුදු සිරුරේ ද්‍රෝණයක් තරම් වූ ධාතුන් වහන්සේ ලක්දිව රජරට ස්වර්ණමාලී චෛත්‍ය මහා රාජයාගේ ගර්භයෙහි තැන්පත් කරන දා සැබෑ සම්බුදුරූපයෙන් අහසට පැන නැගී යමක මහා ප්‍රාතිහාර්යය පැවැත්වීම.
මෙම පංච මහා අධිෂ්ඨානය තුළ ශ්‍රී මහා බෝධියෙන් දක්ෂිණ ශාඛාව වෙන්කර ගැනීම ගැන ප්‍රාර්ථනා ඇතුළත් වන හෙයින් ගරුබුහුමන් ඇතිව ඒ පුණ්‍ය කර්මය ඉෂ්ට සිද්ධ කරන ලෙස මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ විසින් ධර්මාශෝක රජුට උපදෙස් දෙන ලදී.
මේ අනුව කටයුතු කළ ධර්මාශෝක රජතුමන් සහපිරිවරින් ශ්‍රී මහා බෝධිරාජයාණන් වෙත ගොස් ගරු බුහුමන්, පුද පූජා පවත්වා එහි දක්ෂිණ ශාඛාව සම්බුද්ධ ප්‍රාර්ථනය පරිදි සෘද්ධි බලයෙන් ලබා ගැනීමට සමත් විය. ධර්මාශෝක රජතුමා සහ පිරිස පුද පූජා පවත්වා වැඳ නමස්කාර කරගෙන සිටිය දී ශ්‍රී මහා බෝධියේ කඳ සහ දක්ෂිණ ශාඛාව ඉතිරිව තිබිය දී සෙසු කොටස් හිටිහැටියේ ම අන්තර්ධාන විය. ඉන් ඉක්බිතිව ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව මව්කඳින් වෙන්වී ධර්මාශෝක රජතුමා විසින් ගෙනගොස් තිබූ ස්වර්ණමය දැවැන්ත කටාහයට පාත් වී එහි තැන්පත් විය. මේ ප්‍රාතිහාර්යය සියැසින් ම දැකගත් ධර්මාශෝක රජතුමා විසින් එකෙණෙහි ම සමස්ත ජම්බුද්වීපය ම ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරනු ලැබී ය.
ඉන්පසුව ස්වර්ණමය කටාහයට ලබාගත් ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව, මෙරටට එවීමට කටයුතු කළ ධර්මාශෝක රජතුමා බෝධිගුප්ත, සුමිත්ත, චන්ද්‍ර ගුප්ත ආදී කුමාරවරුන්ගේ රැකවරණය යටතේ කුල 18 කට අයත් සේවා පිරිස් සමඟ සංඝමිත්තා මහ රහත් මෙහෙණියට බාරදෙනු ලැබී ය. ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම කරගෙන පැමිණි මේ පිරිස දඹකොළ පටුනේ දී දේවානම්පියතිස්ස රජතුමා සහ පිරිවරින් ගොස් ගරු බුහුමන් මැද පිළිගැනීමෙන් පසු අනුරාධපුර මහමෙව්නාවට පෙරහරින් වැඩමවා මිහිඳු මාහිමියන්ගෙන් උපදෙස් ලැබුණ පරිදි සුදුසු ස්ථානයේ වඩා හිඳුවන ලදී. මේ සංසිද්ධියෙන් පසු සම්බුදු හිමියන් සේ ම ගරු බුහුමනින් ශ්‍රී මහා බෝධි සංකල්පය බෞද්ධ ජනතාව අතර ව්‍යාප්ත විය.
සම්බුදු හිමියන්ට සම්බුද්ධත්වය ලැබීමට උර දුන් ශ්‍රී මහා බෝධිය කාලයේ ඇවෑමෙන් විවිධ බාධකවලට ගොදුරු වී අද වන විට දඹදිව ඉතිරීවී පවතින්නේ සිව්වෙනි වරට පහළ වූ ශාඛාවකි. සම්බුදු හිමියන්ට සම්බුද්ධත්වයට සෙවන දුන් සැබෑ බෝධි රාජයාගේ දක්ෂිණ ශාඛාව අද පවතින්නේ අනුරාධපුර මහමෙව්නාවේ පමණි. වසර දෙදහසකට වඩා පැරණි සම්බුද්ධත්වය සමඟ බැඳී පවත්නා මේ උතුම් සම්බෝධිය ජීවමාන බුදුන් සේ බෞද්ධ ජනතාවට ආශිර්වාද කරමින් සුබසෙත සලසා දෙයි. යම් අයෙකු සැදැහැ සිතින් ශ්‍රී මහා බෝධිය වඳින්නේ ද එය සම්බුදු හිමියන් වැඳීමකට සමාන ය.
අනුරාධපුර ලංකාරාමාධිකාරී
උතුරු මධ්‍යම දිශාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක
රළපනාවේ ධම්මජෝති හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ උඳුවප් පුර පසළොස්වක පෝය දින රාජ්‍ය වර්ෂ 2017 දෙසැම්බර් 03 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතේ පළ වූ ලිපියකි
No comments:
Post a Comment