1. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර බෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. හදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස් සෝසුං’ භගවා ඒතදවෝච.
2. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය. යානීකතාය වත්ථූ කතාය අනූට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඒකාදසානිසංසා පටිකඞ්ඛා. කතමේ ඒකාදස?
3. 1. සුඛං සුපති, 2. සුඛං පටිබුජ්ක්‍ධති, 3. න පාපකං සුපිනං පස්සති, 4. මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, 6. දේවාතා රක්ඛන්ති, 7. නාස්ස අග්ගි වා විසංවා සත්ථං වා කමති, 8. තුවටං චිත්තං සමාධියති, 9. මුඛවණ්ණෝ විප්පසීදති, 10. අසම්මූළ්හෝ කාලං කරෝති, 11. උත්තරිං අප්පටිවිජ්ක්‍ධන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති.
4. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා, ආසේවිතාය භාවිතාය බහුලීකාතාය, යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඉමේ ඒකාදසානිසංසා පාටිකඞ්ඛාති.
5. ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.
මෙත්තානිසංස සූත්‍රයේ සිංහල අර්ථය
එක් සමයක බුදුන්වහන්සේ සැවැත්නුවර ඇසුරු කොට දෙව්රම් මහ වෙහෙර වසන්නේ දිනෙක පැසුළු යම ලොව බලා වදාරණ සේක් මේ බඳු සිදුවීමක් දුටු සේක.
කොසොල් රට සැරිසරන මා අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසීමෙන් සැට නමක් රහත් වන්නාහ. සැට නමක් කටින් උණු ලේ වමාරන්නාහ. සැට නමක් සිවුරු හැර ගිහි වන්නාහ යනුයි.
භික්ෂූන් හට සංග්‍රහ පිණිස චාරිකාවෙහි හැසිරෙනු කැමැති භික්ෂූන්ට දන්වන්නැයි කීහ. මෙසේ වදාළ බුදුන්වහන්සේ මහත් භික්ෂූ සමූහයක් පිරිවරා ගෙන ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරමින් මහත් වූ බෙණයක් සහිත රුකක් ගින්නෙන් ඇවුලෙනු දැක ;මය අරමුණු කොට දම් දෙසමියි අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසූ සේක. මෙසේ වදාළ කළ හැටක් උණු ලේ වැමෑරූහ. සැටක් සිවුරු හළහ. පිරිසුදු සිල් ඇත්තෝ රහත් වූහ.
මේ ධර්ම දේශනාව තුන් කොටසකට ප්‍රයෝජනවත් විය. රහත් වූවන්ට ප්‍රයෝජන වනු පුදුමයක් නොවේ. සෙස්සන්ට වූ ප්‍රයෝජන කවරේද යත්? ඉදින් බුදුහු අග්ගික්ඛන්ධෝපම සූත්‍රය නො ඇසුහූ නම් ප්‍රමාද විහරණයෙන් යුක්තව පව් වඩමින් අපායෙහි උපදනාහ. මේ දහම් දෙසුම අසා සාමණේර භූමියෙහි සිට දසසිල් පුරා භාවනා වඩා සෝවාන් සකෘදාගාමී හා අනාගාමී වන්නාහ. සමහරු දෙව්ලොව උපදින්නාහ. අනෙක් අය මෙය නො ඇසුයේ නම් කල් යත් යත් සංඝාදිසේසාදියට හා පාරාජිකාදියට පැමිණෙන්නා හ.
මේ දේශනාව ඇසූ දුසිල් මහණහු මේ ශාසනය ආශ්චය්‍යය. අප පැවිදි වූයේ කෙලෙසුන් තැවීමට මිස කෙලෙසුන් වැඩීමට නොවේ. අපට දිවිහිම් කොට කෙලෙසුන් නැති කරන පිළිවෙතක් පිරිය නොහැකි ය. එබැවින් උවසුදම් පුරා දුකින් මිදෙමුයි ගිහි වූහ. ඔවුහු තිසරණ පන්සිල් හා අටසිල් රැක ඇතැම් කෙනෙක් සෝවාන් වූහ. ඇතැම් කෙනෙක් සකෘදාගාමි වූහ. කෙනෙක් දෙව්ලොව උපන්හ. මෙසේ ඔවුන්ටත් මේ දෙසුම ඵලවත් විය. මේ දේශනාව ගැන ආරංචි වූ භික්ෂූහු විසිදෙන සැටදෙන සියදෙන බැගින් සිවුරු හැර ගිහි වූහ.
මෙසේ බුදුන් වහන්සේ දහම් දෙසමින් දනවු සැරිසරා නැවත දෙව්රම් වෙහෙරට වැඩ එම ගඳ කිළියෙහි අඩ මසක් විවේකව එලසමවත් සුව විඳ පසුව අනඳ මහ තෙරුන් සමඟ දෙව්රම් වෙහෙර බලා හැසිරෙන සේක් පෙර කාෂාය වස්ත්‍රයෙන් බබළමින් පැවැති දෙව්රම් වෙහෙර අද මෙසේ හිස්වන්නට හේතු කවරේදැයි අනඳ හිමියන් ගෙන් විචාල සේක.
අනඳ හිමියෝ බුදුන් වහන්සේට මෙසේ පැවසූ සේක.
ස්වාමිනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ දනවු සැරිසරා වඩිද්දී අග්ගික්ඛන්ධෝපම සුත්‍රය වදාළ තැන්පටන් භික්ෂූහු සංවේගයට පැමිණ අපට මේ සසුනෙහි පිළිවෙත් පිරිය නොහැකිය. නොමනා පැවතුම් ඇති අප විසින් සැදැහැවතුන් විසින් පින් සලකා පිරිනමන ලබන දන් වැළඳීම නුසුදුසු යයි සිවුරු හැර ගියහ. මෙය ඇසූ බුදුන්වහන්සේට ධර්ම සංවේගය පහළ විය.
ඉක්බිති බුදුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූහ. මා සමවත් සුවෙන් විවේකීව සිටියදී මෙහි කිසිදු භික්ෂූහු නමක් මගේ දරුවන්ගේ සැනසීම පිණිස අවවාදයක් නො දුන්නේ ය. ගඟකට බසින්නට බොහෝ තොටවල් ඇත්තාක්මෙන් සසුනෙහි සැනසෙන්නට බොහෝ දේ තිබේ.
ආනන්ද, ගඳකිළි මළුවෙහි බුද්ධ ශාසනයක් පණවා භික්ෂූන් රැස්කරවයි කී සේක. මේ කාරණය අර්ථෝත්පත්ති කොටගෙන මහණෙනි, මේ සස්නෙහි යම් භික්ෂූන් නමක් අසුරු සණක් ගසන කෙටි කාලයක් නමුදු සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩා නම් හෙවත් මෛත්‍රී කෙරේ නම් මහණෙනි, ඒ භික්ෂූ නම මේ සස්නෙහි නො සිස් වූ ධ්‍යාන ඇත්තෙක් ව වසන්නේයයි ද, ශාසනානුශාසනය පිළිපදින්නේ යයිද, අවවාද පිළිපන්නේ යිද, දායකයන් විසින් දෙන රට්ඨ පිණ්ඩය නොසිස්ව වළදන්නේ යයි ද කියනු ලැබේ.
යම් කෙනෙක් මෙත් සිත නැවත නැවත පුහුණු කෙ රත් නම් වඩාත් නම් ඔවුන් ගැන කියනුම කවරේදැයි මෙසේ චුල්ල අච්ජරාසංඝ සූත්‍රය වදාරා මෙකී භාවනාවේ අනුසස් දක්වනු සඳහා මෙත්තානිසංස සූත්‍රය දෙසූ සේක.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස යැයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවඳන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි ආදරයෙන් සෙවුනා ලද එසේම වඩනා ලද නැවත නැවත වැඩීම වශයෙන් පුරුදු කරන ලද සියලු අන්දමින් ම පුරුදු කරන ලද මොනවට පටන් ගන්නා මෛත්‍රී චෙතෝ විමුක්තිය පිළිබඳ අනුසස් එකොළොසක් කැමති විය යුත්තාහ.
කවර එකොළොසක්ද යත්?
1. සැපයේ නිදයි
2. සැපයේ පුබුදියි
3. නපුරු සිහිනයක් නොදකියි.
4. මිනිසුන්ට පි‍්‍රයවෙයි
5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වෙයි
6. දෙවියෝ රකිති
7. මේ මෛත්‍රී විහරණ ඇති පුද්ගලයා ගේ ශරීරයෙහි ගිනි හෝ, විස හෝ, සැත් හෝ නොවදියි.
8. වහාම සිත එකඟ වෙයි
9. මුහුණ පැහැපත් වෙයි
10. නො මුලාව කලුරිය කරයි
11. මෛත්‍රී සමවතින් මතු රහත් වන්නට නොහැකි වී නම් මරණින් මතු බඹලොව උපදියි.
මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද මෛත්‍රී චේතෝ විමුක්තිය ආසේවිත භාවිත බහුලීකෘත කළ කල්හි යානාවක් මෙන් වස්තුවක් මෙන් කළ කල්හි එළඹ සිටි කල්හි පුරුදු කළ කල්හි මොනවට පටන් ගත් කල්හි මේ එකොළොස් ආනිසංසයෝ කැමති විය යුත්තාහුය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවට කැමති වූහ.
මෙම මෙත්තානිසංස සූත්‍රය අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයට ඇතුළත් සූත්‍රයකි. මෙය පසු කළෙක මහා පිරුවානා පොත් වහන්සේ නම් වූ මහ පිරිත් පොතටද ඇතුළත් කර ඇත.
මෙහි දැක් වූ මෛත්‍රීය අර්පණා (ධ්‍යාන) බවට පැමිණි මෛත්‍රියයි. එබඳු මෛතී‍්‍ර චිත්ත විමුක්තියෙන් යුක්ත පුද්ගලයාට අනුසස් එකොළොසක් ලැබෙයි. මෙහි ඇතුළත් අනුසස් එකොළොසින් දහයක් මෙලොවදී ද එකොළොස වන ආනිසංසය පරලොවදී ද ලැබෙන බව දත යුතුය.
යම් කිසි අයුරකින් එම මෛත්‍රීය පාදක කර ගෙන අර්හත් ඵලය ඉපද වූයේ නම් එකොළොස්වන ආනිසංසය වශයෙන් නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පානා සේක.
එසේ නොවී අනාගාමී වුවහොත් අවිහ – අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨක යන පංච ශුද්ධාවාසයන් අතුරෙන් එක්තරා බ්‍රහ්ම ලෝකයක ඉපදීම එකොළොස් වන ආනිසංසය වශයෙන් සැලකිය යුත්තේය.
මෛත්‍රී චිත්ත විමුක්තිය පාදක කරගෙන සෝතාපන්න හෝ සකදාගාමී වී නම් තමන් ලත් ධ්‍යානයේ හැටියට බ්‍රහ්ම ලෝකයෙහි උපදනේය. 11 වන ආනිසංස වශයෙන් එම මෛත්‍රිය පාදක කොට ගෙන අර්හත් ඵලයට පැමිණ අනුපාදි ශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑම හෝ අනාගාමීව ශුද්ධා වාස බ්‍ර‍්‍රහ්ම ලෝකයන්හි ඉපදීම හෝ කළ හැක.
මෙසේ අර්පනා බවට නොපැමිණි මෛත්‍රිය පාදක කොට ගෙන සෝතාපන්න හෝ සකදාගාමී වූයේ නම් බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීමක් කළ නොහැකි බැවින් දෙව්ලොව උපදී. එසේම මෛත්‍රී චිත්තයෙන් යුත් තැනැත්තේ පෘථග්ජනව විසූයේ නම් සුවසේ සැතපීම යන දස ආනිසංසයම මෙලොවදී ලබා මරණින් මත්තෙහි සුගතිංසග්ගං ලෝකං උප්පජ්ජිති යි දැක්වූ හෙයින් යහපත් පැවතුම් ඇති සුගතියෙහිම ඉපද ආනිසංස එකොළොසම ලබයි.
1. මෛත්‍රී චිත්තය
මෙජ්ජතීති - මෙත්තා සිතේ පවත්නා මෘදු බව සිනිඳු බව මෛත්‍රියයි. මිත්තේ භවා මිත්තස්ස ඒසා පවත්තීතිපි - මෙත්තා මිතුරා කෙරෙහි වූයේ හෝ මිතුරාගේ පැවැත්මය යන තේරුමට හෝ මෛත්‍රිය යයි කියනු ලැබේ. හිතේසිකා සබ්බ සත්තේසු හිත එරණතා - මෙත්තා සියලු සත්වයන් කෙරෙහි හිතෛශී භාවය හිත පැතිරවීම් ස්වභාවය මෛත්‍රීයයි.
සබ්බ සත්තේසු හිතාකාරප්පවත්ති ලක්ඛණා මෙත්තා සියලු සත්ත්වයන් කෙරෙහි හිත ආකාරයෙන් පැවැත්ම මෛත්‍රියයේ ලක්ෂණයයි. කෝපය සංසිඳවීම මෙයින් ලැබෙන සම්පත්තියයි.
එබඳු මෛත්‍රීයයෙන් යුත් සිත මෛත්‍රී චිත්තයයි දත යුතුය. මෙබඳු මෛත්‍රීයෙන් යුත් තැනැත්තේ,
1. සුවසේ නිදයි.
2. සුවසේ අවදිවෙයි.
3. නපුරු සිහින නොදකියි.
4. මිනිසුන්ට පි‍්‍රය වෙයි.
5. අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි.
6. දෙවියෝ රකිති.
7. ගිනි – විෂ – ආයුධ හෝ ඔහුගේ කයට නොපිවිසෙයි.
8. වහා සිත එකඟ වෙයි.
9. මුහුණේ පැහැය බබළයි.
10. නුමුළාව කළුරිය කරයි.
11. මරණින් මතු සුගතියෙහි උපදියි.
2. මෛත්‍රී චිත්ත විමුක්තිය
මෛත්‍රීයෙන් යුත් සිත පංච නීවරණා දී සතුරන්ගෙන් විශේෂයෙන් මිදේද එහෙයින් චිත්ත විමුක්තිය යයි කියනු ලැබේ. ධ්‍යාන බවට පැමිණි මෛත්‍රීයට මෙය නමෙකි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අතුරෙන් මෛත්‍රීය දක්වන තන්හි මෙත්තා යි කී කල්හි සමහර තැනෙක ධ්‍යාන තත්ත්වයට පැමිණි මෛත්‍රියටද සමහර තැනෙක ධ්‍යාන පුර්භාග මෛත්‍රීයද ගැනේ. මෙත්තා චේතෝ විමුක්ති යි කිවහොත් ධ්‍යාන බවට පැමිණි මෛත්‍රියම ගැනේ.
මෙත්තා - කරුණා - මුදිතා යන ත්‍රිවිධ වූ බ්‍රහ්ම විහාර භාවනාවෙන් ලැබිය හැක්කේ ප්‍රථම ද්විතීය තෘතීය යන ධ්‍යානයෝය. එබැවින් ඒ ඒ ධ්‍යානයකින් නීවරණයන් ගෙන් හොඳ හැටි මිදුණු සිත මෛත්‍රී චිත්ත විමුක්තිය ලෙස දත යුතුය.
3. මෛත්‍රීය වැඩිය යුත්තේ කෙසේද?
ත්‍රිහේතුක ප්‍රතිසන්ධික යෝගාවචරයා විසින් පිරිසිදු පංචශීලයෙහි හෝ පිහිටා පළිබෝධයන් දුර හැර සුදුසු විවේක ස්ථානයක සුව අසුනෙක හිඳ පළමු කොට ද්වේශයෙහි ආදීනව හා ක්ෂාන්තියෙහි අනුසස් හැකිතාක් දුරට මෙනෙහි කළ යුතුයි. කුමක් හෙයින්ද මෙම භාවනාවෙන් ද්වේෂය දුරු කළ යුතුයි. ක්ෂාන්තිය ලැබ ගත යුතුයි. ආදීනව හා නොදැක්ක දෙය දුරු කරන්නටද ආනිසංස නොදැක්ක දෙය ලබන්නටද නොහැකි බැවිනි ආදීනව මෙසේ මෙනෙහි කළ යුතුය.
කුද්ධෝ අත්ථං නජානාති – කුද්ධෝ ධම්මං නපස්සති
කිපි තැනැත්තා කළ යුත්ත නොදනී. කිපි තැනැත්තා ධර්මය නොදනී.
යමෙක් නිරපරාධී තැනැත්තකුට කිපුණත් උඩු සුළඟට දැමූ ධූලී තම මුහුණටම එන්නාක් මෙන් තමාටම විපත් පැමිණේ.
යමෙක් දඬුවම් නොකළ යුතු කෙනෙකුට දඬුවම් කෙරේද ද්වේශ නොකළ යුත්තෙකුට කිපේද ඔහු දස විධ අන්තරායයන්ගෙන් එක්තරා අන්තරායකට පැමිණේ.
දස විධ අන්තරාය නම්:
1. දරුණු වේදනාවක් විඳින්නට සිදුවෙයි.
2. බලවත් ධන හානියක් සිදුවෙයි.
3. අතපය ආදී අවයව බිඳෙත්.
4. දරුණු ලෙඩක් සැදෙයි.
5. උමතු වෙයි.
6. රාජ උදහසක් ඇති වෙයි.
7. බලවත් චෝදනාවක් අසන්නට සිදුවෙයි.
8. කිට්ටුවර නෑයන්ගේ පිරිහීමක් සිදුවෙයි.
9. වී ගොවිතැන් ආදී භෝගයන්ගේ පිරිහීමක් ඇති වෙයි.
10. ඔහුගේ ගෙය ගිනි ගනී.
මෙකී අන්තරාය දහයෙන් එකකට හෝ කීපයකට මෙලොවදීම මුහුණ පා වැඩි කල් ජීවත් නොවී මරණයටද පැමිණ මරණින් මතු අපායටද පැමිණෙන්නේ ය.
මේ ගැනද සිතන්න.
1. කිපෙන තැනැත්තාට ළඟම ඇත්තෙ පෝරකය හෝ නිරයයි.
2. මිනී මැරුවෝ වැඩි දෙනෙක්ම කිපෙන තැනැත්තෝය.
3. කිපීම නීචයන්ගේ ක්‍රියාවකි.
4. නොකිපෙනු, කිපුනත් වචනයක් නොකියනු. කිසිවක් නොකරනු. ලියුමක් පවා නො ලියනු. ලියුවත් තැපැල් නොකරනු.
5. කිපෙන තැනැත්තා දෝතින් ගිනි අඟුරු ගෙන අනුනට ගසන්නෙකි.
6. කිපෙන තැනැත්තා ඉක්මණින්ම දුගී භාවයට පැමිණේ. මෙසේ කෝපයේ ආදීනව ගැන සිතන්න.
ඉවසීමේ අගය
ඛන්ත්‍යා භීයෝ නවිජ්ජන්ති
ක්ෂාන්තියට වඩා උතුªම් ගුණයක් විද්‍යාමාන නොවේ.
ඛන්තී පරමං තපෝ තිතික්ඛා
ඉවසීම සහිත ක්ෂාන්තියයි උතුම් තපෝ ගුණයයි.
වසන දනා රුපු යුදයට ජය කොඩිය ඉවසීමෙන් සැනසීම ලැබේ.
මේ ආදී ක්‍රමයෙන් ඉවසීමේ වැදගත්කම සැලකිය යුතුයි. මෙසේත් සලකා ඉවසිය නොහැකි නම් උතුමන්ගේ චරිත මෙනෙහි කළ යුතුය.
4. මෙත් වැඩිය යුත්තේ කාටද? - මෙත් නොවැඩිය යුත්තේ කාටද?
ඉවසීමේ අගයද ක්‍රෝධ කිරීමේ ආදීනවද සලකා විවේක ස්ථානයක හිඳ තමා සැපයට කැමති බැවින් සාක්ෂි ස්ථානයෙහි ලා සලකනු පිණිස මම සැප ඇත්තෙක් වෙමි. මම සැප ඇත්තෙක් වෙමි යි. බොහෝ කලක් සලකා අනතුරුව හිතවතාට ද ඉන්පසු මධ්‍යස්ථයාටද පසුව සතුරාටද මෙත් වැඩිය යුතුය.
හිතවතාට මෙත් වැඩීමේදී ලිංග විසභාගත්වය විශේෂයෙන් සැලකිය යුතුය. පිරිමියෙක් ස්ත්‍රියකටද ස්ත්‍රියක් පිරිමියෙකුටද පෞද්ගලික වශයෙන් මෙත් වැඩිය යුතු නොවේ. එසේ කිරීමේදී රාගය මෛත්‍රිය මෙන් වෙස් වලා ගෙන පැමිණ ඒ යෝගාවචරයා මැඩලයි. රාගය මෛත්‍රියට ළඟම සිටින සතුරාය.
ව්‍යාපාදය ඈත සිටින සතුරාය. ඒ නිසා රාගය ආලය පේ‍්‍රමය කියන තත්ත්වයට නොවැටී හිතවත්කම, යහපතක් වීමේ කැමැත්ත යන අදහස්වලට සමාන වන පරිදි රාගයෙන් මෛත්‍රිය පරිස්සම් කරගත යුතුය.
5. ප්‍රතිපක්ෂ ධර්ම මොනවාද?
ප්‍රතිපක්ෂ ධර්ම නම් සතුරු ධර්මයි. මෛත්‍රියට ව්‍යාපාදය, තරහව සතුරු ධර්මයකි. ධ්‍යානාදී උතුම් ගුණයන්ද මාර්ග ඵල නිර්වාණයන්ද වලකන බැවින් මීට ව්‍යාපාද නිවරණයයි කියනු ලැබේ.
පංච නීවරණයන් අතුරින් ව්‍යාපාද නීවරණය නම්,
1. මොහු මට අනර්ථ පිණිස හැසුරුණේ යයි විරෝධය උපදියි.
2. මොහු මට අනර්ථ පිණිස දැන් හැසිරේ යයි විරෝධය උපදියි.
3. මොහු මට අනර්ථ පිණිස මතුද හැසිරෙන්නෙ යයි විරෝධය උපදියි.
4. මාගේ මිතුරාට අනර්ථ පිණිස හැසුරුණේ යයි විරෝධය උපදියි.
5. මාගේ මිතුරාට අනර්ථ පිණිස දැනුදු හැසිරෙන්නේ යයි විරෝධය උපදියි.
6. මාගේ මිතුරාට අනර්ථ පිණිස මතුත් හැසිරෙන්නේ යයි විරෝධය උපදියි.
7. සතුරන්ට නිතරම පක්ෂව සිටින්නෙ යයි විරෝධය උපදියි.
8. සතුරන්ට දැනුදු පක්ෂව සිටින්නේ යයි විරෝධය උපදියි.
9. සතුරන්ට මතුත් පක්ෂව සිටින්නේ යැයි විරෝධය උපදියි.
මෙසේ ක්‍රෝධය නව අයුරකින් උපදී : යළිත්,
10. ගල් මුල් ආදියක ගැටීමෙන් හෝ පය පැකිලීමෙන් හෝ හදිසි යමක් කිරීමට කීපවරක්ම වෑයම් කර නොහැකිවීම් ආදියෙන් හෝ මෝඩකම වැඩි තරමට බලවත්වද නිතර නිතරම උපදිනා අස්ථාන කෝපයත් සමඟ දස ආකාරයකට මෛත්‍රීයට ඉඳුරාම සතුරු වූ මේ ව්‍යාපාද උපදී. මෙසේ දස ආකාරයකින් සිතේ උපදිනා තරහවක් වේද නැවත නැවත ගැටීමක් වේද විරෝධයක් වේද ප්‍රතිවිරෝධයක් වේද කිපීමෙන් නැවත නැවත කිපීමෙන් ද්වේෂයක් සිතේ විකෘතියක් සැඩ ගතියක් නොසතුටු ගතියක් ඇත්නම් එය ව්‍යාපාද නීවරණ යයි කියනු ලැබේ.
මෙසේ නව විධ ආඝාත වස්තුන් නිසා සිතේ හට ගන්නා යම් දූෂ්‍ය ස්වභාවයක් වේ නම් ඒ ව්‍යාපාදය මෙම මෛත්‍රියට ප්‍රතිපක්ෂයි. විරුද්ධයි.
පිළුණු බතක් සියලු දෙනාගේම පිළිකුලට භාජනය වන්නාක් මෙන් කිපෙන පුද්ගලයා සියලු දෙනාගේම පිළිකුලට භාජනය වේ. එසේම යහළුවෙකුගේ වේශයෙන් වෙස්වලා පැමිණෙන සතුරකුමෙන් රාගයද මෛත්‍රියෙහි ස්වරූපයෙන් පැමිණ මෛත්‍රිය වනසයි. එනිසා වෛරය මෛත්‍රියට දුර සිටින සතුරා වශයෙන්ද රාගය ළඟම සිටින සතුරා වශයෙන් ද සැලකිය යුතුය.
ඔබට යම් කිසි වේලාවක කිසිවක් හෝ කිසිවක් ගැන දොම්නසක් අසතුටක් තරහක් පළිගැනීමේ චේතනාවක් වෛරයක් බද්ධ වෛරයක් නැතිනම් ඒ වේලාවට ඔබ තුළ ව්‍යාපාදය නැත. එසේම ඇල්මක් ආශාවක් පේ‍්‍රමයක් ආලයක් තෘෂ්ණාවක් නැතිව හිතවත් කමක් යහපතක් වීමේ කැමැත්තක් නගාසිටුවමි. උසස් කරවමි. යන චේතනාවක් නම් පවතින්නේ ඒ වේලාවේ ඔබ තුළ රාගයද නැත. පවතින්නේ මෛත්‍රියයි.
කඩවත, අමුණුගොඩ,
අමරවිහාරාධිකාරී,
පරකන්දෙනිය සිරි වීරසිංහ පිරිවෙණෙහි ආචාර්ය
මන්දාරම්නුවර
විමලවංසතිස්ස හිමි
උපුටා ගැනිමකි
Dowenload mp3
No comments:
Post a Comment