Labels

Tuesday, April 14, 2015

සොඳුරු මරණය

ජීවිතය අවසානයේ සුන්දර මරණයකට පත්වීම සෑම බෞද්ධයකුගේම අපේක්ෂාවයි. එබැවින් විවිධ පුණ්‍ය කර්ම හා කුශල කර්ම සිදුකොට අවසානයේ සිහිනුවණින් යුක්තව මරණයට පත්වීම උදෙසා ප්‍රාර්ථනාවක් ඇතිකරගනී. මරණය දුකක් වශයෙන් දක්වන බුදුසමය එය සුන්දර එකක් බවට පත්කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදෙයි. සුන්දර මරණයකට අවශ්‍ය පදනම සකසා ගන්නා අයුරු පැහැදිලි කරන සූත්‍ර දේශනාවක් අංගුත්තර තික නිපාතයේ ඇතුළත් වේ. දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි අනේපිඬු සිටුතුමා අමතා උන්වහන්සේ මෙසේ දේශනා කළ සේක.
“ගෘහපතිය! සිත නොරැකුණොත් කායික ක්‍රියාද නොරැකුණේ වෙයි. වාචසික ක්‍රියාද නොරැකුණේ වෙයි මානසික ක්‍රියාද නොරැකුණේවෙයි. කායික වාචසික හා මානසික වශයෙන් අනාරක්ෂිත වූ හෙයින් පුද්ගලයාගේ කායික ක්‍රියාද වාචසික ක්‍රියාද මානසික ක්‍රියාද කෙලෙස් ධර්මයන්ගෙන් තෙත් වූයේ වෙයි. මෙසේ කෙලෙස් ධර්මයන්ගෙන් තෙත් වීම නිසා පුද්ගලයාගේ කායික වාචසික හා මානසික චර්යා අපිරිසුදු වේ. මෙසේ අපිරිසුදු කායකර්ම අපිරිසුදු වචී කර්ම හා අපිරිසුදු මනෝ කර්ම නිසා ඔහුගේ මරණය යහපත් නොවේ කලක්‍රියාව යහපත් නොවෙයි.
ගෘහපතිය! රැකුණොත් කායික ක්‍රියාද රැකුණේ වෙයි. වාචසික ක්‍රියාද රැකුණේ වෙයි. මානසික ක්‍රියාද රැකුණේ වෙයි. කායික වාචසික හා මානසික වශයෙන් ආරක්ෂිත වූ හෙයින් පුද්ගලයාගේ කායිකක්‍රියාද වාචසික ක්‍රියාද මානසික ක්‍රියාද කෙලෙස් ධර්මයන්ගෙන් තෙත් නොවෙයි. එසේ කෙලෙස් ධර්මයන්ගෙන් තෙත් නොවීම නිසා එම කායික වාචසික හා මානසික චර්යා පිරිසුදු වේ. මෙසේ කායික වාචසික හා මානසික වශයෙන් පිරිසුදු හෙයින් ඔහුගේ මරණය යහපත් එකක් වෙයි කාලක්‍රියාවද සුන්දර වෙයි.”

අනාරක්ෂිත වූ සිත 
 
අනේපිඬු සිටුතුමා අමතා දේශනා කළ මෙම අනුශාසනාවෙන් පෙන්වා දෙන්නේ සිත අනාරක්ෂිත වූ කල්හි පුද්ගල චර්යාවන් කෙලෙස් ධර්මයන්ගෙන් තෙත්වන අතර එමගින් පුද්ගලයා අපිරිසුදු වන බවයි. අපිරිසුදු චර්යාවන්ගෙන් යුක්ත පුද්ගලයාගේ මරණය හා කාලක්‍රියාව යහපත් නොවේ.
මැනවින් සෙවිලි නොකරන ලද ගෙහි, වර්ෂාව හේතුවෙන් එහි පරාල මෙන්ම බිත්තිද තෙත් බවට පත්වී නොබෝ දිනකින්ම දිරාපත් වන්නේ යම් සේද, සිත අනාරක්ෂිත වූ කල්හි පුද්ගල චර්යාවන් ද අපිරිසුදු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස සොඳුරු මරණයකට හෝ කලුරිය කිරීමකට ඔහු හෝ ඇය හිමිකම් නොකියයි. එහෙත් මැනවින් සෙවිලි කරන ලද නිවසට කොතරම් වැසි වැටුණද එහි වහලයට, පරාලවලට හෝ බිත්තිවලට හානියක් සිදු නොවේ. ඒවා දිරාපත් නොවී තවදුරටත් ආරක්ෂා වෙයි. එමෙන්ම සිත ආරක්ෂාකරගත් කල්හි කායික, වාචසික හා මානසික චර්යා යහපත් වේ. තිදොර සංවර වූයේ කෙලෙස් ධර්මයන්ගෙන් අපිරිසුදු නොවේ. ත්‍රිවිධද්වාරයෙන්ම පිරිසුදු හෙයින් වරදක්, පාපයක්, අකුශලයක් සිදු නොවෙන නිසා මරණය මෙන්ම මරණින් මතු ජීවිතය ද සුන්දර එකක් බවට පත් වේ.
බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුවරයා අමතා කළ මෙම දේශනයේ විශේෂ වැදගත්කමක් තිබේ. ඒ අනුව පුද්ගල චර්යාවන් කෙරෙහි මනස ප්‍රධාන වශයෙන් බලපාන බව මෙයින් පැහැදිලි වේ. මනස ආරක්ෂා කරගත්විට පුද්ගල චර්යා යහපත් වේ. මනස දූෂණය වූ විට පුද්ගල චර්යා අයහපත් වේ. බාහිරින් බැලූ විට ඉතා සංක්ෂිප්ත සූත්‍රයක් වුවද විවරණය කළ විට එය අතිශය පුළුල් දේශනයකි. සිත ආරක්ෂා කිරීම යනුවෙන් අදහස් වන්නේ සිත තුළ පවතින ත්‍රිවිධ අකුසල චේතනා වර්ධනය වීමට ඉඩ නොතැබීමයි. ඒ සඳහා මානසික අවධානය හෙවත් සිය අත්‍යවශ්‍ය වේ. සිහිනුවණින් (සතිසම්පජඤ්ඤ) යුක්තව වාසය කිරීමෙන් අකුසල චේතනාවලට සිත ආක්‍රමණය කිරීමට තිබෙන ඉඩ ප්‍රස්ථා අහිමි වේ. සතර සතිපට්ඨාන යටතේ සිහිය පිහිටුවීම යනුවෙන් අදහස් වන්නේ මෙකී මානසික අභ්‍යාසය නිතර ප්‍රගුණ කිරීමයි.
සිහි නුවණ නොමැති විට කෙලෙස් ධර්ම විසින් සිත ආක්‍රමණය කරනු ලැබේ. අවසානයේ දී එම කෙලෙස් ධර්මයන්ගේ බලපෑමට යටත්වන කායික, වාචසික හා මානසික චර්යා පුද්ගලයාට මෙන්ම සමාජයටත් හානිකර වේ.

දස වැදෑරුම් අකුසල චර්යා 
 
සිත කෙලෙස් ධර්මවලින් ආරක්ෂා වන විට පුද්ගල චර්යාවට අයත් දස වැදෑරුම් අකුසල චර්යාවන්ගේ පැවැත්මට ඉඩක් නොලැබේ. දස වැදෑරුම් අකුශල චර්යාවන්ගේ පැවැත්මට උපකාරී වන්නේ සිතේ ඇතිවන ලෝහ දෝස මෝහාදී අකුසල චේතනාවන්ය. අකුසල චේතනා වෙනුවට කුසල චේතනා වර්ධනය වීමෙන් පුද්ගලයා දස වැදෑරුම් කුසලසහගත චර්යාවන්ගෙන් යුක්ත වේ. ශීලය යනුවෙන් අදහස් කරන්නේ මෙකී චර්යාවන්ගෙන් කායික හා වාචසික අංශයේ සංවරයයි. එහෙත් මානසික අංශයේ සංවරකම ඇතිවන්නේ සිහි නුවණ දියුණු කිරීමෙන්ය. මෙම දෙඅංශයේම සංවරබව සිත ආරක්ෂා කිරීමෙන් සිදු වේ. ශීලය මගින් සිදුවන්නේ බාහිර සංවරය පමණි. එහෙත් සිත පිරිසුදු කරනතාක් ශීලය පූර්ණත්වයට පත් නොවේ. එයට හේතුව පුද්ගල චරියාවට බලපාන අකුසල සහගත මානසික ස්වාභාවයන්, චිත්තවේග, මානසික දුර්වලතා සිතෙන් ඉවත් නොවී පවතින හෙයින් ඒවා නැවත නැවතත් ඉස්මතු වී තිදොරින් ක්‍රියාත්මක වන හෙයිනි. අකුසල සහගත මනෝභාවයන්ගෙන් සිත ආරක්ෂා කරගන්නා තෙක් පුද්ගල චර්යා මුළුමනින්ම පිරිසුදු නොවේ. අභ්‍යන්තර පාරිශුද්ධත්වය වර්ධනය වූ පමණටම බාහිර චර්යාවද යහපත් වේ. මනස පිරිසුදු වීමත් සමඟම නිරායාසයෙන්ම චර්යාවද පිරිසුදු වේ. විමුක්තිය සාක්ෂාත් කළ උත්තමයෝ පූර්ණ මානසික පාරිශුද්ධත්වයෙන් යුක්ත හෙයින් එම උතුමන්ගේ චර්යාව ප්‍රකටය. විවෘතය. කිලිටිවලින් තොරය. පටු ආකල්පවලින් කිලිටි වී නොමැත. එම උතුමෝ සදාචාරමය වශයෙන් පරමාදර්ශීහු වෙති.

 
ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය 
 
ගිහි හෝ පැවිදි සෑම කෙනෙක්ම ශික්ෂාපද රැකිය යුත්තේ මෙකී අර්ථය මැනවින් වටහාගෙනය. අභ්‍යන්තර පාරිශුද්ධත්වය වර්ධනය කරගන්නා තරමටම ශික්ෂාපද රැකීමත් නිරායාසයෙන්ම සිදුවේ. අභ්‍යන්තර පාරිශුද්ධත්වය කෙරෙහි අවධානය යොමු නොකර හුදෙක් ශික්ෂාපද වල මතුපිට අර්ථය පමණක් සළකා ඒවා සමාදන්වීම අර්ථවත් නොවේ. සෑම ශික්ෂාපදයකම ධර්මමය උපයෝගීතාවක් තිබේ. ඒ සියල්ල ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය ඉලක්කකොට පවතී. ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් තොරව කොතෙක් ශික්ෂා පද ආරක්ෂා කළ ද එය භාජනයක් යටිකුරු කොට ජලය පිරවීමක් හා සමානය. ශික්ෂාපදයන්හි ධර්මමය උපයෝගීතාව වටහාගත් විට අන් අයගේ ප්‍රසාදය දිනා ගැනීම, තමා සිල්වතෙකුයැයි අන් අයට ඒත්තු ගැන්වීම එමගින් ලාභ ප්‍රයෝජන අපේක්ෂා කිරීම ආදී පටු ආකල්පවලින් තොරව ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයම පරමාදර්ශය කොටගෙන ක්‍රියාත්මක වේ. අනේපිඬු සිටුවරයා අමතා කළ මෙම දේශනයෙන් පැහැදිලි වන තවත් වැදගත් කරුණක් වන්නේ පුද්ගල චර්යාව හා මනස අතර පවතින සම්බන්ධතාවයි. මනස දූෂිත වන විට චර්යාව දූෂිත වේ. මනස පිරිසුදු වන විට චර්යාව පිරිසුදු වේ. සදාචාරමය වශයෙන් යහපත් පුද්ගලයෙකු නිර්මාණය කළ හැක්කේ ඔහුගේ හෝ ඇයගේ මනස පිරිසුදු කිරීමෙන්ය. දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ප්‍රකාශ කළේ මෙතරම් ශික්ෂාපද ප්‍රමාණයක් තමන්ට ආරක්ෂා කළ නොහැකි හෙයින් උපැවිදි වීමට අවශ්‍ය බවයි. මෙම අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව අමතා දේශනාකොට වදාළේ එසේ නම් සිත පමණක් ආරක්ෂා කරගන්නා ලෙසයි. ඉහතින් දැක්වූ පරිදි සිත කෙලෙස් ධර්මයන්ගේ බලපෑමෙන් නිදහස් කරගත් විට නිරායාසයෙන්ම කායික වාචසික හා මානසික චර්යා පිරිසුදු වන බව පැහැදිලිය. යමක් රැක ගැනීමෙන් මහත් අර්ථයක් අත්පත්කර ගනීද ඒ සියලු ලාභයන්ට වඩා සිත රැකගැනීමෙන් ලැබෙන අර්ථය මහත් බව බුදුරදුන් වදාළේ එබැවිනි. මරණය සුන්දර වන්නේ එයට පෙර හා එයින් පසු ජීවිතය යහපත් වන්නේ නම් පමණි.
වර්තමාන ජීවිතය අසාර්ථක කරගත් අයෙකුට සාර්ථක සුන්දර මරණයක් හිමි නොවන අතර මරණින් පසුව දුගතිය හිමිවේ. ගිහි වුවද පැවිදි වුවද සුන්දර මරණයක් අපේක්ෂා කරන්නේ නම් අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත වන්නේ තම චර්යාව අපිරිසුදු කරගෙන මානසික දුර්වලතා අකුසල චේතනා ආදියෙන් සිත රැක ගැනීමයි.


 කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන
අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි


 ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අප්‍රේල් 03 වනදා සිකුරාදා  දින බුදු සරණ පුවත්පතෙන් පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment