Labels

Monday, April 20, 2015

මිනිසත් බව ලැබීම දුර්ලභයි

අප පින්දහම් කරනවා වගේම අනෙක් අයත් පින වෙත නැඹුරු කිරීම ඉතාමත් වටිනවා. ඒ තමා විඳින සුවය අනෙක් අයට කියලා දුන්නොත් ඒ අයත් කෙතරම් සතුටු වෙනවා ද? උදාහරණයක් ලෙස ථේර ථේරී ගාථා ගත්තොත් එහි සඳහන් වන්නේම බොහෝම කටුක අත්දැකිම්වලට ලක්වෙලා මේ විමුක්ති මාර්ගයට ප්‍රවේශවෙලා නිවන් දැකලා ඒ තමා විඳින සුවය අනෙක් අයට කියා දීමයි. එහෙම අහගෙන ඉන්නෙකොට අනේ අපටත් මේ සුවය ලබා ගැනීමට හැකිනම් කියලා සාමාන්‍ය ජනතාව උනන්දු වෙනවා


මිනිසත් බවක් ලැබීම ලෝකයේ ඉතාම දුර්ලභ කාරණයක්. වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම මනුෂ්‍යයා කියන්න පුළුවන්කම ලැබෙන්නේ මනසින් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තියෙන තැනැත්තාටයි. කෙනෙකුට මනසින් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට උපකාර වන තවත් කරුණු තිබෙනවා. ඇස්, කන්, නාසාදි ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් නැතිව ඉපදීම, හොඳ නොහොඳ කල්පනා කළ හැකි ඤාණ ශක්තියක් ඇතිව, මන්ද බුද්ධික නොවී ඉපදීම, හොඳ ආර්ථික ශක්තියක් ඇතිව ඉපදීම ඒ අතර ප්‍රධානයි. පරමාර්ථ මනුෂ්‍ය ජීවිතයක් කියන්නේ මේ කියපු කාරණාවන්ගෙන් යුක්ත ජීවිතයටයි. ඒ ජීවිතය වාසනාවන්ත යි.
බෞද්ධ වූ අප ඒ අතර තවත් වාසනාවන්තයි. මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන බුද්ධෝත්පාද කාලයක ඉපදිලා කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබිලා, ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබිලා සුදුසු ප්‍රදේශවල ජීවත්වන්නට අවස්ථාව ලැබිලා තිබෙන මේ මොහොතේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අපේ වගකීමක්. මෙබඳු වාසනාවක් නැවත කවදා නම් හිමි වේවිද කියා හිතන්න අමාරුයි. ඒ නිසා කළ යුත්තේ අප්‍රමාදීව නිවනට සමීප වන ලෙස කටයුතු කිරීමයි.
එනිසා අප පින්දහම් කරනවා වගේම අනෙක් අයත් පින වෙත නැඹුරු කිරීම ඉතාමත් වටිනවා. ඒ තමා විඳින සුවය අනෙක් අයට කියලා දුන්නොත් ඒ අයත් කෙතරම් සතුටු වෙනවා ද? උදාහරණයක් ලෙස ථේර ථේරී ගාථා ගත්තොත් එහි සඳහන් වන්නේම බොහෝම කටුක අත්දැකිම්වලට ලක්වෙලා මේ විමුක්ති මාර්ගයට ප්‍රවේශවෙලා නිවන් දැකලා ඒ තමා විඳින සුවය අනෙක් අයට කියා දීමයි. එහෙම අහගෙන ඉන්නකොට, අනේ අපටත් මේ සුවය ලබා ගැනීමට හැකිනම් කියලා සාමාන්‍ය ජනතාව උනන්දු වෙනවා. එහෙම සුවයක් ලබන්න අප සියලු දෙනා ධර්මානුකූ®ලව ජීවත්වීමයි වැදගත් වන්නේ.
අප රටේ වුවත් අපරාධවල යම් ප්‍රවණතාවයක් තිබෙනවා. මේ අපරාධ වලට මානසික හේතුත් බලපානවා. අප පරිහරණය කරන පංචකාම සම්පත්වලට ඇලෙනවා කියන්නේ මානසික ලෙඩක්. සාමාන්‍ය ලෝකයේ තිබෙන දේවලට ඇලිලා ඒ ගැන නිග්මවෙලා ඉන්නවා කියන්නේ මානසික ලෙඩක්. මිනිසුන්ගේ ඒ කාමුක සිතුවිලි වැඩිවුණාම මිනිසුන් මනුෂ්‍යත්වයෙන් පිරිහෙනවා. මනුෂ්‍යත්වයෙන් පිරිහුනාම තිරිසන් ගණයට වැටෙනවා.
මිනිසා කියන්නේ උසස් මනසක් තිබෙනවා කියන එකයි. නමුත් ඒක නොවේ ඇත්ත කථාව. මනසින් උසස් ප්‍රයෝජන ගන්න පුළුවන් වීමයි. හැබැයි තිරිසන් සතාට ඒ හැකියාව නැහැ. තිරිසන් සතාට අවේගයක් ඇතිවුණාම ඒ අවේගය අනුව ක්‍රියා කරනවා. බල්ලෙකුට බුරන්න හිතුනාම බල්ල කල්පනා කරන්නේ නැහැ මම වැදගත් තැනක ඉන්නේ, මිනිස්සු මම දිහා බලාගෙන ඉන්නවා කියා ඒ සතා හිතන්නේ නැහැ. සිතුන දේ කරනවා. නමුත් මිනිසුන්ට එහෙම බැහැ. ඔවුන් සදාචාරධර්ම පද්ධතියකට බැඳිලයි ඉන්නේ. ඒවා ගැන හිත්නනේ නැතුව සිතුවිලිවලින් ඇවිස්සිලා වේගවත්වෙලා කවුරු හෝ කටයුතු කරනවානම් ඒ මනුස්සයා තිරිසනුන්ගේ ලෝකයට වැටෙනවා. තිරිසන් සතුන් මේ අම්මා, තාත්තා, දුව, පුතා හඳුනන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයකට මිනිසුන් පත් වෙනවා. ඒවගේ මිනිසුන් තිරස්චීන තත්ත්වයකට පත්වුණාම තමාගේම දුව පුතා හඳුනන්නේ නැති මවුපියන් බිහි වෙනවා. තමාගේ් මුනුපුරා මිණිපිරිය හඳුනන්නේ නැති ආච්චිලා සීයලා බිහි වෙනවා. මිනිසුන් වුවත් යම් අවස්ථාවක තිරිසන් ගතියට පත්වෙනවා. බොහෝ මිනිසුන් කායිකව නොවේ තිරිසන් ගතියට පත්වන්නේ මානසිකව යි. එවිට ඒ මානසිකත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව මේ පංචකාම සම්පත් අවුස්සා ගැනීම යි. ඒ පංචකාම සම්පත් අවුස්සා ගැනීමේ ආදීනව කවුරු හරි කෙනෙක් දකිනවානම් ඒ මානසික ඇවිස්සෙන ආවේග පාලනය කර ගන්නටත් පුළුවන්. බොහෝ මිනිස්සු පිස්සු වැටෙන්නේ මේ පංචාකම සම්පත් නිවැරැදිව පාලනය කර ගන්නට නොහැකි නිසයි.
අපේ සිතට එන ආවේග සිතුවිලි පාලනය කරන්න අපි පුරුදු වෙන්න ඕන. එසේ සිතට එන ආවේග පාලනය කර ගැනීමට තථාගතයන් වහන්සේ වදාළ ඉතාම වටිනා සූූත්‍රයක් තමයි ‘ආඝතපටිවිනය සූුත්‍ර’යි. එයිච පැහැදිලිව ආවේග පාලනය කරන ආකාරය කියා දෙනවා. ආවේග පාලනයට ගන්න පුළුවන් හොඳම දේ තමා යම් අරමුණක් දුටුවිට එහි අනවශ්‍ය විදිහට සතුටු වන්නේ නැහැ. රූපයක් දැක්කා. දැක්කා පමණයි. මේ ඇස මොනතරම් රූප දැකලා තිබෙනවා ද? ඒ හැම රූපයක්ම මම අල්ලාගෙන නැහැ. මම එහෙම එක් රූපයක් අනවශ්‍ය විදිහට අල්ලා ගත්තොත් මෙම මොනතරම් කල් පවත්වාගෙන ආ සියලුම වටිනාකම් ගිලිහි යන්න පුළුවන්. හොඳ නම නැති වෙන්නත් පුළුවන්. අම්මා තාත්තාට අගෞරවයක් ඇතිවෙන්නත් පුළුවන්. දූ දරුවන්ට අහිත පිණිස එය බලපාන්න පුළුවන් කියලා එහි ආදීනවය දැකලා ඒ රූපයෙන් සතුටුවන ස්වභාවය නැතිකර ගන්න ඕන.
ඒ වගේම ඒ රූපයේ තිබෙන වටිනාකම කියන්න හොඳ නැහැ වගේම ඒ රූපය තුළ කිමිදිලා එයම හිතන්නේ නැහැ. එසේ කෙලෙස් ඇවිස්සෙන විට කෙලෙස් ඇවිස්සෙන්නේ නැති අරමුණක් හිතට ගන්නවා. සිහි කරනවා. එහෙම සිහිකරන කොට අර අයහපත් අරමුණු නැතිවෙලා යනවා. එවිට ආවේග පාලනය වෙනවා. එහෙම කයින් වචනයෙන් ආවේග පාලනය කර ගත්තොත් මුළු සමාජය ධර්මානුකූ®ලව සදාචාර සම්පන්න වෙනවා. ඒ සියලුම දෙයට අපට තියුණු ප්‍රඥාවක් තිබෙන්න ඕන. කල්‍යාණ මිත්‍ර ඇසුරත් තිබෙන්න ඕන. කල්‍යාණ මිත්‍රයාගේ ඇසුර ලැබුනාම ධර්මය හොඳට ශ්‍රවනය කරන්න පුළුවන්. ඒ ශ්‍රවණය කළ ධර්මය හොඳින් නුවණින් විමසල බලල තමාගේ අඩුපාඩු සකසා ගන්නවා නම් ඔහුට යහපත් පුරවැසියෙක් වෙන්න ඉඩකඩ වැඩියි.
එනිසා අප ජීවත්වන සමාජයේ පරිහානිය වලක්වා ගන්න තම තමාටයි පුද්ගලික වගකීම තිබෙන්නේ. අප හරි ආසයි අපට හරි ලෙහෙසෙයි අපේ පරිහානියට තව කෙනෙක් අල්ලලා තියලා හිත හදාගන්න. මෙයා නිසා තමයි මම මේ තත්ත්වයට පත්වුණේ් කියලා අනුන්ට ඇඟිල්ල දික් කරන අය අද සමාජයේ වැඩියි. නමුත් අප දැනගන්න ඕන අපේ තිබෙන දුර්වලකම් නිසා තමයි අප පිරිහිලා තිබෙන්නේ කියා අපේ සිතුවිලි හදා ගන්න පුළුවන්නම් සිතිවිලි පාලනය කර ගන්න පුළුවන්නම් ලෝකයේ කොතනක සිටියත් අපට එය රැකෙන්න පුළුවන්. එයයි වටින්නේ.


 රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රපති
තලල්ලේ
චන්දකිත්ති හිමි



 ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ දුරුතු අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ පෙබරවාරි 09 වනදා සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙන් පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

No comments:

Post a Comment