Labels

Friday, April 3, 2015

~ අනුකම්පක මිත්‍රයා ~

කල්‍යාණ මිත්‍රයෙකුගේ සිව්වන ගණයේ ලක්‍ෂණ වශයෙන් දැක්වෙන්නේ

 1.මිතුරාගේ පිරිහීමේදී සතුටට පත් නොවීම.
2. දියුණුවේදී සතුටු වීම,
3. මිතුරාගේ නුගුණ කියන්නන් වැළැක්වීම,
4. ගුණ කියන්නන් පැසසීම යන ගුණාංගයි.

මෙම ලක්‍ෂණ සහිත මිත්‍රයා අනුකම්පක යනුවෙන් හඳුන්වනු ලැබේ. ඔහු තම මිතුරා කෙරෙහි මහත් අනුකම්පාවකින් කටයුතු කරන හෙයින් එනමින් හඳුන්වා දී තිබේ. තමන් ඇසුරු කරන මිතුරාගේ පිරිහීමේදී දුකට පත්වීමත් එය වැළැක්වීමට උත්සුක වීමත් දියුණුවේදී සතුටු වීමත් උසස් මිනිස් ගුණාංගයකි. අප ඇසුරු කරන මිතුරෙකුගේ පිරිහීම සම්බන්ධයෙන් අප දැක්විය යුත්තේ එය අපට වක්‍රව බලපාන බැවිනි. එවන් අවස්ථාවකදී අපට අපගේ කාලය ශ්‍රමය හා ධනය ඒ වෙනුවෙන් වැය කිරීමට සිදුවේ. එවන් අවස්ථාවක් අපට කිසිසේත්ම මඟ හැරිය නොහැකි ය. මේ හේතුව නිසා තම මිතුරාගේ පිරිහීම වැළැක්වීම පිණිස කටයුතු කිරීම වැදගත් ය. එසේම අප ඇසුරු කරන මිතුරා දියුණුවන්නේ නම් එයද අපට වැදගත් වේ. අපට යම් කරදරයක් හෝ පීඩාවකට මුහුණ දීමට සිදුවන්නේ නම් එවිට ඔහුගේ හෝ ඇයගේ උපකාරය අපට අවශ්‍ය බැවිනි. මෙම පසුබිම යටතේ කල්‍යාණ මිත්‍රයා තම මිතුරාගේ පිරිහීම වළක්වන අතර දියුණුව දැක මුදිතාව ඇති කරගනී. අවසන් ගුණාංග දෙක යටතේ සාකච්ඡා කෙරෙන්නේ තම මිතුරා පිළිබඳ සමාජ සාධකයයි.

ඔවුන් අතර අන් අයගේ දුර්වලතා සොයමින් ඒවා තවත් කෙනෙකුට ප්‍රකාශ කරමින් විනෝදවන අය දක්නට ලැබේ. තම මිතුරාගේ වැරැදි අඩුපාඩු තැනින් තැන කියමින් යන එවන් පුද්ගලයන් වැළැක්විය යුත්තේ එයින් තම මිතුරාගේ කීර්ති නාමයට හානියක් වන බැවිනි. එවැනි ක්‍රියාවලට අනුබල දීම කළණ මිතුරෙකුගෙන් අපේක්‍ෂා කළ නො හැකිය. කෙනෙකුගේ දුර්වලතා තැනින් තැන ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ එම පුද්ගලයා තවදුරටත් සමාජයේ අපහසුතාවට පත්වීමයි. සැම කෙනෙකු තුළම හොඳ නරක අඩු වැඩි වශයෙන් පවතී. සර්ව නිර්දෝශී පුද්ගලයන් සමාජයේ දක්නට නො ලැබේ. පුද්ගල දුර්වලතාවන් යනු ඔහුගේ හෝ ඇයගේ මානසික දියණුවේ මට්ටම නිරූපනය කරයි. විමුක්ත පුද්ගයන් හැර අන් සියල්ලෝම මානසික දුර්වලතාවන්ගෙන් යුක්ත වූවෝ වෙති. ඔවුන්ගේ හැසිරීම් කෙරෙහි එම මානසික දුර්වලතා හේතු වී තිබේ. එම මානසික දුර්වලතා පහසුවෙන් ඉවත් කළ හැකි ඒවා නොවන බැවින් විවිධ මානසික දුර්වලතා සහිත පුද්ගලයන් දෙස බැලිය යුත්තේ සානුකම්පිත දෘෂ්ටියෙනි. අනෙක් අතට තමන් උපමා කරගෙන අන් අය දෙස බැලීමේ බෞද්ධ දෘෂ්ටිය ප්‍රගුණ කළ පුද්ගලයෙකු අන් අය අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු නො කරයි. එවන් අවබෝධයක් සහිත කළණ මිතුරා තම මිතුරාගේ යහපත් ගතිලක්‍ෂණ ගැනම පමණක් සමාජය හමුවේ ප්‍රකාශ කරයි. තම මිතුරා සතු යම් දුර්වලතාවක් වෙතොත් එය පෞද්ගලික මට්ටමෙන් ඔහුට පැහැදිලි කරදී නිවැරැදි කිරීම සැබෑ මිතුරෙකුගේ ස්වභාවය වේ.

ඔබ සැමට තෙරුවන් සරණයි..
බුදුසරණ අන්තර්ජාල කලාපය-උඩුහාවර ආනන්ද හිමි

උපුටා ගැනිමකි

No comments:

Post a Comment