බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ බුදුවරයෙක් කල්පයක් තිස්සේ මනාව දේශනා කළත් කල්පය ගෙවී යයි. එනමුත් බුදු ගුණ අවසන් කළ නොහැකිය. ඒ තරමටම බුදු ගුණ අනන්තය. ලොව බුදු පියාණන්ට සම කළ හැකි දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මනුෂ්‍යයෙක්, ශාස්තෘවරයෙක් නොමැත්තේය. එහෙයින්
උන්වහන්සේ “අසමසම” නාමයෙන් හැඳින්වෙයි. ලොව කිසිදු බසකට හෝ පුද්ගලයෙකුට “ බුද්ධ” යන වචනයට අර්ථ නිවරදිව ප්‍රකාශ කළ නොහැකිය.
බුදුරජාණන් වහන්සේ හැඳින්වීමට නාමයන් 32 ක් අභිධානපපදීකා නම් ග්‍රන්ථයෙහි සඳහන් වෙයි. ඒවා “ බුද්ධෝ දසබලො සත්ථා ” යනාදි වශයෙන් දැක්වෙයි. මේ අනුව 32 සංඛ්‍යාවට විශේෂ ස්ථානයක් පාලි ග්‍රන්ථ වල දැක්වෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කළ තැනැත්තා ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. එම සත්‍ය දේශනා කරන උත්තමයා වන්නේද බුදුපියාණන් වහන්සේය.
කාම, රූප, අරූප යන තුන් ලොවටම ශ්‍රේෂ්ඨ වචනය බුද්ධ යන වචනයයි. දෙවනුව “ධම්ම” තුන්වෙනුව “ සංඝ” යන වචන පිළිවෙළට දැක්වෙයි. බුදුපියාණන් වහන්සේ සොයාගත් සත්‍යය ධර්මය වශයෙන්ද උන්වහන්සේගේ ශ්‍රාවකයන්, සංඝයා වශයෙන්ද හඳුන්වනු ලැබේ. මෙහිදී බුද්ධ යන වචනය පිළිබඳ විමසුමක් කිරීම ඉතා සුදුසුය.
“බුද්ධ” යන වචනය පිළිබඳ විමසීමේදී අපට පෙනී යන කරුණු බොහෝ ඇත. ඉන් වැදගත්ම කරුණ වන්නේ බුදුවරු සතර නමක් ගැන කියන කරුණය. ඒවා වන්නේ සුත බුද්ධය, චතුසත්‍ය බුද්දය, පච්චේක බුද්ධය, සබ්බඤ්ඤා බුද්ධය යන සතර බුදුවරුය. එම බුදුවරු පිළිබඳ විමසීමක් කිරීම මෙහිදී වැදගත් වෙයි.
ස්කන්ධ, ධාතු, ආයතන, සතර සතිපට්ඨානයන්ගේ අර්ථ අවබෝධ කිරීමෙන් ද ප්‍රශ්න විසඳීමේදී ඇසු පිරූ භාවයක් ඇති ධර්මානු ධර්ම ප්‍රතිපත්තියෙන් යුක්තව, අන්‍යයන්ට ලොව්තුරු සැප සිද්ධකරන අර්ථයෙන් වැඩ වෙසෙන ශ්‍රාවකයන් වහන්සේම “ සුත බුද්ධ” වන සේක.
චතුරාර්ය සත්‍ය අවබෝධ කළ සතර මග, සතර ඵලයට පත් නිර්වාණය අවබෝධ කර ගත් උත්තමයා “ වතු සච්ච බුද්ධ ” වන සේක. පෙර පින් බලය සහිතව චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගත් නමුදු අන්‍යයන්ට එය අවබෝධ කිරීමට නොහැකි පින්වත් උතුමාණන් වහන්සේ “පච්චෙක බුද්ධ” හෙවත් පසේ බුදුරජාණන් වහන්සේ වන සේක.
සියලු ධර්මයන් තත්වාකාරයෙන් කිසිඳු අඩුවක් නොකොට පිරිසිඳ දත් හෙයින් “සබ්බඤඤා බුද්ධ” වන සේක. තමන් වහන්සේ අවබෝධ කළ චතුරාර්ය සත්‍ය ඤාණය අන්‍යයන්ට අවබෝධ කිරීමට සමත් හෙයින්, “සර්වඥ” නම් වන බව අප මෙහිදී තේරුම් ගත යුතුව ඇත.බුදුරජාණන් වහන්සේ තථාගත, තිලෝගුරු සම්මා සම්බුද්ධ යන විවිධ පර්යාය නම් වලින් හඳුන්වනු ලබයි.
බුදුරජාණන් වහන්සේගේ ගුණ “ ඉතිපිසෝ” ගාථාවෙන් පැහැදිළි වෙයි. එහිදී අරහං, සම්මා සම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී, සත්ථා දේවමනුස්සානං , බුද්ධෝ භගවා යන නම් වලින් ගුණ සිහි කෙරේ. එම නම් සිහිපත් කරන කවර අයෙකුට වුවද ඉන් යහපත සැලසේ. තුන් සූත්‍ර දේශනාවේ බුදු ගුණ, දහම් ගුණ සඟ ගුණ කියවේ.
එමගින් අපට ඇති වන දුර්භික්‍ෂ බිය,රෝග බිය,අමනුෂ්‍ය බිය, දුරු වී සෙත් සුව උදා වන බව සැමදෙනා දන්නා කරුණකි.
බුදුරජාණන් වහන්සේ ගේ ගුණ බුදුවරයෙකුටවත් කියා අවසන් කළ නොහැකිය. ඒ බව මෙසේ සඳහන් වෙයි.
“බුද්ධෝපි බුද්ධස්ස භන්‍යෙයවණ්නං කප්පංචි චෙ අඤ්ඤ මහා සමාණෝ ඛියෙථ
කප්පෝ චිර දීඝ මන්තරේ වණ්ණෝ න ඛියෙත, තථාගතස්ස”
බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණ බුදුවරයෙක් කල්පයක් තිස්සේ මනාව දේශනා කළත් කල්පය ගෙවී යයි. එනමුත් බුදු ගුණ අවසන් කළ නොහැකිය. ඒ තරමටම බුදු ගුණ අනන්තය. ලොව බුදු පියාණන්ට සම කළ හැකි දෙවියෙක්, බ්‍රහ්මයෙක්, මනුෂ්‍යයෙක්, ශාස්තෘවරයෙක් නොමැත්තේය. එහෙයින් උන්වහන්සේ “අසමසම” නාමයෙන් හැඳින්වෙයි. ලොව කිසිදු බසකට හෝ පුද්ගලයෙකුට “ බුද්ධ” යන වචනයට අර්ථ නිවරදිව ප්‍රකාශ කළ නොහැකිය.
බුදු බව පතා වීර්ය වඩන මහා පුරුෂයාණෝ බෝසත් නමින් හඳුන්වනු ලැබේ. ඒ සඳහා පිරිය යුතු ගුණ ධර්ම ඇත. අපි ඒවා පාරමී නමින් හදුන්වයි.
ඒවා තේරුම් ගෙන පිළිපැදීම ක්‍රියා කිරීම, ඒ පිළිබඳ සෙවීම, පාරමී ධර්ම පිළිබඳව නිර්වචනයක් වන්නේය. මේ සඳහා ගත වන කාලය කල්ප ගණනක් යැයි පැවසීමද නිවැරැදි වෙයි.
පාරමී ධර්ම යන්නෙන් දසවිධ ගුණ ධර්මයක් විස්තර කරයි. ඒවා දානය, ශීලය, නෛෂ්ක්‍රම්‍යය, ප්‍රඥාවය, වීර්යය, ක්‍ෂාන්තිය, සත්‍යය, අධිෂ්ඨානය, මෛත්‍රිය,උපේක්ෂාවය, යනුවෙන් කොටස් 10 කි. එම කොටස් 10 දස පාරමිතා නමින් හදුන්වනු ලැබේ. මෙම පාරමිතා ධර්ම නැවත කොටස් 03 කට බෙදෙයි.
1. දාන පාරමිතාව
02. දාන උප පාරමිතාව
3. දාන පරමත්ථ පාරමිතාව
මෙසේ කොටස් වලට බෙදී ගොස් එකතුව සම ත්‍රිංශත් පාරමිතා යැයි 30 ක් පාරමිතා ගැන කියවෙයි.
බුද්ධ යන උත්තරීතර තත්ත්වයට පත්වන උත්තමයාට හිමිවන ගුණයන් අතර නවඅරහාදී බුදු ගුණ, දස බල, චතුර් වෛශාරද්‍යඥාන, අෂ්ටලෝක ධර්මයෙහි කම්පා නොවන බව යනාදි ගුණාංගයෝ වෙති. මජ්ඣිම නිකායේ මහා සීහ නාද සූත්‍රයේදී බුදුපියාණන් වහන්සේ ඤාණ බලයක් ඇති බව පැහැදිළි කරයි.
1. ධාන අට්ඨාන ඤාණ
2. අතීත අනාගත පච්චුප්පන්න ඤාණ
3. සබ්බත්ථ ගාමිණී පටිපදා ඤාණ
4. අනෙක ධාතු නානා ධාතු ලොඤාණ
5. සත්තානං නානාධිමුක්තිකතා ඤාණ
6. පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්‍රිය පරොජරි යත්ත ඤාණ
7. ජඣාන විමොක්ඛ සමාධි සමාපත්තීනං සංකි ලෙස වොදාන වුටඨාන ඤාණ
8. පුබ්බේ නිවාසානුස්සති ඤාණය
9. දිබ්බ චක්ඛු ඤාණ
10. ආස වක්ඛය ඤාණ
බුදුරජාණන් වහන්සේගේ ළඟින් ඇසුරු කළ ශ්‍රාවකයෙක් වූ ආනන්ද හිමියන් පවසන පරිදි බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨතම ආගමික නායකයා වෙයි. එසේ වන්නේ පහත දැක්වෙන කරුණු අනුවය.
01. නූපන් මගක් ඉපද වූ නිසා
02. නොදත් මගක් කියාදුන් නිසා
03. ප්‍රකාශයට පත් නොකළ මගක් ප්‍රකාශ කළ නිසා
එමෙන්ම “අපරිවණ්ණෝ සොභවං ගොතමො “ විස්තර කළ නොහැකි ගුණයක් උන්වහන්සේ තුල ඇත. එකොම්හි සම්මා සම්බුද්ධො ලෝකයේ පහළ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේය. “දුල්ලභෝ ලොකස් මිං යදිදං බුද්ධො” බුදුවරු ලෝකයේ දුලබය . උන්වහන්සේලා සත්‍ය මග හෙලි කරති. ශ්‍රාවකයෝ ඒ මග යන්නෝය.
ලෝකයේ යථා ස්වභාවය තේරුම් ගෙන අන්‍යයන්ට එය පැහැදිළි කොට නිවැරදි මග හෙළි කිරීම බුදුරජාණන් වහන්සේගේ වැදගත්ම කාර්ය වෙයි.
උන්වහන්සේට යථාභූත ඤාණ දස්සනය පිහිටා තිබීමෙන් ඒ බව තහවුරු වෙයි. සර්වතාඥානය උන්වහන්සේට ඇති බවද මිලින්ද ප්‍රඤ්හයෙන් මෙපිට ලියවුණ ග්‍රන්ථවල සඳහන් වෙයි. සර්වතාඥානය යනුවෙන් අදහස් කරන්නේ සියල්ල දත් නුවණක් උන්වහන්සේට පවතින බවකි. බුදුරජාණන් වහන්සේට අතීත කර්ම විපාක, වර්තමාන, අනාගත වශයෙන් කාලත්‍රයට අයත් කර්ම විපාක හේතු වශයෙන් එකවර ප්‍රකාශ කළ හැකිය.
බුදුරජාණන් වහන්සේට විශ්වය පිළිබඳ මනා දැනුමක් ද පවතියි. මෙම පිළිබඳ විස්තරයක් අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වෙයි. එහි දැක්වෙන අන්දමට දස දහසක් ලෝක චක්‍රාවාටවලට ඇසෙන්නට ධර්ම දේශනා කරන්නට බුදුරජාණන් වහන්සේට හැකිය.
තෙරුවන් සරණයි..
(බුදුසරණ පත්‍රය)
No comments:
Post a Comment