Labels

Friday, April 3, 2015

බුදු නුවණින් දුටු දිගුකල් ජීවත් නොවීමේ රහස්

දුතිය ආයුස්ස සූත්‍රය




බුදු රජාණන් වහන්සේ තමන් වහන්සේගේ අසිරිමත් බුදු නුවණින් දැක වදාල මිනිසුන්ගේ ආයුශ වර්ධනය නොවීමට බලපාන කරුණු පිළිබදව අප දැන් අවධානය යොමු කරමු .මෙම ලිපියෙන් විස්තර වන්නේ දුතිය ආයුස්ස සූත්‍රය තුල දේශිත ධර්ම කාරණා පිළිබඳවයි. එහි මෙසේ විස්තර වෙයි...

පඤ්චිමේ භික්ඛවේ ධම්මා අනායුස්සා කතමේ පඤ්ච......
පින්වතුනි, මේ දේශනාව දෙස බලන විටද පෙනී යන්නේ අපගේ ආයුෂ අඩුවීම හෝ වැඩිවීම කෙරෙහි අපගේ ම ඇවතුම් පැවතුම් බොහෝ ලෙස බලපාන බවයි. ආයුෂ අඩුවීමට බලපාන පළමුවන කරුණනම්
1.අසප්පායකාරී හෝති . ඒ කියන්නේ නොගැළපෙන ක්‍රියා කිරීමයි. කෑම බීම ඇඳුම් පැළඳුම් බේත් හේත් ගමන් බිමන් ආදී සියල්ල තමාගේ වයසට සහ සෞඛ්‍යය තත්ත්වයට ද ගැලපෙන අයුරින් සිදුකළ යුතුය.

2.සප්පායේ මත්තං න ජානාති - ගැලපෙන දෙයක් වුවද ප්‍රමාණය නොදැනීම, ජීවිතයට අහිතකර විය හැකියි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ඉහත සඳහන් නොගැළපෙන දේ බැහැර කර ගැළපෙන දේ තෝරා ගත්තද ඒ සියල්ලෙහි නියමිත ප්‍රමාණය ද දැනගත යුතු වේ.

3.අපරිනත භෝජී ච හෝති - ඒ කියන්නේ ගත් ආහාර දිරවන්නට කලින් නැවත ආහාර ගැනීමයි. එම කාරණය පිළිබඳව ඇතැම් දෙනා වැඩි අවධානයක් යොමු නොකළද මෙය ඉතාමත් ශරීරයට අහිතකර දෙයක් විය හැකිය.

4. දුසිල්වත් බවයි. පින්වතුනි එම කාරණය මෙලොව පරලොව දෙපැත්තෙන්ම ජීවිතයට අහිත කරයි. පස්පව් කිරීම නිසා මෙලොව ඒ තැනැත්තාගේ ජීවිත කාලය කෙටි වෙන්නට පුළුවන්.

5.පාපමිත්තෝච. ඒ කියන්නේ පවිටු මිතුරන් ඇති බවයි. පින්වතුනි ආයුෂ කෙටි වීමට ඉහත කරුණුවලට අමතරව මේ පාප මිත්‍ර සේවනයද බලපානවා. ඒ වගේම පාප මිත්‍ර සේවනයෙන් මෙහිදී වන විශාලතම පාඩුව නම් ආයුෂ වැඩිවීම සඳහා හේතු වන යම් පුණ්‍ය ප්‍රතිපදාවක් ඇත්නම් මේ පවිටු මිතුරන් නිසා එය අහිමි වී යාමයි. ආයුෂ රඳා පවතින්නට හේතුවන පුණ්‍ය ශක්තිය පිරිහීම ආයුෂ පිරිහීමට හේතුවක් වෙනවා.
ඔබත් මෙම ඉහත සදහන් කරන ලද කාරණාවන් ගෙන් මිදී ලද මිනිසත් බවින් උපරිම ප්‍රයෝජන ගෙන මෙලොව පරලොව යහපත කරගෙන අමා මහ නිවනිසන් සැනසීමට අදිටන් කරගන්න .

ඔබ සැමට සම්මා සම්බුදු සරණයි

උපුටා ගැනිමකි

No comments:

Post a Comment