Labels

Saturday, April 4, 2015

මල් පිදීමේ අනුසස්.....

සුමන මල්කරුගේ කථා වස්තුව



අප බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ රජගහනුවර බිම්බිසාර රජතුමාට දිනපතා මල් සපයන සුමන නම් මිනිසෙක් විය. එක් සමයෙක්හි තථාගතයන් වහන්සේ පෙරවරු කාලයේ මහා භික්ෂූ සංඝයා විසින් පිරිවරන ලදුව සවනක් ඝන බුදුරැස් මාලාවන් විහිදුවමින් මහත් වු බුද්ධානුභාවයෙන් බුද්ධලීලාවෙන් පිඬු පිණිස රජගහනුවරට වන් සේක.
රජුට සමන් මල් අට නැළියක් ගෙන යන්නා වූ සුමන මල්කරු ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් හා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ අසූ අනුව්‍යඤ්ජනයෙන් ශෝභාවත් වූ රුවන් පහන් ගසක් වැනි තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහය දැක, අතිශය පහන් වූ සිත් ඇත්තේ කුමකින් තථාගතයන් වහන්සේට පූජාවක් කරන්නෙම්දෝ යි සිතනුයේ පූජා කිරීමට අන් දෙයක් නො දක්නේ රජුට ගෙන යන්නා වූ මේ මලින් තථාගතයන් වහන්සේ පුදමියි සිතා නැවත “දිනපතා රජුට ගෙන යන මේ මල් නො ගෙන ගියහොත් රජු කිපී මා සිර කරන්නට ද පිළිවන, රටින් නෙරපන්නට ද පිළිවන, මරන්නට ද පිළි වෙන, එහෙත් කරන්නට දෙයක් නැත, රජු මට කරන දෙයක් කරාවා, මේවා රජුට ගෙන යාමෙන් ඔහු මට දෙතත් දෙන්නේ මේ ආත්ම භාවයේ ජීවත් වීමට තරම් සුළු දෙයකි. මේ මලින් බුදුන් වහන්සේ පිදුව හොත් මට එය අනේක කල්ප කෝටීන්හි සැපගෙන දෙන පිනක් වන්නේ ය.
ඒ නිසා වන්නක් වේවා. මේ මල් මම බුදුනට ම පුදමි” යි සිතා පළමුවෙන් මල් දෙමිටක් ගෙන තථාගතයන් වහන්සේ දෙසට විසි කළේ ය.
ඒ මල් එකකුදු බිම නොවැටී තථාගතයන් වහන්සේ මතුයෙහි අහස්හි වියනක් මෙන් සැදී සිටියේ ය. එය දැක අතිශයින් පහන් වූ සුමන තවත් මල් දෙමිටක් ගෙන බුදුරදුන් දෙසට විසි කළේ ය. ඒ මල් බුදුරදුන් දකුණු පසින් තිරයක් මෙන් සෑදී අහස්හි සිටියේය. තවත් දෙමිටක් විසි කෙළේය. ඒවා තථාගතයන් වහන්සේ පිටිපසින් තිරයක් සේ සෑදී සිටියේ ය. තවත් දෙමිටක් විසි කළේය. ඒවා තථාගතයන් වහන්සේගේ වම් පසින් තිරයක් සේ සෑදී සිට ගත්තේ ය.
බුදුරජාණන් වහන්සේ රිදීපටින් වසන ලද්දකු සේ ඉදිරියට වැඩම කළහ. මල් ද එකකුදු නො වැටී නො විසිරී තථාගතයන් වහන්සේ අනුව ගියේය. තථාගත ශරීරයෙන් නික්ම උන් වහන්සේ වටා තුන්යලක් ගමන් කොට ඉදිරියට දුවන්නා වූ බුදුරැස් දහරාවන් නිසා ඒ මල් වඩාත් ශෝභාවත් විය. ඒ ප්‍රාතිහාර්යය දැක සතුටට පත් මහජනයා ඔල්වරසන් නඟමින් සළු උඩ දමමින් සළු හිසවට කරකවමින් බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් ගමන් ගත්හ. තථාගතයන් වහන්සේ ද මල්කරුගේ ගුණය ප්‍රසිද්ධවනු පිණිස නගරයේ ප්‍රධාන මාර්ගයේ ම ගමන් කළහ.
මල්කරුගේ සකල ශරීරය පස්වනක් ප්‍රීතියෙන් පිරී ඉතිරී ගියේය. ඔහු මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට මනෝසිලා රසයෙහි ගැලෙන්නාක් මෙන් බුදුරැස් තුළට වැද උන් වහන්සේට ස්තුති කොට වැඳ හිස් පැස ගෙන ගෙදර ගියේ ය.
ඔහු හිස් පැස ගෙන ගෙදර ගිය කල්හි භාර්යාව “මල්වලට කුමක් කෙළෙහි දැ”යි ඇසීය. “තථාගතයන් වහන්සේට පිදුවෙමි” යි මල්කරු කීය. “දැන් රජුට කුමක් කරන්නෙහිද”යි භාර්යාව ඇසූ කල්හි “රජු මට කරන දඬුවමක් කෙරේවා යි ජීවිත පරිත්‍යාග කොට මම මල් පිදුවෙමියි” කියා සිදුවූ සියලු ප්‍රාතිහාර්්‍යය ද ඇයට කීය. ඈ බිය වී සැමියාට ද බැණ වැදී දරුවන් ද ගෙන රජු වෙත ගොස්, “දේවයන් වහන්ස, මාගේ සැමියා නුඹ වහන්සේට ගෙනෙන මල් බුදුරදුන් පුදා හිස් පැස ගෙන ගෙදර ආයේය. මා විසින් මල්වලට කුමක් කළෙහිදැයි අසූ කල්හි ඒ බව මට කීයේ ය.
ඔහු කළ වරදින් මටත් විපතක් වේදෝයි මම ඔහු හැර දරුවන්ද ගෙන නුඹ වහන්සේ වෙත පැමිණියෙමි. දේවයන් වහන්ස, ඔහු කළ දෙය යහපතක් ද, නපුරක් ද කියා මම නො දනිමි. එය කුමක් වුවත් එය ගැන මගේ සම්බන්ධයක් නැත. මම ඔහු අත්හැර දැමීමි” යි කීවාය. රජතුමා බුදුරදුන් ගේ ප්‍රථම දර්ශනයේ දී ම සෝවාන් ඵලයට පැමිණි ආර්ය ශ්‍රාවකයෙකි. එතුමා මේ අනුවණ ගැහැනියට මෙතරම් මහත් ප්‍රාතිහාර්යයකදී ද සිත පහදා ගත හැකි නොවී යයි සිතා, කිපුණු ආකාරයක් දක්වා “කිමෙක්ද මට ගෙනා මල් තිගේ සැමියා බුදුනට පිදුවේ දැ”යි ඇසීය. “එසේය, දේවයන් වහන්ස” යි පිළිතුරු දුන්නීය. එකල්හි රජතුමා “ඒ මිනිසා හැර දැමීමෙන් තී කළ දෙය ඉතා යහපති, මාගේ මල් පූජා කළහුට කළ යුත්ත මම දනිමි”යි කියා ඇය පිටත් කර හැර වහා ගොස් ඒ ප්‍රාතිහාර්ය නරඹමින් තථාගතයන් වහන්සේ සමඟ ම ගමන් කෙළේය.
ශාස්තෘන් වහන්සේ රජුගේ ප්‍රසාදය දැක අණබෙර හසුරුවන වීථියෙහි ම ගමන් කොට රජගෙදර සමීපයට පැමිණි සේක. රජතුමා පාත්‍රය ගෙන තථාගතයන් වහන්සේ රජමැදුරට වැඩමවා ගන්නට සිතුවේය. තථාගතයන් වහන්සේ රජමිදුලෙහි ම වැඩ හිඳිනු කැමති ආකාරය දැක්වූහ. රජතුමා ලෝකනාථයන් වහන්සේ ගේ අදහස දැන වහ වහා එහි මණ්ඩපයක් කරවීය. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා හා එහි වැඩහුන් සේක. තථාගතයන් වහන්සේ රජගෙට නො වැඩ එළිමහනෙහි ම වැඩ සිටියේ මල්කරුගේ ගුණය මහජනයා අතර වඩාත් ප්‍රකටවනු පිණිස ය. රජතුමා බුදුන් ප්‍රමුඛ මහා සඟනට දන් දිණ.
තථාගතයන් වහන්සේ වළඳා අවසානයේ අනුමෙවෙනි බණ වදාරා පළමු පරිදි ම මල් වියන් මල්තිර තිබිය දී ම මහ පෙරහරින් මහජනයා සමඟ ම වෙහෙරට වැඩම කළ සේක. උන්වහන්සේ ගඳකිළියට පිවිසෙන කල්හි ඒ මල් ගඳකිළිය දොරකඩ වැටිණ.
රජතුමා මඳ දුරක් තථාගතයන් වහන්සේ හා ගමන් කොට නැවතී මල්කරුවා ගෙන්වා “නුඹ මට ගෙනෙන මල් කුමක් සිතා බුදුනට පිදුවෙහි දැ”යි ඇසීය. “එකෙණෙහි මට ඇති වු බලවත් චිත්ත ප්‍රසාදය නිසා රජ්ජුරුවන් වහන්සේ මා මරතොත් මරත්වා රටින් නෙරපතොත් නෙරපත්වා යි ජීවිතය පරිත්‍යාග කොට ඒ මල් පිදුවෙමි”යි මල්කරු කීය. රජතුමා ඔහුගේ ක්‍රියාව ගැන පැහැදී “නුඹ මහා පුරුෂයෙකැයි”යි ඔහුට පවසා ඇතුන් අටදෙනෙකුන් ද, අසුන් අට දෙනකුන් ද, දාසයන් අට දෙනකුන් ද, දාසියන් අට දෙනකුන් ද, මහාර්ඝ පළඳනා ද, කහවනු අට දහසක් ද, සර්වාලංකාරයෙන් සැරසූ කාන්තාවන් අට දෙනකුන් ද, ගම් අටක් ද යන මේ සියල්ල ඔහුට ප්‍රදානය කෙළේය. සියල්ලෙන් අට බැගින් ඇති බැවින් සර්වාෂ්ටක නම් වූ ඒ පරිත්‍යාගය මල්කරු ඒ පූජාවෙන් එදින ම ලැබූ අනුසස් ය.
ආනන්ද ස්ථවිරයන් වහන්සේ “සුමන මල්කරුගේ පූජාව නිමිත්තෙන් අද උදෑසන පටන් ම මහා ප්‍රීති ඝෝෂාවක් පවත්නේය. ඔහුට ඉන් ලැබෙන්නා වූ විපාකය කුමක් දෝයි තථාගතයන් වහන්සේගෙන් අසමි”යි සිතා උන්වහන්සේ වෙත එළඹ “මල්කරුට ඒ පූජාවෙන් වන විපාක කවරේද”යි ඇසූහ. “ආනන්දය! මේ මල්කරු විසින් කරන ලද්ද සුළු කොට නො සිතව. හෙතෙමෙ මාහට දිවි පුදා ඒ පූජාව කෙළේ ය. හෙතෙමේ මා කෙරෙහි ඇති කරගත් ඒ චිත්ත ප්‍රසාදයෙන් කල්ප ලක්ෂයක් දුර්ගතියකට නො පැමිණෙත් ය. එතෙක් කල් ඔහු දෙව් මිනිස් සැප විඳ අන්තිමේදී සුමන නම් පසේ බුදු වන්නේ ය”යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

උපුටා ගැනිමකි

No comments:

Post a Comment