Labels

Monday, April 6, 2015

අප්‍රමාණව පින්කම් කළත් ඔබ දුස්සීල නම් කොහේටද යන්නෙ...?


විචිත්‍ර වූ පින්කම් අප රටේ අප්‍රමාණ ලෙස සිද්ධ වෙනවා. ඒ වගේම ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ පින්කම් තුළින් කාරණා 3ක් සිදු වෙනවා කියලා. මෙවැනි පින්කම් තුළින් “දුගතිය” කියන කාරණේ සකස් කරගන්න පුළුවන්. මෙවැනි පින්කම් තුළින් ‘සුගතිය’ කියන කාරණේ සකස් කරගන්න පුළුවන්. මෙවැනි පින්කම් තුළින් “විදර්ශනා නුවණ, ඥානය” කියන කාරණය සකස් කරගන්න පුළුවන්. මේ කාරණා තුනම පින්කමක් තුළ සැඟ විලා තියෙනවාය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.

අපි දැකලා තියෙනවා මොණරා කියන පක්ෂියා, පක්ෂි ලෝකයේ විචිත්‍ර වූ පක්ෂියෙක්, මොණරාට මේ විචිත්‍රභාවය ලැබෙන්නේ කුමක් නිසාද එයා පෙර ජීවිතවල මනුෂ්‍ය ජීවිතයක ඉපදිලා කරගත්තා වූ පින්කම්වල අසිරිමත් භාවය නිසයි මොණරාට විචිත්‍ර භාවයක් ලැබෙන්නේ. මනුෂ්‍ය ජීවිතයක් ලබලා එයා පින්කම් සිද්ධ කර ගත්තා නමුත් සිල්පද ආරක්ෂා කරගෙන නෙවෙයි පින්කම් සිද්ධ කර ගත්තේ. සිල්පද ආරක්ෂා කර නොගැනීම නිසා හතර අපායට, තිරිසන් ලෝකයට වැටුනා. නමුත් කළා වූ පින්කම නිසා, ඒ තිිරිසන් ලෝකයේ දී විචිත්‍ර භාවය ලැබුණා. එය හේතු ඵල ධර්මයක්.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ එක්තරා ගංඟාවක ලස්සන මාළුවෙක් හිටියා. ඒ මාළුවා රත්තරන් පාටයි. රත්තරනින් නෙළුවා වගේ වර්ණවත්. නමුත් මේ මාළුවා කට ඇරිය ගමන් ප්‍රදේශයේ ම දුර්ගන්ධයක් පැතිරෙනවා. ඉන්න බෑ කාටවත්. මේ මාළුවාව අල්ලලා ජනතාව අරගෙන යනවා බුදුරජාණන් වහන්සේ ළඟට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ මාළුවා පෙර කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී පැවිදි වෙලා සිටි ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේ පින්කම් සිද්ධ කළා. නමුත් සිල්පද ආරක්ෂා කර ගත්තේ නැහැ. පිසුනාවාචා, පරුෂාවාචා, සම්ප්‍රප්ඵලාපා, මුසාවාදා කියන සිල්පද ආරක්ෂා කර ගත්තේ නැහැ. ඒ නිසා තිරිසන් ලෝකයට වැටුනා. මාළු කුලයක ඉපදුනා. නමුත් වචනයෙන් සිද්ධ කරගත්තා වූ අකුසල් සිද්ධ කරගැනීම නිසා කට අරිනකොටම මහා දුර්ගන්ධයක්. එය හේතු ඵල ධර්මයක්. එතකොට බලන්න, පින්කම් සිද්ධ කළා නමුත් ශීලයෙන් පරිපූර්ණ භාවයට පත්වුණේ නැහැ.
අපි දිව්‍ය ලෝකය කියද්දි නිතරම දකින්නේ දෙවියා, දිව්‍යාංගනාව කියන කාරණය පමණයි. නමුත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දිව්‍ය තලවල දිව්‍ය සත්ත්වයින් ජීවත් වෙනවා කියල. ඒ ගොල්ලන්ට දෙවියා, දිව්‍යාංගනාව කියන තැනට යන්න පුළුවන් කමක් ලැබුනේ නැහැ. දිව්‍ය සත්වයින් වෙලා ඒ ගොල්ලෝ දිව්‍ය ලෝකේ උපත ලබනවා.
ස්වාමීන් වහන්සේ නමක් සමාධියෙන් අරමුණු කර බලනකොට ඒ ස්වාමීන් වහන්සේට පෙනෙනවලු, දිව්‍ය අජානීය අශ්වයින්, දිව්‍ය ඇතුන් දිව්‍ය හාවුන්, දිව්‍ය මොණරුන් මේ දිව්‍ය ලෝකේ ජීවත් වෙන්නා වූ සතුන්. මෙතන දී ඒ ස්වාමින් වහන්සේට අරමුණු වෙනවලු දිව්‍ය අජානීය අශ්වයෙක්. ඒ දිව්‍ය අජානීය අශ්වයා අඩි 7ක් විතර උසයි. එයා අපේ මනුෂ්‍ය ලෝකයේ අශ්වයෝ වගේ කළු පාට, දුඹුරු පාට, සුදු පාට නොවෙයි. මොණරාගේ යම් විචිත්‍ර වර්ණයක් ද තියෙන්නේ ඒ සා විචිත්‍ර වර්ණයක් තමයි මේ අශ්වයාට තියෙන්නේ. එතකොට මේ දිව්‍ය අශ්වයා පෙර ජීවිතයේ කව්ද කියා ඒ ස්වාමීන් වහන්සේ අරමුණු කරල බලද්දී උන් වහන්සේට පෙනෙන්නේ ගිය ජීවිතයේ එයා ස්වාමීන් වහන්සේ නමක් කියල. පින්කම් සිද්ධ කළා. ඒත් ශීලයේ දුර්වල භාවයන් තිබුණා. ශීලයේ දුර්වල භාවයන් තිබුණු නිසා දෙවියා, දිව්‍යාංගනාව කියන තැනට යන්න පුළුවන් වුණේ නැහැ. දිව්‍ය ලෝකයේ අජානීය අශ්වයෙක් වෙලා ආයුෂ, වර්ණය, සැපය, බලය පිරුණු අශ්වයෙක් හැටියට උත්පත්තිය ලැබුවා. ආයුෂ, වර්ණය, සැපය, බලය පිරිලා. එයා යම් තෘප්තියක්, ආහාරයක් ලබන්න ඕන නම් දිව්‍ය ඕජාව තුළින් ඒවා ලැබෙනවා.
ඒ පින් ඔක්කොම තියෙනවා. නමුත් ශීලයෙන් දුර්වල භාවය නිසා දෙවියා. දිව්‍යාංගනාව කියන තැනට යන්න පුළුවන්කම ලැබුණේ නැහැ. අන්න එහෙනම් බලන්න, පින්කමක් සිද්ධ කරද්දී ඒ පින්කම තුළ දුගතිය කියන කාරණේ සැඟවිලා තියෙනවා. මොකද අපේ රට අප්‍රමාණ පින්කම් සිද්ධ වෙන රටක්. වෙසක් කාලය ගත්තත්, පොසොන් කාලය ගත්තත්, ගොඩක් පින්කම් සිද්ධ කරනවා. නමුත් සමහරු මේ පින්කම් සිද්ධ කරන්නේ පින්කම ඉවර වුනාට පස්සේ පාවිච්චි කරන්න මත් වතුර ටික අරන් තියාගෙන. එහෙම නැත්නම් බොරු කියමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. කාමයෙහි වරදවා හැසිරෙමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. නැත්නම් මිච්චා ආජීවයෙන් සායාගත්තු මුදල් වලින් තමයි පිංකම් සිද්ධ කරන්නේ. ශීලයෙන් දුශ්ශීලභාවයට පත්වෙලා සිල්පද බිඳලා. ශීලයට වටිනාකමක් ලැබිල නැහැ. ශීලයට වටිනාකමක් නොදීම නිසා අපි හතර අපායන්ට වැටෙනවා. කළ පින්කම නිසා ඒ සතර අපායේදී විචිත්‍ර භාවය ලැබෙනවා. මේවා හේතු ඵල ධර්මයන්.


 රාජගිරියේ අරියඤාණ හිමි

උපුටා ගැනිමකි

No comments:

Post a Comment