Labels

Tuesday, April 14, 2015

මැරෙන්න පෙර මරණය ගැන හිතන්න

උපදින සෑම කෙනෙක්ම කවදා හෝ මියයයි. එය අතීතයෙත් එසේය. අදත් එසේය. අනාගතයෙත් එසේම වෙනු ඇත. කිසිවෙකුට මරණයෙන් ගැලවීමක් නැත. ආගමානුකූලව බලන විට සත්ත්වයාට මරණය ගෙනෙන මාරයා පවා දිනක මැරෙන්නේය. ඒ අද සිටින්නේ එදා සිටි මාරයා නොවන නිසාය. මරණය ගැන බුදුරජාණන් වහන්සේ තරම් දේශනා කළ වෙනත් ආගම් කර්තෘවරයෙක් තවත් නොමැත. එම නිසාත් අප කවදා හෝ මරණයට මුහුණ දෙන නිසාත් මරණය යනු කුමක්ද? එය සිදුවන්නේ කෙසේ දැයි යන්න දැන ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.
බුදුරජාණන් වහන්සේ මරණ වර්ග සතරකින් මරණය සිදුවන බව දේශනාකර ඇත. ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය සහ උපජ්ජේදක මරණය යනුවෙනි.
ආයුක්ඛය මරණය: සෑම සත්ත්ව කොට්ඨාසයකටම නියමිත ආයු කාලයක් තිබේ. උදාහරණයක් ලෙස ගතහොත් මිනිසාට අවුරුදු 120 ක් පමණ වේ. සුනඛයා අවුරුදු 15 ක් පමණද අලියා අවුරුදු 60ක් පමණද වේ. වැඩිම ආයු කාලය ජීවත් වන්නේ ඉබ්බාය. උගේ ජීවිත කාලය අවුුරුදු 150 ක් පමණ වේ. මෙම නියමිත ආයු කාලයම ගෙවී අවසාන වූ පසු සිදුවන මරණ ආයුක්ඛය මරණ ලෙස හඳුන්වනු ලැබේ.
කම්මක්ඛය මරණය: ඒ ඒ සත්ත්ව කොට්ඨාසයට නියමිත ආයු කාලය කෙතෙක් වුවත් යම් සත්ත්වයෙකු ජීවත්වන කාලය තීරණය වන්නේ එම සත්ත්වයා පෙර භවවලදී කරන ලද කුසල අකුසලයන්ගේ පල විපාක අනුවය. සුගතියක නම් කුසල් කළ පුද්ගලයා එම සුගතියේ වැඩි කාලයක් ජීවත් වේ. අකුසල් කළ පුද්ගලයෙක් නම් කෙටි කාලයක් ජීවත් වේ. එසේම දුගතියක නම් කුසල් කළ පුද්ගලයා කෙටි කාලයක්ද අකුසල් කළ පුද්ගලයා වැඩි කාලයක්ද ජීවත් වේ. මෙසේ සත්ත්ව කොට්ඨාසයට නියමිත ආයු කාලය වඩා අඩු කාලයකින් කර්ම කාලය ගෙවී යාමෙන් සිදුවන මරණය කම්මක්ඛය මරණය ලෙස හැඳින්වේ.
උභයක්ඛය මරණය: ආයුෂ කාලය හා කර්ම කාලය එකවරම ගෙවීයාමෙන් සිදුවන මරණයයි. මෙවන් මරණයන් සිදුවන්නේ ඉතාම කලාතුරකිනි.
උපච්ඡේදක මරණය: ආයුෂ කාලය හා කර්ම කාලය තිබී මෙලොව කරන ලද පාපකර්මයක් හෝ වෙනත් හේතුවක් මත එම කාලසීමා දෙකටම කලින් සිදුවන මරණ මෙම ගණයට අයත් වේ. රෝගාබාධ ආදිය සෑදී සහ අනතුරුවලට ලක්වී සිදුවන මරණද මෙම කොටසට අයත් වේ. පසුගිය සුනාමියේදී සිදුවූ මරණ මෙවැනි මරණයන් වේ. අකාල මරණ ලෙස හැඳින්වෙන්නේද මෙවැනි මරණයන්ය.
සියලුම සත්ත්වයන් මරණයට භයය. සත්ත්වයෝ පමණක් නොව දෙවියෝ පවා මරණයට භයය. දෙවියන් මැරෙන්නේ අනෙකුත් සත්ත්වයන් මැරෙණ ආකාරයට නොවන බව බුදුදහමේ සඳහන් වේ. දෙවියන්ගේ මරණයට හේතු වන කරුණු මෙසේය. ආයුෂ ගෙවී යාම, කර්මය ගෙවී යාම, ආහාර වේලාවක් මඟහැරීම, කල්ප විනාශය හා ක්ෂණික කෝපය. මේ හේතු මත මරණයට ආසන්න වන දෙවියාට මරණ නිමිති පහළ වේ. දෙවියාගේ දිව්‍යමය ආලෝකය නැති වේ. සුවඳ නැති වේ. දුගඳ හැමීමට පටන් ගනී. අවර්ණ වේ. පැළඳ සිටින මල් මාලා පර වේ. දහදිය දැමීමට පටන් ගනී. දිව්‍යමය අසුන් ගැනීමට අපහසු වේ. මේ පෙරනිමිති දකින දෙවිවරු ඉමහත් බියට පත්වේ. එම නිසා මරණය අප පමණක් බිය වන දෙයක් නොවේ.
අභිධර්මයේ සඳහන් ආකාරයට සත්ත්වයා මරණයට පත්වන්නේ කෙසේ දැයි සොයා බලමු. මරණය යනු නැවත සිත් පහළ නොවන අවස්ථාවකට සත්ත්වයා පත්වීම යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. සත්ත්වයකුගේ ඊට ඉහත භවයේ ඇති වන අවසාන චිත්තය වූ චුති චිත්තය ඇතිවීමත් සමඟම එය නව භවයේ පළමු චිත්තය වූ ප්‍රතිසන්ධි චිත්තය බවට පත්වීමෙන් නව භවය ඇති වේ. එය එම භවයේ පළමු චිත්තය වේ. එම ප්‍රතිසන්ධි සිත ඇතිවූ මොහොතේම එම සිත නිරුද්ධ වී සිත් පරම්පරාවක් ඇතිවීම භවයේ පැවැත්ම හෙවත් ජීවත්වීම නම් වේ. එම නිසා එය චිත්තය, භවය පවත්වාගෙන යෑමට උපකාරී වන චිත්තය යන අර්ථයෙන් භවාංග චිත්තය නමින් හැඳින්වේ. සත්ත්වයාට වෙනත් චිත්ත හෙවත් සිතිවිලි පහළ නොවී සෑම අවස්ථාවකම භවාංග සිත් පහළ වෙමින් නිරුද්ධ වෙමින් නැවත පහළ වෙමින්ද නිරුද්ධවෙමින් නැවත නැවත ඇති වේ. එහෙත් එම සිත්පහළ වන බවක් අපට නොදැනේ. යම් අවස්ථාවකදී එම සිත් පහළවීම නවතීද එය එම සත්ත්වයාගේ මරණය බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ඒ අනුව (බුදුදහම අනුව) මරණය යනු ප්‍රතිසන්ධි සිතක් සමඟ ඇතිවී ජීවත්වූ කාලය පුරාම නොකඩවා පැවැති සිත්පරම්පරාව අවසන්වීමය. මෙම අවසාන චිත්තය චුති චිත්තය බැවින් චුති චිත්තය ඇතිවීම ජීවිතයේ කෙළවරය නැතිනම් මරණයයි.
මරණාසන්න මොහොතේදී සිතට එන චුති චිත්තය කෙබඳු එකක් දැයි කිසිවෙකුට කිව නොහැක. එය ඇසිපිය හෙළන මොහොතකිනුත් ලක්ෂ වාරයකටත් වඩා අඩු කාල සීමාවක් තුළ ඇතිවන්නක් බව අභිධර්මයේ සඳහන් වේ. එය පාලනය කිරීමේ හෝ බලෙන් ඇතිකර ගත හැක්කක් ද නොවේ. ඉතාමත්ම පින් දහම් කළ පුද්ගලයකුට සමහරවිට අපාගත සිතිවිල්ලක් චුති චිත්තය ලෙස සිතට ඒමට පුළුවන. මෙයට හොඳම උදාහරණය අප බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි බන්දුල මල්ලිකාවෝය. ඇය පසේනදීකොසොල් රජතුමාගේ බිරිඳය. ඇය බුදුදහමට ලැදිව ඉතා පින් දහම් කළාය. එහෙත් මරණාසන්න මොහොතේ කරන ලද පාපයක් සිහියට ඒමෙන් අපාගත වන්නට සිදුවූවාය. ඒ අයුරින්ම පාපකාරී පුද්ගලයෙකුට මරණාසන්න මොහොතේ සිතට සුගතිගාමී සිතුවිල්ලක් ඒමෙන් සුගතියේ ඉපදීමටද පුළුවන. එයට උදාහරණයක් වන්නේ පව්කාර සිටුවරයකුව සිටි ධනංජානි සිටුවරයාය. ජීවත්වන කාලයේද පාපයෙහි ඇලී සිටි මෙම සිටුවරයා මරණාසන්න මොහොතේ සැරියුත් මහ රහතන් වහන්සේගේ මග පෙන්වීම යටතේ මිය යාමෙන් පසු බඹලොව ඉපදුණේය.

මේ හේතුව නිසාම තම දෙමාපියන් නෑදෑ හිතමිතුරන් මිය යාමට ආසන්න අවස්ථාවලදී පන්සිල් දීම පිරිත් සජ්ඣායනා කිරීම ධර්ම දේශනා කිරීම හෝ අඩුම වශයෙන් ඉතිපිසෝ ගාථාව කීම ආදී ආගමික වතාවත් කිරීමට බෞද්ධයෝ පෙළඹී ඇත. එහෙත් මෙය කෙතරම් දුරට ප්‍රායෝගිකද යන්නත් සාකච්ඡා කිරීම වටී.
වෛද්‍යවරයකු වශයෙන් මරණයට පත්වන පුද්ගලයින් රාශිියක් අප දැක ඇත. මරණාසන්න පුද්ගලයෙකුට තමා මරණයට පත්වීමට ආසන්නවී ඇති බවට හැඟීමක් ඇතිවනු ඇතැයි සිතේ.
බොහෝ මරණාසන්න පුද්ගලයින් මරණාසන්න මොහොතේ අධික ලෙස කලබලකාරී තත්ත්වයකට පත්වේ. ඇවිද ගැනීමට තබා අතපය සෙලවීමටවත් නොහැකිව දෙතුන් දෙනකු උස්සා ගෙන පැමිණි රෝගීන් උපස්ථායකයින් දෙතුන් දෙනකුටවත් අල්ලා නවතාලිය නොහැකි තරමට කලබලකාරීවී කෑ කෝ ගසන අවස්ථා ඇත. එවැනි බියකට කලබලකාරී අවස්ථාවකට පත්වන කෙනකුගේ සිත දැහැමි සිතිවිල්ලකට යොමු කිරීම අපහසු කාර්යයක් වේ. ධර්මානුකූල අවබෝධයක් ඇති ආගමානුකූල ජීවිතයක් ගතකළ පුද්ගලයෙකුට හැර වෙනත් කෙනකුට මෙය අසීරු කාර්යයක් වනු ඇත. එසේම චුති චිත්තය පහළවීමට ගතවන කාලයද සාමාන්‍ය චිත්තයක් පහළවීමට ගතවන කාලයට වඩා අඩු කාලයක් වීමද මෙයට බලපානු ලැබේ. සාමාන්‍ය චිත්තයක් ඇතිවීමට ජවන් සිත් හතක් අවශ්‍ය වන අතර චුති චිත්තයක් ඇතිවීමට අවශ්‍ය වන්නේ ජවන් සිත් පහක් පමණක් බව අභිධර්මයේ සඳහන් වේ.
එසේම බුදුදහමට අනුව සත්ත්වයා සැදී ඇත්තේ රූපයෙන් සහ නාමයෙනි. මෙහි රූපය යනු අප ඇසට පෙනෙන ශරීරයයි. නාමය යනු ඇසට නොපෙනෙන වේදනා, සංඥා, සංඛාර සහ විඤ්ඤාණයි. මෙහි ශරීරය නාමයට ජීවත්වීමට නොහැඟි වූ තරමට අබල දුබල වූ විට නාමය ශරීරය හැරයයි. එය මරණය ලෙස හඳුන්වන්නෙමු.

වෛද්‍ය විද්‍යානුකූලව මරණය යනු කුමක් දැයි අර්ථ දැක්වීම විවාදයට ලක්වෙමින් පවතින්නකි. මෙම මතවාදයට විශේෂ හේතුවක් වී ඇත්තේ එක් එක් අංශ මරණය යනු කුමක්දැයි ඒ ඒ අංශවලට අදාළව විවිධ අර්ථ කථන දීමය. උදාහරණයක් ලෙස සායනික වශයෙන්, නීතිමය වශයෙන්, භෞතවේදය ආදී වශයෙන් අර්ථ දැක්වීම නිසාය. පුරාණයේ පුද්ගලයෙකුගේ හුස්ම ගැනීම හෙවත් ආශ්වාස ප්‍රාශ්වාසය නැවතිම මරණය ලෙසට හඳුන්වන ලදී. පසුව හුස්ම ගන්නා බව දැන ගැනීමට නොහැකි නොදැනෙන අයත් සමහර විට ජීවත්වන බව දැනීමවත් සමඟම හුස්ම ගැනීම නැවතීම හා රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඇන හිටීම මරණය ලෙස සඳහන් කරන ලදී. ඒ සමඟම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී කෘතිමව ස්වසන හා රුධිර සංසරණ පද්ධති ක්‍රියා කරවීමෙන් ඔවුන් තවදුරටත් ජීවත් කිරීමට හැකියාවක් ඇතිවීමත් සමඟම මෙම අර්ථ දැක්වීමත් නොගැළපෙන බවට මතවාද ඉදිරිපත් විය. ඒ සමඟම මොළයේ ක්‍රියාකාරිත්වය හා ස්වසන- රුධිර ක්‍රියාකාරිත්වයේ නැවතීම මරණය බව අර්ථ නිරූපණය විය. මේ සම්බන්ධයෙන්ද මතවාද ඇතිවිය. එයට හේතු වූයේ මොළයේ සමහර කොටස් අක්‍රිය වූ විටද මිනිසා ජීවත් වීමය.
මොළය සාමාන්‍යයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒ ඉහළ කොටස හා පහළ යනුවෙනි. ඉහළ කොටසට මෂ්තිස්කය හා අනුමස්තිෂ්කයද, පහළ කොටසට මැද මොළය යන කොටස් වලින්ද සමන්විතවේ. මොළයේ ඉහළ කොටසේ ක්‍රියාකාරිත්වය ඇන හිටීමෙන් ස්වසන පද්ධතිය හා රුධිර පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඇන නොහිටන නිසා මරණය සිදු නොවේ. එසේම මෙඩල්ලාව නමැති කොටසින් ස්වසන පද්ධතිය ක්‍රියාකාරිත්වය පාලනය වන නිසා එහි ක්‍රියාකාරීත්වය ඇන හිෙටීමෙන් හුස්ම ගැනීම නැවතී මරණය සිදුවේ. මරණය යනු කුමක්ද සම්බන්ධයෙන් මෙවැනි තවත් ගැටලු රාශියක් පවතින නිසා අද වෛද්‍ය විද්‍යාවට අනුව මරණය යනුවෙන් අර්ථ දක්වන්නේ නැවත පනගැන්විය නොහැකි ආකාරයට ශරීර ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය ඇන හිටීම ලෙසටය.


No comments:

Post a Comment