Labels

Wednesday, April 15, 2015

පන්සිල් රැකීමේ අනුසස්

පන්සිල් වනාහි කයින් සහ වචනයෙන් සිදුවන මෙම දුශ්චරිත පහෙන් වැළකීමයි.


 එනම්

1. පරපණ නැසීමෙන් වැළකීම (පාණාතිපාතා වේරමණී)

 2. නුදුන් දේ සොරා ගැනීමෙන් වැළකීම (අදින්නාදානා වේරමණි)

 3. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම. (කාමේසු මිච්ඡාචාරා වේරමණි)

 4. බොරු කීමෙන් වැළකීම (මුසාවාදා වේරමණි)

5. මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම (සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණි)


මෙම දුශ්චරිත පසෙන් වැළකීම පඤ්චශීලයයි. පන්සිල් හොඳින් රැකීමට නම් මෙම දුශ්චරිත සිදුවන අයුරු ද වටහාගත යුතුය. ඒ මෙසේයි.


1. ප්‍රාණඝාතය (පරපණ නැසීම) සිදුවන අයුරු.
පණ ඇති සතෙකු වීම – පණ ඇති සතෙකු බව දැනීම - මරණ චේතනාව - මරණ උපක්‍රමය – එම උපක්‍රමයෙන් මරණය සිදුවීම.
ප්‍රාණඝාතයක් සිදුවීමට මෙම කරුණු පහ සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් ප්‍රාණඝාතය සිදුනොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.


2. අදත්තාදානය (සොරකම) සිදුවන අයුරු.
අන්සතු වස්තුවක් වීම – අන්සතු වස්තුවක් බව දැනීම - සොරා ගැනීමේ චේතනාව - සොරකම් කිරීමේ උපක්‍රමය – තිබූ තැනින් වෙනස් කිරීම හෙවත් ගැනීම.
සොරකමක් සිදුවීමට මෙම කරුණු පහ සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් සොරකමක් සිදුනොවීමට අධිෂ්ඨාන කරගත යුතුය.


3. කාමමිත්‍යාචාරය (කාමයන්හි වරදවා හැසිරීම) සිදුවන අයුරු
- සේවනය නොකළ යුතු පුද්ගලයකු වීම (ස්ත්‍රී / පුරුෂ) – වරදවා හැසිරීමේ චේතනාව - වරදවා හැසිරීමේ උත්සාහය – ආස්වාය ඉවසීම හෙවත් සේවනය

කාමයන්හි වරදවා හැසිරීමට මෙම කරුණු සම්පූර්ණ වියයුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් කාමයන්හි වරදවා හැසිරීමක් සිදු නොවීමට සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

4. මුසාවාදය (බොරුකීම) සිදුවන අයුරු.

- කියන කරුණු බොරු අසත්‍යයන් වීම – අන්‍යයන් රැවටීමේ චේතනාව - එය ඇඟවීම – එයින් අසන්නා මුළාවීම
බොරුකීම සඳහා මෙම කරුණු සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් බොරු කීමක් සිදු නොවීමට අධිෂ්ඨාන කරගත යුතුය.


5. සුරාපානය සිදුවන අයුරු - සුරා ආදී මත්ද්‍රව්‍යයක් වීම – මත්ද්‍රව්‍ය ගැනීමේ චේතනාව - ඒ සඳහා උත්සාහ කිරීම – මත්ද්‍රව්‍ය ශරීරගත වීම.
මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මෙම කරුණු සම්පුර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් සූරා ආදි මත්ද්‍රව්‍ය භාවිතයක් සිදුනොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.
මෙම දුශ්චරිතයන්ගෙන් වැළකුණු තෙරුවන් සරණ ගිය උපාසකයා සිල්වතෙක් වේ. බොහෝ දෙනකු යහපත් දෙයක් හෝ අයහපත් දෙයක් කිරීමට උත්සාහවත් වන්නේ ඉන් තමාට ලැබෙන ප්‍රයෝජන සලකාගෙනය. සිල්වත් ජීවිතයක් ගත කරන්නකුට එයින් බොහෝ ආනිසංස ලබාගත හැකිය. වෙනත් වැඩිදෙනෙක් එම ආනිසංස නොදන්නා බැවින් සිල්වත් ජීවිතයක් ගත කිරීමට උනන්දු නොවෙති. සිල්වත් ජීවිතයක් ගත කරන්නකුට පහත සඳහන් ආනිසංස ලැබෙන බව දීඝනිකායේ මහාපරිනිබ්බාණ සූත්‍රයෙහි සඳහන් වේ.


1. සිල්වත් ශ්‍රාවකයා නොපමා බව නිසා බොහෝ භෝග ලබයි

. 2. සිල්වත් ශ්‍රාවකයා පිළිබඳ වූ කීර්තිරාවයක් උස්ව නැඟේ.

 3. සිල්වත් ශ්‍රාවකයා යම් පිරිසක් වෙත එළඹේද හෙතෙම විශාරදව ම එළඹෙයි

 4. සිල්වත් ශ්‍රාවකයා සිහි මුළා නොෙවී කලුරිය කරයි.

 5. සිල්වත් ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමී වෙයි.

තවද පන්සිල් රකින්නා වූ ශ්‍රාවකයාට වෙන වෙනම ලැබෙන ආනිසංස පිළිබඳව පරමත්‍ථජෝතිකා නම් වූ බුද්දකපාඨ – අට්ඨකතාවෙහි මෙසේ සඳහන් වේ.

ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා මනා අඟපසඟින් යුතුව ඉපදීම ආරෝහපරිනාහයෙන් (මනා උස මහතින්) යුක්ත වීම, ජවයෙන් (ශක්තියෙන්) යුතු වීම,පොළොවෙහි මැනවින් පිහිටන යටිපතුල් ඇති බව, මනෝඥ බව, මෘදු බව, පිරිසුදු බව, ශුරභාවය, මහාබල ඇති බව, ඇදහිය හැකි වචන ඇති බව, ලෝකයාට පි‍්‍රය වන බව, නිදොස් බව, නො බිඳිය හැකි පිරිස් ඇති බව, තැති නො ගන්නා බව, විනාශ කළ නො හැකි බව, අන්‍යයන්ගේ උපක්‍රමයකින් නො මැරෙන බව, බොහෝ පිරිවර ඇති බව සුරූපී බව, මනා සටහන් (හැඩ) ඇති බව, අල්පාබාධ බව, ශෝක නො කරන බව, පි‍්‍රය මනාප වූවන්ගෙන් වෙන් නොවන බව, දීර්ඝායුෂ්ක බව යනාදී ආනිසංස ලැබේ.


නුදුන් දේ සොරා ගැනීමෙන් වැළකීම නිසා මහාධනවතෙකු වීම, බොහෝ භවභෝග සම්පත් ලැබීම, ප්‍රමාණ කළ නො හැකි තරම් සම්පත් ලැබීම, නො ලද සම්පත් ලැබීම, ලද සම්පත් විනාශ නොවීම, කැමති වන සම්පත් වහා ලැබීම, තමාගේ සම්පත් රජුන්, සොරුන්, අපි‍්‍රයයන් විසින් පැහැර ගත නො හැකි වීම මෙන් ම ගින්නෙන් ජලයෙන් විනාශ නො වී, අන්‍යයන්ට සාධාරණ නො වන ධනය ලැබීම, ලොව උතුම් කෙනෙකු වීම, තමාට අසවල් දෙය නැතැ’ යි කියන බව නො දැනීම, සැප සේ විසීම යනාදි ආනිසංස ලැබේ.


කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම නිසා සතුරුබිය නැතිවීම, බොහෝ දෙනාට පි‍්‍රයමනාප වීම, අපායභය සන්සිඳීම, ස්ත්‍රිභාවය හෝ නපුංසකභාවයට පත් නොවීම, සමාජයෙහි නො පසු බෑම, පිරිපුන් ඉන්ද්‍රියයන් ඇතිවීම ස්ත්‍රීපුරුෂයන්ට ඔවුනොවුන් පි‍්‍රය වීම යනාදි ආනිසංස ලැබිය හැකි බව පෙනේ.

බොරුකීමෙන් වැළකීම නිසා ප්‍රසන්න ඉන්ද්‍රියයන් ඇති බව, මිහිරි වදන් ඇති බව, මනා සුදුවන් දත් ඇති බව, තරබාරු නො වීම, වඩාත් කෘශ නොවීම. වඩාත් උස් නොවීම, වඩාත් මිටි නොවීම, සැප පහස ඇති බව, මානෙල්මල් සුවඳ හමන මුඛයක් ඇති වීම, කීකරු පරිවාර පිරිසක් ඇති බව, ඇදහිය යුතු වචන ඇති බව, නෙළුම්පතක් මෙන් මෘදු තුනි රතුවන් දිවක් ඇති වීම, නො සන්සුන් නොවීම, චපල (ස්ථිර වචන නැති) නො වීම යනාදි ආනිසංස ලැබේ.

රහමෙර (මත්ද්‍රව්‍ය ) භාවිතයෙන් වැළකීමෙන් අතීත අනාගත වර්තමාන යන තුන්කල්හිම කළ යුතු කටයුතුවල දී වහා වැටහෙන සුලු බව, සෑම කල්හි මනා සිහියෙන් යුතු වීම, උමතු නොවීම , ඥානවන්ත වීම, අලස නොවීම, අඥාන නො වීම, කෙලතොලු නොවීම, මත් නොවීම, ප්‍රමාද නො වීම, මුළා නොවීම, තැති නො ගැනීම, එකටෙක නො කිරීම, ඊර්ෂා නො කිරීම, සත්‍යවාදි බව, කේලාම් නොකීම, පරුෂවචන නො කීම, නිරර්ථකවචන නො කීම, දිවාරාත්‍රී මැලි නොවීම, කෘතඥ වීම, මසුරු නො වීම, ත්‍යාගශීලි වීම, සිල්වත් වීම, ඍජු වීම, ක්‍රෝධ නො කිරීම, පාපයට ලජ්ජා වීම, පාපයට බිය වීම, ඍජු වූ (නිවැරදි ) දෘෂ්ටියෙන් යුතු වීම, මහාප්‍රාඥයෙකු වීම, නුවණැත්තෙකු වීම, පණ්ඩිතයෙකු වීම, අර්ථානර්ථ දැනගැනීමෙහි දක්‍ෂ වීම යනාදි බොහෝ ආනිසංස ලැබේ.

මෙබඳු අනේක ආනිසංස ගෙන දෙන්නා වූ පන්සිල් රැක ස්වර්ග මෝක්‍ෂ සම්පත් ලැබ ගැනීමට නුවණැති සත්පුරුෂයෝ වෑයම් කරත්වා!

උපුටා ගැනිමකි


No comments:

Post a Comment