Labels

Friday, April 3, 2015

නිවනින් සැනසීම



නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
චුතිං යො වෙදි සත්තානං
උප්පත්තිඤ්ංච සබ්බසො
අසත්තං සුගතං බුද්ධං
තම්හං බ්‍රෑමි බ්‍රාහ්මණං
යස්ස ගතිං නජානන්තී
දේවා ගන්ධබ්බ මානුසා
ඛීණාසවං අරහන්තං
තමහං බ්‍රෑමි බ්‍රාහ්මණං
පින්වත්නි,
ධර්ම දේශනාව වශයෙන් මා තෝරා ගත්තේ ධම්මපදයේ බ්‍රාහ්මණ වග්ගයේ සඳහන් ගාථා දෙකකි. වංගීස තෙරුන් අරභයා, දේශනා කළ මෙම ගාථා දෙකෙහි සරල අදහස පැහැදිලි කර ගනිමු.

“යමෙක් සියලු සත්වයන්ගේ චුතියත් උප්පත්තියත් සර්වප්‍රකාරයෙන් දකින්නේද ලෞකික ලෝකයෙහි සත්ව පුද්ගල ද්‍රව්‍ය, අද්‍රව්‍ය යන කිසිවක නොඇලුනු මනා පිළිවෙතින් ගිය චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කළ ඔහුට මම බ්‍රාහ්මණ යැයි කියමි.”
“යමෙක් යන තැන දෙවියෝත් ගාන්ධර්වයෝත් මනුෂ්‍යයෝත් නොදනිත්ද සියලු ආශාවන් නසාලූ රහත් භාවයට පැමිණියා වූ ඔහුට මම බ්‍රාහ්මණයෙකැයි කියමි.” මෙම වටිනා අදහස පැහැදිලි කෙරෙන්නේ අවබෝධයෙන් වචන කතා කරන භික්ෂූන් අතර අග තැන්පත් වංගීස තෙරුන් අරභයාය. රජගහ නුවර වාසය කළ වංගීස නම් බමුණා මිනිසුන් අතර ඉතා ජනපි‍්‍රයව සිටි අයෙකි. ඒ මොහු තුළ තිබූ විශේෂ දක්ෂතාවයක් මුල්කරගෙනය. යමක් පැහැදිලි කිරීමට මනා හැකියාවක් ඇති වංගීස, කථාවෙහි දක්ෂය. ත්‍රිවේධය හදාරා මනා දැනුමක් තිබූ මොහු “ශවශීර්ෂ” නම් අපූර්ව මන්ත්‍රයක් තම ගුරුවරයාගෙන් හදාරා ඇත. මැරුණු මිනිසුන්ගේ හිස් කබලට නිය පිටින් ගසා එම පුද්ගලයා උපන් ආත්මය කීමට හැකියාවක් තිබුණි. මේ හැකියාව රක්ෂාවක් කරගත් මොහු රතු ලෝගුවක් ඇඳ තැන් තැන්වල ඇවිදිමින් තම හාස්කම් පෙන්වීය. මොහුගේ මෙම පුදුම හැකියාවත් සමඟ තමන්වටා පිරිස එකතු වූයේ වැඩි කලක් නොගොසිනි. ඒ ඒ අය උපන් ස්ථාන ගැන කියන හෙයින් තම ඥාතීන්ගේ පරලොව තොරතුරු දැනගත් නුවර වැසියෝ බොහෝ මුදල් වංගීසට දෙන්නට වූ හෙයින් වැඩිකල් නොගොස් මහා පෝසතෙක් විය. සැවැත්නුවර දෙව්රම් වෙහෙර අසලට පැමිණි මොහු මියගිය අයගේ උපන් ස්ථාන කියන අයුරු විහාරයට පිවිසෙන අයට ද දක්නට අසන්නට ලැබුණි. වංගීසගේ සගයන් විහාරස්ථානයට යන මිනිසුන් අමතා අපගේ වංගීසයෝ මළ මිනිසුන් නැවත උපදින තැන් කියති. ඔබලාද එහි ගොස් තම ඥාතීන් උපන් ස්ථාන අසා දැන ගනුව, කියයි. වංගීසයන්ගේ සගයන් හා විහාරයට යන එන්නන් අතර වාද විවාද පැවතුණි. අන්තිමට වංගීස බුදුරජාණන් වහන්සේ හමුවීමට දෙව්රම් විහාරයට පිවිසුණි. බුදුරදුන් ඔහුගේ පැමිණීම කල්තියා දැන සිටි හෙයින් මිනී ඔළු හතරක් ගෙන්වා ගත්හ. ඒ නරක, තිරිසන්, දෙව්ලොව හා මනුෂ්‍යලොව යන භූමිවල උපන් අයගේ හිස්කබල්ය. වංගීස බුදුරදුන් හමුවට එයි. එක් පැත්තක මිනීඔළු හතරක් දක්නට ඇත. තොරතුරු කතාවෙන් පසු පිළිවෙළින් තබා ඇති මිනී ඔළු එකින් එක වංගීස අත තිබිණි. නියපිටින් තට්ටුකරන ඔහු ඒ ඒ අය උපන් නරකය, තිරිසන්, දෙව්ලොව, මනුලොව වශයෙන් ඉතා නිවැරදිව ප්‍රකාශ කළේ ය. අනතුරුව බුදුරජාණන් වහන්සේ විසින් වංගීසගේ අත රහතන්වහන්සේ නමකගේ හිස් කබලක් තබා මේ අය උපන් ස්ථාන කියන ලෙස මතක් කළහ. තුන් හතර වරක් හිස් කබලට නියපිටින් තට්ටු කෙරිණ. නමුත් කිසිවක් නොකියා, සිටි බැවින්,”වංගීසය මෙම හිස්කබල සතු තැනැත්තා උපන් ස්ථානය කොහේදැයි, බුදුරදුන් විමසූ සේක. “නොදනිමි” යැයි පැවැසූ පසු “මම නම් ඔහු උපන් තැන දනිමි”යි බුදුරදුන් වදාළ බැවින් “මට ද එම දැන ගැනීමේ ක්‍රමය උගන්වන්න යැයි වංගීස ඉල්ලා සිටියේ ය. එම ශාස්ත්‍රය ඉගෙන ගැනීමට නම් පැවිදි විය යුතු යැයි දැන්වූ පසු ශාස්ත්‍රය ඉගෙන ගැනීමේ ආශාවෙන්ම පැවිදි විය. සියලු කෙලෙස් නැසීමට අවශ්‍ය වන කමටහන් වංගීසට උගන්වා භාවනා කිරීමට ඉඩ ලබා දුන්හ. වැඩි දිනක් නොගොසින් වංගීසයෝ රහත් වූහ. වංගීස තෙරුන් රහත්ඵලයට පැමිණීම නිමිති කොට ගෙන බුදුරජාණන් වහන්සේ ඉහත ගාථා දෙක දේශනා කළ සේක. සත්වයාගේ සංසාර ගමන අති දීර්ඝ ය. මනුෂ්‍යයෙක්ව ඉපදී ජීවත්වී මරණයට පවත්වන්නා ගමන් කරන මාර්ග දෙකකි. එකක් අපාය මාර්ගයයි. දෙවැන්න දෙව්ලොව මාර්ගයයි. එය කර්මානුකූලව සිදුවන්නකි. සත්වයා උපදින භූමි වශයෙන් ස්ථාන 31 ක් උගන්වයි. සදිව්‍යලෝක, මනුෂ්‍යලෝකය, බ්‍රහ්මලෝක 16 ක්ද අරූපාවචර බඹතල හතරක් සහ අපාය හතර වශයෙනි. මෙයින් කාමලෝක 11 ක් වශයෙන් බෙදෙන්නේ දිව්‍යලෝක හය සහ මනුෂ්‍ය ලෝකයයි. එයින් දිව්‍යලෝක හය සහ මනුෂ්‍ය ලෝකය සප්තවිධ කාම ස්වර්ගය ලෙස නම් කෙරේ. පින්කළ අය මෙහි පහළවී සැප සම්පත් විඳින අතර පව්කළ අය හතර අපායේ වැටී අනන්ත දුක් විඳිති. පුහුදුන් සත්වයා භවයක් අතහැර තවත් භවයක උපදී. ඒ සසර ගමන නවතින ක්‍රමය බුදුදහමින් පැහැදිළි කර පෙන්වයි. සසර දුක නැති කරන්නේ නියම මඟ ගමන් කිරීමෙනි. “සුගත, යනු එයයි. පස්කම් සැප විඳිමින් නැවත නැවත යෙදීම කාම සුඛල්ලිකානුයෝගයයි. කටුක වූ තවුස්වත් පිරීමෙන් ශරීරයට දැඩි දුක්දීම අත්ථකිලමතානු යෝගයයි. මේ අන්ත දෙකට නොවැටී මැඳුම් පිළිවෙතේ ගමන් කිරීම බුදුදහමින් උගන්වන නිවනට යන මගය. අන්ත දෙකින් මධ්‍යම වූ දේශනාවක් සිදු කරන බුදුදහමින් පුද්ගල දුක මෙන්ම සමාජගත දුකද ඇතිවීම හා නැතිවීම පිළිබඳ හේතුඵලවාදය ඉදිරිපත් කෙරේ. චතුරාර්ය සත්‍යයේ මාර්ග සත්‍යය තුළින් අරි අටඟි මඟ අනුපූර්ව ක්‍රියාමගකි. අනුපූර්ව ප්‍රතිපදාවකි. නිවන අරමුණු කොට පවතින්නකි. මෙම නිවන් මඟ සීලයෙන් ආරම්භ වී සමාධියෙන් ඔපවත්වී ප්‍රඥාවෙන් කෙළවරවන අයුරින් පහදා වදාළහ.
“චක්ඛුකරණී ඤාණකරණී උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති” ප්‍රඥාව ලැබීමට ඥානය පාදාදීමට, ගැඹුරුදැනුම ලබාගැනීමට, සම්බෝධිය උපදවා ගැනීමට, නිවන් පසක් කර ගැනීමට මෙම මාර්ගය අනුගමන කිරීම අවශ්‍ය වන්නේ ය. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප යන අංග දෙක ප්‍රඥා ලෙසද සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අංග සීල ලෙසද, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග “සමාධි” වශයෙන් ද හැඳින්වෙන අතර ත්‍රිවිධ ශික්ෂා තුළින් ශීල පාරිශුද්ධියත්, චිත්ත සමාධියත් එතුළින් ඇත්ත ඇති සැටියෙන් දකින ප්‍රඥාව පහළවේ. එය සේක ප්‍රතිපදාවකි. පිරිපුන් ප්‍රඥාව සමාධියට පශ්චාත්ගාමීව පවතී. එහෙයින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සේක පටිපදා නමින්ද හඳුන්වයි. සසර දුකින් නිදහස්වීමට ආර්යය අෂ්ටාංගික මාර්ගය ඉවහල් වේ.
ප්‍රඥාවන්තයින් මෙම මඟෙහි ගමන් කර සසර මඟ නවතා නිවනින් සැනසෙනි. මග නොමග මැනවින් දැන සුගත නම් වූ මනා පිළිවෙතින් ගිය ආර්යශ්‍රාවකයන් ගමන් කළ මඟ ගොස් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහවන්ත වන්න.

බලංගොඩ දම්වැල්ඕඩය වළවේ ශ්‍රී දේවරක්ඛිතාරාම රජ මහා විහාරයේ
ශාස්ත්‍රපති
වැලිපත පඤ්ඤානන්ද හිමි

බුදු සරණ පුවත්පතෙන් පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි..

No comments:

Post a Comment