Labels

Saturday, April 4, 2015

අපමණ බුදු ගුණ සිහි කරමින්නේ සසර දුකින් අපි එතෙරට යන්නේ




අපගේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්ව ජයන්තිය සමරණ අපි කවුරුත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත වූ සම්බුදු ගුණ නිතර සිහිකරන්ට පුරුදුවෙන්ට ඕනැ. ඒක තමයි භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ආදර ගෞරවය දක්වන උතුම් විදිහ. යමෙක් සම්බුදු ගුණ නිතර සිතනවා නම් ඒ පුහුණුව එයාගෙ ජීවිතය ආරක්ෂාවීමට ඒකාන්ත වශයෙන්ම උපකාර වෙනවා.
තේකිච්චකාණී මහරහතන් වහන්සේ අපිට කියාදෙනවා, “සිත පහදවාගෙන අපමණ ගුණ ඇති බුදුසමිඳාණන් ගැන සිහිකරන්න. හැමතිස්සේ ම ඔදවැඩුනු ප‍්‍රීතිය පැතිර ගිය සිරුරක් ඇතිකෙනෙක් වෙන්න” කියල. එතකොට බලන්න බුදුගුණ සිහිකිරීම කොතරම් සුවය උපදවන දෙයක් ද කියල. මේ මහා ලාබය අපි මේ ජීවිතයේ දී ම අත්කරගත යුතු යි. නමුත් ඇතැම් අය අපට කියනවා “අනේ මට බුදුගුණ වැඩෙන්නෙ නෑ.බුදුගුණ භාවනාවෙ හිත පිහිටුවගන්ට බෑ” ආදී කරුණු. මේක හොඳ තත්වයක් නම් නෙවෙයි. නිතර සම්බුදුගුණ සිහිකරනවා නම් අපි ඒ පුරුදුකරන්නේ පළවෙනි සෝතාපත්ති අංගයයි. යමෙකුට බුදුගුණ සිහිකිරීමට බැරි නම් එයාට අහිමිවෙන්නෙත් පළවෙනි සෝතාපත්ති අංගය යි. ඒක අපි කාටවත් යහපතක් නම් නෙවෙයි අයහපතක් ම යි.
ඉතින් ඒ නිසා ඒ අපමණ ගුණ ඇති බුදුසමිඳුන් ගැන නිතර සිහිකරන්නේ කොහොම ද කියන කාරණාව ගැන කෙටියෙන් කියල දෙන්ට අපි කල්පනා කළා. යමෙකුට නිතර බුදුගුණ සිහිකරන්ට බැරි නම් ඒකෙන් තේරෙන්නේ එයාගේ හිතේ කුසල් අරමුණක් පවත්වන්ට බෑ කියන එකයි. කුසල් අරමුණක් හිතේ පවත්වන්ට බැරිවෙන්නේ හිතේ අකුසලය බලවත්, හිත දුබල යි. යමෙකුගේ සිත පසුතැවෙන ස්වභාවයෙන් යුක්ත යි නම් එයාට කුසල අරමුණකට හිත ගන්ට බෑ. යමෙක් පසුතැවෙන්නේ (විපිළිසර බවින් යුක්තව ඉන්නේ) එයාගේ සීලය පරිපූර්ණ නොවී තිබෙන නිසයි. සීලය පරිපූර්ණ නම් පසුතැවෙන්නෙ නෑ. සීලය පරිපූර්ණ යි කියල කියන්නේ සීලය සමාදන්වෙලා ආරක්ෂාකිරීම ම නෙවෙයි. කිසිකලෙක සීලය නොබිඳෙන විදිහට රැකෙනවා නම්, එතන යි සීලය පරිපූර්ණ. එතකොට පසුතැවීම නිරුද්ධ වෙනවා.
යමෙකුගේ සීලය පලූදුවෙන්ට හේතුවන ලාමක අකුසල් හිතේ තියෙනවා නම් කොපමණ කලක් සිල් රැක්කත් යම් කලෙක ඒ අකුසල් ඉස්මතුවෙලා සීලයට හානිවෙන්ට පුළුවන්. ඒ අකුසල් නිරුද්ධ වී යන තාක් සීලය පරිපූර්ණ නොවන නිසා පසුතැවෙන ස්වභාවය තිබෙනවා. ඒ අකුසල් සම්පූර්ණයෙන් දුරුකළොත්, නිරුද්ධ කළොත් කිසි කලෙක සීලය පලූදුවෙන්නෙ නෑ. එතකොට පසුතැවෙන ස්වභාවය නිරුද්ධ යි. සීලය අපිරිසිදුවීම පිණිස හේතුවන ලාමක අකුසලයන් තමයි ලෝභය, ද්වේශය, වෛරය, ක්‍රෝධය, එකට එක කරන ගතිය, ගුණමකු බව, ඊරිසියාව, ඉච්ඡාව, මසුරුකම, මාන්නය, දැඩිබව ආදී අකුසල්. දැන් ඉතාම හොඳින් කල්පනා කරල බලන්න මේ අකුසල් හිතෙන් ප‍්‍රහාණය කරන්නෙ නැතුව කොච්චර සීලය ආරක්ෂා කරගෙන හිටියත් අපගේ පුංචි ප‍්‍රමාදයක් මුල්වෙලා මේ අකුසල් ඉස්මතු උනොත් සීලය බිඳෙනවා නේද? එහෙනම් මේ අකුසල් තිබුණොත් සීලය පරිපූර්ණ නෑ නේද? අපි මේ අකුසල් ප‍්‍රහාණය කරගත්තොත් සීලය පරිපූර්ණ යි. ඒ කියන්නේ නොබිඳෙන ස්වභාවයෙන් යුක්ත යි.
කොහොම ද අපි මේ අකුසල් ප‍්‍රහාණය කරගන්නේ? ඒ සඳහා තමයි අපි භාග්‍යවතුන් වහන්සේ ගේ ශ‍්‍රාවකත්වය ඇතිකරගත යුතු වන්නේ. මේ ලාමක අකුසල් දුරුකරන්ට ලේසියෙන් බෑ. ඒ සඳහා විශාල බලයක් ඕනැ. ශ‍්‍රාවකයා කියන්නේ ඒ බලය උපදවාගෙන ඒ බලය අඛණ්ඩව පවත්වන කෙනාට යි. අන්න ඒ අකුසල් ප‍්‍රහාණය කරල, කුසල් උපදවල පරිපූර්ණ කිරීමට උපකාරවන බලයන්ට තමයි ”සේඛ බල” කියල කියන්නේ. ඒ සේඛ බල තමයි, ශ‍්‍රද්ධා බලය, හිරි බලය, ඔත්තප්ප බලය, විරිය බලය, ප‍්‍රඥා බලය.
දැන් අපි මේ එක් එක් සේඛ බලයන් ගැන ඉගෙන ගනිමු. ”ශ‍්‍රද්ධා බලය” කියන්නේ භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය අදහාගෙන සිටීම යි. ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වනසේක, සම්මා සම්බුද්ධ වනසේක, විජ්ජාචරණසම්පන්න වනසේක, සුගත වනසේක, ලෝකවිදූ වනසේක, අනුත්තරෝ පුරිසදම්මසාරථී වනසේක, සත්ථාදේව මනුස්සානං වනසේක, බුද්ධ වනසේක, භගවා වනසේක කියල භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගන්ට ඕනැ. කොහොම ද අපි ඒ ශ‍්‍රද්ධා බලය අපේ හිතේ උපදවගන්නෙ? යමෙක් භාග්‍යවතුන් වහන්සේ වදාළ චතුරාර්ය සත්‍යය ධර්මය ඉගෙන ගෙන ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපල බැලූවොත් එයාට තමන්ගේ ජීවිතය තුළ ඒ ධර්මය තේරුම්ගන්ට පුළුවන් වෙනවා. එහෙම නැත්නම් මේ ධර්මයෙන් කියන්නේ තමන්ගෙ ජීවිතය ගැන කියලා එයාට තේරුම්ගන්ට පුළුවන්. දැන් බලන්න දුක්ඛ ආර්ය සත්‍යය තුළ අපගේ ජීවිතවල සිදුවන දේ කියාදෙනවා. ජරාවට පත්වීම දුකක්, ලෙඩවීම දුකක්, මරණයට පත්වීම දුකක්, ප‍්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, අප‍්‍රියන් හා එක්වීම දුකක් ආදී වශයෙන්. මේ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපලා බැලූවොත් එයාට ඒක තේරෙනවා. තමන්ගේ ජීවිතය තුළ යමෙක් මේ ධර්මය තේරුම් ගත්තොත් එදාට එයා මේ ධර්මයට පහදිනවා. මේ ධර්මය කෙරෙහි පහදින්ට පහදින්ට එයාට තේරෙනවා භාග්‍යවතුන් වහන්සේ දුකෙන් නිදහස් වුනා, නිකලෙස් බවට පත්වුනා කියල. එයාට පුළුවන්කම ලැබෙනවා භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගන්ට. එයා ධර්මය ඇහුව, ඉගෙන ගත්ත, තමන්ගේ ජීවිතයට ගලපල බැලූව. තමන්ගේ ජීවිතය තුළින් ඒ ධර්මය තේරුම්ගත්ත. ධර්මයට පැහැදුනා, ඒ ධර්මය තුළින් භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය ගැන තේරුම් ගන්ට එයාට පුළුවන් වුනා. දැන් එයා ශ‍්‍රද්ධා බලයෙන් යුක්ත යි. මේ විදිහට ධර්මය නැවත නැවත අත්නොහැර පුරුදුකරන කෙනාට ශ‍්‍රද්ධාබලය හොඳින් දියුණු වෙනවා.
ශ‍්‍රද්ධාබලය තියෙන කෙනාට ”හිරිබලය” උපදවාගන්ට පුළුවන්. ශ‍්‍රද්ධා බලය නැති කෙනාට හිරිබලය උපදවාගන්ට බෑ. හිරිබලය කියල කියන්නේ කාය, වචී, මනෝ දුෂ්චරිතය ගැන ලැජ්ජාව ඇතිකර ගැනීම යි. කොහොම ද හිරිබලය උපදවාගන්නෙ? අපි හිතන්ට ඕනැ ”මම භාග්‍යවතුන් වහන්සේ සරණ ගිය කෙනෙක්. මේ හීන වූ කාය දුෂ්චරිතය, වචී දුෂ්චරිතය, මනෝ දුෂ්චරිතය මට සුදුසු නෑ” කියල ලැජ්ජාව ඇතිකරගන්ට ඕනැ. ශ‍්‍රද්ධා බලය නැතිකෙනාට ඓහෙම හිතන්ට බෑ.
ඊළඟට අපි හිතන්ට ඕනැ ”ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ ඉතා ම පිරිසිදු ධර්මය සරණ ගිය මට මේ හීන වූ දුෂ්චරිතය සුදුසු නෑ” කියල ලැජ්ජාව උපදවාගන්ට ඕනැ. ශ‍්‍රද්ධාබලය නැතිකෙනාට මෙහෙම හිතන්ට බෑ. ඊලඟට අපි හිතන්ට ඕනැ ”ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සඟරුවන යි මම සරණගියේ. සඟුන් සරණ ගිය මට මේ හීන වූ දුෂ්චරිතය සුදුසු නෑ” කියල ලැජ්ජාව උපදවාගන්ට ඕනැ. ශ‍්‍රද්ධාබලය නැතිකෙනාට මෙහෙම හිතන්ටත් බෑ. ”මම රහසින් හරි දුෂ්චරිතය කළොත් ශ‍්‍රද්ධාවන්ත මාර්ගඵල ලාභී දෙවියන් මගේ ඒ හීන ක‍්‍රියාව දකියි” කියල හිතන්ට ඕනැ. එතකොට පවට ලැජ්ජාව උපදිනවා. ශ‍්‍රද්ධාබලය නැතිකෙනාට ඒක කරන්ටත් බෑ. ඊළඟට, ”මම ලෙඩවෙන කෙනක්, වයසට යන කෙනෙක්, මරණයට පත්වෙන කෙනෙක් ඒ ස්වභාවයන් ඉක්මවලා නෑ” කියල හිතන්ට ඕනැ. බහුල වශයෙන් එහෙම හිතන කොට එයා සංවේගයට පත්වෙනවා ලැජ්ජාව උපදවාගන්නවා. ශ‍්‍රද්ධාව නැති කෙනාට ඒක කරන්ටත් බෑ.
දරු මුණුබුරන් ඉන්න දෙමව්පියන් ”මට මේ මේ විදිහෙ දරුවො ඉන්නවා. කිරි කැටි දරුවො ඉන්නවා. දන ගාන වයසේ කුඩා දරුවො ඉන්නවා. දුවපනින දරුවො ඉන්නවා, පාසල්යන කුඩා දරුවො ඉන්නවා. ලොකුමහත් වූ දරුවො ඉන්නවා. මේ විදිහෙ ළමයි ඉන්න මට මේ හීන වූ නින්දිත වූ දුෂ්චරිතය හොඳ නෑ” කියල හිතන්ට ඕනැ. ඒ විදිහට බහුල වශයෙන් හිතුවොත් පවට ලැජ්ජාව උපදිනවා.
”අම්ම තාත්ත ඉන්න අපි, වැඩිහිටි අයියල අක්කල ඉන්න අපි, කුඩා සහෝදර සහෝදරියන් ඉන්න අපි මේ හීන වූ ලාමක වූ දුෂ්චරිතය කරන්ට හොඳ නෑ” කියල ළමයි හිතන්ට ඕනැ.
ආයතනයක නිලධාරීන් හිතන්ට ඕනැ ”මම වගකීම් සහිත නිලධාරියෙක්. මම දුෂ්චරිතය කරන්ට හොඳ නෑ” කියල.
”මගෙන් ඉගෙනගන්න ශිෂ්‍යයන් ඉන්න මම දුෂ්චරිතය කරන්ට හොඳ නෑ” කියල ගුරුවරු හිතන්ට ඕනැ.
”අපිට උගන්වන ගුරුවරු ඉන්නවා ඒ නිසා දුෂ්චරිතය කරන්ට හොඳ නෑ” කියල ශිෂ්‍යයෝ හිතන්ට ඕනැ. මෙහෙම හිතනකොට ලැජ්ජාව උපදිනවා. ශ‍්‍රද්ධා බලය නැත්නම් මෙහෙම හිතන්ට බෑ.
ශ‍්‍රද්ධා බලය තියෙන කෙනා ඒ මත පිහිටලා හිරිබලය උපදවාගන්නව. ඒ වගේ ම එයාට ඔත්තප්ප බලය උපදවගන්ටත් පුළුවන්. ඔත්තප්ප බලය කියල කියන්නේ දුෂ්චරිතය කිරීම ගැන බය උපදවා ගැනීම යි. දුෂ්චරිතය කරන කෙනාට විඳින්ට වෙන කටුක දුක් විපාක ගැන සිහිකිරීමෙන් ඔත්තප්ප බලය ඉපදෙනවා.
දුෂ්චරිතය කිරීමෙන් තමන්ම තමන්ට නින්දා කරන කෙනෙක් වෙයි කියල හිතන්ට ඕනැ. ඒකට කියනවා අත්තවාද බය කියල. දුෂ්චරිතය කළොත් අන් අය තමන්ට නින්දා කරයි කියල හිතන්ට ඕනැ. ඒකට කියනවා පරවාද බය කියල. දුෂ්චරිතය කරන කෙනාට මෙලොව දී නොයෙකුත් දඬුවම් විඳින්ට වෙයි කියල හිතන්ට ඕනැ. ඒකට කියනවා දණ්ඩ බය කියල. ඒ වගේ ම දුෂ්චරිතය කරන කෙනා මරණින් මත්තේ නිරයේ ඉපදිලා දුක්විඳිනවා. එකත් සිහිකරන්ට ඕනැ. ඒකට කියනවා අපාය බය කියල. තමන් දුෂ්චරිතය කළොත් තමන්ට විඳින්ට සිදුවන නොයෙකුත් ආකාරයේ දුක්විපාක සිහිකළොත් අප තුළ පවට බය (ඔත්තප්ප බලය) උපදිනවා. නිතර නිතර බහුල වශයෙන් මේ විදිහට ධර්මය පුරුදු කළොත් එයා තුළ ඔත්තප්ප බලය ඉපදිලා බලවත් වෙනවා. ශ‍්‍රද්ධාබලය නැතිකෙනාට මේක කරන්ට බෑ.
ඊළඟට අපි විරිය බලය ඇතිකරගන්ටත් ඕනැ. වීරිය කියල කියන්නේ අකුසල් ප‍්‍රහාණය කරන්ටත් කුසල් දහම් උපදවාගැනීම පිණිසත් දරන වීරිය. ඒක කොහොම ද ඇතිකරගන්නෙ? අකුසල්වල විපාක එහෙම නැත්නම් ආදීනව කල්පනා කරන්ට ඕනැ. අකුසලයෙ විපාකයට අකමැත්ත උපදිනකොට අකුසලය දුරුකිරීම පිණිස කැමැත්ත උපදිනව. ඒ කැමැත්ත මුල්වෙලා අකුසල් දුරුකිරීමට වීරිය උපදිනව. එතකොට කුසල් උපදවගන්ට කොහොම ද වීරිය කරන්නෙ? කුසල් උපදවා ගැනීමෙන් අපිට ලැබෙන සැප විපාක, යහපත අපි කල්පනා කරන්ට ඕනැ. අන්න ඒ විදිහට කල්පනා කරනකොට කුසල්වල සැප විපාකයට අපි කැමති යි. අන්න ඒ කැමැත්ත මුල්කරගෙන කුසල් උපදවගන්ට අපි කැමැති යි. අන්න ඒ කැමැත්ත මුල්වෙලා කුසල් උපදවන්ට වීරිය උපදවා ගන්නව. අන්න එතකොට අපි ළඟ වීරිය බලය තියෙනව. ඉතින් ඒකත් අපි නිතර පවත්වන්ට ඕනැ එකක්. ශ‍්‍රද්ධාබලය නැතිකෙනාට මේක කරගන්ට බෑ.
ඊළඟට ප‍්‍රඥා බලය උපදවගන්ට ඕනැ. මොකක් ද ප‍්‍රඥා බලය කියල කිව්වෙ. ඉතා හොඳින් දුක් ක්‍ෂය වීම පිණිස උපකාරවන, ආර්ය වූ කළකිරීම ඇතිකරවන්නා වූ යමක ඇතිවීම නැතිවීම පිළිබඳ තේරුම් ගැනීමේ හැකියාව, නුවණ තමයි ප‍්‍රඥා බලය කියල කියන්නේ. ඒ බලය කොහොම ද උපදවගන්නෙ? ඒකත් උපදවගන්ට ඕනැ එකක්. ඉබේ ඉපදෙනව ද? නෑ. ඒ සඳහා අපි මොකක් ද කරන්නෙ? අපි නිතර සිහිකරන්ට ඕනැ ”මේ තමයි දුක” කියල. ”මේ තමයි දුකේ හටගැනීම” කියල සිහිකරන්ට ඕනැ. ”මේ තමයි දුකේ නැතිවීම” කියල සිහිකරන්ට ඕනැ. ”මේ තමයි දුක නැතිවන ප‍්‍රතිපදාව” කියලත් සිහිකරන්ට ඕනැ. ඒ කියන්නේ ආර්ය සත්‍යය ජීවිතයට ගලපල බලන්ට ඕනැ. ඒ වගේම ස්පර්ශ ආයතනවල හටගැනීම නැතිවීම ගැන සිහිකරන්ට ඕනැ. සතර මහා ධාතූන්ගේ හටගැනීම නැතිවීම ගැන සිහිකරන්ට ඕනැ. පටිච්චසමුප්පාදය සිහිකරන්ට ඕනැ. එතකොට බලන්න හටගැනීම ගැන සිහිකරනව, නැතිවෙලා යන විදිහ ගැන සිහිකරනව. අන්න ඒ විදිහට සිහිකරන්ට අපි තුළ යම් බලයක් තියෙනව නම්, නුවණක් තියෙනව නම් අන්න ඒ හැකියාව තමයි ප‍්‍රඥා බලය කියල කියන්නෙ. එතකොට එයා ඒ සිහිකරන්නෙ මොනව ද? ආර්ය සත්‍යය. ඒ විදිහට සිහිකරන්ට කරන්ට එයාට සංස්කාරවල ”අනිත්‍ය”බව තමයි වැටහෙන්නෙ. එයා තුළ ප‍්‍රඥා බලය උපදිනව.
දැන් අපි ඉගෙනගත්ත අපි තුළ සේඛ බල ඇතිකරගන්න විදිහ. මේ සේඛ ධර්ම ඇතිකරගන්න විදිහ ඉගෙනගෙන මේවා හොඳින් පුරුදුකරගත්තොත් අපිට භාග්‍යවතුන් වහන්සේගේ ඇසුරට පත්වෙන්ට පුළුවන්කම ලැබෙනවා. නියත වශයෙන්ම ඒ භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරුකරන්ට අපිට පුළුවන්කම ලැබෙනව. මේ සේඛ ධර්ම ඇතිකරගන්න කෙනාට ඒ සේඛධර්ම තුළ පිහිටල අනිකුත් කුසල් දහම් සියල්ල උපදවාගෙන දියුණුකරගන්ට පුළුවන්කම තියෙනව. මේ සේඛ ධර්මයන් හොඳින් බලවත්ව ඇතිකරගත්තොත් එයා කිසිකලෙක ශාසනය තුළ පිරිහීමට ලක්වෙන්නෙ නෑ.
බලන්න අපි මේ සේඛ ධර්ම සියල්ල උපදවාගෙන බලවත් කරගන්නෙ භාග්‍යවතුන් වහන්සේ ගේ ඒ අපමණ ගුණ සිහිකර ගනිමින් නේ ද? ඒ විදිහට බුදු ගුණ සිහි කරමින් සේඛ බල උපදවාගන්ට පුළුවන් වෙන්නෙ භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය අදහාගන්න කෙනාට යි. භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගන්ට පුළුවන් වෙන්නේ ධර්මය ජීවිතයට ගලපලා බලන කෙනාට යි. ධර්මය ජීවිතයට ගලපලා බලන කෙනාට තමන්ගෙ ජීවිතයේ අස්ථීරබව තේරෙනවා, හිස්බව තේරෙනවා. සසරේ බිය ජනක බව තේරෙනවා. ඒ වගේ ම අවබෝධයකින් තොරව යන සසර ගමනේ තමන් කොතරම් අසරණ ද කියල තේරෙනවා. මේ අනවබෝධයෙන් හිතට මුලාවෙලා යන ගමනේ දී අකුසල්වලට යටවෙලා තමන් වැනසිලා යන බව තේරෙනවා. මේ විපතෙන් නිදහස්වෙන්ට බුදුරජාණන් වහන්සේගේ සරණ හැර අන් සරණක් නෑ කියල එයාට තේරෙනවා. එයා හිත පහදවාගෙන අපමණ ගුණ ඇති ඒ භාග්‍යවතුන් වහන්සේව නිතර සිහිකරනවා. එයා නිතර ඉන්නේ බුද්ධානුස්සතිය තුළ යි. මට බුදුගුණ වැඩෙන්නෙ නෑ, හිතේ පිහිටන්නේ නෑ, කියල ගැටළු එයාට ඇතිවෙන්නේ නෑ.
බලන්න මේ සේඛ බල කියන්නෙ අතිශයින් ම ගම්භීර ධර්මයක්. ඔබ දැවැන්ත තට්ටු ගොඩනැගිල්ලක් දැක්කහම ගොඩක්ම කල්පනා කරන්නෙ ගොඩනැගිල්ල ගැන ද? ඒ ගොඩනැගිල්ලේ පදනම ගැන ද? කව්රුත් හිතන්නෙ නෑ පදනම ගැන. ”අප්පේ මේකෙ උස” කියල යි හිතන්නෙ. කිසි කෙනෙක් හිතන්නෙ නෑ බලවත් පදනමකින් මේක දරාගෙන තියෙනව කියල. ඒ ලෝක ස්වභාවය. අන්න ඒ ස්වභාවය අපි බැහැර කරල, ඉස්සෙල්ල අපේ ශ‍්‍රාවකත්වය නොබිදී දරාසිටින පදනම හදාගන්ට ඕනැ. පදනම හොඳට හදාගත්තොත් කවදාවත් ශ‍්‍රාවකත්වය බිඳවැටෙන්නෙ නෑ. ශ‍්‍රාවකත්වය බිඳ නොවැටෙන පදනම තමයි සේඛ බල. සේඛ බල උපදවාගත්තොත් එයාට බුදු ගුණ සිහි කිරීම අමාරු නෑ. එයා බුදු ගුණ සිහි කිරීම තුළ ම යි වාසය කරන්නෙ. ඒ නිසා අන්න ඒ උතුම් සේඛ බලයන් උපදවාගැනීමට කැමතිවෙන්න, මහන්සිවෙන්න, වෑයම් කරන්න. ඔබලා කාටත් ඒ දුර්ලභ භාග්‍යය තිබෙයි. නැතිවෙන්ට විදිහක් නෑ.
යමෙක් මේ උතුම් සේඛ බල උපදවගත්තොත් එයාට ඒ සේඛ බල තුළ පිහිටා සීලය දියුණුකරන්ට පුළුවන්. එයා කාය දුශ්චරිතය බැහැර කරනව, කාය සුචරිතයට එනව, වචී දුශ්චරිතය බැහැර කරනව වචී සුචරිතයට එනව, මනෝ දුශ්චරිතය බැහැර කරනව මනෝ සුචරිතයට එනව. එයාගෙ සේඛ ධර්ම බලවත්වෙන්ට බලවත්වෙන්ට සේඛ ධර්ම පිරෙන්ට පිරෙන්ට එයාගෙ හිතේ තිබුන සීලය බිඳෙන්නට හේතු වන කිලිටි ස්වභාවය නැතිවෙනවා. එතකොට සීලය පරිපූර්ණ වෙනව. සීලය පරිපූර්ණ වෙනවා කියන එකෙන් අදහස් වෙන්නෙ කිසිකලෙක සීලය බිඳ වැටෙන්නෙ නෑ කියන එකයි. සේඛ ධර්ම උපදවාගෙන සේඛ ධර්ම පරිපූර්ණ කරගත්ත, බලවත් කරගත්ත කෙනා තුළ සීලය පරිපූර්ණ වෙනව. සේඛ ධර්මවලින් තොරව ලෝකයේ කොතැනකවත් සිල් පිරෙන්නෙ නෑ. හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙන් බැහැරව සිල් රකින්ට පුළුවන්. බුදුකෙනෙක් පහළ නොවුන, ශාසනය බිහිනොවුන කාලෙක උනත් මිනිසුන් සිල් රැක්ක. ඒ සීලය මුල්කරගෙන සමාධි උපදවගත්ත. ඒ සමාධි මුල්කරගෙන සුගති ලෝකයේ ඉපදුනා හැබැයි ඒ අය සසර දුකෙන් නිදහස්වුනේ නෑ. ඇයි ඒ? සීලය පරිපූර්ණ නොවුන නිසා. ඇයි සීලය පරිපූර්ණ නොවුනෙ? සේඛ ධර්ම ඉපදිලා පරිපූර්ණ නොවුන නිසා. මේ සේඛධර්ම නොයිපදුනේ බුදුගුණ සිහිනොකළ නිසයි. බුදුගුණ සිහි නොවුනේ බුදුගුණ අදහා නොගත් නිසයි. බුදුගුණ අදහාගන්ට බැරිවුනේ ආර්ය සත්‍යය ජීවිතයට ගලපලා නොබැලූ නිසයි.
එහෙනම් සීලය පරිපූර්ණවීම පිණිස සේඛ ධර්ම පරිපූර්ණ කරගත යුතුයි. එතකොට සේඛ බල පිරුණ කෙනා තුළ සීලය පිරෙනව. සීලය පිරුණට පස්සෙ සීලය මත පිහිටා එයාට පුළුවන්කම තියෙනව සම්මා දිට්ඨිය උපදවගන්ට. සීලය පිරුණ කෙනා තුළ පසුතැවීම නැතුව යනව. ඒක ධර්මතාවයක්. දුශ්චරිතය නිරුද්ධවීමෙන් දුශ්චරිතය නිසා හටගන්නා වූ පසුතැවීම නිරුද්ධවෙලා ගියා. එතකොට පසුතැවීම නැත්නම් හිතේ ප‍්‍රසන්නබව තියෙනව. නැවුම් සිතින් වාසය කරනව. අන්න එයාගෙ හිතේ අවිද්‍යා මලකඩ නැතිවෙලා යන කලක් එනව. සීලය පිරුණ කෙනාගෙ හිත සරත් කාලයේ ඉර පායපුවාම බැබලෙන ආකාසෙ වගේ බබලන කලක් එනව. අන්න එයා තව දුරටත් ප‍්‍රඥා බලය පුරුදු කරනව. ආර්ය සත්‍යය සිහිකරනව. දැන් එයා සේඛ ධර්ම නිතර පුරුදුකරනව. දැන් එතකොට එයා පිරිසදු සිතින් තමයි ආර්ය සත්‍යය සිහිකරන්නෙ. දැන් පිරිසිදු වූ සිතින් ආර්ය සත්‍යය සිහිකරන්ට සිහිකරන්ට ආර්ය සත්‍යය පිළිබඳ අවබෝධ ඥානය එයා තුළ ඇතිවෙනවා. එතකොට එයා තුළින් සක්කාය දිට්ඨිය, සීලබ්බත පරාමාස, විචිකිච්ඡා කියන සංයෝජන තුන ප‍්‍රහාණය වෙනව. එයා සම්මා දිට්ඨියට පත්වෙනව. දැන් එයා ප‍්‍රනීතව බුදුගුණ සිහිකරණ කෙනෙක්.
එතකොට සීලයේ ස්ථිරව පිහිටා තමයි සම්මා දිට්ඨිය ඇතිකරගන්නේ. සම්මා දිට්ඨිය ඇතිකරගැනීම පිණිස සිත පිරිසිදු වුනේ සීලය බලවත් වුනේ පසුතැවෙන ස්වභාවය නිරුද්ධ වී යන ආකාරයට සීලය පිරුණු නිසා. ඒ විදිහට සීලය බලවත් වුනේ සේඛ බල නිසා. ලැජ්ජා බය තියෙනව, වීරිය තියෙනව ලැජ්ජා බය නැත්නම් නේද එයා පසුතැවෙන දේ කරන්නෙ. එහෙනම් ලැජ්ජා බය ස්ථීරව පිහිටියා නම්, බලවත් ලෙස පිහිටියා නම් එයා වීරිය කරල දුශ්චරිතය දුරුකරනව. එයාගෙ හිතේ පසුතැවෙන ස්වභාවය නිරුද්ධවෙලා හිත පිරිසිදුවෙනව. ඒ පිරිසිදු සිතින් ආර්ය සත්‍යය සිහිකරනකොට එයා තුළ ආර්ය සත්‍යය පිළිබඳව අවබෝධ ඥානය, නොසෙල්වෙන විදිහට ස්ථිර එකක් බවට පත්වෙනව. ඒක තමයි සම්මා දිට්ඨිය කියල කියන්නෙ. එතකොට බලන්න සීලය මත පිහිටල සම්මා දිට්ඨිය ඇතිකරගත්ත. ඊට පස්සෙ එයාට සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන මේ අංග අටම දියුණුකරගන්ට පුළුවන්කම තියෙනව. එතකොට එයා සීලය මත පිහිටල සතිපට්ඨානය වඩන කෙනෙක් බවට පත්වෙනව. එතකොට සීලය මත පිහිටල පංච ඉන්ද්‍රිය වඩන කෙනෙක් බවට පත්වෙනව. එතකොට එයා සීලය මත පිහිටල අවබෝධයට වුවමනා කරන අංග පරිපූර්ණ වශයෙන් දියුණුකරන කෙනෙක් වෙනව. අන්න එයා අවබෝධය පරිපූර්ණ කරගැනීමට භාග්‍යවන්තයෙක් බවට පත්වෙනව. එයා භාග්‍යවතුන් වහන්සේ ගෞරවයෙන් ඇසුරුකරන කෙනා බවට පත්වෙනව. එයා බුදුගුණ සිහිකරන්නේ අපමණ ප‍්‍රීතියෙන් ඔදවැඞීගිය සිතින්. එහෙම කෙනා සැහැල්ලූ වූ සුවපහසු කයින් යුතු ව යි දවස පුරා වාසය කරන්නෙ.
යමෙක් මෙලෙසින් දහම පුරුදු කරයි නම් ඒ සියල්ල ඔහු විසින් කරනු ලබන්නේ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමෙන්ම නොවෙයි ද? මේ සියලූ ධර්මයන් පුරුදු කරනු ලබන්නේ ශ‍්‍රද්ධාබලය මත පිහිටා නොවෙයිද? එසේ නම් මේ සියලූ ධර්මයන් පුරුදු කරද්දී ඔහු තුළ තිබෙන්නේ බුදුගුණ සිහිකිරීමක් නොවෙයි ද? බුදුගුණ සිහිිනොකර මේ කිසිදු දහමක් පුරුදුකරන්ට බෑ. බුදුගුණ සිහිකිරීමෙන් ම යි මේ සියලූ ධර්මයන් පුරුදු කරන්නේ.
භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහාගන්න කෙනා සේඛ ධර්මයන් පුරුදුකරමින් ලාමක අකුසල් දුරුකරමින් සිත පිරිසිදු කරගන්නවා. අන්න එයා දවස පුරාම අපමණ ගුණ ඇති භාග්‍යවතුන් වහන්සේව සිහිකරන කෙනෙක් වෙනවා. යමෙක් මේ ආකාරයෙන් භාග්‍යවතුන් වහන්සේ ඇසුරු කළොත් එයාට ඒකාන්තයෙන් ම පිරිනිවන් පෑමේ භාග්‍යය උදාවෙනවා. මෙබඳු උතුමෝ මේ ජීවිතයේ දී හෝ මතු ජීවිතයේ දී හෝ පිරිනිවන් පානා සේක. පිරිනිවී යන මොහොතේ දී පවා ඒ උතුමන් වහන්සේ අපමණ ගුණ ඇති බුදුසමිඳුන් සිහිකරනු ඒකාන්ත යි. ලොවට උතුම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් සම්බුද්ධත්වය මැනවින් ම සමරන්නේ එබඳු උතුමෝ ය. අපි කවුරුත් මෙලෙසින් ඒ උතුම් සම්බුද්ධත්වය සමරන්ට වෙර දරමු.

සියලූ දෙනාටම තෙරුවන් සරණයි..

නාවලපිටියේ අරියවංශ හිමි

‘මහාමේඝ සඟරාවේ’පළ වූ ලිපියක් ඇසුරෙනි.

No comments:

Post a Comment