බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස වූයේ භික්ෂු, භික්ෂුණී, උපාසක ,උපාසිකා යන සිවු කොටසය. ලොව තුළ බුදුසමය ස්ථාපනය වීමත්, චිරස්ථායිවීමත් උදෙසා මේ සිවු පිරිස වෙත භාරදුර වගකීමක් පැවරෙන බව බුදුරදුන්ගේ අදහස වූ බව පෙනේ. සිවුපිරිසෙන් උපාසිකා පිරිස කවරාකාර සන්නද්ධභාවයකින් යථෝක්ත වගකීමට උරදිය යුතුද? යන්න බුදුරදුන් මාරයා සමඟ වදාළ බුදුවදනකින් හඳුනාගත හැකිය.
පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවිකාවන් වන උපාසිකාවෝ වියත් විනීත විසාරද බහුශ්‍රැත ධර්මධර, ධර්මානුධර්මයන්හි පිළිපන් සාමීචියෙහි පිළිපන්, අනුධර්මචාරි වූවෝ නොවෙත්ද? තථාගත ධර්මය උගෙන ප්‍රකාශ නොකරෙත්ද? දේශනා නො කෙරෙත්ද? නො පනවත්ද? නො පිහිටුවත්ද? විවරණය නො කෙරෙත්ද? බෙදා නො දක්වත්ද? නොගැඹුරු නො කෙරෙත්ද? උපන් පරවාදයන් ඇත්නම් කරුණු සහිතව එහි වරද පෙන්වාදී නිවනට නැඹුරුකොට දේශනා නොකෙරෙත්ද? ඒ තාක්කල් පිරිනිවන් නොපාන්නෙමි.
මෙහිදී උපාසිකාව යනු කවරෙක්දැයි පළමුව හඳුනාගැනීම ඉතා අවශ්‍යය. උපාසිකා යනු පොහොයට සිල්සමාදන්වන වයෝවෘද්ධ කාන්තාවයන්ය. යන සමාජ ව්‍යවහාරයට සීමා නොවේ. බාල තරුණ මහලු භේදයක් නැතිව තෙරුවන් සරණගිය සියලුම කාන්තාවෝ උපාසිකාවෝය. ඔවුන් සමාජය තුළ සමාජ පන්ති, වෘත්තීය ආදි විවිධ වෙනස්කම් ඇත්තන් විය හැකිය.