Labels

Saturday, June 3, 2017

අවසන් බුදු වදන

වෙසක් පුර පසළොස්වක පොහොය සමස්ත ලෝකවාසී ජනතාවට සුවිශේෂී දවසක් වෙයි. බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය හෙවත් මහ බෝසතාණන් වහන්සේගේ උප්පත්තිය නොහොත් අවසාන උපත සිදුවූ සුවිශේෂී දවසයි. එසේම, බෝසතාණන් වහන්සේ මහා අභිනිෂ්ක්‍රමණයෙන් පසුව ලොවුතුරා බුද්ධත්වයට පත්වුණ අසිරිමත් දවසයි. ආයු සංස්ඛාර අතහැර පරිනිර්වාණයට වැඩම කළ අවස්ථාවයි.
බුදුරජාණන් වහන්සේගේ ආරම්භක දේශනය ‘අනේක ජාති සංසාරං’ ගාථාවෙන් ආරම්භ කර ‘ද්වේ මේ භික්ඛවේ අන්තා පබ්බජිතෙන න සේවි තබ්බා’ පදයෙන් දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව ඇසළ පුර පසළොස්වක පොහොය දිනකදී ආරම්භ කළා.
මෙසේ පන්සාළිස් වසක් පුරා අසූහාරදහසක් ධර්මස්ඛන්ධයක් උන් වහන්සේ අඛණ්ඩව දේශනා කළා. ඒ දේශනාව අද දක්වාම ලෝකයේ ව්‍යවහාර කරන, අවසාන බුදු වදන වන ‘අප්පමාදෙන භික්ඛවේ සම්පාදෙථ’ වෙයි. ‘මහණෙනි, අප්‍රමාදීව කටයුතු කරන්න. සිහි කල්පනාවෙන් වැඩ කරන්නැ’යි මවක්, තම දරුවන්ට අවවාද කරන්නා සේ අමාමෑණී බුදු පියාණන් වහන්සේ තම අවසන් අවවාද භික්ෂු, භික්ෂුණී , උපාසක, උපාසිකාවන් අමතා දේශනා කර වදාළා. ඒ අනුව බෞද්ධ ජනතාව කටයුතු කළා.

තෙමඟුල සිහිගන්වමින් ලෝක ජනතාව, දාන,ශීල,භාවනා වශයෙන් විශාල පින්කම් සිදු කරනවා. එය අප්‍රමාද පදයට ඇතුළත් වෙයි. සියලු පව් නොකිරීම, සියලු කුසල ධර්ම රැස් කිරීම, තම තමාගේ සිත සකසා ගැනීම, අනුශාසනාවන් අප්‍රමාද පදයට ඇතුළත්ව තිබෙයි.අප්‍රමාදය යනු සිහිය සහ නුවණයි. සිහි කල්පනාව සති මති, සති සම්පජඤ්ඤ මේ කවර නමකින් හැඳින්වුවත් අප්පමාද වදන ප්‍රකාශ වෙනවා. ඔබ සැවොම සිහි නුවණින් වැඩ කටයුතු කිරීම බොහෝ වටිනවා. අධ්‍යාපනය, රැකීරක්ෂාව, දෛනික වැඩ කටයුතු සහ නිවන් සම්පත් පිණිස හේතුවන දාන,ශීල , භාවනා පින්කම් සියල්ලම අප්‍රමාදය පෙරමුණෙහි තබාගෙන දියුණු කළොත් හැමදෙනාටම උත්තරීතර තත්ත්වය ලබන්න පුළුවන්. එසේනම්, බුදු දහම යනු අප්‍රමාදයයි. අප්‍රමාදය යනු බුදු දහමයි. දිගු කලක් සසරේ සැරි සැරූ උන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා.

බුදුවරයෙක් ලොවේ පහළවීම ඉතාම දුර්ලභ කරුණක්. සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයටම පහළ වුණේ බුදුවරු විසි අට නමයි. මෙතරම් දීර්ඝ කාලයකට පහළ වූ බුදුවරු සංඛ්‍යාව විසිඅට නමක් නම් එය කෙතරම් දුර්ලභ අවස්ථාවක්ද?
ජීවිත පරිත්‍යාගයෙන් පාරමී ගුණ දියුණු කරන්නන්ට ලැබෙන සම්පත ලොවුතුරා බුද්ධත්වයයි. එය අවබෝධ කිරීමට දාන පාරමිතාව කොටස් තුනකින් පිරිය යුතුයි. නිවන් සුව පතා කරන දානය දාන පාරමිතාවයි. ඇඟ පසඟ පරිත්‍යාගයෙන් කරන දානය දාන උප පාරමිතාවයි. ජීවිත පරිත්‍යාගයෙන් දෙන දානය දාන පරමත්ථ පාරමිතාවයි. මෙසේ දස පාරමිතා තිස් ආකාරයකට සම්පූර්ණ කර අප්‍රමාද පදය ලෝකයාට ව්‍යවහාරයෙන් දේශනා කිරීම ම වැදගත් වදනක්.

වෙසක් පුන් පොහෝ දවසක සම්බුද්ධ පරිනිර්වාණය සිද්ධ වුණා. බුදුරජාණන් වහන්සේ අවසානයේ ‘මහණෙනි, සැවොම අප්‍රමාදීව කටයුතු කරන්නැ’යි දේශනා කර වදාළා. එසේනම්, බලන්න කොපමණ වැදගත් අනුශාසනාවක්ද? මෙසේ අවසන් හුස්ම පොද හෙලා, දෑස් පියාගත් බුදු පියාණන් වහන්සේට අවුරුදු දෙදහස් පන්සියයකටත් වැඩි දීර්ඝ කාලයක සිටම ගෞරවය පුද කරනවා.

කෝටි ප්‍රකෝටි ගණන් වටිනා වෙහෙර විහාර සකසා ඒ අප්‍රමාද ගුණය දෙසූ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජාකර තිබෙයි. ලංකා රාජ්‍යය වාර නවයකදීත්, ඉන්දියා රාජ්‍යය වාර තුනකදීත් පූජා කළේ බුදුරජාණන් වහන්සේටයි. අද වුණත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පවත්වන පූජාවන් අපමණයි. වෙසක් පුර පසළොස්වක පොහෝ දවසේ පවත්වන පූජාවෝ එකතු කළොත් අහස උසට ගොඩ නංවන්න පුළුවන්. එතරම් පූජාවන් රැසක් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්නේ බුදුන් වහන්සේගේ දාන පාරමිතාවේ විපාක තවත් ඉතිරිව තිබෙන නිසයි. මෙසේ කල්පනාවෙන් සැවොම මසුරු මල දුරුකර, තරහ , වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යාවන් දුරුකර ශීල, සමාධි, ප්‍රඥා ගුණ වඩා අප්‍රමාද ගුණයට යටත්ව කටයුතු කළ යුතුයි. ලොවුතුරා බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබුණු අවවාදය, ශ්‍රේෂ්ඨතම අනුශාසනාව එයයි. අප්‍රමාදීව යම් කිසිවෙක් කටයුතු කරනවානම් ඒ තැනැත්තා සිහි නුවණ දියුණුවෙන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරනවා. හොඳ නුවණකින්, යහපත් අදහසින්, යහපත් වදනින් වැඩ කටයුතු කරමින්, නිවැරැදි, උත්සාහයෙන් ජීවත්ව, සිහිය සහ සිතේ තැන්පත්කම ඇති කරගන්නා සැවොම තම ජීවනෝපාය නිවැරැදිව රැගෙන යනවා. ආර්ය අෂ්ඨාංගික මාර්ගයට අනුකූලව වැඩිම පිරිසක් කටයුතු කරනවානම්, එය බුදු දහමේ සඳහන් කරන උත්තරීතර දිවියයි. බුදු, පසේ බුදු, මහරහත්, උතුමෝ ලොවේ පහළ වුණේ අප්‍රමාදීව කටයුතුකර දුක්ඛ සත්‍යය, සමුදය සත්‍යය, නිරෝධ සත්‍ය සහ මාර්ග සත්‍ය අවබෝධ කළ නිසයි.

සෑම බුද්ධ ශාසනයකම සූවිසි අසංඛ්‍යයක් නිවන් සම්පත් ලබනවා. මෙසේ සූවිසි අසංඛ්‍යයක් ජනතාවට නිවන් සම්පත් අවබෝධ කරන්නට වාසනා සම්පත්තිය ලැබුණේ අප්‍රමාදීව කටයුතු කළ නිසයි. මේ සැමට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්නට පුළුවන්කම ලැබුණා. නමුත්, වටහා ගන්න, අවබෝධ කරගන්න අසීරුම දේ තථාගත ධර්මයේ සඳහන් වන චතුරාර්ය සත්‍ය ධර්මයයි. ඇතැම්විට මෙය බොහෝ පහසු බව කෙනෙකුට සිතෙන්න පුළුවන්. නමුත් එය අසීරුයි. තණ්හාවෙන් මුසපත්ව සිටින ජන සමාජයකට තණ්හාව සම්පූර්ණයෙන් ඉවත් කරන්න අපහසුයි. මේ සත්‍යය ධර්ම අවබෝධයෙන්, දුක අවබෝධයෙන් කටයුතු කළොත් දුක්ඛ සත්‍ය සම්පූර්ණ වෙයි. තණ්හාව මුලුමනින්ම අවබෝධයෙන් සමුදය සත්‍ය අවබෝධ වෙයි. එයින් නිවනට පත්වීම නිරෝධ සත්‍යයයි. නිවනට යන මඟ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි, මධ්‍යම ප්‍රතිපදාවයි, මැදුම් පිළිවෙතයි.
එසේනම්, ශීල, සමාධි,ප්‍රඥා වැඩෙන සේ ආර්ය මාර්ගය දියුණු කරන සැමට නිවන් සම්පත් ලැබීම අසීරු නැහැ. ලොවුතුරු බුදු දහම තමන්ගේ ජීවිතයට සම්බන්ධකර, අවසාන බුද්ධ අනුශාසනාව වන අප්‍රමාද වදනට අනුකූලව කටයුතු කරන්න පුළුවන්.

බුදු සසුන ආරක්ෂා කළ සැරියුත් , මුගලන්, ආනන්ද , කාශ්‍යප, රාහුල මහරහතන් වහන්සේ දිවි පරදුවට තබා අප්‍රමාදීව කටයුතු කළා. උත්තරීතර ධර්මය අවබෝධ කරගැනීමට තරම් වාසනා සම්පත්තියක් සැමටම සැලසුණා. එසේ කල්පනාවෙන් සැවොම බුදු සසුන වැළඳගෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දවසේ සුවිශේෂී බව හොඳින් සිතෙහි තබාගෙන, වැඩි වැඩියෙන් පින් දහම් කළොත් සතර අපායෙන් අත්මිදී අඳ, ගොළු, බිහිරි ආත්ම භාවවලින් අත්මිදී පුණ්‍යවන්ත, නැණවන්ත , ඥානවන්ත ජීවිත පෙළක් ලබා ගන්න පුළුවන්. භයානක සංසාර දුකෙන් නිදහස්ව, තමන්ට නිවන් සුව ලබන්න භාග්‍යය ලැබෙයි. නිවන් සම්පත් ලැබේවා‘යි පමණක් සිතුවට ලැබෙන්නේ නැහැ. එයට අවශ්‍ය කරන බෝධි කාරක ධර්ම සම්පූර්ණ කිරීම අවශ්‍යයයි. දස පාරමිතාවෝ, බෝධි පාක්ෂික ධර්ම, දියුණු කළොත් පමණක් තම තමාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් මාර්ගඵල සහ නිර්වාණය වූ නව ලොවුතුරා ධර්මය අවබෝධ කරන්න පුළුවන්. එය අප්‍රමාද පදයේ උච්චතම අවස්ථාවයි. එබැවින්, සැවොම බුදු දහම වැළඳගෙන දුර්ලභව ලැබුණු බුද්ධ ශාසනයේ උතුම් ඵල ප්‍රයෝජන ලබාගෙන කරදර බාධක කම්කටොළු ගැන නොසිතා, ඒවා මැඩපවත්වාගෙන ඉදිරියට යාම බුද්ධ අනුශාසනාවයි. කොපමණ පින් දහම් කළත් ඇති’යි යනුවෙන් නොසිතන්න. පිනම වැඩි කර, කම්මැළිකම පසෙකලා ඉදිරියට යන්න . එය බුද්ධානුශාසනාවයි.

මෙය සිතට ගෙන මෙලොව, පරලොව ජීවිත හොඳින් ගතකර, සුගතියකම වාසය කර, බුදු දහමට අනුව ශීල, සමාධි, ප්‍රඥා ගුණ ධර්ම දියුණුවෙන් සතර අපා දුකෙන් අත්මිදී සුවසේ සංසාර ගමන කෙළවර ශාන්ති ලක්ෂණ නිවන් සම්පත් අවබෝධ කර ගැනීමට “අප්‍රමාද ධර්මය” සැමටම ප්‍රයෝජනවත් වෙයි. සිහි, නුවණට ප්‍රධාන තැන දී සෑම පින්කමක්ම සිහි කල්පනාවෙන් කර චිත්ත සන්තානය දියුණුවෙන් ධර්මයෙන් අපට යහපතක් වේවා! අප්‍රමාද විහරණයෙන් කටයුතු කර බුද්ධ ශාසනයත් සුරකිමින්, පාරමී පුරා, නිවන් සම්පත් ලබන්න පින්වත් සැමට වාසනාව ලැබේවා!


අම්බලන්ගොඩ, කහව ගල්දූව 
ආරණ්‍ය සේනාසනයේ 
කම්මට්ඨානාචාර්ය
ත්‍රිපිටකාචාර්ය, ත්‍රිපිටක විශාරද
කහගොල්ලේ සෝමවංශ හිමි



ශ්‍රී බුද්ධ වර්ෂ 2561 ක් වූ වෙසක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2017 මැයි 18 වන බ්‍රහස්පතින්දා දින බුදු සරණ පුවත්පත‍ෙ පළ වූ ලිපියකි

No comments:

Post a Comment