Labels

Saturday, April 25, 2015

කොහේද මේ යන්නේ?




හිමිදිරි උදයේ අවදිවෙලා හැමෝම මහ යුද්ධයක. සමහරු දත් මදිනවා මූණ සෝදනවා. සමහරු උයනවා කෑම පිළියල කරනවා. සමහරු වැසිකිලියේ.සමහරු රෙදි මදිනවා. ළමයි ඉස්‌කොලෙ වැඩ ඉවර කරගන්න බැරුව දඟලනවා. වැඩට යන්න ඉස්‌කෝලෙ යන්න වාහන ඇවිල්ලා නලා නාද කරනවා. කට්‌ටිය කෑගහගෙන එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඔය අතරෙ ගුවන් විදුලියෙ රූපවාහිනියෙ යන බණ පිරිත් ආදියත් ඇහෙනවා. කඩිමුඩියේ බත් කටක්‌ දෙකක්‌ කාලා හරි බඩගින්නේ හරි තම තමන්ගේ වැඩ වලට පිටත් වෙනවා. සමහර දේවල් අමතක වෙනවා. ආයි ආපසු එනවා. වාහන වල යනකොට මාර්ග තදබදය අහුවෙනවා. බස්‌වල කෝච්චිවල තෙරපෙනවා. තරහ යනවා. වෙලාවට යන්න බැරිවෙයි කියලා බය වෙනවා. ඉගෙන ගන්න අය පොත් කියවනවා ලියනවා. වැඩකරන අය ලිපිලේඛන වල පරිගණක අස්‌සෙ හිර වෙලා ආයතනයේ ප්‍රශ්නවලට උත්තර හොයනවා. තවත් අය දහඩිය දාගෙන වැඩ කරනවා. ප්‍රධානීන්ගෙන් බැනුම් අහනවා. ප්‍රධානීන්ට හොරෙන් බනිනවා. ඔතාගෙන ආපු දේ කාලා වැඩ කරනවා. වැඩ ඇරිලා මල්ලකට කන්න ඕන දේ ගන්නවා. පඩිය ගත්තා. ඒත් ඔක්‌කොම ඉවරයි. ගෙදර ඇවිත් ආයි උයනවා. ඊළඟ දවසට සූදානම් වෙනවා. ප්‍රශ්න කෝටියක්‌ තියනවා. ඔලුව හරි බරයි. හොදටම හෙම්බත් වෙලා ඇඳට වැටිලා නිදාගන්නවා.


රැකියාවක යන හරි අධ්‍යාපනය ලබන හරි කෙනෙකුගෙ ජීවිතය මෙහෙමයි.

හේනෙ කුඹුරේ ගොවිතැන් කරන අයෙක්‌ නම් තම කය වෙහෙසවලා වැඩ කරලා අස්‌වැන්න රැක ගන්න මහන්සි වෙනවා. වහීද පායයිද කියලා බය වෙනවා. සතා සිව්පාවන්ගෙන් කරදර වෙනවා. කොහොම වුනත් අන්තිම පාඩු වෙනවා. ලාභයක්‌ නම් කලාතුරකින්. ණයබර

හොඳටෝම. හැමදාම ප්‍රශ්න ඉවරයක්‌ නෑ.

කොහෙද මේ යන්නේ? මොකක්‌ද මේ කරන්නේ? ඇයි මේවා කරන්නේ? කියලා ඇහුවෙත් ඔබගේ පිළිතුර වන්නේ බෝහෝවිට ජීවිතය කියන්නේ මේක තමයි කියාය. ඔබේ ජීවිතයේ බලාපොරොත්තු වන්නේ හොඳින් සල්ලි හම්බකරන්න, හොඳ වාහනයක්‌ ගන්න, හොඳ ගෙයක්‌ හදාගන්න, හොඳ පවුල් ජීවිතයක්‌ ගතකරන්න, ලාභ කීර්ති ප්‍රසංසා ලබාගෙන සැපවත් ජීවිතයක්‌ ගතකරන්න නේද? මෙච්චර දුක්‌ විඳින්නේ ඒ සඳහායි. නමුත් හැමදාමත් අතෘප්තියෙන් ඉවරයක්‌ නැතිව දගලන එකමුලාවක්‌. බොරුවක්‌. විඳීම් ගොඩක්‌ පමණයි.

නමුත් ජීවිතයේ සැප සොයා යන තවත් පැතිඩක්‌ ඇත. එම සැපය ඇත්තේ ඉහතකී ලෞකික අරමුණු පදනම් කරගත් ජීවිතයක්‌ තුළ නොවේ. එම ජීවිත පැවැත්මෙන් ඔබ්බට ගියා වූ ලෝකෝතතර නිර්වානය තුළයි. සාමාන්‍ය ජීවිතය දුකක්‌ බව අවබෝධකරගත් තැනැත්තා සුවිශේෂ ජීවිතයක්‌ තුළට ගමන් කරයි. ඔහු කැලයකට,ගසක්‌ මුලකට හෝ ශුන්‍යාගාරයකට ගමන් කරයි. එහි තැන්පත් වේ. ඒ මොහොතේ ඔහු ගෙදර දොර කටයුතු,රැකියා කටයුතු තමන්ගේ පවුල, සම්පත් ආදිය සියල්ල අතහැර දමා ඇත. ඒම නිසා හිතේ කයේ දැවෙන ගති මගහැරී ඇත. පුදුම සැහැල්ලුවකි.

සදහටම ගිහිගෙයින් අයින් වූ භික්‌ෂුවක්‌ නම්, ලැබුන ආහාරය නො ඇලී වළදයි. ආහාර සෙවීමේ තරගයක්‌ නැත. නැවත ආහාර නොලැබුණහොත් අපවත්වන්නට සූදානම්ය. ලැබුන චීවරය නො ඇලී

පොරවයි. චීවරයක්‌ නොලැබුනොත් මළ මිනියක්‌ ඔතාදමන පාංශකූල රෙදිකඩින් සිවුර සකසා ගනී. ඇඳුම් පැළඳුම් පස්‌සේ දුවන්නේ නැත. ලැබුණ කුටියක නො ඇලී වාසය කරයි. කුටියක්‌ නොලැබුනොත් ගසක්‌ මුලක වාසය කරයි. රෝගයකට බෙහෙත් ලැබුනොත් වළදයි. නැතිනම් තමන්ගේම මුත්‍රා බෙහෙත් වශයෙන් ගනී. එම භික්‌ෂුවට දුවන්න තැනක්‌ නැත. අත්පත් කරගන්න දෙයක්‌ නැත. කථාකරන්න දෙයක්‌ නැත. කිසිවකට හදිසියක්‌ නැත. පෝෂණය කරන්න අඹු දරුවන් නැත. මැරුණ අතීතය ගැන කනස්‌සල්ලක්‌ නැත. අනාගතයේ දකින සිහින නැත. වර්තමානය තුළ එයද අතහරිමින් ජීවත් වේ. දැන් සිතේ බර අඩු වී ඇත. අතහැර දමන ලද ජීවිතයකි. නමුත් ශේෂ්ඨ ජීවිතයකි.

එසේ හුදකලාව තැන්පත් වීමත් සමගම කායික ක්‍රියා නැවතී ඇත. වාචික ක්‍රියා නැවතී ඇත. එනම් ප්‍රාණ ඝාතය, අදත්තාදානය, කාමමිච්ඡාචාරය, මුසාවාදය, පිසුනාවාචය, පරුසාවාචය, සම්ප්‍රප්aපලාපය නොමැත. කය සංවරය වචනය සංවරය. දැන් මන සංවර කරගත යුතුය. එනම් අභිඤ්ඤා, ව්‍යාපාද, මිත්‍යාදිට්‌ඨියෙන් ඉවත් වීමට සම්මා අරමුණක්‌ තෝරාගත යුතුය. ඒ සදහා ඇලෙන්නේ නැති ගැටෙන්නේ නැති අරමුණක්‌ තුළ සිහිය පැවැත්විය යුතුය. ආශ්වාසය ප්‍රශ්වාසය හොද අරමුණකි. තවත් එවැනි අරමුණු ඇත. දැන් තමන්ට ප්‍රශ්නය ඇත්තේ ආශ්වාසය ප්‍රශ්වාසය තුළ සිහිය පැවැත්වීමයි. අනෙක්‌ සියලු ම අරමුණු අතහැරී ඇත. ආශ්වාසය ප්‍රශ්වාසය දිගද කෙටිද සංසිදිලාද යන්න හොදින් දකින විට හිත තැම්පත් වේ. සමාධිගත වේ. සමාධිගත වූ සිතේ නිවන අහුරන ධර්මතා හෙවත් පංච නීවරණ යටපත් වේ. දැන් පළමු දෙවන තෙවන සිව්වන ධ්‍යාන දක්‌වා සමාධිය නංවාගෙන උපේක්‌ෂාවක්‌ ඇතිකරගනී. එම උපෙක්‌ෂාවේ ශක්‌තිය යොදාගෙන රූප වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංච උපාදානස්‌කන්ධයා අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම වශයෙන් විදර්ශනාත්මකව දකින විට සත්තිස්‌ බෝධිපාර්ෂික ධර්ම වැඩෙන්නට පටන් ගනී. විදර්ශනා ඤාණ පහළ වේ. සිත ජීවත් කරවන ආහාර සතර (කබලිංකාර, ඵස්‌ස, මනෝසඤ්ෙච්තනා, විඤ්ඤාණ) නැති වේ. මොහොතකට හෝ සිත මිය යයි. සිත මියගිය තැන රූප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන පංච උපාදානස්‌කන්ධයා නොමැත. ජීවත් වීමට ආයුෂය ඇති බැවින් නැවත සිතට පණ ලැබේ. නැවත පන ලැබුන සිත සමාධිමත්ය. එයට මාර්ග ඵල සමාපත්තිය කියයි. ඒ අනුව පිළිවෙලින් සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ග ඵල තම තමන්ගේ ශක්‌තිය අනුව ඇතිකරගනී. නිවන සාක්‌ෂාත් කරගෙන ඇත්තේ බුදු පසේබුදු මහරහතන් වහන්සේලාය. අනෙකුත් මාර්ගඵල ලාභීන්ට නැවත ඉපදීමක්‌ ඇත. ඔවුන්ට තවම දුක උරුමය. රහතන් වහන්සේගේ සිත ආශ්‍රව රහිතය. එනම් අනාශ්‍රව චිත්තයකින් කටයුතු කරයි. එනම් සෝපදිශේෂ නිර්වානය හෙවත් කෙලෙස්‌වලින් මිදී ඇති සිතකි. උපාදානය නොවූ සිතකි. ආයුෂය කෙලවර වන තෙක්‌ සංඛාර නොවූ සිතක්‌ තුළ විඤ්ඤාණය බැසගෙන ඇත. ආයුෂ කෙවර වූ පසු කයද අතහරින විට අනුපදිශේෂ නිර්වානය සිදුවේ. එහි දී සියලු ම ධාතුවලින් මිදේ. නැවත ඉපදීමක්‌ නැත. දුක අවසන්ය. එය සියල්ලන්ගෙන්ම මිදී පරම සැපයට පැමිණීමය. මේ ආකාරයෙන් නිර්වාණය සාක්‌ෂාත් කරගැනීම ප්‍රඤා විමුක්‌ත ක්‍රමයයි.

එමෙන්ම රූපාවචර දියාරන, අරූපාවචර ධ්‍යාන යන අෂ්ඨ සමාපත්ති උපදවාගෙන ද විමුක්‌තිය ලැබිය හැකිය. එහිදී සතරවන ධ්‍යානයෙන් පසු අනන්ත ආකාසය, අනන්ත විඤ්ඤාණය, සංඥාවක්‌ නැති බව, සංඥාවක්‌ ඇත්තෙත් නැති නැත්තෙත් නැති බව අල්ලාගෙන අරූප ධ්‍යාන උපදවා ගනී. නෙවසඤ්ඤා නාසඤ්ඤායතනයේ දී සංඥාව ඉතා සියුම්ය. එම සංඥාවත් නිරුද්ධ වුවහොත් සංඥා වේදයිත නිරෝධයට හෙවත් නිරෝධ සමාපත්තියට පත්වේ. ප්‍රථමයෙන් වචී සංඛාර (විතක්‌ක විචාර) දෙවනුව කාය සංඛාර (ආශ්වාස, ප්‍රශ්වාස) තෙවනුව චිත්ත සංඛාර (සංඥා වේදනා) නිරුද්ධ වේ. නිරෝධ සමාපත්තිය නිවන නොවේ. එය සංඛත ධර්මයකි. ලෝකය තුළ ලැබෙන ශේ්‍රෂ්ඨ චිත්ත පාරිශුද්ධියකි. නිවන ලෝකෝත්තරය. අසංඛතය. ආකිඤ්චඤ්ඤායතනයේදී ඉපදවූ ශුන්‍යයෝතාව අනිත්‍ය වශයෙන් නුවණින් දකින විට අනිමිත්ත ෙච්තෝ විමුක්‌තිය තුළින් නිර්වානය, එම ශුන්‍යතාවය දුක්‌ඛ වශයෙන් නුවණින් දකින විට අප්‍රණීහිත ෙච්තෝ විමුක්‌තිය තුළින් නිර්වානය, එම ශුන්‍යතාව අනාත්ම වශයෙන් නුවණින් දකින විට ශුන්‍යතා ෙච්තෝ විමුක්‌තිය තුළින් නිර්වාණය සාක්‌ෂාත් කරගත හැකිය. මෙසේ නිවන සාක්‌ෂාත් කිරීම උභතෝභාග විමුක්‌ති ක්‍රමයයි.

ධ්‍යානවලට අගයක්‌ නොදී ත්‍රිලක්‌ෂණය වඩමින් ශුෂ්ක විදර්ශකයාට ද නිවන සාක්‌ෂාත් කරගත හැකිය. ඔහුට දියා න ඇති වුවත් ඒවායේ නො ඇලේ.

නිරෝධ සමාපත්තියට යන අයෙකුට සංඥා වේදනා (චිත්ත සංඛාර) වල දැනීමද නැත. ජීවත්වන රහතන්වහන්සේ නමක්‌ සංඥා වේදනා (චිත්ත සංඛාර) දැනගෙන ඒවාට නොඇලී අනාශ්‍රව චිත්තයකින් ජීවත්වේ. ලෝකය අතහැරීමෙන් ලබන සැපය මෙයයි.

ගිහි ගෙය තුළ වාසය කරන ඔබටත් මෙම ශේෂ්ඨ ගමන යම් ප්‍රමාණයකට හෝ යා හැකිය. කළ යුත්තේ හුදකලා වීමය. ටික දවසකට හෝ බුදුපියාණන් වහන්සේ දේශනා කළ පරිදි නිවැරදිව කමටහන් ලබාගෙන භාවනා කිරීමට කැලයකට, ගසක්‌ මුලකට හෝ ශුන්‍යාගාරයකට යන්න. ඔබ ලබාගත් මනුෂ්‍ය ආත්මයේ බහුතරයකට විය නොහැකි විශිෂ්ඨයකු වීමට හැකියාව ඔබටත් ලැබෙනු ඇත.


 


 පුජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල හිමි
ආර්ය නිකේතනය, කන්නිමහර-වතුරුගම



 2015 බක්‌ මස 03 වැනිදා සිකුරාදා බුදුමග පුවත් පතෙන් උපුටා ගැනිමකි

Wednesday, April 22, 2015

ඔබට හොරා ඔබ තුල තිබෙන වන්චක ධර්ම

 පොකුණුවි ශ්‍රී විනයාලංකාරාරාමාධිපතිව වැඩසිටි ශ්‍රී ලංකා ස්වේජින් නිකායේ මහා නායක සාහිත්‍ය චක්‍රවර්තී, පණ්ඩිත, ප්‍රවචන විශාරද, අමරපුර මහා මහෝපාදයාය, ශාසන ශෝභන, ශ්‍රී සද්ධර්ම ශිරෝමණී මහාචාර්ය අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක මාහිමිපාණන් වහන්සේගේ 

   වන්චක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම දහම් පොත





         



































Dowenload PDF

Monday, April 20, 2015

ජය මංගල ගාථා



 ජයමංගල ගාථාවන් බුදුරදුන් ලැබූ ජයග්‍රහණ අටක් පිළිබඳව ය.

බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං
ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං
දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී


මාරාතිරේක මභියුජ් ජිත සා භ රත්තිම්
ඝෝරම්පන්-ආලවක මක්ඛ මතද්ධ යක්ඛං
ඛන්තී සුදන්ත විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී


නාලාගිරිං ගජවරං අතිමත්ථ භූතං
දාවංගිචක්ක මසනීව සුදාරු නන්තං
මෙත්තංබුසේක විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී


උක්ඛිත්ත ඛග්ග මතිහත්ථ සුදාරුනංතං
දාවන්තියෝ ජනපද-අංගුලිමාල වන්තං
ඉද්ධීභි සංඛතමානෝ ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී


කත්වාන කත්ථ මුදාරං ඉවගබ්භිනීයා
චිංචාය දුට්ඨ වචනං ජනකාය මජ්ඣේ
සංතේන සෝම විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී


සච්චං විහාය මතී සච්චක වාදකේයුම්
වාදාභිරෝ පි තනානං අති අන්ධ භූතං
පංඥා පදීප-ජාලිතෝ ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී


නන්දෝපනන්ද භුජගං විබුධම් මහිද්ධිං
පුත්තේන ථේර භුජගේන ධම්මාපයන්තෝ
ඉද්ධූපදේස විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී


දුග්ගාහදිට්ථි භුජත්ථ හත්ථං
බ්‍රහ්මං විසුද්ධි ජුතිමිද්ධි බකාභිධානං
ඥානාගදේන විධිනා ජිත වා මුනින්දෝ
තං තේජසා බවතු මේ ජය මංගලානී

ඒතා පි බුද්ධ ජය මංගල අට්ඨ ගාථා
යෝ වාචකෝ දිනදිනේ සරතේ මතන්දී
හිත්‍වාන නේක විවිධානි-ඡුපද්දවානි
මොක්ඛං සුඛං අධිගමෙය්‍ය නරෝ සපංඥෝ



මිනිසත් බව ලැබීම දුර්ලභයි

අප පින්දහම් කරනවා වගේම අනෙක් අයත් පින වෙත නැඹුරු කිරීම ඉතාමත් වටිනවා. ඒ තමා විඳින සුවය අනෙක් අයට කියලා දුන්නොත් ඒ අයත් කෙතරම් සතුටු වෙනවා ද? උදාහරණයක් ලෙස ථේර ථේරී ගාථා ගත්තොත් එහි සඳහන් වන්නේම බොහෝම කටුක අත්දැකිම්වලට ලක්වෙලා මේ විමුක්ති මාර්ගයට ප්‍රවේශවෙලා නිවන් දැකලා ඒ තමා විඳින සුවය අනෙක් අයට කියා දීමයි. එහෙම අහගෙන ඉන්නෙකොට අනේ අපටත් මේ සුවය ලබා ගැනීමට හැකිනම් කියලා සාමාන්‍ය ජනතාව උනන්දු වෙනවා


මිනිසත් බවක් ලැබීම ලෝකයේ ඉතාම දුර්ලභ කාරණයක්. වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම මනුෂ්‍යයා කියන්න පුළුවන්කම ලැබෙන්නේ මනසින් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව තියෙන තැනැත්තාටයි. කෙනෙකුට මනසින් උසස් ප්‍රතිඵල ලබා ගැනීමට උපකාර වන තවත් කරුණු තිබෙනවා. ඇස්, කන්, නාසාදි ඉන්ද්‍රියන්ගේ විකලත්වයක් නැතිව ඉපදීම, හොඳ නොහොඳ කල්පනා කළ හැකි ඤාණ ශක්තියක් ඇතිව, මන්ද බුද්ධික නොවී ඉපදීම, හොඳ ආර්ථික ශක්තියක් ඇතිව ඉපදීම ඒ අතර ප්‍රධානයි. පරමාර්ථ මනුෂ්‍ය ජීවිතයක් කියන්නේ මේ කියපු කාරණාවන්ගෙන් යුක්ත ජීවිතයටයි. ඒ ජීවිතය වාසනාවන්ත යි.
බෞද්ධ වූ අප ඒ අතර තවත් වාසනාවන්තයි. මනුෂ්‍ය ජීවිතයක් ලබාගෙන බුද්ධෝත්පාද කාලයක ඉපදිලා කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලැබිලා, ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබිලා සුදුසු ප්‍රදේශවල ජීවත්වන්නට අවස්ථාව ලැබිලා තිබෙන මේ මොහොතේ මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම අපේ වගකීමක්. මෙබඳු වාසනාවක් නැවත කවදා නම් හිමි වේවිද කියා හිතන්න අමාරුයි. ඒ නිසා කළ යුත්තේ අප්‍රමාදීව නිවනට සමීප වන ලෙස කටයුතු කිරීමයි.
එනිසා අප පින්දහම් කරනවා වගේම අනෙක් අයත් පින වෙත නැඹුරු කිරීම ඉතාමත් වටිනවා. ඒ තමා විඳින සුවය අනෙක් අයට කියලා දුන්නොත් ඒ අයත් කෙතරම් සතුටු වෙනවා ද? උදාහරණයක් ලෙස ථේර ථේරී ගාථා ගත්තොත් එහි සඳහන් වන්නේම බොහෝම කටුක අත්දැකිම්වලට ලක්වෙලා මේ විමුක්ති මාර්ගයට ප්‍රවේශවෙලා නිවන් දැකලා ඒ තමා විඳින සුවය අනෙක් අයට කියා දීමයි. එහෙම අහගෙන ඉන්නකොට, අනේ අපටත් මේ සුවය ලබා ගැනීමට හැකිනම් කියලා සාමාන්‍ය ජනතාව උනන්දු වෙනවා. එහෙම සුවයක් ලබන්න අප සියලු දෙනා ධර්මානුකූ®ලව ජීවත්වීමයි වැදගත් වන්නේ.
අප රටේ වුවත් අපරාධවල යම් ප්‍රවණතාවයක් තිබෙනවා. මේ අපරාධ වලට මානසික හේතුත් බලපානවා. අප පරිහරණය කරන පංචකාම සම්පත්වලට ඇලෙනවා කියන්නේ මානසික ලෙඩක්. සාමාන්‍ය ලෝකයේ තිබෙන දේවලට ඇලිලා ඒ ගැන නිග්මවෙලා ඉන්නවා කියන්නේ මානසික ලෙඩක්. මිනිසුන්ගේ ඒ කාමුක සිතුවිලි වැඩිවුණාම මිනිසුන් මනුෂ්‍යත්වයෙන් පිරිහෙනවා. මනුෂ්‍යත්වයෙන් පිරිහුනාම තිරිසන් ගණයට වැටෙනවා.
මිනිසා කියන්නේ උසස් මනසක් තිබෙනවා කියන එකයි. නමුත් ඒක නොවේ ඇත්ත කථාව. මනසින් උසස් ප්‍රයෝජන ගන්න පුළුවන් වීමයි. හැබැයි තිරිසන් සතාට ඒ හැකියාව නැහැ. තිරිසන් සතාට අවේගයක් ඇතිවුණාම ඒ අවේගය අනුව ක්‍රියා කරනවා. බල්ලෙකුට බුරන්න හිතුනාම බල්ල කල්පනා කරන්නේ නැහැ මම වැදගත් තැනක ඉන්නේ, මිනිස්සු මම දිහා බලාගෙන ඉන්නවා කියා ඒ සතා හිතන්නේ නැහැ. සිතුන දේ කරනවා. නමුත් මිනිසුන්ට එහෙම බැහැ. ඔවුන් සදාචාරධර්ම පද්ධතියකට බැඳිලයි ඉන්නේ. ඒවා ගැන හිත්නනේ නැතුව සිතුවිලිවලින් ඇවිස්සිලා වේගවත්වෙලා කවුරු හෝ කටයුතු කරනවානම් ඒ මනුස්සයා තිරිසනුන්ගේ ලෝකයට වැටෙනවා. තිරිසන් සතුන් මේ අම්මා, තාත්තා, දුව, පුතා හඳුනන්නේ නැහැ. ඒ වගේ තත්ත්වයකට මිනිසුන් පත් වෙනවා. ඒවගේ මිනිසුන් තිරස්චීන තත්ත්වයකට පත්වුණාම තමාගේම දුව පුතා හඳුනන්නේ නැති මවුපියන් බිහි වෙනවා. තමාගේ් මුනුපුරා මිණිපිරිය හඳුනන්නේ නැති ආච්චිලා සීයලා බිහි වෙනවා. මිනිසුන් වුවත් යම් අවස්ථාවක තිරිසන් ගතියට පත්වෙනවා. බොහෝ මිනිසුන් කායිකව නොවේ තිරිසන් ගතියට පත්වන්නේ මානසිකව යි. එවිට ඒ මානසිකත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව මේ පංචකාම සම්පත් අවුස්සා ගැනීම යි. ඒ පංචකාම සම්පත් අවුස්සා ගැනීමේ ආදීනව කවුරු හරි කෙනෙක් දකිනවානම් ඒ මානසික ඇවිස්සෙන ආවේග පාලනය කර ගන්නටත් පුළුවන්. බොහෝ මිනිස්සු පිස්සු වැටෙන්නේ මේ පංචාකම සම්පත් නිවැරැදිව පාලනය කර ගන්නට නොහැකි නිසයි.
අපේ සිතට එන ආවේග සිතුවිලි පාලනය කරන්න අපි පුරුදු වෙන්න ඕන. එසේ සිතට එන ආවේග පාලනය කර ගැනීමට තථාගතයන් වහන්සේ වදාළ ඉතාම වටිනා සූූත්‍රයක් තමයි ‘ආඝතපටිවිනය සූුත්‍ර’යි. එයිච පැහැදිලිව ආවේග පාලනය කරන ආකාරය කියා දෙනවා. ආවේග පාලනයට ගන්න පුළුවන් හොඳම දේ තමා යම් අරමුණක් දුටුවිට එහි අනවශ්‍ය විදිහට සතුටු වන්නේ නැහැ. රූපයක් දැක්කා. දැක්කා පමණයි. මේ ඇස මොනතරම් රූප දැකලා තිබෙනවා ද? ඒ හැම රූපයක්ම මම අල්ලාගෙන නැහැ. මම එහෙම එක් රූපයක් අනවශ්‍ය විදිහට අල්ලා ගත්තොත් මෙම මොනතරම් කල් පවත්වාගෙන ආ සියලුම වටිනාකම් ගිලිහි යන්න පුළුවන්. හොඳ නම නැති වෙන්නත් පුළුවන්. අම්මා තාත්තාට අගෞරවයක් ඇතිවෙන්නත් පුළුවන්. දූ දරුවන්ට අහිත පිණිස එය බලපාන්න පුළුවන් කියලා එහි ආදීනවය දැකලා ඒ රූපයෙන් සතුටුවන ස්වභාවය නැතිකර ගන්න ඕන.
ඒ වගේම ඒ රූපයේ තිබෙන වටිනාකම කියන්න හොඳ නැහැ වගේම ඒ රූපය තුළ කිමිදිලා එයම හිතන්නේ නැහැ. එසේ කෙලෙස් ඇවිස්සෙන විට කෙලෙස් ඇවිස්සෙන්නේ නැති අරමුණක් හිතට ගන්නවා. සිහි කරනවා. එහෙම සිහිකරන කොට අර අයහපත් අරමුණු නැතිවෙලා යනවා. එවිට ආවේග පාලනය වෙනවා. එහෙම කයින් වචනයෙන් ආවේග පාලනය කර ගත්තොත් මුළු සමාජය ධර්මානුකූ®ලව සදාචාර සම්පන්න වෙනවා. ඒ සියලුම දෙයට අපට තියුණු ප්‍රඥාවක් තිබෙන්න ඕන. කල්‍යාණ මිත්‍ර ඇසුරත් තිබෙන්න ඕන. කල්‍යාණ මිත්‍රයාගේ ඇසුර ලැබුනාම ධර්මය හොඳට ශ්‍රවනය කරන්න පුළුවන්. ඒ ශ්‍රවණය කළ ධර්මය හොඳින් නුවණින් විමසල බලල තමාගේ අඩුපාඩු සකසා ගන්නවා නම් ඔහුට යහපත් පුරවැසියෙක් වෙන්න ඉඩකඩ වැඩියි.
එනිසා අප ජීවත්වන සමාජයේ පරිහානිය වලක්වා ගන්න තම තමාටයි පුද්ගලික වගකීම තිබෙන්නේ. අප හරි ආසයි අපට හරි ලෙහෙසෙයි අපේ පරිහානියට තව කෙනෙක් අල්ලලා තියලා හිත හදාගන්න. මෙයා නිසා තමයි මම මේ තත්ත්වයට පත්වුණේ් කියලා අනුන්ට ඇඟිල්ල දික් කරන අය අද සමාජයේ වැඩියි. නමුත් අප දැනගන්න ඕන අපේ තිබෙන දුර්වලකම් නිසා තමයි අප පිරිහිලා තිබෙන්නේ කියා අපේ සිතුවිලි හදා ගන්න පුළුවන්නම් සිතිවිලි පාලනය කර ගන්න පුළුවන්නම් ලෝකයේ කොතනක සිටියත් අපට එය රැකෙන්න පුළුවන්. එයයි වටින්නේ.


 රාජකීය පණ්ඩිත
ශාස්ත්‍රපති
තලල්ලේ
චන්දකිත්ති හිමි



 ශ්‍රී බුද්ධ වර්ෂ 2556 ක් වූ දුරුතු අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2013 ක් වූ පෙබරවාරි 09 වනදා සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙන් පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Wednesday, April 15, 2015

පන්සිල් රැකීමේ අනුසස්

පන්සිල් වනාහි කයින් සහ වචනයෙන් සිදුවන මෙම දුශ්චරිත පහෙන් වැළකීමයි.


 එනම්

1. පරපණ නැසීමෙන් වැළකීම (පාණාතිපාතා වේරමණී)

 2. නුදුන් දේ සොරා ගැනීමෙන් වැළකීම (අදින්නාදානා වේරමණි)

 3. කාමයේ වරදවා හැසිරීමෙන් වැළකීම. (කාමේසු මිච්ඡාචාරා වේරමණි)

 4. බොරු කීමෙන් වැළකීම (මුසාවාදා වේරමණි)

5. මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම (සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණි)


මෙම දුශ්චරිත පසෙන් වැළකීම පඤ්චශීලයයි. පන්සිල් හොඳින් රැකීමට නම් මෙම දුශ්චරිත සිදුවන අයුරු ද වටහාගත යුතුය. ඒ මෙසේයි.


1. ප්‍රාණඝාතය (පරපණ නැසීම) සිදුවන අයුරු.
පණ ඇති සතෙකු වීම – පණ ඇති සතෙකු බව දැනීම - මරණ චේතනාව - මරණ උපක්‍රමය – එම උපක්‍රමයෙන් මරණය සිදුවීම.
ප්‍රාණඝාතයක් සිදුවීමට මෙම කරුණු පහ සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් ප්‍රාණඝාතය සිදුනොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.


2. අදත්තාදානය (සොරකම) සිදුවන අයුරු.
අන්සතු වස්තුවක් වීම – අන්සතු වස්තුවක් බව දැනීම - සොරා ගැනීමේ චේතනාව - සොරකම් කිරීමේ උපක්‍රමය – තිබූ තැනින් වෙනස් කිරීම හෙවත් ගැනීම.
සොරකමක් සිදුවීමට මෙම කරුණු පහ සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් සොරකමක් සිදුනොවීමට අධිෂ්ඨාන කරගත යුතුය.


3. කාමමිත්‍යාචාරය (කාමයන්හි වරදවා හැසිරීම) සිදුවන අයුරු
- සේවනය නොකළ යුතු පුද්ගලයකු වීම (ස්ත්‍රී / පුරුෂ) – වරදවා හැසිරීමේ චේතනාව - වරදවා හැසිරීමේ උත්සාහය – ආස්වාය ඉවසීම හෙවත් සේවනය

කාමයන්හි වරදවා හැසිරීමට මෙම කරුණු සම්පූර්ණ වියයුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් කාමයන්හි වරදවා හැසිරීමක් සිදු නොවීමට සිදු නොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.

4. මුසාවාදය (බොරුකීම) සිදුවන අයුරු.

- කියන කරුණු බොරු අසත්‍යයන් වීම – අන්‍යයන් රැවටීමේ චේතනාව - එය ඇඟවීම – එයින් අසන්නා මුළාවීම
බොරුකීම සඳහා මෙම කරුණු සම්පූර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් බොරු කීමක් සිදු නොවීමට අධිෂ්ඨාන කරගත යුතුය.


5. සුරාපානය සිදුවන අයුරු - සුරා ආදී මත්ද්‍රව්‍යයක් වීම – මත්ද්‍රව්‍ය ගැනීමේ චේතනාව - ඒ සඳහා උත්සාහ කිරීම – මත්ද්‍රව්‍ය ශරීරගත වීම.
මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මෙම කරුණු සම්පුර්ණ විය යුතුය. එනිසා මෙම කරුණු දැන තමා අතින් සූරා ආදි මත්ද්‍රව්‍ය භාවිතයක් සිදුනොවීමට අධිෂ්ඨාන කර ගත යුතුය.
මෙම දුශ්චරිතයන්ගෙන් වැළකුණු තෙරුවන් සරණ ගිය උපාසකයා සිල්වතෙක් වේ. බොහෝ දෙනකු යහපත් දෙයක් හෝ අයහපත් දෙයක් කිරීමට උත්සාහවත් වන්නේ ඉන් තමාට ලැබෙන ප්‍රයෝජන සලකාගෙනය. සිල්වත් ජීවිතයක් ගත කරන්නකුට එයින් බොහෝ ආනිසංස ලබාගත හැකිය. වෙනත් වැඩිදෙනෙක් එම ආනිසංස නොදන්නා බැවින් සිල්වත් ජීවිතයක් ගත කිරීමට උනන්දු නොවෙති. සිල්වත් ජීවිතයක් ගත කරන්නකුට පහත සඳහන් ආනිසංස ලැබෙන බව දීඝනිකායේ මහාපරිනිබ්බාණ සූත්‍රයෙහි සඳහන් වේ.


1. සිල්වත් ශ්‍රාවකයා නොපමා බව නිසා බොහෝ භෝග ලබයි

. 2. සිල්වත් ශ්‍රාවකයා පිළිබඳ වූ කීර්තිරාවයක් උස්ව නැඟේ.

 3. සිල්වත් ශ්‍රාවකයා යම් පිරිසක් වෙත එළඹේද හෙතෙම විශාරදව ම එළඹෙයි

 4. සිල්වත් ශ්‍රාවකයා සිහි මුළා නොෙවී කලුරිය කරයි.

 5. සිල්වත් ශ්‍රාවකයා මරණින් මතු සුගතිගාමී වෙයි.

තවද පන්සිල් රකින්නා වූ ශ්‍රාවකයාට වෙන වෙනම ලැබෙන ආනිසංස පිළිබඳව පරමත්‍ථජෝතිකා නම් වූ බුද්දකපාඨ – අට්ඨකතාවෙහි මෙසේ සඳහන් වේ.

ප්‍රාණඝාතයෙන් වැළකීම නිසා මනා අඟපසඟින් යුතුව ඉපදීම ආරෝහපරිනාහයෙන් (මනා උස මහතින්) යුක්ත වීම, ජවයෙන් (ශක්තියෙන්) යුතු වීම,පොළොවෙහි මැනවින් පිහිටන යටිපතුල් ඇති බව, මනෝඥ බව, මෘදු බව, පිරිසුදු බව, ශුරභාවය, මහාබල ඇති බව, ඇදහිය හැකි වචන ඇති බව, ලෝකයාට පි‍්‍රය වන බව, නිදොස් බව, නො බිඳිය හැකි පිරිස් ඇති බව, තැති නො ගන්නා බව, විනාශ කළ නො හැකි බව, අන්‍යයන්ගේ උපක්‍රමයකින් නො මැරෙන බව, බොහෝ පිරිවර ඇති බව සුරූපී බව, මනා සටහන් (හැඩ) ඇති බව, අල්පාබාධ බව, ශෝක නො කරන බව, පි‍්‍රය මනාප වූවන්ගෙන් වෙන් නොවන බව, දීර්ඝායුෂ්ක බව යනාදී ආනිසංස ලැබේ.


නුදුන් දේ සොරා ගැනීමෙන් වැළකීම නිසා මහාධනවතෙකු වීම, බොහෝ භවභෝග සම්පත් ලැබීම, ප්‍රමාණ කළ නො හැකි තරම් සම්පත් ලැබීම, නො ලද සම්පත් ලැබීම, ලද සම්පත් විනාශ නොවීම, කැමති වන සම්පත් වහා ලැබීම, තමාගේ සම්පත් රජුන්, සොරුන්, අපි‍්‍රයයන් විසින් පැහැර ගත නො හැකි වීම මෙන් ම ගින්නෙන් ජලයෙන් විනාශ නො වී, අන්‍යයන්ට සාධාරණ නො වන ධනය ලැබීම, ලොව උතුම් කෙනෙකු වීම, තමාට අසවල් දෙය නැතැ’ යි කියන බව නො දැනීම, සැප සේ විසීම යනාදි ආනිසංස ලැබේ.


කාමයන්හි වරදවා හැසිරීමෙන් වැළකීම නිසා සතුරුබිය නැතිවීම, බොහෝ දෙනාට පි‍්‍රයමනාප වීම, අපායභය සන්සිඳීම, ස්ත්‍රිභාවය හෝ නපුංසකභාවයට පත් නොවීම, සමාජයෙහි නො පසු බෑම, පිරිපුන් ඉන්ද්‍රියයන් ඇතිවීම ස්ත්‍රීපුරුෂයන්ට ඔවුනොවුන් පි‍්‍රය වීම යනාදි ආනිසංස ලැබිය හැකි බව පෙනේ.

බොරුකීමෙන් වැළකීම නිසා ප්‍රසන්න ඉන්ද්‍රියයන් ඇති බව, මිහිරි වදන් ඇති බව, මනා සුදුවන් දත් ඇති බව, තරබාරු නො වීම, වඩාත් කෘශ නොවීම. වඩාත් උස් නොවීම, වඩාත් මිටි නොවීම, සැප පහස ඇති බව, මානෙල්මල් සුවඳ හමන මුඛයක් ඇති වීම, කීකරු පරිවාර පිරිසක් ඇති බව, ඇදහිය යුතු වචන ඇති බව, නෙළුම්පතක් මෙන් මෘදු තුනි රතුවන් දිවක් ඇති වීම, නො සන්සුන් නොවීම, චපල (ස්ථිර වචන නැති) නො වීම යනාදි ආනිසංස ලැබේ.

රහමෙර (මත්ද්‍රව්‍ය ) භාවිතයෙන් වැළකීමෙන් අතීත අනාගත වර්තමාන යන තුන්කල්හිම කළ යුතු කටයුතුවල දී වහා වැටහෙන සුලු බව, සෑම කල්හි මනා සිහියෙන් යුතු වීම, උමතු නොවීම , ඥානවන්ත වීම, අලස නොවීම, අඥාන නො වීම, කෙලතොලු නොවීම, මත් නොවීම, ප්‍රමාද නො වීම, මුළා නොවීම, තැති නො ගැනීම, එකටෙක නො කිරීම, ඊර්ෂා නො කිරීම, සත්‍යවාදි බව, කේලාම් නොකීම, පරුෂවචන නො කීම, නිරර්ථකවචන නො කීම, දිවාරාත්‍රී මැලි නොවීම, කෘතඥ වීම, මසුරු නො වීම, ත්‍යාගශීලි වීම, සිල්වත් වීම, ඍජු වීම, ක්‍රෝධ නො කිරීම, පාපයට ලජ්ජා වීම, පාපයට බිය වීම, ඍජු වූ (නිවැරදි ) දෘෂ්ටියෙන් යුතු වීම, මහාප්‍රාඥයෙකු වීම, නුවණැත්තෙකු වීම, පණ්ඩිතයෙකු වීම, අර්ථානර්ථ දැනගැනීමෙහි දක්‍ෂ වීම යනාදි බොහෝ ආනිසංස ලැබේ.

මෙබඳු අනේක ආනිසංස ගෙන දෙන්නා වූ පන්සිල් රැක ස්වර්ග මෝක්‍ෂ සම්පත් ලැබ ගැනීමට නුවණැති සත්පුරුෂයෝ වෑයම් කරත්වා!

උපුටා ගැනිමකි


පැවිදි නොකළ යුතු අය



මහාවග්ගපාලි මහා ඛන්ධකයෙහි සඳහන් පරිදි පැවිද්දට අභව්‍ය අයගේ ලේඛනයක් දැක්වේ. ඒ මෙසේය.

1. කපුටකු එළවිය නොහැකි වියෙහි දරුවා
2. කුෂ්ට වණ, විෂගෙඩි, ඇදුම, අපස්මාරය යන රෝගයන්ගෙන් පෙළෙන අය.
3. රාජභටයා
4. ප්‍රසිද්ධ හොරා
5. සිරෙන් පැනගිය අපරාධකරුවකු
6. අධිකරණයෙහි නම ලියැවුණු අපරාධකරුවකු
7. වරදට කසයෙන් තළනු ලැබූ අය
8. සිරුරෙහි සලකුණු තබා දඬුවම් කරනු ලැබූ අය
9. ණයකරු
10. දාසයා
11. මාපිය අවසරය නොලද අය
12. අතක් සිඳුණු පුද්ගලයා
13. පයක් සිඳුණු පුද්ගලයා
14. අත්පා සිඳුණු පුද්ගලයා
15. කන සිඳුණු පුද්ගලයා
16. නැහැය සිඳුණු පුද්ගලයා
17. කන හා නැහැය සිඳුණු අය
18. ඇඟිලි අග සිඳුණු පුද්ගලයා
19. ඇඟිලි සිඳුණු පුද්ගලයා
20. මහ නහර සිඳුණු පුද්ගලයා
21. ඇඟිලි එකිනෙක බැඳී ඇති අය
22. අන්ධයා
23. බිහිරා
24. කොරා
25. පිළා
26. ගොළුවා
27. කුදු තැනැත්තා
28. වඩාත් මිටි අය
29. බෙල්ලෙහි වායු ගෙඩි ඇති අය
30. බරවා පා ඇත්තා
31. එක් ඇසක් කණ වූ පුද්ගලයා
32. අත්පා වක්වූ අය
33. අන්ද බිහිරි අය
34. බිහිරි ගොළු අය
35. අඳ ගොළු අය
36. ජරා දුර්වල අය
37. පිරිස මැද කැපී පෙනෙන විරූපී අය
38. පාප රෝග ඇත්තා
39. සිරුරෙන් අඩක් හෝ අතක් පයක් අවයවයක් හෝ පණ නැති අය

 2013 අගෝස්තු මස 21 වැනිදා බදාදා  ආලෝකේා උදපාදි පුවත්පතෙන් උපුටා ගැනිමකි

Tuesday, April 14, 2015

මරණය පැරදවීමේ වැදගත්කම





පොදුවේ සියලු මිනිස්, තිරිසන් ආදීන් මෙන්ම, ගස් වැල් ආදී දේ ද විනාශයට පත්වීම, අපි සියලු දෙනාම ජීවිතයේ දී අත්දකිමු. මේ අනුව ලෝකය හා සම්බන්ධ ජීවී, අජීවි සියල්ල ඇති වී සුළු කලක දී පැවැත නැති වී යයි. ගැඹුරින් සලකා බලන කල්හී පැවැත්ම යන්නෙන් අදහස් වන්නේ ද ඇති වී ඇති සියලු දේ අදාළ හේතු සාධක නොමැතිවන විට වෙනස්වීම්වලට භාජනය වීම බව පෙනෙයි.

ඒ අනුව ‘ජීවිතං අනියතං මරණං නියතං’ යන බුදු වදන සදාතන සත්‍යයකි. ජීවත්වන සත්වයා ලෞකික වශයෙන් විවිධ ඉලක්ක ජය ගැනීමට වෙර දැරුවද බුදු දහම ගැන සලකා බැලීමේදී පෙනී යන කරුණක් නම්, ඒ සියලු ලෞකික ඉලක්ක ජය ගැනීමට වඩා වැදගත් වන්නේ මරණය ජය ගැනීමයි. එයට හේතුව උපන් සත්ත්වයා මරණය ඉලක්ක කොට ඇති බැවිනි.
අවිද්‍යා බහුලවීම නිසා හා ජීවිතය උපාදාන වශයෙන් ගැනීම නිසාද මරණය පිළිබඳ බියක් ඇතිවුවද මරණයෙන් මිදීමට නොහැකි ය.
මේ සම්බන්ධයෙන් මනා නිදසුන් බහුල වශයෙන් ධම්මපද පාලියෙන් අපට හමුවෙයි. සිරිමා නම් රූමත් වෛශ්‍යාවගේ මරණය හේතුකොට බුදුන් වහන්සේ දෙසූ මෙම ගාථාව එබඳු ය.

පරිජිණ්ණටිදං රූපං
රෝග නිඩ්ඪං පභංගුරං
භිජ්ජති පූති සංදේහෝ
මරණං තංහි ජීවිතං (ජරා, වර්ගය - 3 ගාථාව)


මේ රූපය ඉතා දිරා ගියේ ය. එය, රෝගයට කැදැල්ලක් බඳු ය. වහා නැසෙන සුලු, කුණු වැගිරෙන මේ කය, මරණය කෙළවර කොට ඇත්තේ ය.
මෙයින් පෙනී යන්නේ අප සතු කර ගැනීමට වෙර දරන ජීවය සහිත මෙම සිරුර ජරා ජීර්ණයට භාජනය වන දෙයක් බවයි. එය රෝගයන්ගෙන් පිරුණු එකකි. කුමන මොහොතක හෝ මේ ශරීරය වහා නැසෙන සුලුය. මේ ශරීරය කොතෙක් ආශාවෙන් පරිහරණය කළද, එය මරණයෙන් අවසන් වෙයි. අපට දූ පුතුන්, මවුපියන්, ඤාතීන් සිටිය ද මරණීය මොහොතේ මේ ඛ්සිවෙකුට අපට පිහිට වීමට නොහැකි ය.
ජීවිතයේ නියම ස්වරූපය පිළිබඳ අපේ ඇස් අරවන ප්‍රසිද්ධ බෞද්ධ කථා වස්තුව නම් පටාචාරා කථාව යි. ජීවිතයේ ස්වභාවය වටහා ගැනීමට තරම් මෙම කථාව හා බැඳුණු සිද්ධිය ප්‍රබල ය.
න සන්ති පුත්නා නාණාය
න පිතා නපි බන්ධවා
අන්තකේනාධි පන්නස්ස
නත්ථි ඤාතීසු තාණතා (මග්ග වර්ගය - 16 ගාථාව)


මරණයේ ස්වරූපය එසේ වුවද බුදු දහමට අනුව මරණය වනාහී ශාස්වත, උච්ඡේද තත්ත්ව වලින් තොර, අනිත්‍ය වූ සංසාරික පැවැත්මේ තාවකාලික බිඳීමක් පමණකි. ඒ අනුව මරණය, සත්ත්වයාගේ අවසානය නොවෙයි. එහෙයින් මෙම ක්‍රියාදාමයේදී බෞද්ධයන් ලෙසින් අප හැඩ ගැසිය යුතු වන්නේ මෙම ජීවිතයේදීම මරණය ජය ගැනීමටයි. නැතහොත් නිවන් සුවය ලබා ගැනීමට යි. එම තත්ත්වය ළඟා කර ගැනීමට නොහැකි වන්නේ නම් අඩු වශයෙන් මෙලොවදී යහපතෙහි යෙදී පරලොව සුවදායක කර ගැනීමට යි.
නිරතුරු මරණ දුක දුටුවද ඒ පිළිබඳ ගැඹුරු වැටහීමක් සතු නොවීම පුද්ගල ස්වභාවයකි. එහෙත් මරණය සැබෑ සිදුවීමක් ලෙස සලකන නිසා එයට මුහුණ දීමේ හැකියාව, බුදු දහම අනුව සිතන අප සතු ය.
මේ සම්බන්ධයෙන් පෙන්වා දිය හැකි හොඳම මඟ වන්නේ මරණානුස්සති භාවනාව යි. ‘ජීවිතය අනියත ය, මරණය නියත ය’ ආදී වශයෙන් මරණය අරමුණු කරගෙන කරන භාවනාව, මෙ නමින් හැඳින්වෙයි. යමෙක් මෙම භාවනාව නිසි අයුරින් වඩන්නේ නම්, මේ භවයේදීම සෝවාන් වීමේ භාග්‍යය පුද්ගලයාට ලැබෙයි. මරණානුස්සති භාවනාව වැඩීමෙන්, පුද්ගලයා සංවේග බහුල අයකු බවට පත් වෙයි. ඔහු කුසලයට අප්‍රමාද වෙයි. ත්‍රිලක්ෂණ අවබෝධය වැඩී ජීවිත ඇල්ම දුරු වෙයි. එවැන්නෙක් එම භවයේදී ම මාර්ග ඵල නොලදහොත්, මරණින් මතු සුගතියෙහි උපදියි.
එවැනි භාවනාවක යෙදී සිටින්නෙකුට, ජීවිතය පිළිබඳ තතු කියැවෙන පහත ස¼ඳහන් ධම්මපදයේ එන ගාථාවේ අදහස වඩාත් හොඳින් ග්‍රහණය කිරීමට හැකිවනු ඇත.

අචිරං වතයං කායෝ
පඨවිං අධි සෙස්සතී
ජුද්ධෝ අපේත විඤ්ඤාණෝ
තරත්ථංව කලිංගරං


අනිත්‍ය වූද, අසාර වූ ද දිගු කලක් නොපවතින්නා වූ ද මේ ශරීරය, විඤ්ඤාණය නිරුද්ධ වී ගිය පසුව, දර කඩක් මෙන් මහ පොළෙව මත වැටෙන්නේ ය යනු එහි තේරුමයි.
මරණානුස්සති භාවනාව වැඩීමේ අනුසස් පිළිබඳ හොඳ නිදසුනක් වන්නේ, පන්සිය පනස් ජාතක පොතේ මෙන්ම විමානවත්තු ප්‍රකරණයේ ද සඳහන් උරග ජාතකය යි. එම කථාවේ දැක්වෙන බෝසත් බමුණා, ඔහුගේ බිරිය, පුතා, දියණිය, පුතනුවන්ගේ බිරිය මෙන්ම ඔවුන්ගේ් මෙහෙකාර දැරියද යන සියල්ලෝම මරණානුස්සති භාවනාව වඩති. දිනක් බෝසත් බමුණා තම පුතා සමග කුඹුරෙහි වැඩ කරන අවස්ථාවක දී පුතාට නයෙක් දෂ්ට කිරීමෙන්, ඔහු මියැදෙයි. එහි දී පවුලේ සියලු දෙනා එම මරණය දකින්නේ හඬා දොඩා වැළපීමෙන් වැඩක් නොවෙන දෙයක් ලෙස යි. මොවුන්ගේ මරණානුස්සති භාවනාව කොතරම් අගේදැයි විමසීමට පැමිණෙන ශක්‍ර දෙවියන්ට මරණයට පත් පුතාගේ මව දෙන පිළිතුර, විමානවත්ථු පකරණයේ සඳහන් වන්නේ මෙසේය.
අනව්හිතෝ තතෝ ආග
අනනුඤ්ඤාතෝ ඉතෝගතෝ
යථාගතෝ තථාගතෝ
තත්ථ කා පරිදේවනා
(ප්‍රේත වස්තු ප්‍රකරණය - උරග ජාතක පේ‍්‍රත වස්තුව)


ඒ පරලොව සිටි තැනැත්තා අප විසින් නො කැඳවන ලදුව පැමිණියේ ය. අප විසින් අනු නොදන්නා ලදුව පරලොව ගියේ ය. යම් අයුරකින් ඒ පුද්ගලයා (යම් කර්මයකින්) මෙහි ආයේ ද ඒ කර්මය පරිදි ගියේ ය. එහෙයින් හඬන්නේ කුමක් නිසා ද? යනු, එහි තේරුම යි.
මේ කථාවෙන් මරණය පිළිබඳ උපදෙස් රැසක් අපට ලබා දෙයි.
1. ලොව ජීවත්වන සියල්ලන්ටම මරණය උරුම බව
2. ජීවත් වන්නවුන් නිරතුරු මරණය පිළිබඳ භාවනා කළ යුතු බව.
3. මෙම පොදු ධර්මතාව පිළිබඳ උපේක්ෂාවෙන් බැලිය යුතු බව.
4. එවැනි අවස්ථාවකදී හඬා දොඩා වැළැපීමේ අර්ථයක් නොමැති බවත්, වියවුලෙන් තොරව අදාළ කාර්ය නිසි ලෙස ඉටු කළ යුතු බව.
මරණයට නොබියව මුහුණ දීමට අප තුළ සංවර්ධනය කළ යුතු අනෙක් ගුණ ධර්මය වන්නේ, උපේක්ෂාව යි. විවිධ පීඩා වලින් යුතු සමාජය තුළ ජීවත්වීමේ දී උපේක්ෂා සහගතව ජීවිතය ගෙන යෑම ඉතා වැදගත් ය. යමක් දෙස ඇල්මෙන් හෝ පිළිකුලෙන් තොරව, මැදහත් සිතින් බැලීම මෙයින් අදහස් වෙයි. තමාට වෛර කරන පුද්ගලයකුට වුවද වෛර නොකර, තමාට ඇලුම් කරන්නාට ද , විශේෂ ඇලීමක් නොකර සම සිත පවත්වාගෙන යෑම, සහනදායී ජීවිතයකට පදනම වෙයි.
මේ අනුව අප ජීවිතය දෙස බැලිය යුතු වන්නේ දිය බුබුලක්, මිරිඟුවක් ලෙස බව, බුද්ධ දේශනා වේ සඳහන් වෙයි.

යථා බුබිබුලකං පස්සේ
යථා පස්සේ මරීචිකං
එවං ලෝකං අවෙක්ඛන්තං
මච්චුරාජා න පස්සතී
(ලෝක වර්ගය)


එසේම පුද්ගලයා තුළ ඇති ලෝභ, දෝස, මෝහ යන අකුසල් මූල නිසා සිදුවන, අකුසල් ඵල පිළිබඳ කියැවෙන කථා ඇතුළත් කථාවස්තු ප්‍රකරණයද අපට මරණය ජය ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරයි.
එම කෘතියේ සෑම කථාවකින්ම පැහැදිලි කර දෙනු ලබන්නේ පෙර භව වලදී කරන ලද අකුසල කර්ම නිසා දරුණු විපාකවලට භාජනය වූ බව යි.
එහි සඳහන් ‘ප්‍රතිමුඛ’ කථාවෙන් කියැවෙනුයේ, සමගි වී සිටි පිරිසක් බොරු කේලාම් කියා එකිනෙකා බිඳවීම නිසා, දරුණු කටුක විපාක ලද බවයි.
එබැවින්, මේ භවයේදීම මරණයෙන් විනිර්මුක්ත වීමට නොහැකි වුවහොත්, ජීවිතය සුවපත් කර ගැනීමේ කාර්ය විශාල අවදානමකට ලක්වන බව, අප තේරුම් ගත යුතු වේ.

 බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
ඩී.එස්. සැම්සන් සුගතදාස


 ශ්‍රී බුද්ධ වර්ෂ 2553 ක් වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2009 ක් වූ අගෝස්තු මස 05 වන දා බදාදා බුදු සරණ අන්තර්ජාල කලාපයෙන් උපුටා ගැනිමකි

ජීවිතය කොතැනද මරණය එතැනය...




ගැඹුරු කල්පනාවෙහි නිරතවී නිමාවක්‌ නැති මේ ජීවන ගමන දෙස මොහොතක්‌ කල්පනා කරන්න. එසේ සිහිපත් කරන විට සැබවින්ම සංසාරය යනු එක්‌ පසෙකින් මේ නොනිමි ජීවිතයම බව අපට වැටහේ. අගක්‌ මුලක්‌ නොපෙනෙන මේ සංසාරය පටන් ගත්දා සිටම කවර ජීවිතයක්‌ සමග වුව නොබිඳී නොකැඩී පැමිණි සනාථන ධර්මතාවක්‌ තිබුණේ ය. එනම් ඒ මරණයයි. උදාවූ හිරු මඳකුදු නොනැවතී අවරට බැස යන්නාක්‌ මෙන් ජීවිතයක්‌ පටන් ගත් මොහොතේ පටන්ම එය හා මරණයද අත්වැල් බැඳ ගත්තේය. තවත් ලෙසකින් දේශනා කරනවා නම් පුද්ගල ජීවිතයක සතර ඉරියව් හා සම්බන්ධය ඇත්තාවූ කෑම්, බීම්, මුව දෙවීම්, අත්පා දෙවීම්, වතුර නෑම්, කතා කිරීම්, හැඳීම් පෙරවීම්, යාම් එම් ආදීවූ සකල ක්‍රියාවන් සිදුකරද්දීම මේ මරණය සත්වයා සමගම සිටියේය.

සැබවින්ම ආත්මභාවයක නැත්නම් ජීවිතයක සියල්ල අපේක්‌ෂා නොකළ පරිද්දෙන් නිමාවට පත්කරන මේ මරණය තිබෙන්නේ කොහේද? එනම් මරණය ඇත්තේ ජීවිතය ඇති තැනයි. ජීවිතය නැති තැන නම් අමෘත සංඛ්‍යාත වූ අමාමහ නිර්වාණයයි. එහෙයින් මෙහා අසාරවූත්, අනිත්‍යවූත් ලෝකයේ සෑම තැනෙකම මරණය රැඳී බැඳී පවත්නේය. ක්‌ලේෂකාමයන් ගෙන් මෙන්ම වස්‌තු කාමයන්ගෙන්ද උමතුභාවයට පත්වී නිසරු අපේක්‌ෂාවන් භංඝත්වයට පත්වූ මිනිස්‌සු ද්වේෂය, ශෝකය ආදී චෛතසිකයන්ගෙන් මිරිකෙන විට, පරපීඩන යටපත් වනවිට මරණය සැපයක්‌ යෑයි දොඩවති. ඇත්තෙන්ම මරණය කෙලෙසක, කවර අයුරකින් සිදුවුවත් එය සුඛයක්‌ නැත්නම් සැපයක්‌ ලෙස ගත නොහැකිය. මරණය ඒ තරමටම රුදුරුය. බියකරුය.

අපගේ මේ අනවරාග්‍ර වූ සංසාර ජීවිතය පටන්ගත් දා සිට අපට ගොදුරුවන්නට සිදුවූ මරණ සංඛ්‍යාව මෙතෙකැයි කියා ගණන් කරන්නට බැරිය. ඒ මරණවලින් ඉක්‌බිතිව ඉතිරිවූ මෘත ශරීර කඳු ලෙසින් ගොඩගැසුවහොත් මේ හිස්‌ අවකාශයටත් වඩා එය උස්‌වනු ඇත්තේය. මේ සංසාරගත සත්වයා තම මව් පමණක්‌ මළ ශෝකයට හැඬූ කඳුළු එක්‌ රැස්‌ කළ හොත් ඒවා සතර මහා සාගරයේ ජලයටත් වඩා වැඩි වන්නේ යෑයි වරක්‌ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සේක. ඒ අනුව සංසාරික වශයෙන් අනාථභාවයට, අසරණ භාවයට පත්වූ ජීවිතයක්‌ සසර තුලදී කොතෙක්‌වර මේ මරණ ධර්මතාවට ගොදුරු වන්නේදැයි සිතාගත හැකිය.

'ඊසකං අනිවත්කන්තං - සත්තං ගමනුස්‌සකං

ජීවිතං උදයා හත්ථං - සුරියො විය ධාවතී'

තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කළ අයුරින් ජීවිතය ඇසිල්ලක්‌වත් එක තැන රැඳී පවතින්නේ නැත. නිරන්තරයෙන්ම එය සිඳී බිඳී නිමාවට පත්වන අවසාන ගමනට උත්සාහවත් වේ.

ජීවිතය හා එකට ගැටගැසුණු මේ මහා විපත වූ මරණය සිදුවන ස්‌වභාවයෙහි එක්‌ ආකාරයක්‌ නැත. එය අනේක ප්‍රකාරයෙන් සිදුවේ. වර්තමානය ලෙස මඳක්‌ බලන්න. සිහි නුවණින් බලන වට අද සත්වයකු=ගේ සම්පූර්ණ ආයුෂය ගෙවී යාමෙන් සිදුවන මරණ දක්‌නට නොලැබෙන තරම් ය. එමෙන්ම මරණය සිදුවන ආකාරයන්ගේ ඉමහත් බියකරු බවක්‌ද දක්‌නට ලැබෙන්නේය. මෙකල මහ මඟතොට සත්වයිනට කෙතරම් අනාරක්‌ෂිත තැන් බවට පත්වී තිබේද? එහි සෑම තැනෙකම, සෑම විටෙකම මරණය තිබේ. මේ මරණයට ගොදුරුවන සත්වයන් එයට මුහුණපාන්නේ පණනල සහිතවම අත්පා සිඳ ගනිමින්ය. ගෙලද සි\ගෙන මුළුමහත් ශරීරයම පොඩි පට්‌ටම් කරගෙනය. මෙලෙස සිදුවන රුදුරු මරණය දෙස බලන විට එක විටම සිහිවන්නේ,

'මරණත්ථාය ඔකාසං - වධකොවිය එසති' ආදී ලෙසින් වූ බුදු මුවින් වැගිර ගලා ගියා වූ අමා දහම් පාඨයයි. එනම් සැමකල්හිම මරණය කෲර වධකයකු වැන්නේ යෑයි ඒ අමාමෑණි සම්මා සම්බුදුරජාණන් වහන්සේ සදෙසා වදාළහ. ජීවිතය තුළ ජීවිතය රැඳී තිබෙන විටම අත් පා සිඳෙන, බිඳෙන විට, ගෙල කැපෙන, තැලෙන විට ශරීරය ඇඹරී යන විට මොනතරම් නම් වේදනාවක්‌ ඒ ජීවිතයට දැනේද? ඒ ඇත්තෙන්ම මරණයේ දුකයි. වේදනාවයි. මේ වේදනාව නිසා මරණය වධකයකුට දෙවැනි නැත. මෙකල ජීවිතත්, මරණත් දෙස බලන විට බොහෝ මිනිසුන් තම ජීවිතවලට තමන්ම මරණය පමුණුවා ගන්නා වධකයකු වී නැතිද? වධකයකු වී ඇති සැටියක්‌ම පෙනෙන්නට තිබේ. උදාහරණයක්‌ වශයෙන් යතුරු පැදි මත නැගී යන ඇතැම් මිනිසුන් ගනිමු. ඔවුන්ගේ අති ධාවනකාරී ගමන්වල භයානක ප්‍රතිඵල අපමණ වශයෙන් දක්‌නටලැබේ. ඇතැම් විට ඔවුන්ගේ හිස්‌ හෝ අත්පා විසල් ගස්‌ කොළන් මතය. පන'සුන් සිරුරු පාරේ තොටේ තැන්තැන්වලය. මේ අන්දමට බලද්දී ජීවිතයකට හිමිවූ මරණය සිදුවන එක්‌ ආකාරයක අතිශය භයානක බව ඔබට වටහා ගැනීමට හැකිවනු ඇතැයි සිතමි.

ලොව දෙස විමසුම් ඇස හෙළද්දී මිනිසා මමත්වයෙන් උපාධානය කරගන්නා වූ අපමණක්‌ දැ දැක ගැනීමට තිබේ. සත්වයා සතු ජීවිතයද එබඳු ජීව වස්‌තුවක්‌ ලෙස ගත හැකිය. එහෙත් කෙලෙස්‌ උම්මත්තක බවින් තම ජීවිතය පිළිබඳව එසේ සිතුවද එය ඔවුනට හිමිවූවක්‌ නොවේ. ප්‍රබල වැටහීම් ඇතිවන නිහඬ කල්පනාවන්ගෙන් යුතුව මේ ගැනද දිගින් දිගටම සිතන්නේ නම් ජීවිතයක මරණය සිදුවන ස්‌වභාවයෙහි තවත් බියකරු අයුරක්‌ පිළිබඳව අපට තොරතුරු සොයාගත හැකිය. ජීවිතයක්‌ කවරකුට හෝ හිමිනම් එය කිසිදාක වෙනස්‌ වන්නක්‌ නොවිය යුතුය. එය තමන්ගේ වසඟයෙහි පවත්වාගන්නට හැකි වූවක්‌ විය යුතුය.

එහෙත් ජීවිතයෙහි එවැන්නක්‌ද නැත. ජීවිතය අනුන්ට ඕනෑ හැටියටත් පැවැත්විය යුත්තේ එහෙයින්ය. වැඩිදුරටත් පැවසුවහොත් ජීවිතයක්‌ පවත්වන්නට සිදුවන්නේ අන්‍යයන්ට ඕනෑ හැටියටය. එසේ නොවන්නේ නම් ඔබගේ සිත්වලට මෙන්ම ශරීරවලටද ලෝකයෙන්, ලෝක නීතියෙන් ලැබෙන කිසිදු දඬුවමක්‌ නොලැබෙනු ඇත්තේය. එසේ වුවත් සංසාර ජීවිතය පටන් ගත්දා පටන් මේ වනතෙක්‌ ඔබ අනේක විධ වූ රුදුරු දඬුවම්වලට කොතෙක්‌ නම් මුහුණ පා ඇත්තේද? ඒ අතර ඔබට මේ කියන මරණය දඬුවම් වශයෙන් කොතරම් නම් වාර ගණනක්‌ ලැබෙන්නට ඇතිද? දුර ඈත අතීතයේ පුද්ගලයින්ට මේ මරණ දඬුවම් වශයෙන් ලබාදී ඇත්තේ කොතෙක්‌ නම් වේදනා හා බය සහිත ආකාරයන්ගෙන්ද? අලි ඇතුන් ලවා පාගවාලීමෙන් ඒ මරණ ලබාදී තිබේ. එමෙන්ම උල්මත ඉන්ඳවීමෙන්, දෙකඩ වන සේ සිරුර ඉරා දැමීමෙන්, ශරීරය සත්, සතර කඩකට කපා දැමීමෙන් අත්පා හා කන් නාසා කපාදැමීමෙන් දිය යට ගිල්වීමෙන් ආදී නොයෙකුත් වූ උපක්‍රම කෙරෙහි පුද්ගලයාට ඈත අතීතයේ මරණ දණ්‌ඩන පනවා තිබේ. සම්මා සම්බුද්ධ කාලය තුළදී වුව මේ ලෝක නීති එම අයුරින්ම ක්‍රියාත්මක වී තිබෙන අයුරු ශාසනික ඉතිහාසයෙන් අපට පැහැදිලි වේ. උදේන රජතුමා වාසය කළේ සම්මා සම්බුද්ධ කාලයේදීය.

ඔහු මාගන්ධියට පැනවූ කෲර මරණ දණ්‌ඩනයක්‌ පිළිබඳ තොරතුරු එම සසුන් ඉතිහාසය තුළ සටහන් කොට ඇත. එනම් ඈ ගැඹුරු වකට බස්‌සවා ඒ තුළ ගිනි දල්වා ඇයට අමානුෂික වශයෙන් එම මරණ දණ්‌ඩනය ලබාදී තිබේ. මෙකල වුව ලෝකය තුළ විවිධාකාරවලින් මරණයට පමුණුවන පුද්ගලයින්ගේ සංඛ්‍යාව සුවිශාලය. එය ඔවුන්ට දැඩි දුකකි. අප්‍රමාණ වේදනාවකි. අනන්තවූ භයකි. තැති ගැන්මකි.

තිරිසන් ලෝකය සතර අපායගෙන් එකකි. මේ තුළ උපත ලැබීමෙන් මිනිස්‌ ජීවිතයකදී මුහුණ දෙන්නට සිදුවන මරණ සංඛ්‍යාවට වඩා වැඩි මරණ ගණනකට සත්වයාට මුහුණපාන්නට සිදුවන්නේය. එනම් තිරිසන් ලෝකය තුළ සත්වයින්ගේ හිමිකම් ගැන කතාකරන කිසිවකුත් නැත. අද්‍යතන ලෝකය දෙස බලන්න. ඒ අනුව එහි සෑම විටෙකම ක්‍රියාත්මක වන්නේ බලවත්ම සත්වයාගේ බල පුළුවන්කාරකම යි. අනන්ත අප්‍රමාණ සත්ව ජීවිත සංඛ්‍යාවකට තෝතැන්නක්‌ වූ මහා සාගරය මෙයට හොඳම උදාහරණයකි. මහා වනාන්තරයක තත්ත්වයද මෙයට දෙවැනි නොවේ.

මේ අතරම මිනිසුන් නිසා මරණ දුකට, වේදනාවට පත්වී අද දුක්‌ විඳින සත්වයින් නම් කොතරම් ද? එබැවින් ඔබේ බත් පතෙහි ඇති සෑම මස්‌ කැබැල්ලක්‌, මාළු කැබැල්ලක්‌ තුළම පෙර තිබුණේ අහිංසක ජීවිතයක්‌ බව සිතන්නට තරම්වත් සම්දිටු කල්පනාවන් බව ඔබ තුළැ පහළ විය යුතුය. ඒ මන්දයත් ඒ හැම ජීවිතයකටම රුදුරු මරණය උරුම වූයේ මාංශයට ඔබේ සිතෙහිවූ ගිජුකම නමැති පවිටු කල්පනය නිසා වන හෙයිනි. ඒ පාප ෙච්තනා නිසා කර්ම ඵල විසින් ඊඟට ඔබට අත්පත්කර දෙනු ලබන්නේද ඊටත් වඩා භයානක මරණයෝය. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයේ ජීවත්වූ චුන්ද සූකර ඔබට මතකද? ඔහු මුළු ජීවිත කාලය තුළදීම කළේ අහිංසක ඌරන් මරණයට පත්කර මස්‌කොට අනුභව කිරීම හා විකුණා දැමීමයි. අන්තිමට ඔහුගේ මරණය විසඳුණේද ආකාරයටමය. ඔහු බියකරු ලෙසින් රෝගී විය. මරණාසන්න ඌරන් ලෙස දුක්‌ වින්ඳේය. කෑ ගැසුවේය. මරණයට ගොදුරු වූයේ ඉනික්‌බිති අවිචී මහා නරකයෙහි උපත ලැබුවේය.

මිනිස්‌සු ජීවිතයට විවිධ වූ රැකවරණ හා ආරක්‌ෂණ ක්‍රම සොයති. ඒ සඳහා සුවිසල් ලෙස මුදල් ආරක්‌ෂණ ආයතනවල තැන්පත් කරති. මේ ගැන හොඳින් විමසන විට පෙනෙන්නේ කිසිම ජීවිතයකට, කිසිවකුටත් නිසි ආරක්‌ෂාවක්‌ සැපයිය නොහැකි බවයි. තවත් සඳහන් කළොත් ජීවිතයක්‌ පටන් ගත්දා පටන්ම එහි සදාතනික වූ පැවැත්මකට හේතු නැත. හේතු තිබෙන්නේ මරණයටමය. ඔබ මහමඟ ගමන්කරන විට ඔබේ මරණයට ඉවහල් වන්නට තිබෙන හේතු කොතෙකුත් ඔබට සොයා ගැනීමට පිළිවන් වනු ඇත. එහිදී ගස්‌ කොළන් කඩා වැටීමෙන්, විෂඝෝර සර්පයන් දෂ්ට කිරීමෙන්, අකුණුවලට හසුවීමෙන් ඔබගේ මරණය සිදුවන්නට ඉඩ නැතිද? එමෙන්ම ඔබ රැකී රක්‌ෂා කරන්නේ, ආහාර පාන අනුභව කරන්නේ, බෙහෙත් ඖෂධ බොන්නේ ජීවිතය රැක ගැනීම සඳහාමය. එහෙත් පුද්ගලයා මෙසේ ජීවත්වීමට ගන්නා උත්සාහයන්ම පුද්ගලයාට මරණය උදාකර දුන් බව කියෑවෙන පුවත් මේ මොහොතේත් කෙතරම් අසන්නට ලැබෙනවාද?

ලෝකයේ ඇති මේ කෙළවරක්‌ නැති මරණයට ඉවහල් වන පරිබාහිර හේතු=වලට අමතරව ජීවිතයක්‌ ඇරැඹුණ දා පටන් එය ස්‌වභාවිකවම ගමන් කරන්නේ මරණය දෙසටමය. එය බුදුරජාණන් වහන්සේ වදාළේ ක්‌ෂණික මරණය හැටියටය. එය ජීවිතයක්‌ තුළ සෑම මොහොතක්‌ මොහොතක්‌ පාසාම සිදුවේ. එය සැබවින්ම ජරා දුකට යටින් දිවයන ජීවිතයක දරුණු හුයක්‌ මෙන්ය.


 පූජ්‍ය මැදගොඩ අභයතිස්‌ස හිමි

 උපුටා ගැනිමකි

මැරෙන්න පෙර මරණය ගැන හිතන්න

උපදින සෑම කෙනෙක්ම කවදා හෝ මියයයි. එය අතීතයෙත් එසේය. අදත් එසේය. අනාගතයෙත් එසේම වෙනු ඇත. කිසිවෙකුට මරණයෙන් ගැලවීමක් නැත. ආගමානුකූලව බලන විට සත්ත්වයාට මරණය ගෙනෙන මාරයා පවා දිනක මැරෙන්නේය. ඒ අද සිටින්නේ එදා සිටි මාරයා නොවන නිසාය. මරණය ගැන බුදුරජාණන් වහන්සේ තරම් දේශනා කළ වෙනත් ආගම් කර්තෘවරයෙක් තවත් නොමැත. එම නිසාත් අප කවදා හෝ මරණයට මුහුණ දෙන නිසාත් මරණය යනු කුමක්ද? එය සිදුවන්නේ කෙසේ දැයි යන්න දැන ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.
බුදුරජාණන් වහන්සේ මරණ වර්ග සතරකින් මරණය සිදුවන බව දේශනාකර ඇත. ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය සහ උපජ්ජේදක මරණය යනුවෙනි.
ආයුක්ඛය මරණය: සෑම සත්ත්ව කොට්ඨාසයකටම නියමිත ආයු කාලයක් තිබේ. උදාහරණයක් ලෙස ගතහොත් මිනිසාට අවුරුදු 120 ක් පමණ වේ. සුනඛයා අවුරුදු 15 ක් පමණද අලියා අවුරුදු 60ක් පමණද වේ. වැඩිම ආයු කාලය ජීවත් වන්නේ ඉබ්බාය. උගේ ජීවිත කාලය අවුුරුදු 150 ක් පමණ වේ. මෙම නියමිත ආයු කාලයම ගෙවී අවසාන වූ පසු සිදුවන මරණ ආයුක්ඛය මරණ ලෙස හඳුන්වනු ලැබේ.
කම්මක්ඛය මරණය: ඒ ඒ සත්ත්ව කොට්ඨාසයට නියමිත ආයු කාලය කෙතෙක් වුවත් යම් සත්ත්වයෙකු ජීවත්වන කාලය තීරණය වන්නේ එම සත්ත්වයා පෙර භවවලදී කරන ලද කුසල අකුසලයන්ගේ පල විපාක අනුවය. සුගතියක නම් කුසල් කළ පුද්ගලයා එම සුගතියේ වැඩි කාලයක් ජීවත් වේ. අකුසල් කළ පුද්ගලයෙක් නම් කෙටි කාලයක් ජීවත් වේ. එසේම දුගතියක නම් කුසල් කළ පුද්ගලයා කෙටි කාලයක්ද අකුසල් කළ පුද්ගලයා වැඩි කාලයක්ද ජීවත් වේ. මෙසේ සත්ත්ව කොට්ඨාසයට නියමිත ආයු කාලය වඩා අඩු කාලයකින් කර්ම කාලය ගෙවී යාමෙන් සිදුවන මරණය කම්මක්ඛය මරණය ලෙස හැඳින්වේ.
උභයක්ඛය මරණය: ආයුෂ කාලය හා කර්ම කාලය එකවරම ගෙවීයාමෙන් සිදුවන මරණයයි. මෙවන් මරණයන් සිදුවන්නේ ඉතාම කලාතුරකිනි.
උපච්ඡේදක මරණය: ආයුෂ කාලය හා කර්ම කාලය තිබී මෙලොව කරන ලද පාපකර්මයක් හෝ වෙනත් හේතුවක් මත එම කාලසීමා දෙකටම කලින් සිදුවන මරණ මෙම ගණයට අයත් වේ. රෝගාබාධ ආදිය සෑදී සහ අනතුරුවලට ලක්වී සිදුවන මරණද මෙම කොටසට අයත් වේ. පසුගිය සුනාමියේදී සිදුවූ මරණ මෙවැනි මරණයන් වේ. අකාල මරණ ලෙස හැඳින්වෙන්නේද මෙවැනි මරණයන්ය.
සියලුම සත්ත්වයන් මරණයට භයය. සත්ත්වයෝ පමණක් නොව දෙවියෝ පවා මරණයට භයය. දෙවියන් මැරෙන්නේ අනෙකුත් සත්ත්වයන් මැරෙණ ආකාරයට නොවන බව බුදුදහමේ සඳහන් වේ. දෙවියන්ගේ මරණයට හේතු වන කරුණු මෙසේය. ආයුෂ ගෙවී යාම, කර්මය ගෙවී යාම, ආහාර වේලාවක් මඟහැරීම, කල්ප විනාශය හා ක්ෂණික කෝපය. මේ හේතු මත මරණයට ආසන්න වන දෙවියාට මරණ නිමිති පහළ වේ. දෙවියාගේ දිව්‍යමය ආලෝකය නැති වේ. සුවඳ නැති වේ. දුගඳ හැමීමට පටන් ගනී. අවර්ණ වේ. පැළඳ සිටින මල් මාලා පර වේ. දහදිය දැමීමට පටන් ගනී. දිව්‍යමය අසුන් ගැනීමට අපහසු වේ. මේ පෙරනිමිති දකින දෙවිවරු ඉමහත් බියට පත්වේ. එම නිසා මරණය අප පමණක් බිය වන දෙයක් නොවේ.
අභිධර්මයේ සඳහන් ආකාරයට සත්ත්වයා මරණයට පත්වන්නේ කෙසේ දැයි සොයා බලමු. මරණය යනු නැවත සිත් පහළ නොවන අවස්ථාවකට සත්ත්වයා පත්වීම යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. සත්ත්වයකුගේ ඊට ඉහත භවයේ ඇති වන අවසාන චිත්තය වූ චුති චිත්තය ඇතිවීමත් සමඟම එය නව භවයේ පළමු චිත්තය වූ ප්‍රතිසන්ධි චිත්තය බවට පත්වීමෙන් නව භවය ඇති වේ. එය එම භවයේ පළමු චිත්තය වේ. එම ප්‍රතිසන්ධි සිත ඇතිවූ මොහොතේම එම සිත නිරුද්ධ වී සිත් පරම්පරාවක් ඇතිවීම භවයේ පැවැත්ම හෙවත් ජීවත්වීම නම් වේ. එම නිසා එය චිත්තය, භවය පවත්වාගෙන යෑමට උපකාරී වන චිත්තය යන අර්ථයෙන් භවාංග චිත්තය නමින් හැඳින්වේ. සත්ත්වයාට වෙනත් චිත්ත හෙවත් සිතිවිලි පහළ නොවී සෑම අවස්ථාවකම භවාංග සිත් පහළ වෙමින් නිරුද්ධ වෙමින් නැවත පහළ වෙමින්ද නිරුද්ධවෙමින් නැවත නැවත ඇති වේ. එහෙත් එම සිත්පහළ වන බවක් අපට නොදැනේ. යම් අවස්ථාවකදී එම සිත් පහළවීම නවතීද එය එම සත්ත්වයාගේ මරණය බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. ඒ අනුව (බුදුදහම අනුව) මරණය යනු ප්‍රතිසන්ධි සිතක් සමඟ ඇතිවී ජීවත්වූ කාලය පුරාම නොකඩවා පැවැති සිත්පරම්පරාව අවසන්වීමය. මෙම අවසාන චිත්තය චුති චිත්තය බැවින් චුති චිත්තය ඇතිවීම ජීවිතයේ කෙළවරය නැතිනම් මරණයයි.
මරණාසන්න මොහොතේදී සිතට එන චුති චිත්තය කෙබඳු එකක් දැයි කිසිවෙකුට කිව නොහැක. එය ඇසිපිය හෙළන මොහොතකිනුත් ලක්ෂ වාරයකටත් වඩා අඩු කාල සීමාවක් තුළ ඇතිවන්නක් බව අභිධර්මයේ සඳහන් වේ. එය පාලනය කිරීමේ හෝ බලෙන් ඇතිකර ගත හැක්කක් ද නොවේ. ඉතාමත්ම පින් දහම් කළ පුද්ගලයකුට සමහරවිට අපාගත සිතිවිල්ලක් චුති චිත්තය ලෙස සිතට ඒමට පුළුවන. මෙයට හොඳම උදාහරණය අප බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි බන්දුල මල්ලිකාවෝය. ඇය පසේනදීකොසොල් රජතුමාගේ බිරිඳය. ඇය බුදුදහමට ලැදිව ඉතා පින් දහම් කළාය. එහෙත් මරණාසන්න මොහොතේ කරන ලද පාපයක් සිහියට ඒමෙන් අපාගත වන්නට සිදුවූවාය. ඒ අයුරින්ම පාපකාරී පුද්ගලයෙකුට මරණාසන්න මොහොතේ සිතට සුගතිගාමී සිතුවිල්ලක් ඒමෙන් සුගතියේ ඉපදීමටද පුළුවන. එයට උදාහරණයක් වන්නේ පව්කාර සිටුවරයකුව සිටි ධනංජානි සිටුවරයාය. ජීවත්වන කාලයේද පාපයෙහි ඇලී සිටි මෙම සිටුවරයා මරණාසන්න මොහොතේ සැරියුත් මහ රහතන් වහන්සේගේ මග පෙන්වීම යටතේ මිය යාමෙන් පසු බඹලොව ඉපදුණේය.

මේ හේතුව නිසාම තම දෙමාපියන් නෑදෑ හිතමිතුරන් මිය යාමට ආසන්න අවස්ථාවලදී පන්සිල් දීම පිරිත් සජ්ඣායනා කිරීම ධර්ම දේශනා කිරීම හෝ අඩුම වශයෙන් ඉතිපිසෝ ගාථාව කීම ආදී ආගමික වතාවත් කිරීමට බෞද්ධයෝ පෙළඹී ඇත. එහෙත් මෙය කෙතරම් දුරට ප්‍රායෝගිකද යන්නත් සාකච්ඡා කිරීම වටී.
වෛද්‍යවරයකු වශයෙන් මරණයට පත්වන පුද්ගලයින් රාශිියක් අප දැක ඇත. මරණාසන්න පුද්ගලයෙකුට තමා මරණයට පත්වීමට ආසන්නවී ඇති බවට හැඟීමක් ඇතිවනු ඇතැයි සිතේ.
බොහෝ මරණාසන්න පුද්ගලයින් මරණාසන්න මොහොතේ අධික ලෙස කලබලකාරී තත්ත්වයකට පත්වේ. ඇවිද ගැනීමට තබා අතපය සෙලවීමටවත් නොහැකිව දෙතුන් දෙනකු උස්සා ගෙන පැමිණි රෝගීන් උපස්ථායකයින් දෙතුන් දෙනකුටවත් අල්ලා නවතාලිය නොහැකි තරමට කලබලකාරීවී කෑ කෝ ගසන අවස්ථා ඇත. එවැනි බියකට කලබලකාරී අවස්ථාවකට පත්වන කෙනකුගේ සිත දැහැමි සිතිවිල්ලකට යොමු කිරීම අපහසු කාර්යයක් වේ. ධර්මානුකූල අවබෝධයක් ඇති ආගමානුකූල ජීවිතයක් ගතකළ පුද්ගලයෙකුට හැර වෙනත් කෙනකුට මෙය අසීරු කාර්යයක් වනු ඇත. එසේම චුති චිත්තය පහළවීමට ගතවන කාලයද සාමාන්‍ය චිත්තයක් පහළවීමට ගතවන කාලයට වඩා අඩු කාලයක් වීමද මෙයට බලපානු ලැබේ. සාමාන්‍ය චිත්තයක් ඇතිවීමට ජවන් සිත් හතක් අවශ්‍ය වන අතර චුති චිත්තයක් ඇතිවීමට අවශ්‍ය වන්නේ ජවන් සිත් පහක් පමණක් බව අභිධර්මයේ සඳහන් වේ.
එසේම බුදුදහමට අනුව සත්ත්වයා සැදී ඇත්තේ රූපයෙන් සහ නාමයෙනි. මෙහි රූපය යනු අප ඇසට පෙනෙන ශරීරයයි. නාමය යනු ඇසට නොපෙනෙන වේදනා, සංඥා, සංඛාර සහ විඤ්ඤාණයි. මෙහි ශරීරය නාමයට ජීවත්වීමට නොහැඟි වූ තරමට අබල දුබල වූ විට නාමය ශරීරය හැරයයි. එය මරණය ලෙස හඳුන්වන්නෙමු.

වෛද්‍ය විද්‍යානුකූලව මරණය යනු කුමක් දැයි අර්ථ දැක්වීම විවාදයට ලක්වෙමින් පවතින්නකි. මෙම මතවාදයට විශේෂ හේතුවක් වී ඇත්තේ එක් එක් අංශ මරණය යනු කුමක්දැයි ඒ ඒ අංශවලට අදාළව විවිධ අර්ථ කථන දීමය. උදාහරණයක් ලෙස සායනික වශයෙන්, නීතිමය වශයෙන්, භෞතවේදය ආදී වශයෙන් අර්ථ දැක්වීම නිසාය. පුරාණයේ පුද්ගලයෙකුගේ හුස්ම ගැනීම හෙවත් ආශ්වාස ප්‍රාශ්වාසය නැවතිම මරණය ලෙසට හඳුන්වන ලදී. පසුව හුස්ම ගන්නා බව දැන ගැනීමට නොහැකි නොදැනෙන අයත් සමහර විට ජීවත්වන බව දැනීමවත් සමඟම හුස්ම ගැනීම නැවතීම හා රුධිර සංසරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඇන හිටීම මරණය ලෙස සඳහන් කරන ලදී. ඒ සමඟම රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී කෘතිමව ස්වසන හා රුධිර සංසරණ පද්ධති ක්‍රියා කරවීමෙන් ඔවුන් තවදුරටත් ජීවත් කිරීමට හැකියාවක් ඇතිවීමත් සමඟම මෙම අර්ථ දැක්වීමත් නොගැළපෙන බවට මතවාද ඉදිරිපත් විය. ඒ සමඟම මොළයේ ක්‍රියාකාරිත්වය හා ස්වසන- රුධිර ක්‍රියාකාරිත්වයේ නැවතීම මරණය බව අර්ථ නිරූපණය විය. මේ සම්බන්ධයෙන්ද මතවාද ඇතිවිය. එයට හේතු වූයේ මොළයේ සමහර කොටස් අක්‍රිය වූ විටද මිනිසා ජීවත් වීමය.
මොළය සාමාන්‍යයෙන් ප්‍රධාන කොටස් දෙකකට බෙදේ. ඒ ඉහළ කොටස හා පහළ යනුවෙනි. ඉහළ කොටසට මෂ්තිස්කය හා අනුමස්තිෂ්කයද, පහළ කොටසට මැද මොළය යන කොටස් වලින්ද සමන්විතවේ. මොළයේ ඉහළ කොටසේ ක්‍රියාකාරිත්වය ඇන හිටීමෙන් ස්වසන පද්ධතිය හා රුධිර පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඇන නොහිටන නිසා මරණය සිදු නොවේ. එසේම මෙඩල්ලාව නමැති කොටසින් ස්වසන පද්ධතිය ක්‍රියාකාරිත්වය පාලනය වන නිසා එහි ක්‍රියාකාරීත්වය ඇන හිෙටීමෙන් හුස්ම ගැනීම නැවතී මරණය සිදුවේ. මරණය යනු කුමක්ද සම්බන්ධයෙන් මෙවැනි තවත් ගැටලු රාශියක් පවතින නිසා අද වෛද්‍ය විද්‍යාවට අනුව මරණය යනුවෙන් අර්ථ දක්වන්නේ නැවත පනගැන්විය නොහැකි ආකාරයට ශරීර ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය ඇන හිටීම ලෙසටය.


සොඳුරු මරණය

ජීවිතය අවසානයේ සුන්දර මරණයකට පත්වීම සෑම බෞද්ධයකුගේම අපේක්ෂාවයි. එබැවින් විවිධ පුණ්‍ය කර්ම හා කුශල කර්ම සිදුකොට අවසානයේ සිහිනුවණින් යුක්තව මරණයට පත්වීම උදෙසා ප්‍රාර්ථනාවක් ඇතිකරගනී. මරණය දුකක් වශයෙන් දක්වන බුදුසමය එය සුන්දර එකක් බවට පත්කර ගැනීමට අවශ්‍ය මඟ පෙන්වීම ලබාදෙයි. සුන්දර මරණයකට අවශ්‍ය පදනම සකසා ගන්නා අයුරු පැහැදිලි කරන සූත්‍ර දේශනාවක් අංගුත්තර තික නිපාතයේ ඇතුළත් වේ. දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි අනේපිඬු සිටුතුමා අමතා උන්වහන්සේ මෙසේ දේශනා කළ සේක.
“ගෘහපතිය! සිත නොරැකුණොත් කායික ක්‍රියාද නොරැකුණේ වෙයි. වාචසික ක්‍රියාද නොරැකුණේ වෙයි මානසික ක්‍රියාද නොරැකුණේවෙයි. කායික වාචසික හා මානසික වශයෙන් අනාරක්ෂිත වූ හෙයින් පුද්ගලයාගේ කායික ක්‍රියාද වාචසික ක්‍රියාද මානසික ක්‍රියාද කෙලෙස් ධර්මයන්ගෙන් තෙත් වූයේ වෙයි. මෙසේ කෙලෙස් ධර්මයන්ගෙන් තෙත් වීම නිසා පුද්ගලයාගේ කායික වාචසික හා මානසික චර්යා අපිරිසුදු වේ. මෙසේ අපිරිසුදු කායකර්ම අපිරිසුදු වචී කර්ම හා අපිරිසුදු මනෝ කර්ම නිසා ඔහුගේ මරණය යහපත් නොවේ කලක්‍රියාව යහපත් නොවෙයි.
ගෘහපතිය! රැකුණොත් කායික ක්‍රියාද රැකුණේ වෙයි. වාචසික ක්‍රියාද රැකුණේ වෙයි. මානසික ක්‍රියාද රැකුණේ වෙයි. කායික වාචසික හා මානසික වශයෙන් ආරක්ෂිත වූ හෙයින් පුද්ගලයාගේ කායිකක්‍රියාද වාචසික ක්‍රියාද මානසික ක්‍රියාද කෙලෙස් ධර්මයන්ගෙන් තෙත් නොවෙයි. එසේ කෙලෙස් ධර්මයන්ගෙන් තෙත් නොවීම නිසා එම කායික වාචසික හා මානසික චර්යා පිරිසුදු වේ. මෙසේ කායික වාචසික හා මානසික වශයෙන් පිරිසුදු හෙයින් ඔහුගේ මරණය යහපත් එකක් වෙයි කාලක්‍රියාවද සුන්දර වෙයි.”

අනාරක්ෂිත වූ සිත 
 
අනේපිඬු සිටුතුමා අමතා දේශනා කළ මෙම අනුශාසනාවෙන් පෙන්වා දෙන්නේ සිත අනාරක්ෂිත වූ කල්හි පුද්ගල චර්යාවන් කෙලෙස් ධර්මයන්ගෙන් තෙත්වන අතර එමගින් පුද්ගලයා අපිරිසුදු වන බවයි. අපිරිසුදු චර්යාවන්ගෙන් යුක්ත පුද්ගලයාගේ මරණය හා කාලක්‍රියාව යහපත් නොවේ.
මැනවින් සෙවිලි නොකරන ලද ගෙහි, වර්ෂාව හේතුවෙන් එහි පරාල මෙන්ම බිත්තිද තෙත් බවට පත්වී නොබෝ දිනකින්ම දිරාපත් වන්නේ යම් සේද, සිත අනාරක්ෂිත වූ කල්හි පුද්ගල චර්යාවන් ද අපිරිසුදු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස සොඳුරු මරණයකට හෝ කලුරිය කිරීමකට ඔහු හෝ ඇය හිමිකම් නොකියයි. එහෙත් මැනවින් සෙවිලි කරන ලද නිවසට කොතරම් වැසි වැටුණද එහි වහලයට, පරාලවලට හෝ බිත්තිවලට හානියක් සිදු නොවේ. ඒවා දිරාපත් නොවී තවදුරටත් ආරක්ෂා වෙයි. එමෙන්ම සිත ආරක්ෂාකරගත් කල්හි කායික, වාචසික හා මානසික චර්යා යහපත් වේ. තිදොර සංවර වූයේ කෙලෙස් ධර්මයන්ගෙන් අපිරිසුදු නොවේ. ත්‍රිවිධද්වාරයෙන්ම පිරිසුදු හෙයින් වරදක්, පාපයක්, අකුශලයක් සිදු නොවෙන නිසා මරණය මෙන්ම මරණින් මතු ජීවිතය ද සුන්දර එකක් බවට පත් වේ.
බුදුරජාණන් වහන්සේ අනේපිඬු සිටුවරයා අමතා කළ මෙම දේශනයේ විශේෂ වැදගත්කමක් තිබේ. ඒ අනුව පුද්ගල චර්යාවන් කෙරෙහි මනස ප්‍රධාන වශයෙන් බලපාන බව මෙයින් පැහැදිලි වේ. මනස ආරක්ෂා කරගත්විට පුද්ගල චර්යා යහපත් වේ. මනස දූෂණය වූ විට පුද්ගල චර්යා අයහපත් වේ. බාහිරින් බැලූ විට ඉතා සංක්ෂිප්ත සූත්‍රයක් වුවද විවරණය කළ විට එය අතිශය පුළුල් දේශනයකි. සිත ආරක්ෂා කිරීම යනුවෙන් අදහස් වන්නේ සිත තුළ පවතින ත්‍රිවිධ අකුසල චේතනා වර්ධනය වීමට ඉඩ නොතැබීමයි. ඒ සඳහා මානසික අවධානය හෙවත් සිය අත්‍යවශ්‍ය වේ. සිහිනුවණින් (සතිසම්පජඤ්ඤ) යුක්තව වාසය කිරීමෙන් අකුසල චේතනාවලට සිත ආක්‍රමණය කිරීමට තිබෙන ඉඩ ප්‍රස්ථා අහිමි වේ. සතර සතිපට්ඨාන යටතේ සිහිය පිහිටුවීම යනුවෙන් අදහස් වන්නේ මෙකී මානසික අභ්‍යාසය නිතර ප්‍රගුණ කිරීමයි.
සිහි නුවණ නොමැති විට කෙලෙස් ධර්ම විසින් සිත ආක්‍රමණය කරනු ලැබේ. අවසානයේ දී එම කෙලෙස් ධර්මයන්ගේ බලපෑමට යටත්වන කායික, වාචසික හා මානසික චර්යා පුද්ගලයාට මෙන්ම සමාජයටත් හානිකර වේ.

දස වැදෑරුම් අකුසල චර්යා 
 
සිත කෙලෙස් ධර්මවලින් ආරක්ෂා වන විට පුද්ගල චර්යාවට අයත් දස වැදෑරුම් අකුසල චර්යාවන්ගේ පැවැත්මට ඉඩක් නොලැබේ. දස වැදෑරුම් අකුශල චර්යාවන්ගේ පැවැත්මට උපකාරී වන්නේ සිතේ ඇතිවන ලෝහ දෝස මෝහාදී අකුසල චේතනාවන්ය. අකුසල චේතනා වෙනුවට කුසල චේතනා වර්ධනය වීමෙන් පුද්ගලයා දස වැදෑරුම් කුසලසහගත චර්යාවන්ගෙන් යුක්ත වේ. ශීලය යනුවෙන් අදහස් කරන්නේ මෙකී චර්යාවන්ගෙන් කායික හා වාචසික අංශයේ සංවරයයි. එහෙත් මානසික අංශයේ සංවරකම ඇතිවන්නේ සිහි නුවණ දියුණු කිරීමෙන්ය. මෙම දෙඅංශයේම සංවරබව සිත ආරක්ෂා කිරීමෙන් සිදු වේ. ශීලය මගින් සිදුවන්නේ බාහිර සංවරය පමණි. එහෙත් සිත පිරිසුදු කරනතාක් ශීලය පූර්ණත්වයට පත් නොවේ. එයට හේතුව පුද්ගල චරියාවට බලපාන අකුසල සහගත මානසික ස්වාභාවයන්, චිත්තවේග, මානසික දුර්වලතා සිතෙන් ඉවත් නොවී පවතින හෙයින් ඒවා නැවත නැවතත් ඉස්මතු වී තිදොරින් ක්‍රියාත්මක වන හෙයිනි. අකුසල සහගත මනෝභාවයන්ගෙන් සිත ආරක්ෂා කරගන්නා තෙක් පුද්ගල චර්යා මුළුමනින්ම පිරිසුදු නොවේ. අභ්‍යන්තර පාරිශුද්ධත්වය වර්ධනය වූ පමණටම බාහිර චර්යාවද යහපත් වේ. මනස පිරිසුදු වීමත් සමඟම නිරායාසයෙන්ම චර්යාවද පිරිසුදු වේ. විමුක්තිය සාක්ෂාත් කළ උත්තමයෝ පූර්ණ මානසික පාරිශුද්ධත්වයෙන් යුක්ත හෙයින් එම උතුමන්ගේ චර්යාව ප්‍රකටය. විවෘතය. කිලිටිවලින් තොරය. පටු ආකල්පවලින් කිලිටි වී නොමැත. එම උතුමෝ සදාචාරමය වශයෙන් පරමාදර්ශීහු වෙති.

 
ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය 
 
ගිහි හෝ පැවිදි සෑම කෙනෙක්ම ශික්ෂාපද රැකිය යුත්තේ මෙකී අර්ථය මැනවින් වටහාගෙනය. අභ්‍යන්තර පාරිශුද්ධත්වය වර්ධනය කරගන්නා තරමටම ශික්ෂාපද රැකීමත් නිරායාසයෙන්ම සිදුවේ. අභ්‍යන්තර පාරිශුද්ධත්වය කෙරෙහි අවධානය යොමු නොකර හුදෙක් ශික්ෂාපද වල මතුපිට අර්ථය පමණක් සළකා ඒවා සමාදන්වීම අර්ථවත් නොවේ. සෑම ශික්ෂාපදයකම ධර්මමය උපයෝගීතාවක් තිබේ. ඒ සියල්ල ආධ්‍යාත්මික පාරිශුද්ධත්වය ඉලක්කකොට පවතී. ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයෙන් තොරව කොතෙක් ශික්ෂා පද ආරක්ෂා කළ ද එය භාජනයක් යටිකුරු කොට ජලය පිරවීමක් හා සමානය. ශික්ෂාපදයන්හි ධර්මමය උපයෝගීතාව වටහාගත් විට අන් අයගේ ප්‍රසාදය දිනා ගැනීම, තමා සිල්වතෙකුයැයි අන් අයට ඒත්තු ගැන්වීම එමගින් ලාභ ප්‍රයෝජන අපේක්ෂා කිරීම ආදී පටු ආකල්පවලින් තොරව ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයම පරමාදර්ශය කොටගෙන ක්‍රියාත්මක වේ. අනේපිඬු සිටුවරයා අමතා කළ මෙම දේශනයෙන් පැහැදිලි වන තවත් වැදගත් කරුණක් වන්නේ පුද්ගල චර්යාව හා මනස අතර පවතින සම්බන්ධතාවයි. මනස දූෂිත වන විට චර්යාව දූෂිත වේ. මනස පිරිසුදු වන විට චර්යාව පිරිසුදු වේ. සදාචාරමය වශයෙන් යහපත් පුද්ගලයෙකු නිර්මාණය කළ හැක්කේ ඔහුගේ හෝ ඇයගේ මනස පිරිසුදු කිරීමෙන්ය. දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක්තරා භික්ෂූන් වහන්සේ නමක් ප්‍රකාශ කළේ මෙතරම් ශික්ෂාපද ප්‍රමාණයක් තමන්ට ආරක්ෂා කළ නොහැකි හෙයින් උපැවිදි වීමට අවශ්‍ය බවයි. මෙම අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ එම භික්ෂුව අමතා දේශනාකොට වදාළේ එසේ නම් සිත පමණක් ආරක්ෂා කරගන්නා ලෙසයි. ඉහතින් දැක්වූ පරිදි සිත කෙලෙස් ධර්මයන්ගේ බලපෑමෙන් නිදහස් කරගත් විට නිරායාසයෙන්ම කායික වාචසික හා මානසික චර්යා පිරිසුදු වන බව පැහැදිලිය. යමක් රැක ගැනීමෙන් මහත් අර්ථයක් අත්පත්කර ගනීද ඒ සියලු ලාභයන්ට වඩා සිත රැකගැනීමෙන් ලැබෙන අර්ථය මහත් බව බුදුරදුන් වදාළේ එබැවිනි. මරණය සුන්දර වන්නේ එයට පෙර හා එයින් පසු ජීවිතය යහපත් වන්නේ නම් පමණි.
වර්තමාන ජීවිතය අසාර්ථක කරගත් අයෙකුට සාර්ථක සුන්දර මරණයක් හිමි නොවන අතර මරණින් පසුව දුගතිය හිමිවේ. ගිහි වුවද පැවිදි වුවද සුන්දර මරණයක් අපේක්ෂා කරන්නේ නම් අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත වන්නේ තම චර්යාව අපිරිසුදු කරගෙන මානසික දුර්වලතා අකුසල චේතනා ආදියෙන් සිත රැක ගැනීමයි.


 කොළඹ විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයන
අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
රාජකීය පණ්ඩිත
උඩුහාවර ආනන්ද හිමි


 ශ්‍රී බුද්ධ වර්ෂ 2558 ක් වූ බක් පුර පසළොස්වක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2015 ක් වූ අප්‍රේල් 03 වනදා සිකුරාදා  දින බුදු සරණ පුවත්පතෙන් පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Monday, April 13, 2015

බොරුවට - වංචාවට තැනක් නැති ජීවිතය

 
හැබෑ බෞද්ධයකුගේ ජීවිතය තුළ කිසිවක් අරබයා කිසිදු විටෙක බොරුවට වංචාවට තැනක් නොලැබේ. හෙවත් සත්‍යයම ජීවිතය වේ. සත්‍යවාදියකු වේ. සත්‍යවාදී නොවීම නැතිනම් බොරුකීම පස් පවට අයත් ප්‍රබල පාප කර්මයකි.
මුසාවාදය යන්න අදාළ වන්නේ කට වචනයට පමණක් නොවේ. වාචික බසට මෙන්ම ලිඛිත බසටද එකසේ අදාළ වෙයි. ලේඛනයටද බලපායි. බොරුකීම මෙන්ම බොරු ලිවීමද මේ පවට, දුසිල්වත් බවට ප්‍රධාන වෙයි. වචන භාවිතයට අදාළ අකුසල කර්ම හතරෙන්ද ප්‍රධානතම හා මුල්ම කාරණයද වේ.
ජීවිත කාර්යයන් අරබයා ලාභ ප්‍රයෝජන උදෙසා පමණක් නොව හුදෙක් විනෝදය සඳහාවත් විහිළුවටවත් බොරුවක් කීමේ - ලිවීමේ හැකියාවක් බෞද්ධයාට නොමැත. එසේ බොරු කියන්නෝ - ලියන්නෝ මෙන්ම බොරු කරන්නෝ ද හැබෑ බෞද්ධයන් ලෙස ගණන් ගන්නේද නැත.
සත්‍යවාදියෙකුගේ ජීවිතය සුවඳවත් ය. කීර්තිමත් ය. අවංක බව පිළිබඳව අන් අය අතරේ විශ්වසනීයත්වය ඉතා උසස් ය. පෞද්ගලික කටයුතුවලදී මෙන්ම පොදු සමාජ කටයුතුවලදී ද රැකියාවට අදාළ කටයුතුවලදී ද එය එකසේ අදාළ ය. ස්වයං රැකියාවක යෙදුණු අයෙකුට නම් ආදායම බහුල වීමට එයම ප්‍රධාන කාරණයක් වේ. බොරු නොකියන වංචා නොකරන කාගෙන් වුවද වැඩක් පිරිසුදුවට කර ගැනීමට කවුරුත් කැමති ය. එබඳු අය සොයා එන්නේ විශ්වාසයක්ද ඇති කරගෙන ය.
බොරුවෙන් අන් අයව නොරවටන අය කෙරෙහි කාගේත් සැලකිල්ල අවධානය යොමුවීම අනිවාර්ය ය. ඒ තරමට එය සමාජය තුළ දුර්ලභ දෙයක් වන හෙයිනි. මේ විශ්වාසවන්ත බවම කාගෙන්වත් සතුරු උපද්‍රවයකට ලක්වීමට, හානිකර තත්ත්වයකට පත් නොකෙරෙන බවට පෙරළා ලැබෙන විශ්වාසවන්ත බවකි. ධර්මය රකින්නා ධර්මයෙන් රැකේ. බොරුවට පැවැත්මක් නොමැති බවත්, තාවකාලික බවත්, දිගුකල් නොරැඳෙන බවත්, නොගිලී උඩට මතුවන බවත් දහම් නොදන්නා අයගේ පවා පිලිගැනීමයි. සත්‍යම ජය ගන්නා බවත්, කවදා නමුත් කොයි අවස්ථාවක නමුත් අසත්‍ය පරාජය වන බවත් සාමාන්‍ය සමාජයේ වුවද පොදු පිළිගැනීමයි. බොරුව - අසත්‍යය ඕනෑම සමාජයක් පිළිකුල් කරන දෙයකි.
බොරුවට බර ජීවිතය ද අන් අය අතර පිළිකුල්සහගත ය. ගඳගසන සුළුය. ;බාරුවෙන් රැවටීම පෞද්ගලිකව විපාක අත් විඳින්නට සිදුවන දෙයක් පමණක් නොව සමාජ අපරාධයක් සමාජ ද්‍රෝහී ක්‍රියාවක් ලෙසද සලකනු ලැබේ.
බොරු කාරයෙක් - වංචාකාරයෙක් ලෙස හංවඩු ගැසුණු චරිතයක් කෙරෙහි සමාජමය වටිනාකමක් පිළිගැනීමක්ද නැත. කිසිවෙක් කිනම් හෝ කටයුත්තකට අවස්ථාවකට සම්බන්ධ කර ගැනීමට කැමැත්තක් දක්වන්නේද නැත. යමක් බාර දෙන්නේද නැත. ඒ එතැනත් බොරුවක් වංචාවක් සිදුවෙතැයි සැකකරන බැවිනි. විශ්වාසයක් නැති හෙයිනි.
ඒ අනුව සත්‍යවාදී බව තුළ හෙවත් බොරු නොකියන, බොරු නොලියන, බොරු නොකරන සියල්ල තුළ ගැබ්වන විශ්වාසය ම එක්තරා ප්‍රබල ශක්තියකි. ධර්ම බලයකි. බුද්ධත්වයට පළමු බෝසත් කාලයන්හිදී කිසිම විටෙක පලුදු නොවුණු එකම පාරමිතා ධර්මයද සත්‍යවාදී බවයි.
මේ සත්‍යවාදී බව මෙනෙහි කොට ඒ සත්‍ය ක්‍රියා බලයෙන්ම යම් යම් ආපදාවන්ගෙන් ගැලවුණු ආකාරය විස්තර කෙරෙන ජාතක කතා මෙන්ම පසුකාලීන බණ කතාද අසන්නට දකින්නට තිබේ. ඒ අනුව මේ සත්‍ය බලය හැබෑ බෞද්ධයාගේ ජීවිත රැකවරණයටද අදාළ වන බලගතු ශක්තියක්මය. ධර්ම බලයක්ම ය.
එසේම බොරුකීමේ පාප කර්මයේ විපාකද දරුණු බව ත්‍රිපිටකයේ දක්නට ලැබෙන සූත්‍ර දේශනා වටහා ගත හැකිවනු ඇත. බොරුකීමේ ආදීනව මේ ජීවිතය තුළම අත්විඳින්නට පවා සිදුවේ. අලාභ, නින්දා, ගැරවුම් සැකයට ලක්වීම ආදිය ඇතිවේ.
හැබෑ බෞද්ධයෙක් අනිවාර්යයෙන් ම වැළකිය යුතු ප්‍රබලතම පාපකර්ම පහෙන් එකක් වන බොරුවෙන් වැළකීම සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හෙවත් ප්‍රඥාව දියුණු කරගෙන නිවන් දැකීමට ද ඉවහල් වෙයි. එබැවින් හැබෑ බෞද්ධයාගේ ජීවිතය බොරුවෙන් වංචාවෙන් අනුන් රැවටීමෙන් තොර සිල්වත් සුවඳවත් ජීවිතයකි.
මේ සිල් ගුණය ඔබ ළඟත් තිබේදැයි විමසා බලා නොමැති නම් ඇති කර ගැනීමත්, අඩු නම් වැඩිකර ගැනීමටත්, ඇතිනම් රැක ගැනීමටත් සැලකිලිමත් විය යුතුව ඇත.

 බන්දුල අත්තනායක

2013 අප්‍රේල් මස 24 වැනිදා බදාදා  දින අලෝක උදපාදි  පුවත්පතෙන් පළ වූ ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

Saturday, April 11, 2015

මෙත්තානිසංස සූත්‍රය




1. ඒවං මේ සුතං. ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර බෝ භගවා භික්ඛු ආමන්තේසි භික්ඛවෝති. හදන්තේති තේ භික්ඛු භගවතෝ පච්චස් සෝසුං’ භගවා ඒතදවෝච.

2. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා ආසේවිතාය භාවිතාය බහුලීකතාය. යානීකතාය වත්ථූ කතාය අනූට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඒකාදසානිසංසා පටිකඞ්ඛා. කතමේ ඒකාදස?

3. 1. සුඛං සුපති, 2. සුඛං පටිබුජ්ක්‍ධති, 3. න පාපකං සුපිනං පස්සති, 4. මනුස්සානං පියෝ හෝති, අමනුස්සානං පියෝ හෝති, 6. දේවාතා රක්ඛන්ති, 7. නාස්ස අග්ගි වා විසංවා සත්ථං වා කමති, 8. තුවටං චිත්තං සමාධියති, 9. මුඛවණ්ණෝ විප්පසීදති, 10. අසම්මූළ්හෝ කාලං කරෝති, 11. උත්තරිං අප්පටිවිජ්ක්‍ධන්තෝ බ්‍රහ්මලෝකූපගෝ හෝති.

4. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුත්තියා, ආසේවිතාය භාවිතාය බහුලීකාතාය, යානීකතාය වත්ථුකතාය අනුට්ඨිතාය පරිචිතාය සුසමාරද්ධාය, ඉමේ ඒකාදසානිසංසා පාටිකඞ්ඛාති.

5. ඉදමවෝච භගවා. අත්තමනා තේ භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුන්ති.




මෙත්තානිසංස සූත්‍රයේ සිංහල අර්ථය

එක් සමයක බුදුන්වහන්සේ සැවැත්නුවර ඇසුරු කොට දෙව්රම් මහ වෙහෙර වසන්නේ දිනෙක පැසුළු යම ලොව බලා වදාරණ සේක් මේ බඳු සිදුවීමක් දුටු සේක.
කොසොල් රට සැරිසරන මා අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසීමෙන් සැට නමක් රහත් වන්නාහ. සැට නමක් කටින් උණු ලේ වමාරන්නාහ. සැට නමක් සිවුරු හැර ගිහි වන්නාහ යනුයි.
භික්ෂූන් හට සංග්‍රහ පිණිස චාරිකාවෙහි හැසිරෙනු කැමැති භික්ෂූන්ට දන්වන්නැයි කීහ. මෙසේ වදාළ බුදුන්වහන්සේ මහත් භික්ෂූ සමූහයක් පිරිවරා ගෙන ගම් නියම් ගම් පිළිවෙළින් සැරි සරමින් මහත් වූ බෙණයක් සහිත රුකක් ගින්නෙන් ඇවුලෙනු දැක ;මය අරමුණු කොට දම් දෙසමියි අග්ගික්ඛන්ධෝපම සූත්‍රය දෙසූ සේක. මෙසේ වදාළ කළ හැටක් උණු ලේ වැමෑරූහ. සැටක් සිවුරු හළහ. පිරිසුදු සිල් ඇත්තෝ රහත් වූහ.
මේ ධර්ම දේශනාව තුන් කොටසකට ප්‍රයෝජනවත් විය. රහත් වූවන්ට ප්‍රයෝජන වනු පුදුමයක් නොවේ. සෙස්සන්ට වූ ප්‍රයෝජන කවරේද යත්? ඉදින් බුදුහු අග්ගික්ඛන්ධෝපම සූත්‍රය නො ඇසුහූ නම් ප්‍රමාද විහරණයෙන් යුක්තව පව් වඩමින් අපායෙහි උපදනාහ. මේ දහම් දෙසුම අසා සාමණේර භූමියෙහි සිට දසසිල් පුරා භාවනා වඩා සෝවාන් සකෘදාගාමී හා අනාගාමී වන්නාහ. සමහරු දෙව්ලොව උපදින්නාහ. අනෙක් අය මෙය නො ඇසුයේ නම් කල් යත් යත් සංඝාදිසේසාදියට හා පාරාජිකාදියට පැමිණෙන්නා හ.
මේ දේශනාව ඇසූ දුසිල් මහණහු මේ ශාසනය ආශ්චය්‍යය. අප පැවිදි වූයේ කෙලෙසුන් තැවීමට මිස කෙලෙසුන් වැඩීමට නොවේ. අපට දිවිහිම් කොට කෙලෙසුන් නැති කරන පිළිවෙතක් පිරිය නොහැකි ය. එබැවින් උවසුදම් පුරා දුකින් මිදෙමුයි ගිහි වූහ. ඔවුහු තිසරණ පන්සිල් හා අටසිල් රැක ඇතැම් කෙනෙක් සෝවාන් වූහ. ඇතැම් කෙනෙක් සකෘදාගාමි වූහ. කෙනෙක් දෙව්ලොව උපන්හ. මෙසේ ඔවුන්ටත් මේ දෙසුම ඵලවත් විය. මේ දේශනාව ගැන ආරංචි වූ භික්ෂූහු විසිදෙන සැටදෙන සියදෙන බැගින් සිවුරු හැර ගිහි වූහ.
මෙසේ බුදුන් වහන්සේ දහම් දෙසමින් දනවු සැරිසරා නැවත දෙව්රම් වෙහෙරට වැඩ එම ගඳ කිළියෙහි අඩ මසක් විවේකව එලසමවත් සුව විඳ පසුව අනඳ මහ තෙරුන් සමඟ දෙව්රම් වෙහෙර බලා හැසිරෙන සේක් පෙර කාෂාය වස්ත්‍රයෙන් බබළමින් පැවැති දෙව්රම් වෙහෙර අද මෙසේ හිස්වන්නට හේතු කවරේදැයි අනඳ හිමියන් ගෙන් විචාල සේක.
අනඳ හිමියෝ බුදුන් වහන්සේට මෙසේ පැවසූ සේක.
ස්වාමිනි, භාග්‍යවතුන්වහන්ස, ඔබ වහන්සේ දනවු සැරිසරා වඩිද්දී අග්ගික්ඛන්ධෝපම සුත්‍රය වදාළ තැන්පටන් භික්ෂූහු සංවේගයට පැමිණ අපට මේ සසුනෙහි පිළිවෙත් පිරිය නොහැකිය. නොමනා පැවතුම් ඇති අප විසින් සැදැහැවතුන් විසින් පින් සලකා පිරිනමන ලබන දන් වැළඳීම නුසුදුසු යයි සිවුරු හැර ගියහ. මෙය ඇසූ බුදුන්වහන්සේට ධර්ම සංවේගය පහළ විය.
ඉක්බිති බුදුන් වහන්සේ අනඳ තෙරුන් ඇමතූහ. මා සමවත් සුවෙන් විවේකීව සිටියදී මෙහි කිසිදු භික්ෂූහු නමක් මගේ දරුවන්ගේ සැනසීම පිණිස අවවාදයක් නො දුන්නේ ය. ගඟකට බසින්නට බොහෝ තොටවල් ඇත්තාක්මෙන් සසුනෙහි සැනසෙන්නට බොහෝ දේ තිබේ.
ආනන්ද, ගඳකිළි මළුවෙහි බුද්ධ ශාසනයක් පණවා භික්ෂූන් රැස්කරවයි කී සේක. මේ කාරණය අර්ථෝත්පත්ති කොටගෙන මහණෙනි, මේ සස්නෙහි යම් භික්ෂූන් නමක් අසුරු සණක් ගසන කෙටි කාලයක් නමුදු සියලු සතුන් කෙරෙහි මෙත් සිත වඩා නම් හෙවත් මෛත්‍රී කෙරේ නම් මහණෙනි, ඒ භික්ෂූ නම මේ සස්නෙහි නො සිස් වූ ධ්‍යාන ඇත්තෙක් ව වසන්නේයයි ද, ශාසනානුශාසනය පිළිපදින්නේ යයිද, අවවාද පිළිපන්නේ යිද, දායකයන් විසින් දෙන රට්ඨ පිණ්ඩය නොසිස්ව වළදන්නේ යයි ද කියනු ලැබේ.
යම් කෙනෙක් මෙත් සිත නැවත නැවත පුහුණු කෙ රත් නම් වඩාත් නම් ඔවුන් ගැන කියනුම කවරේදැයි මෙසේ චුල්ල අච්ජරාසංඝ සූත්‍රය වදාරා මෙකී භාවනාවේ අනුසස් දක්වනු සඳහා මෙත්තානිසංස සූත්‍රය දෙසූ සේක.
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු මහ සිටුහු ගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මහණෙනි යි භික්ෂූන්ට ආමන්ත්‍රණය කළ සේක. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්ස යැයි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවඳන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි ආදරයෙන් සෙවුනා ලද එසේම වඩනා ලද නැවත නැවත වැඩීම වශයෙන් පුරුදු කරන ලද සියලු අන්දමින් ම පුරුදු කරන ලද මොනවට පටන් ගන්නා මෛත්‍රී චෙතෝ විමුක්තිය පිළිබඳ අනුසස් එකොළොසක් කැමති විය යුත්තාහ.

කවර එකොළොසක්ද යත්?

1. සැපයේ නිදයි

2. සැපයේ පුබුදියි

3. නපුරු සිහිනයක් නොදකියි.

4. මිනිසුන්ට පි‍්‍රයවෙයි

5. අමනුෂ්‍යයන්ට ද පි‍්‍රය වෙයි

6. දෙවියෝ රකිති

7. මේ මෛත්‍රී විහරණ ඇති පුද්ගලයා ගේ ශරීරයෙහි ගිනි හෝ, විස හෝ, සැත් හෝ නොවදියි.

8. වහාම සිත එකඟ වෙයි

9. මුහුණ පැහැපත් වෙයි

10. නො මුලාව කලුරිය කරයි

11. මෛත්‍රී සමවතින් මතු රහත් වන්නට නොහැකි වී නම් මරණින් මතු බඹලොව උපදියි.

මහණෙනි, ආදරයෙන් සෙවුනා ලද මෛත්‍රී චේතෝ විමුක්තිය ආසේවිත භාවිත බහුලීකෘත කළ කල්හි යානාවක් මෙන් වස්තුවක් මෙන් කළ කල්හි එළඹ සිටි කල්හි පුරුදු කළ කල්හි මොනවට පටන් ගත් කල්හි මේ එකොළොස් ආනිසංසයෝ කැමති විය යුත්තාහුය.
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු වූ ඒ භික්ෂූහූ භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාවට කැමති වූහ. 


මෙම මෙත්තානිසංස සූත්‍රය අංගුත්තර නිකායේ ඒකාදසක නිපාතයට ඇතුළත් සූත්‍රයකි. මෙය පසු කළෙක මහා පිරුවානා පොත් වහන්සේ නම් වූ මහ පිරිත් පොතටද ඇතුළත් කර ඇත.
මෙහි දැක් වූ මෛත්‍රීය අර්පණා (ධ්‍යාන) බවට පැමිණි මෛත්‍රියයි. එබඳු මෛතී‍්‍ර චිත්ත විමුක්තියෙන් යුක්ත පුද්ගලයාට අනුසස් එකොළොසක් ලැබෙයි. මෙහි ඇතුළත් අනුසස් එකොළොසින් දහයක් මෙලොවදී ද එකොළොස වන ආනිසංසය පරලොවදී ද ලැබෙන බව දත යුතුය.
යම් කිසි අයුරකින් එම මෛත්‍රීය පාදක කර ගෙන අර්හත් ඵලය ඉපද වූයේ නම් එකොළොස්වන ආනිසංසය වශයෙන් නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පානා සේක.
එසේ නොවී අනාගාමී වුවහොත් අවිහ – අතප්ප සුදස්ස සුදස්සී අකනිට්ඨක යන පංච ශුද්ධාවාසයන් අතුරෙන් එක්තරා බ්‍රහ්ම ලෝකයක ඉපදීම එකොළොස් වන ආනිසංසය වශයෙන් සැලකිය යුත්තේය.
මෛත්‍රී චිත්ත විමුක්තිය පාදක කරගෙන සෝතාපන්න හෝ සකදාගාමී වී නම් තමන් ලත් ධ්‍යානයේ හැටියට බ්‍රහ්ම ලෝකයෙහි උපදනේය. 11 වන ආනිසංස වශයෙන් එම මෛත්‍රිය පාදක කොට ගෙන අර්හත් ඵලයට පැමිණ අනුපාදි ශේෂ නිර්වාණ ධාතුවෙන් පිරිනිවන්පෑම හෝ අනාගාමීව ශුද්ධා වාස බ්‍ර‍්‍රහ්ම ලෝකයන්හි ඉපදීම හෝ කළ හැක.
මෙසේ අර්පනා බවට නොපැමිණි මෛත්‍රිය පාදක කොට ගෙන සෝතාපන්න හෝ සකදාගාමී වූයේ නම් බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීමක් කළ නොහැකි බැවින් දෙව්ලොව උපදී. එසේම මෛත්‍රී චිත්තයෙන් යුත් තැනැත්තේ පෘථග්ජනව විසූයේ නම් සුවසේ සැතපීම යන දස ආනිසංසයම මෙලොවදී ලබා මරණින් මත්තෙහි සුගතිංසග්ගං ලෝකං උප්පජ්ජිති යි දැක්වූ හෙයින් යහපත් පැවතුම් ඇති සුගතියෙහිම ඉපද ආනිසංස එකොළොසම ලබයි.



1. මෛත්‍රී චිත්තය
මෙජ්ජතීති - මෙත්තා සිතේ පවත්නා මෘදු බව සිනිඳු බව මෛත්‍රියයි. මිත්තේ භවා මිත්තස්ස ඒසා පවත්තීතිපි - මෙත්තා මිතුරා කෙරෙහි වූයේ හෝ මිතුරාගේ පැවැත්මය යන තේරුමට හෝ මෛත්‍රිය යයි කියනු ලැබේ. හිතේසිකා සබ්බ සත්තේසු හිත එරණතා - මෙත්තා සියලු සත්වයන් කෙරෙහි හිතෛශී භාවය හිත පැතිරවීම් ස්වභාවය මෛත්‍රීයයි.
සබ්බ සත්තේසු හිතාකාරප්පවත්ති ලක්ඛණා මෙත්තා සියලු සත්ත්වයන් කෙරෙහි හිත ආකාරයෙන් පැවැත්ම මෛත්‍රියයේ ලක්ෂණයයි. කෝපය සංසිඳවීම මෙයින් ලැබෙන සම්පත්තියයි.
එබඳු මෛත්‍රීයයෙන් යුත් සිත මෛත්‍රී චිත්තයයි දත යුතුය. මෙබඳු මෛත්‍රීයෙන් යුත් තැනැත්තේ,
1. සුවසේ නිදයි.
2. සුවසේ අවදිවෙයි.
3. නපුරු සිහින නොදකියි.
4. මිනිසුන්ට පි‍්‍රය වෙයි.
5. අමනුෂ්‍යයන්ට පි‍්‍රය වෙයි.
6. දෙවියෝ රකිති.
7. ගිනි – විෂ – ආයුධ හෝ ඔහුගේ කයට නොපිවිසෙයි.
8. වහා සිත එකඟ වෙයි.
9. මුහුණේ පැහැය බබළයි.
10. නුමුළාව කළුරිය කරයි.
11. මරණින් මතු සුගතියෙහි උපදියි.

2. මෛත්‍රී චිත්ත විමුක්තිය
මෛත්‍රීයෙන් යුත් සිත පංච නීවරණා දී සතුරන්ගෙන් විශේෂයෙන් මිදේද එහෙයින් චිත්ත විමුක්තිය යයි කියනු ලැබේ. ධ්‍යාන බවට පැමිණි මෛත්‍රීයට මෙය නමෙකි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අතුරෙන් මෛත්‍රීය දක්වන තන්හි මෙත්තා යි කී කල්හි සමහර තැනෙක ධ්‍යාන තත්ත්වයට පැමිණි මෛත්‍රියටද සමහර තැනෙක ධ්‍යාන පුර්භාග මෛත්‍රීයද ගැනේ. මෙත්තා චේතෝ විමුක්ති යි කිවහොත් ධ්‍යාන බවට පැමිණි මෛත්‍රියම ගැනේ.
මෙත්තා - කරුණා - මුදිතා යන ත්‍රිවිධ වූ බ්‍රහ්ම විහාර භාවනාවෙන් ලැබිය හැක්කේ ප්‍රථම ද්විතීය තෘතීය යන ධ්‍යානයෝය. එබැවින් ඒ ඒ ධ්‍යානයකින් නීවරණයන් ගෙන් හොඳ හැටි මිදුණු සිත මෛත්‍රී චිත්ත විමුක්තිය ලෙස දත යුතුය.

3. මෛත්‍රීය වැඩිය යුත්තේ කෙසේද?
ත්‍රිහේතුක ප්‍රතිසන්ධික යෝගාවචරයා විසින් පිරිසිදු පංචශීලයෙහි හෝ පිහිටා පළිබෝධයන් දුර හැර සුදුසු විවේක ස්ථානයක සුව අසුනෙක හිඳ පළමු කොට ද්වේශයෙහි ආදීනව හා ක්ෂාන්තියෙහි අනුසස් හැකිතාක් දුරට මෙනෙහි කළ යුතුයි. කුමක් හෙයින්ද මෙම භාවනාවෙන් ද්වේෂය දුරු කළ යුතුයි. ක්ෂාන්තිය ලැබ ගත යුතුයි. ආදීනව හා නොදැක්ක දෙය දුරු කරන්නටද ආනිසංස නොදැක්ක දෙය ලබන්නටද නොහැකි බැවිනි ආදීනව මෙසේ මෙනෙහි කළ යුතුය.
කුද්ධෝ අත්ථං නජානාති – කුද්ධෝ ධම්මං නපස්සති
කිපි තැනැත්තා කළ යුත්ත නොදනී. කිපි තැනැත්තා ධර්මය නොදනී.
යමෙක් නිරපරාධී තැනැත්තකුට කිපුණත් උඩු සුළඟට දැමූ ධූලී තම මුහුණටම එන්නාක් මෙන් තමාටම විපත් පැමිණේ.
යමෙක් දඬුවම් නොකළ යුතු කෙනෙකුට දඬුවම් කෙරේද ද්වේශ නොකළ යුත්තෙකුට කිපේද ඔහු දස විධ අන්තරායයන්ගෙන් එක්තරා අන්තරායකට පැමිණේ.
දස විධ අන්තරාය නම්:
1. දරුණු වේදනාවක් විඳින්නට සිදුවෙයි.
2. බලවත් ධන හානියක් සිදුවෙයි.
3. අතපය ආදී අවයව බිඳෙත්.
4. දරුණු ලෙඩක් සැදෙයි.
5. උමතු වෙයි.
6. රාජ උදහසක් ඇති වෙයි.
7. බලවත් චෝදනාවක් අසන්නට සිදුවෙයි.
8. කිට්ටුවර නෑයන්ගේ පිරිහීමක් සිදුවෙයි.
9. වී ගොවිතැන් ආදී භෝගයන්ගේ පිරිහීමක් ඇති වෙයි.
10. ඔහුගේ ගෙය ගිනි ගනී.
මෙකී අන්තරාය දහයෙන් එකකට හෝ කීපයකට මෙලොවදීම මුහුණ පා වැඩි කල් ජීවත් නොවී මරණයටද පැමිණ මරණින් මතු අපායටද පැමිණෙන්නේ ය.
මේ ගැනද සිතන්න.
1. කිපෙන තැනැත්තාට ළඟම ඇත්තෙ පෝරකය හෝ නිරයයි.
2. මිනී මැරුවෝ වැඩි දෙනෙක්ම කිපෙන තැනැත්තෝය.
3. කිපීම නීචයන්ගේ ක්‍රියාවකි.
4. නොකිපෙනු, කිපුනත් වචනයක් නොකියනු. කිසිවක් නොකරනු. ලියුමක් පවා නො ලියනු. ලියුවත් තැපැල් නොකරනු.
5. කිපෙන තැනැත්තා දෝතින් ගිනි අඟුරු ගෙන අනුනට ගසන්නෙකි.
6. කිපෙන තැනැත්තා ඉක්මණින්ම දුගී භාවයට පැමිණේ. මෙසේ කෝපයේ ආදීනව ගැන සිතන්න.
ඉවසීමේ අගය
ඛන්ත්‍යා භීයෝ නවිජ්ජන්ති
ක්ෂාන්තියට වඩා උතුªම් ගුණයක් විද්‍යාමාන නොවේ.
ඛන්තී පරමං තපෝ තිතික්ඛා
ඉවසීම සහිත ක්ෂාන්තියයි උතුම් තපෝ ගුණයයි.
වසන දනා රුපු යුදයට ජය කොඩිය ඉවසීමෙන් සැනසීම ලැබේ.
මේ ආදී ක්‍රමයෙන් ඉවසීමේ වැදගත්කම සැලකිය යුතුයි. මෙසේත් සලකා ඉවසිය නොහැකි නම් උතුමන්ගේ චරිත මෙනෙහි කළ යුතුය.

4. මෙත් වැඩිය යුත්තේ කාටද? - මෙත් නොවැඩිය යුත්තේ කාටද?
ඉවසීමේ අගයද ක්‍රෝධ කිරීමේ ආදීනවද සලකා විවේක ස්ථානයක හිඳ තමා සැපයට කැමති බැවින් සාක්ෂි ස්ථානයෙහි ලා සලකනු පිණිස මම සැප ඇත්තෙක් වෙමි. මම සැප ඇත්තෙක් වෙමි යි. බොහෝ කලක් සලකා අනතුරුව හිතවතාට ද ඉන්පසු මධ්‍යස්ථයාටද පසුව සතුරාටද මෙත් වැඩිය යුතුය.
හිතවතාට මෙත් වැඩීමේදී ලිංග විසභාගත්වය විශේෂයෙන් සැලකිය යුතුය. පිරිමියෙක් ස්ත්‍රියකටද ස්ත්‍රියක් පිරිමියෙකුටද පෞද්ගලික වශයෙන් මෙත් වැඩිය යුතු නොවේ. එසේ කිරීමේදී රාගය මෛත්‍රිය මෙන් වෙස් වලා ගෙන පැමිණ ඒ යෝගාවචරයා මැඩලයි. රාගය මෛත්‍රියට ළඟම සිටින සතුරාය.
ව්‍යාපාදය ඈත සිටින සතුරාය. ඒ නිසා රාගය ආලය පේ‍්‍රමය කියන තත්ත්වයට නොවැටී හිතවත්කම, යහපතක් වීමේ කැමැත්ත යන අදහස්වලට සමාන වන පරිදි රාගයෙන් මෛත්‍රිය පරිස්සම් කරගත යුතුය.

5. ප්‍රතිපක්ෂ ධර්ම මොනවාද?
ප්‍රතිපක්ෂ ධර්ම නම් සතුරු ධර්මයි. මෛත්‍රියට ව්‍යාපාදය, තරහව සතුරු ධර්මයකි. ධ්‍යානාදී උතුම් ගුණයන්ද මාර්ග ඵල නිර්වාණයන්ද වලකන බැවින් මීට ව්‍යාපාද නිවරණයයි කියනු ලැබේ.
පංච නීවරණයන් අතුරින් ව්‍යාපාද නීවරණය නම්,
1. මොහු මට අනර්ථ පිණිස හැසුරුණේ යයි විරෝධය උපදියි.
2. මොහු මට අනර්ථ පිණිස දැන් හැසිරේ යයි විරෝධය උපදියි.
3. මොහු මට අනර්ථ පිණිස මතුද හැසිරෙන්නෙ යයි විරෝධය උපදියි.
4. මාගේ මිතුරාට අනර්ථ පිණිස හැසුරුණේ යයි විරෝධය උපදියි.
5. මාගේ මිතුරාට අනර්ථ පිණිස දැනුදු හැසිරෙන්නේ යයි විරෝධය උපදියි.
6. මාගේ මිතුරාට අනර්ථ පිණිස මතුත් හැසිරෙන්නේ යයි විරෝධය උපදියි.
7. සතුරන්ට නිතරම පක්ෂව සිටින්නෙ යයි විරෝධය උපදියි.
8. සතුරන්ට දැනුදු පක්ෂව සිටින්නේ යයි විරෝධය උපදියි.
9. සතුරන්ට මතුත් පක්ෂව සිටින්නේ යැයි විරෝධය උපදියි.
මෙසේ ක්‍රෝධය නව අයුරකින් උපදී : යළිත්,

10. ගල් මුල් ආදියක ගැටීමෙන් හෝ පය පැකිලීමෙන් හෝ හදිසි යමක් කිරීමට කීපවරක්ම වෑයම් කර නොහැකිවීම් ආදියෙන් හෝ මෝඩකම වැඩි තරමට බලවත්වද නිතර නිතරම උපදිනා අස්ථාන කෝපයත් සමඟ දස ආකාරයකට මෛත්‍රීයට ඉඳුරාම සතුරු වූ මේ ව්‍යාපාද උපදී. මෙසේ දස ආකාරයකින් සිතේ උපදිනා තරහවක් වේද නැවත නැවත ගැටීමක් වේද විරෝධයක් වේද ප්‍රතිවිරෝධයක් වේද කිපීමෙන් නැවත නැවත කිපීමෙන් ද්වේෂයක් සිතේ විකෘතියක් සැඩ ගතියක් නොසතුටු ගතියක් ඇත්නම් එය ව්‍යාපාද නීවරණ යයි කියනු ලැබේ.
මෙසේ නව විධ ආඝාත වස්තුන් නිසා සිතේ හට ගන්නා යම් දූෂ්‍ය ස්වභාවයක් වේ නම් ඒ ව්‍යාපාදය මෙම මෛත්‍රියට ප්‍රතිපක්ෂයි. විරුද්ධයි.
පිළුණු බතක් සියලු දෙනාගේම පිළිකුලට භාජනය වන්නාක් මෙන් කිපෙන පුද්ගලයා සියලු දෙනාගේම පිළිකුලට භාජනය වේ. එසේම යහළුවෙකුගේ වේශයෙන් වෙස්වලා පැමිණෙන සතුරකුමෙන් රාගයද මෛත්‍රියෙහි ස්වරූපයෙන් පැමිණ මෛත්‍රිය වනසයි. එනිසා වෛරය මෛත්‍රියට දුර සිටින සතුරා වශයෙන්ද රාගය ළඟම සිටින සතුරා වශයෙන් ද සැලකිය යුතුය.
ඔබට යම් කිසි වේලාවක කිසිවක් හෝ කිසිවක් ගැන දොම්නසක් අසතුටක් තරහක් පළිගැනීමේ චේතනාවක් වෛරයක් බද්ධ වෛරයක් නැතිනම් ඒ වේලාවට ඔබ තුළ ව්‍යාපාදය නැත. එසේම ඇල්මක් ආශාවක් පේ‍්‍රමයක් ආලයක් තෘෂ්ණාවක් නැතිව හිතවත් කමක් යහපතක් වීමේ කැමැත්තක් නගාසිටුවමි. උසස් කරවමි. යන චේතනාවක් නම් පවතින්නේ ඒ වේලාවේ ඔබ තුළ රාගයද නැත. පවතින්නේ මෛත්‍රියයි.

 කඩවත, අමුණුගොඩ,
අමරවිහාරාධිකාරී,
පරකන්දෙනිය සිරි වීරසිංහ පිරිවෙණෙහි ආචාර්ය
මන්දාරම්නුවර
විමලවංසතිස්ස හිමි

උපුටා ගැනිමකි


Dowenload mp3

Friday, April 10, 2015

අංගුලිමාල පිරිත

ගර්භණී මවටත් කුස දරුවාටත් ආරක්‌ෂාව දෙන බලගතු අංගුලිමාල පිරිත




බලගතු අංගුලිමාල පිරිත හා එහි ආනුභාවය මෙසේය.


පරිත්තං යං භණන් තස්‌ස

නිසින්නට්‌ඨාන ධොවනං

උදකම්පි විනාසෙති

සබ්බ මෙව පරිස්‌සයං

සොත්ථිනා ගබ්භවූට්‌ඨානං - යඤ්ච සාදෙති තංඛණෙ

ඓරස්‌සංගුලි මාලස්‌ස - ලොකනාථෙන භාෂිතං

කප්පට්‌ඨායිං මහාතෙජං - පරිත්තං තං හනාමහෙ

යතොහං භගිනි ආරියාය ජාතියා - ජාතො නිහිජානාමි සචිච්ච පාණං

ජීවිතා වොරො පෙතා තෙන - සච්චෙන සොථිතෙ හොතු සොත්ථි ගබ්භස්‌සාති



මෙහි මුල් ගාථා පිරිතේ ආනුභාවය දක්‌වන ගාථාය. "යතොහං භගිනි" යනාදී කොටස දරු ප්‍රසූතියට අපහසුව දුකින් වේදනාවෙන් පෙළෙන කාන්තාවකට ශාන්තිය සඳහා අංගුලිමාල තෙරුන් වහන්සේට තථාගතයාණන් වහන්සේ විසින් ඉගැන්වූ ගාථාවකි.

මෙය ඉගෙනගත් අංගුලිමාල තෙරුන් වහන්සේ ඒ කාන්තාව වෙත ගොස්‌ මෙම පිරිත කී වහාම කිසිදු වේදනාවකින් තොරව ඉතා පහසුවෙන් දරු ප්‍රසූතිය සිදුවිය. අදත් භරන ඉන්දියාවේ දඹදිව අංගුලිමාල තෙරුන් වහන්සේ පිරිත් දේශනා කළ ස්‌ථානයේ ආනුභාවය ඇත. කල්පස්‌ථායි ප්‍රාතිහාර්යයක්‌ බව දක්‌වා ඇත. මහ පෙළොව පවත්නා තුරු එහි බලය තිබේ. මෙම පිරිතෙන් වාර ගණනක්‌ පිරිත් කළ වතුර තෙල් නූල් ගර්භණී ස්‌ත්‍රීන්ට දීමෙන් මවටත් කුසේ සිටින දරුවාටත් බලවත් ආරක්‌ෂාව ඇති වේ.
 

 2012 මැයි 11 සිකුරාදා දින දිවයින පුවත්පතෙහි පල වු ලිපියක් ඇසුරෙන් උපුටා ගැනිමකි

  


Dowenload mp3

දසදිසා පිරිත





 දසදිසා පිරිත සහ තේරුම



දිසාසු දසභාගේසු

ඨිතාබුද්ධානුභාවතෝ

වේරාදි අන්තරායාපි

විනස්‌සන්තු අසේසතො



දස දිසාවන්හි සිටියා වූ බුදුවරුන්ගේ ආනුභාවයෙන් වෛරයෝද අනතුරුද ඉතිරි නැතිව විනාශ වෙත්වා"



ඒව මාදිගුණෝපේතං

පරිත්තං තං භණාමහේ

මේ ආදී ගුණ වලින් යුතු පිsරිතක්‌ කියනු ලැබේ.

පදුමුත්තරො පුරස්‌ථි මායං

අග්ගිමහිවේච සෝභිතෝ

දක්‌ණෝ කස්‌සපෝ බුද්ධෝ

නිරිතේව සුමංගලෝ



උතුම් වූ පදුම බුදුරාජණන් වහන්සේ නැගෙනහිර දිසාවෙන්ද ගිනිකොණ දිශාවෙන්ද රේවත බුදුරජාණන් වහන්සේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකුණු දිශාවෙන්ද මංගල බුදුරජාණන් වහන්සේ නිරිත දිශාවෙන්ද වැඩ සිටිත්.



පච්චිමේව සි‚ බුද්ධෝ

වායඛ්‍යා මේධංකරෝ

උත්තරේ පියදස්‌සීච

ඊසානේ දීපංකරෝ

බටහිර දිශාවෙහි සි‚ බුදුරජාණන් වහන්සේ ද වයඹ දිශාවෙන් මේධංකර බුදුරජාණන් වහන්සේ ද උතුරු දිශාවෙහි පියදස්‌සී බුදුරජාණන් වහන්සේ ද ඊසාන දිශාවෙහි දීපංකර බුදුරජාණන් වහන්සේද වැඩ සිටිත්.



පඨවියං කකුසන්ධොව

ආකාසේ සරණංකරො

ඒවං දස දිසාවේච

සබ්බේ බුද්ධා පතිට්‌ඨිතා

පොළොවෙහි කකුසඳ බුදුරජාණන් වහන්සේ ද අහසෙහි සරණංකර බුදුරජාණන් වහන්සේ ද වැඩ සිටිත්.



අච්චන්තරායා සබ්බේ මේ

සෝක රෝග භයාපිච

විනස්‌සන්තු සාදා මයිහං

සබ්බිරියාපථෙසුච



යක්‌ඛාදිදේවතා භීච

රාජ චොරාරි අග්ගිහි

අමනුස්‌සෙහි සබ්බේහි

තිරච්ඡානගතෙපිච

ජාතා උපද්දවා සබ්බේ

විනස්‌සන්තු අසේසතො



ඒ සියලු බුදුවරුන්ගේ ආනුභාවයෙන් සියලු අනතුරුද සියලු ශෝක රෝග භය ආදිය ද විනාශ වේවා ·

සියලු ඉරියව් පැවැත්මෙන් ඇතිවන උවදුරුද යක්‌ෂ දේව, රජ, සොර, සතුරු, ගිනි ආදියෙන් ඇතිවන උවදුරුද විනාශ වේවා· හැමදාම ඔබට ඒ උවදුරු වලින් තොරව ජීවත් වන්නට වාසනාව ලැබේවා·

සියලු අමනුෂ්‍යයන් ගෙන් හා තිරිසන් සත්ත්වයන්ගෙන් ඇතිවුණා වූ සියලු උපද්‍රවයෝ ඉතිරි නැතිව විනාශ වෙත්වා·



සිරස්‌මිං තෙ බුද්ධ සෙට්‌ඨො

සාරිපුත්තෝච දක්‌බිණො

චාමංසෙ මොග්ගල්ලානෝ

පුරතොපිටකත්තයං

පච්ජිමෙ මම ආනන්දෝ

චතුද්දිසා බීණාසවා

සමන්තා ලෝක පාලාව

ඉන්ද්‍ර දේචෝව බ්‍රහ්මච

සිරසෙහි හෙවත් මුදුනෙහි (හිසෙහි) ඒ උතුම් ශ්‍‍ෙෂ්ඨ බුදුරජාණන් වහන්සේය. දකුණත සැරියුත් මහ රහතන් වහන්සේය. වමතෙහි මුගලන් මහ රහතන් වහන්සේය. ඉදිරියෙහි ත්‍රිපිටකයය. පිටුපස ආනන්ද තෙරුවන් වහන්සේය. සතර දිශාවෙහිම රහතන් වහන්සේලාය. හැම අතින්ම ලෝක පාලක ඉන්ද්‍ර දෙවියා හා බ්‍රහ්මයාය.



ඒතේසං අනුභාවෙන

සම්බුපද්දචුපද්දවා

අනේකා අන්තරායාපි

චිනස්‌සන්තු අසේසතො



මේ සියලන්ගේම ආනුභාවයෙන් සියලු උපද්‍රවයෝ ඉතිරි නැතිව විනාශ වෙත්වා








දසදිසා පිරිතේ හාස්කම්


චූල ජිනපංජරය ලෙස භාවිත කරනු ලබන්නේ දසදිසා පිරිතයි. විවිධ පොත්පත්වල මේ පිරිත විවිධාකාරයෙන් සඳහන් වී තිබුණත් ඒවායෙහි දෝෂ නොමැති බව දැනුමින් පරිපූර්ණ ස්වාමින්වහන්සේ පෙන්වා දී තිබෙනවා. සියලු බුද්ධ යන්ත්‍රවලට වඩා දසදිසා පිරිතෙහි වටිනාකමක් තිබෙනවා. බුදුන්වහන්සේ අසනීප වූ අවස්ථාවක චුල්ල මහරහතන් වහන්සේ දේශනා කළ පිරිත දසදිසා පිරිත ලෙස හඳුන්වනවා. දසදිසා පිරිත බලගතු තත්ත්වයෙන් ඉහළයි. ධම්මෝෂධ සමන් නත්ති, නැතිනම් ධර්මය ඹෟෂධයක් කරගන්න යන බුදු වදනින් සියලු ලෙඩ රෝග, දුක් කරදරවලට බුදු ගුණ භාවිත කිරීමෙන් වඩා ප්‍රයෝජන ගත හැකියි




ගැබිනි මවුවරුන්ට
දේශීය වෛද්‍ය විශාරද ගේ්‍රබියෙල් දඩවින්න මහතා විසින් රචනා කළ දඹවින්න වලව්ව නම් කෘතියෙහි දසදිසා පිරිත ජල නන්දන දැහැන් හතයනුවෙන් සටහන් කර තිබෙනවා. එම කෘතියෙහි සඳහන් වෙලා තිබෙන විදියට, දසදිසා පිරිතෙන් තැඹිලි ගෙඩියක් මතුරා ගැබිනි මවකට දුන්විට මළ දරු උපතක් පවා ප්‍රසූත කෙරෙනවා. දසදිසා පිරිතෙන් තැඹිලි ගෙඩියක් මතුරා ගැබිනි මවුවරුන්ට දුන් විට ඇතැම් විට සීසර් සැත්කමකට සූදානමින් සිටි මවුවරුන්ට නම් පහසුවෙන් දරුවා ලැබීමට අවස්ථාව තිබෙනවා. විශේෂයෙන්ම මවුපියන්, නිර්මාංසව දසදිසා පිරිත ගායනා කරන්නේ නම් නිරෝගී, බුද්ධිමත් දරුවන් ලබාගන්නත් අවස්ථාව පවතිනවා.




දරුණු රෝග සුවයට
ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාරවලින් නිෂ්ඨාවට සුව කළ නොහැකි මීමැස්මොරය, හතිය වැනි රෝග තිබෙන පුද්ගලයන් දසදිසා පිරිත් යන්ත්‍රය භාවිත කළහොත් එම රෝග සුවකර ගැනීමටද අවස්ථාව ලැබෙනවා. එසේම විවිධ බඩේ අමාරුකම් සඳහා පිරිතෙන් තැඹිලි ගෙඩියක් නිසි ලෙස ජීවම් කර දිය හැකියි. එයින් එම බඩේ අමාරුකම් සුවපත් කරගැනීමට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ඇතැම් අවස්ථාවල වශී බෙහෙතක් යම් කෙනෙක්ට දී ඇත්නම්, ටික කලකින් එම තැනැත්තාගේ බඩ කැක්කුම් දෙන්න පුළුවන්. මේ අවස්ථාවල ජීවම් කළ තැඹිලි ගෙඩිය බී විනාඩි පහක් යන්න ප්‍රථම කිහිප සැරයක් බඩ බුරුල් වීම, ඇතැම් පුද්ගලයන්ට වමනය, බඩ බුරුල්වීම යන දෙකම ඇති වෙන්නත් පුළුවන්. එයින් එතෙක් තිබූ බඩේ අසනීපය සුව අතට හැරෙනවා.



භූත දෝෂවලට 
ඇතැම් විට කාන්තාවන්ට භූත දෝෂ නිසාම ගබ්සාවීම් ඒ වගේම මළ දරු උපත් සිදු වෙනවා. ජේ‍යාතිෂ ශාස්ත්‍රයට අනුව පෙර කර්මය ලෙස පැවැසුවත් පෙර භවයේ තමා වෛර කළ ඥාති හිතවතුන් එම ජන්මියාගෙන් පළිගන්න ජන්මියාගේ කුසේ ඉඳගෙන කලල විනාශ කරනවා. එසේ සිදුවන කාන්තාවන්ට දසදිසා පිරිත් යන්ත්‍රය පැලඳීමෙන් ගුණදායක තත්ත්වයක් අත්කරගත හැකියි.


නඩු හබ ජයග්‍රහණයට
ඒ වගේම යම්කිසි පුද්ගලයකුට නඩු නිමිත්තකින් තමාට අවාසි සහගත තීන්දුවක් ලැබෙන්න යන්නේ නම් දසදිසා පිරිත් යන්ත්‍රය ඉතා වැදගත්. නමුත් එය වැදගත් වන්නේ නඩු නිමිත්ත සාධාරණ කරුණක් නම් පමණයි. ඇතැම් අවස්ථාවල ජන්ම පත්‍රය අනුව සිදුවන හදිසි අනතුරුදායක තත්ත්වයන් දසදිසා යන්ත්‍රය පැලඳීමෙන් අවම කර ගැනීමටත්, ජීවිත ආරක්‍ෂාව ඇතිකර ගැනීමටත් හැකියාව ලැබෙනවා. ඒ වගේම භූත බලපෑමෙන් සිදුවන ඇඟපත සීරීම් ආදිය කිසියම් තැනැත්තකුට සිදුවේ නම් දසදිසා යන්ත්‍රය දැමීමෙන් එයින් වැළකී සුවය ලැබෙන්න පුළුවන්.


බාලගිරි දෝෂයට
දරුවන්ගේ බාලගිරි දෝෂය ඇතුළු රෝගවලින් සුවය ලැබීමට දසදිසා පිරිත් යන්ත්‍රය හෝ ජීවම් කරන ලද රන් තැඹිලි තෙල් ඉතාම සුදුසුයි. පාසල් යන දරුවන්ට දසදිසා පිරිත කට පාඩම් කර ගැනීම වඩා ප්‍රයෝජනවත්. අවම වශයෙන් ජීවම් කරන ලද රන් තැඹිලි තෙල් බින්දුවක් හෝ ආලේප කළ හැකියි.


මල්වර දියණියට
ඒ වගේම වැඩිවියට පත් දියණියන්ට වගේම බොහෝ යුවතියන්ට මාසික ක්‍රියාවලිය ආරම්භ වීමට දින කිහිපයක් තිබියදීත් ඉන්පසු දින කිහිපයක් යනතෙක් බඩ සහ දෙපා රිදීම පවතිනවා. එම අවස්ථාවල දසදිසා පිරිතෙන් තැඹිලි මතුරා ලබා දීමෙන් මෙම තත්ත්වයන්ගෙන් සුවය ලැබිය හැකියි.


සර්පයන්ගෙන් ආරක්‍ෂාවට
යම් කිසිවෙක් රැකියාවක් බලාපොරොත්තුවෙන් සම්මුඛ පරීක්‍ෂණවලට යන්නේ නම් දසදිසා යන්ත්‍රය පැලඳීමෙන් සුබ ප්‍රතිඵලයක් ලබා ගන්න බොහෝ විට හැකියාව තිබෙනවා. මෙම පිරිත යම් කිසි පුද්ගලයකුට සිද්ධි වූ විට එනම් තම ශරීරයට ජීර්ණය වූ විට එම පුද්ගලයාව කිසිදු දිනයක සර්පයෝ සපා කෑමක් හෝ දෂ්ට කිරීමක් සිදුවන්නේ නැහැ. එම නිසා බොහෝ පුද්ගලයන්ගේ ආරක්‍ෂාවට මෙම යන්ත්‍රය වැදගත්.


නිවෙසේ ආරක්‍ෂාවට
එසේම විකුණාගත නොහැකි ඉඩම්, භූත දෝෂ සහිත නිවාසවලට වගේම නිවාස අඩිතාලම් දැමීමේදීද දසදිසා පිරිතෙන් ජීවම් කරන ලද තෙල් හෝ යන්ත්‍ර 8ක් අට කොන දැමීම නිවෙසේ ආරක්‍ෂාවට ඉතා වැදගත්.


දසදිසා පිරිතෙන් මෙම ආනිශංස ලබා ගැනීමට පේවීමක් අවශ්‍යයි. පිරිත කට පාඩම් කරගත් නිසාම එයින් ගුණදායක තත්ත්වයක් ලබාගන්න බැහැ. ඒ අනුව පළමුව තමන් සතු ඊර්ෂ්‍යාව, කේ‍රා්ධය, පළිගැනීම, වෛරය නැති කරගත යුතුයි. ඉන් අනතුරුව ඒ පිරිත පිළිබඳ හදවත තුළ විශ්වාසයක් ඇතිකර ගැනීම අවශ්‍යයි. එම විශ්වාසය නිසාම ඒ පිළිබඳ භක්තියක් ඇති වෙනවා. එම භක්තිය, ආශීර්වාදයක් වන බව කරු හීන්කෙන්ද මහතාද ඔහුගේ කෘතිවල පැහැදිලිව සටහන් කර තිබෙනවා.

ඉන් අනතුරුව එම විශ්වාසය සමඟ මෙම දසදිසා පිරිත නිවැරැදිව උච්චාරණය කරමින් අවම වශයෙන් දස දහස් වාරයක් කියන්න අවශ්‍යයි. නියමිත ගුරුවරයකුගෙන් මෙම පිරිත තමාට ලැබෙනවා නම් ගුරු ආශීර්වාදය නිසාම පිරිතේ ශක්තියෙන් වැඩ ගන්න පුළුවන්.

උපුටා ගැනිමකි