Labels

Thursday, June 2, 2016

සැපත ගෙනෙන දහම් මඟ


නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

සුඛෝ බුද්ධානං උප්පාදෝ
සුඛා සද්ධම්ම දේසනා
සුඛා සංඝස්ස සාමග්ගි
සමග්ගානං තපො සුඛෝ


සිරි සුගත තථාගත අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි පන්සීයක් පමණ භික්ෂූන් වහන්සේ රැස්වී සැප පිළිබඳව සාකච්ඡා කරන අවස්ථාවට වැඩමකොට ඉහත ගාථා ධර්මය දේශනා කොට වදාළ සේක.


එම භික්ෂූන් වහන්සේලා තම තමන් විසින් ගිහි ජීවිතය ගතකරන සමයේ ලැබූ සැප සම්පත් පිළිබඳව ආවර්ජනා කරමින් තම තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නට වූහ. බුදුරජාණන්වහන්සේ මෙම භික්ෂූන්ගේ අදහස් දැනගෙන මහණෙනි, ඔබලා අදහස් කරන සැප සම්පත් නිමක් නොමැති සසර දුකටම හේතුවන අතර එහෙත් මෙම කාරණා හතර නිවනේ සැපතට හේතු කාරණාවන බව දක්වා වදාළ සේක.

සුඛෝ බුද්ධානං උප්පාදො

බුදුවරයන් වහන්සේලාගේ ඉපදීම සැපතට හේතු වන්නේය. සත්වලෝක, සංස්කාරලෝක, අවකාශලෝක යන ලෝකයන් අතරින් සත්වලෝකයේ මිනිසුන් අතර උපදින අග්‍රතම ශ්‍රේෂ්ඨතම උත්තමයා ලොව්තුරා බුදුරජාණන් වහන්සේය. අනන්ත අප්‍රමාණ මෙම විශ්වයේ බුදු කෙනෙකුන් උපදින්නේ මෙම මනුෂ්‍ය ලෝකයේ පමණි. බුදු කෙනෙකුගේ උපත අති දුර්ලභය. ‘කිච්ඡො බුද්ධානං උප්පාදෝ” යනුවෙන් දක්වා වදාළේ ඒ නිසාමය.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් පහළවීම නිසාම මහත් දහම් ආලෝකයක් පහළවී සත්වයන්ගේ චිත්ත සන්තානය තුළ පවත්නා අවිද්‍යාන්ධකාරය පහවී යන්නේ ය. ඒ උතුම් බුදුරජාණන් වහන්සේ බුදුවූ තැන් පටන් සය අනුත්තරීය ධර්ම, සතර පටිසම්භිදා ධර්මයන්, අටළොස් ධාතු සෝවාන් ආදී මාර්ගඵල ධර්මයන් ආදී උත්තරීතර ධර්මයන් ප්‍රධානව ලොවට කුසලාකුසල ධර්මයන් නිසා කෙළ කෝටි ගණන් සත්වයන් සසරින් එතරව උතුම් අමාමහ නිවනින් සැනසෙන්නේ ය.

ලොව පවත්නා සත්‍ය ධර්මයන් දෙකකි. සොබාදහම හා බුදුදහමත්ය. මේ සත්‍ය දෙකම එකිනෙකට සාපේක්ෂව ක්‍රියාත්මක වන තාක් අපමණ සත්වයන්ට ශාන්තියක්ම වේ. තවද අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ලොව්තුරා බුද්ධත්වයේ පටන් පන්සාළිස් වසක් පුරාවට දේශනා කළ ලක්ෂ සංඛ්‍යාත සූත්‍ර ගාථා, දහම්පද මේ මිනිස්ලොව වෙනත් ශාස්තෘවරයෙකුට සිතීමටවත් නොහැක්කේමය. එම දහම් පද ඇසීමෙන් සිතීමෙන් දැරීමෙන් පිළිපැදීමෙන්, සහනය, ශාන්තිය, නිවීම ලබාගත් සත්වයන් අපමණය.

චතු වී සති අසංඛෙය්‍යා
සට්ඨි සතසහස්සකෝටියෝ
පාණානි සත සහස්සානි
එකෝ බුද්ධෝ පමෝචයෙ

සූවිසි අසංඛ්‍යක් හා කෝටි හැට ලක්ෂයක්ද තවත් ලක්ෂයක්ද වශයෙන් ප්‍රාණීහු එක බුදුවරයෙකුගේ උතුම් දහම් ඇසීමෙන් අමාමහ නිවනින් සැනසෙන්නෝය. තවද ශාසන අන්තර්ධානය දක්වා දහම් පිළිපැදීමෙන් සුගති සංඛ්‍යාත දෙව් මිනිස් සැපසම්පත් ලබන සත්වයන්, නිවන්මඟට යොමුවන සත්වයන් අපමණ ය.
“සංඝස්ස සාමග්ගි සුඛා”
සැරියුත් මුගලන් අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලාගෙන් පැවතෙන අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය සිල්වත්ව, ගුණවත්ව එක්සිත්ව නිවන්මඟටම පිළිපන් බැවින් උන්වහන්සේලාගේ දැක්ම වන්දන මානන, පූජාසත්කාරය, මහජනතාවගේ ශ්‍රද්ධාව, ප්‍රසන්නතාවය, සතිපට්ඨානය, ඇතිවීමට, වර්ධනයවීමට හේතුවාසනා වන්නේ ය.

යේ පුග්ගලා අට්ඨ සතං පසත්ථා
චත්තාරි ඒතානි යුගානි හොන්ති
තේ දක්ඛිණෙය්‍යා සුගතස්ස සාවකා
ඒතේ සුදින්නානි මහප්ඵලානි

ආදී නයින් රතන සූත්‍රයෙන් දක්වා ඇති පරිදි සත්පුරුෂයන් විසින් ප්‍රශස්ත එක්සිය අටක් වූ ආර්ය පුද්ගලයන් ඇතුළත් මහා සංඝරත්නය තරම් උතුම් පුද්ගල සමූහයක්, ශ්‍රාවක වෙනත් පිරිසක් මනුලොව ඇත්තේම නැත. සුපටිපන්නතාදී ලොව්තුරු ගුණයෙන් ශෝභමානවූ, දක්ෂිණාර්හවූ අනුත්තර පුණ්‍යකේෂ්ත්‍රවූ ඒ මහා සංඝරත්නය ඔවුනොවුන් වාදභේද නැතිව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් තම තමන්ගේ අර්ථ සිද්ධිය සකසා ගනිමින් ජනතාවගේ දෙලොව යහපත සඳහාම ශ්‍රමණ දම් පුරන විට ලොවට වන ශාන්තිය කියා ලියා නිම කළ නොහැක්කේමය.

සමග්ගානං තපෝ සුඛෝ

සමඟි සම්පන්න වූවන්ගේ තපස තමන්ට මෙන්ම අනුන්ටද සැප පිණිස පවතින්නේය. එක්සත්ව එක්සිත්ව මහණදම් පුරන අයට මෙන්ම ගිහි ජීවිත ගත කරමින් අවකාශ පරිදි දන්සිල් භාවනා කරන අයටද සමඟිය, සාමය අත්‍යවශ්‍ය වන්නේ ය. පුද්ගලයා හා පුද්ගලාන්තරව අවංක මනසින් සම්බන්ධවීමට ලෞකික ජීවිතය සැපවත් කරගැනීමට ද ලෝකෝත්තර සැප ලබාගැනීමටද සමඟිය ප්‍රධානතම හේතුව වන්නේ ය.

පුද්ගලයෙකුගේ ශීලය, දැනීම හා ගුණාත්මකභාවය පුද්ගලාන්තරව බෙදී යන්නට සමඟිය අත්‍යවශ්‍ය වනවා මෙන්ම චිත්ත සන්තානය සරල වූ විට කෙලෙස් සමනය කිරීමටද පහසු වන්නේය. ආශ්‍රය, නිශ්‍රය, භජනය, පයිරුපාසය කළ යුත්තේ සිල්වතුන් ගුණවතුන් බව අප බුදුරජාණන් වහන්සේ අවධාරණයෙන් දේශනා කළ සේක.

තමන්ට වඩා හෝ සමාන හෝ සීලයෙන්, ගුණයෙන්, ප්‍රඥාවෙන් යුක්තවූ පුද්ගලයන් ආශ්‍රය, කිරීම නිසා කිසිදවසක නොපිරිහෙන්නේය. ලෝකයේ පුද්ගල ගුණදහම් පවතින්නේ අවංක සීලය හා ප්‍රඥාව මූලාධාර කරගෙනය. එය සමාජගත වන්නේ සමඟිය නමැති අයෝමය බලයකිනි. තනි පුද්ගලයෙකුට ලෞකික සැප ලබන්නට හෝ විමුක්ති සුවය ලබන්නට හෝ නොහැක්කේමය. ගෞතම බෝධිසත්වයන් වහන්සේ කල්පගණන් ජන සමාජ ආශ්‍රයෙන් ලබාගත් දැනුම් සම්භාරය උපයෝගී කරගෙන දුක සැප සත්වයාට ලැබෙන ආකාරයත් එයට කර්මය බලපාන ආකාරයත් යථාර්ථයෙන්ම දේශනා කොට වදාළ සේක.

සද්පුරුෂයන්ගේ සාමූහික පැවැත්ම නිසාම ඇතිවන ලෝකයේ ධනාත්මක සිතිවිලි අතරින් අප ලබන සම්පත, සුවය අපමණ වන්නේය. බුදු පසේබුදු මහරහතන් වහන්සේලා පහළවී උපරිම ශාන්තියක් ලබාගන්නේද සත්පුරුෂ සමාජය තුළිනි. එමෙන්ම මහා පුණ්‍යවන්තයන්, පරාර්ථකාමීන් බිහිවීමට අදහස් ප්‍රකාශනයට හා පැවැත්මට සමඟිය අත්‍යවශ්‍ය වන්නේ ය.
ලෞකික ප්‍රමිතීකරණයෙන් ලබන තාවකාලික සැපත මිරිඟුවක්, සිහිනයක් එමෙන්ම අනාගත දුක්වේදනාවන්ට මූලයක් වන අතර බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් පෙන්වා වදාළ කරුණු හතර සත්වයන්ගේ ජාති, ජරා, ව්‍යාධි ආදී දුක්වේදනාවන්ගෙන් මිදී සදාකාලික උතුම් නිවන් සම්පත් ලබාගැනීමට මූලාධාර වන්නේමය. මෙම උතුම් පුණ්‍යවන්ත වෙසක් මස අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් පෙන්වා වදාළ සැපතට හේතුවන කරුණු මෙනෙහි කිරීමෙන් දෙලොව ශාන්තිය හා අවසානයේ පරම සුන්දර නිවන් සම්පත් ලබාගැනීමට සැමට හේතුවාසනා වේවා.





ශාස්ත්‍රවේදී පණ්ඩිත 
අමුණුපුර පියරතන හිමි








ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වෙසක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 29 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment