බුදු රජාණන් වහන්සේ ගිහි පැවිදි සැමට එකසේ අනුගමනය කළ යුතු පිළිවෙතක් ලෙසින් සත්‍යය හෙවත් මුසාවාදයෙන් තොරවීම හඳුන්වා දුන් සේක. නිත්‍ය ශීලය හෙවත් දිනපතා සමාදන්වන පංච ශීලයේ සෙසු සියලුම කර්මයන් කාය කර්මයන් වන අතර මුසාවාදය වාචික ක්‍රියාවක්.
මේ නිසා සත්‍යය මතම අප පිහිටා කටයුතු කිරීම ගැන සිහි තබා ගත යුතු වනවා. බුදු රජාණන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීම උදෙසා සම්පූර්ණ කළ දස පාරමිතා අතර සත්‍ය පාරමිතාවට විශේෂ තැනක්ද හිමි වන බව අප තේරුම් ගත යුතු වනවා. ඒ අනෙක් සියලු පාරමිතා පිරීම සඳහා සත්‍යය අත්‍යවශ්‍ය වන නිසාය. ලෝකයේ මෝහය මෙන්ම අවිද්‍යාව නිසා සත්‍ය යන්න නිරතුරුවම යටපත්ව පවතින බවද අපට බුදු දහම අනුවම තේරුම් ගන්නට පුළුවන්.
බුදු රජාණන් වහන්සේ විසින් සච්ච හෙවත් සත්‍යය යන්න කුමක්ද යන්න පැහැදිලිව මේ ගාථාවෙන් දක්වා තිබෙනවා.
'කරුණුපාය කෝසල්ල පරිග්ගහිතං
විරති චේතනාදී භේදං
අවිසංවාදනං සච්ච පාරමිතා'
යම් කිසි පුද්ගලයෙක් කරුණාව පෙරදැරි කරගෙන, විශේෂයෙන් තමන් සත්‍යය මත පිහිටා, තව අයකුගේ හිත් නොරිදවා, තමන්ට පීඩාවක් නොමැතිව, අනුන්ට ද පීඩාවක් නොවන පරිදි ජීවත්වීම සච්ච පාරමිතා යනුවෙන් මෙහිදී හඳුන්වා තිබෙනවා.
නමුත් වර්තමාන සමාජයේ බොහෝ පුද්ගලයන් අන්‍යයන් ගේ යහපත උදෙසා අසත්‍යය භාවිත කරන බවක්ද පෙනෙන්නට තිබෙනවා. එයින් පළමුව තමන්ම පීඩාවට පත් වනවා. 'මම ඒ පුද්ගලයාට බොරුවක් කළා' යන හැඟීම පහළ වීම තුළම ඒ පුද්ගලයා අසරණ බවට පත් වනවා. අසත්‍යකින් යම් අයකු සුවපත් වනවා නැත් නම් එයින් කාට හෝ සැනසිමක් ලැබෙනවා යන්න තමන් සිතනවා නම් එයම විශාල අසත්‍යයක් කර පින්නා ගැනීමක් බව සිතිය යුතුයි.
වර්තමාන සමාජයේ බොහෝ දෙනා බොරුව හෙවත් අසත්‍යය සාධාරණීකරණය කරන බවක්ද අපට දක්නට පෙනෙනවා.
'මම පොඩි සම්‍යයක් ප්‍රයෝගයක් කරා ඒකෙන් කාටවත් හානියක් නැහැ' මෙසේ සිතන එකම පාපකාරී බව තේරුම් ගත යුතු වනවා. ප්‍රයෝගය යනුවෙන් අදහස් කරන්නේ අනුන්ට බොරු කියා රැවටීම නෙමෙයි. 'ප්‍රයෝගය' යනුවෙන් හඳුන්වන්නේ මඟ හැර යෑමයි; නැත් නම් තූෂ්ණීම්භූතව සිටීමයි.
අද ඇතැම් පුද්ගලයෝ බොරුව සමාජ සම්මත කර ගැනීමට එසේ උත්සාහ දරනවා.. එහෙත් බොරුව බොරුවම බව මතක තබා ගත යුතුයි. ධර්මයත් වෙනස් කරමින් අද තමන්ට අවශ්‍ය බොරුව සම්මත කර ගැනීමට ඇතැමුන් දරන උත්සාහයක් ලෙස මෙය හඳුන්වා දිය හැකියි. එමෙන්ම ඇතැමුන් හොරකමත් බොරුවෙන්ම සාධාරණය කරන්නේ 'ගලන ගඟෙන් දිය දෝතක් ගත්තට කමක් නැහැ' යනුවෙන් පවසමින්. මේ තමන්ට අවශ්‍ය දෙය අනුන්ගෙන් ලබා ගන්නට බොරුව සාධාරණීකරණය කිරීමක් බව තේරුම් ගත යුතුයි.
අද අපේ ඇතැම් දේශපාලනඥයන් විසින් ජනතාවට ලබා දෙන පොරොන්දු ගැන හිතා බලන්න. දේශපාලනඥයකුට ලැබෙන ප්‍රතිපාදන ප්‍රමාණය ලක්ෂ 50ක් කියලා හිතමු. එයා ලක්ෂ 500ක පමණ මුදලක් වැය කර කරන සංවර්ධන වැඩ ගැන ජනතාවට කියනවා.මේ දේශපාලඥයා හොඳාකාරවම දන්නවා තමන්ට ඒ වැඩ කටයුතු කරන්න බැරි බව. ඔහුට හැමදා ඒ අසත්‍ය මත රැඳී ඉන්න බැහැ. අසත්‍ය එළි වූ විට තමන් බලාපොරොත්තු වූ සංවර්ධන කටයුතු සිදු නොවන විට ඔහු ජනතා අප්‍රසාදයට පත් වනවා. නැවත ඔහුට ජනතාවගේ සිත් දිනා ගැන්මට හැකියාවක් ලැබෙන්නේ නැහැ. සමහර විට තවත් ටික කලකට බොරුව ජය ගන්නට ලැබෙයි. එහෙත් ඇත්ත තත්ත්වය ජනතාවට හෙළි කර තමන්ට කළ හැකි වැඩ ප්‍රමාණය දැක්වුව හොත් එම අවස්ථාවේ තමන්ට බලයට පත් වීමට නොහැකි වුවත් ජනතාව සත්‍යය වටහා ගත් විට ඔහුට බලය හිමි වනවා. ඒ සත්‍යවාදී බව නිසායි. මේ නිසා පෙර කියූ පරිදි තමන්ගේ මෙන්ම අනුන්ගේද සිත් නොරිදෙන පරිදි සත්‍යය භාවිතා කරමින් දිගින් දිගටම එය පුරුදු-පුහුණු කිරීම 'සච්ච පාරමිතාව' යි.
දිව්‍ය ලෝකයේ ගිය බවට අපේ පැරැණ්නන් විසින් හඳුන්වා ඇති සුලුගුලු උපාසක මහතාණන් සත්‍ය පදනම් කරගෙන දිවි ගෙවූ අයෙක්. නිතරම ඔහුගේ නිවසට පිරිස් පැමිණෙන්නේ ඔහුගෙන් උපදෙස් ලබා ගැනීමටයි. මෙය රාජ පුරුෂයන් දුටුවා. රජුට පැමිණිලි කළා. රජතුමා ඔහු ගෙන්වා නිතරම පිරිස රැස්වන හේතු විමසුවා. අවසානයේ ඔහු සත්‍යවාදියකු බව රජතුමා දැන ගත්තා. රජ කෙනෙකු පවා සත්‍යය හමුවේ ගරු කරන බව මේ කතාවෙන් අපට පැහැදිලියි.
එම නිසා වෙසක් සමය පසු වී පොසොන් උදාවට ළගා වන මේ මොහොතේ අප සිතා ගත යුත්තේ කිසිඳු වියදමක් හෝ වැය නොවී කිසිදු ආකාරයක වියදමකින් තොරව වැඩිය හැකි පාරමිතාවක් ලෙස සච්ච පාරමිතාව ලෙස හඳුන්වා දිය හැකියි. තමන්ගේ ආකල්පය වෙනස් කිරීම පමණක් මෙහිදී කළ යුතුයි.
අද සමාජයේ දරුවා පාසලට යැවීමේ සිටමයි දරුවන්ට බොරුව උගැන්වීමට මව්පියන් විසින් කටයුතු කරන්නේ. තමන් නිවසේ සිට නිවසේ නැති බව අඟවන්නට ඇතැම් මවුපියන් දරුවන් පොළඹනවා. මෙයින් සිදු වන්නේ දෙමව්පියන් නොදැනුවත්වම දරුවන් විසින් ක්‍රමයෙන් දෙමව්පියන්ද රැවටීමයි.
බුදු දහමේ මව පියා දරුවාගේ 'පුබ්බාචරිය' හෙවත් 'පූර්ව ගුරුවරුන්' ලෙස හඳුන්වා දී තිබෙනවා. එසේ නම් දරුවන්ට බොරුව උගන්වන දෙමාපියන් කවදා හෝ දරුවන් විසින් තමන්ට බොරුවම ලබා දෙන බව තේරුම් ගත යුතු වනවා.
මඳක් සිතා බලන්න. යම් කිසි ආයතනයක ඉහළ තනතුරක් සත්‍යයෙන් තොර පුද්ගලයකුට හිමි වුව හොත් කුමක් සිදු වේද කියා. මේ නිසා 'ලෝකයේ ඇති රසයන් අතර ඉහළම රසය සත්‍යය' බව බුදු රජාණන් වහන්සේ වදාරා තිබෙනවා.
'යේ කේචි මේ අත්ථි රසා පථව්‍යා
සච්චං තේසං සාධුතරං රසානං
සච්චේ ඨිතා සමණ බ්‍රාහ්මණාච
තරන්ති ජාති මරණස්ස පාරං'
සච්චං තේසං සාධුතරං රසානං
සච්චේ ඨිතා සමණ බ්‍රාහ්මණාච
තරන්ති ජාති මරණස්ස පාරං'
මේ මහ පොළොවේ ඇති රසයන් අතුරින් උතුම්ම රසය සත්‍යයයි. යම් ශ්‍රමණ බ්‍රාහ්මණයකු හෝ මිනිසකු හෝ වේවා ඔහුට නිවන් මඟ පසක් කර ගැනීමට ඇති එකම මග සත්‍යවාදීත්වය පිරීමයි.
මේ නිසා සත්‍යයම හැම විට මුල් තන්හි ලා සැලකීමට අප පියවර ගත යුතු වනවා. සතර සංග්‍රහ වස්තුවල ප්‍රියවචනය යනුවෙන් අප තේරුම් ගත යුත්තේ මිහිරි වචනම යන්න පමණක් නොවෙයි. එහි සත්‍යය බවයි. සත්‍ය නොවන කිසිදු වචනයක් කවදාවත් ප්‍රිය වචනයක් වන්නේ නැහැ.
'යොවුන් සිතට දහම් සිසිල
' විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති
බණ්ඩාරවෙල අමිතානන්ද හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වෙසක් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 04 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment