Labels

Thursday, June 2, 2016

ගුණාත්මක බවෙන් පිරිපුන් දරුවකු රටට දයාද කරන්න


අපගේ රට තුළ ඊර්ෂ්‍යාව චෛතසිකය ඉතාම තදින් වර්ධනය වෙයි. ඇතැම් පවුල්්, පවුල් අතරත් ,ඉතාම ඊර්ෂ්‍යා සහගතයි. කිසියම් ආයතනයක එක අංශයක් යහපත් ආකාරයට ධර්ම දේශනාවක් පවත්වනු ලැබුව හොත් අනෙක් අංශය එම අංශය පිළිබඳවත් ඊර්ෂ්‍යාව කරනු ලබයි. බණටත් ඊර්ෂ්‍යාකරනු ලබයි. ඔවුන්ගේ වැඩ පිළිවෙළ අසාර්ථක බව සිතමින් ඔවුන් තුළ ගොඩනඟාගන්නා වූ හීනමානයක් සමඟ තව පිරිසකගේ වැඩ සටහනක සාර්ථකත්වය දැකිය නොහැකිය. සියයට අනූවක් යහපත් ආකාරයෙන් එම කාර්යය නිමාවට පත් වුවත් සියයට එකක් තරම් වූ පුංච් සිදුරක් අල්ලාගෙන කතා ගෙතීමට පෙළඹෙයි.
එනිසාම ඊර්ෂ්‍යාව නැති කරන්නේ කෙසේද යනුවෙන් කුඩා කල සිටම අපගේ දරුවන්ට පුහුණුවක් ලබාදිය යුතුය. දහම් පාසල් අතර තරඟවලදීත් ගුරුවරුන් සහ ශිෂ්‍යයන් අතරත් භේද භින්නතා ඇතිවනවා. තරඟ මානසිකත්වය තුළ සිදුවන නිසා රජය විසින් මෙහි නම් වෙනස් කරමින් ශාසනාරක්ෂක බල මණ්ඩල නිපුණතා ඇඟයීම යනුවෙන් නම් කළා. නමුත් නිපුණනතා ඇගයීම යනු ස්ථානයෙන් මිනිසුන්ට නැවතිය නොහැකිය.

ඒ සදහා ඔවුන් නිපුණතා ඇගයීමේ තරඟය ලෙසම නැවතත් එයට තරඟය යන නම පාවිච්චි කරනු ලබයි. නිපුණතා ඇගයීම යන වචනය පාවිච්ච්කරනු ලැබුවේම තරඟය ඇතුළත තිබෙන්නාවූ එකිනෙකාට ඊර්ෂ්‍යා කිරීම නැවැත්වීම සදහායි. එසේ වුවද, මිනිසුනට එයින් ඉවත් වීමේ වුවමනාවක්ද නැත. නැවතත් නිපුණතා ඇගයිමේ තරඟ යනුවෙන් මිනිසුන් එය භාවිත කරනු ලබනුයේද එම නිසයි. තරඟය එතරම් යහපත් නොවන නිසා නිපුණතා ඇගයීම ලෙස නම් කළාට මිනිසුන් තුළ එය පිළිගැනීමට සූදානම් නැත. දහම් පාසල් ඇතුළත ඊර්ෂ්‍යාව පිළිබඳව දරුවන්ට ඉගැන්විය නොහැකි වන්නේ ඇතැම් දහම් පාසල් ඇතුළත පවා ඊර්ෂ්‍යා පරවශව තමාගේ සමීපතමයන් සමඟ කටයුතු කිරීම නිසා ඒ ඒ පවුල්වල ළමුන් දහම් පාසල් තුළ මුණගැසෙයි. අපගේ සමාජය තුළ අනෙකාට ඊර්ෂ්‍යා කිරීම බුද්ධියෙන් තොර වැඩක් බවට සංවාද කරන ස්ථානයක් නැත. “ඊර්ෂ්‍යා කරන්න එපා” යනුවෙන් ප්‍රකාශ කළද, එය නොකර සිටින්නේ කෙසේද ඊර්ෂ්‍යාවක් ඇති නොවී සිටින්නට නම් අප කළ යුත්තේ කුමක්ද අප හැසිරිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව සංවාදය බලවත් නොමැති නිසාම අපේ මහජනයා තුළ ඊර්ෂ්‍යා චෛතසිකය බලවත් ව වැඩ කරයි. අනෙක් පුද්ගලයාගේ සාර්ථකත්වයට එරෙහි සටන මෙහෙයවීම සදහා අපගේ මනස ක්‍රියාත්මක වීම පමණක් ඉටු කර තිබෙන පරිසරයක අපගේ රට මේ ආකාරයෙන් හෝ පැවතීම පිළිබඳව සතුටු විය හැකිය. ශත පනහට පෙත්සමි විකුණමින් තිබුණ රටක් , පෙත්සමි ආකෘත්ි පත්‍ර විකිණීම කළ රටක් වශයෙන් අපගේ පසුගිය කාලවකවානුව තුළ හැසිරුණු ආකාරය කල්පනා කර බැලීම තුළින් රට තුළ කෙතරම් අනුවණයන් පිරිසක් සිටිනවාද යන්න විමසා බැලිය යුතුයි. 

දියුණු වෙන්න ඔීනෑ නම් , දාපල්ලා පෙත්සමි, ලාභයි ශත පනහයි යනුවෙන් ගීත නිර්මාණය වුණ යුගයක් මේ රට තුළ පැවති බව ඔබ දන්නවා ඇති.
මෙවැනි පරිසරයක් තුළ මිනිසුන් අනෙකුත් මිනිසුන්ට මේ ආකාරයෙන් ජීවත් වීමට ඉඩදීම පිළිබඳව අප සතුටු විය යුතුයි. අනෙකුත් පුද්ගලයාගේ සාර්ථකත්වයට එරෙහිව සටන පමණක් අප ඉටුකරමින් සිටී. එය අනුමත කරමින් ඒවාට ආකෘති පත්‍ර පුරවමින් කඩවලට දමා ඒවා විකීණීම ට තරම් මිනිසුන් පෙළඹී ඇති ආකාරය දෙස බලන විට අපගේ රට පසුගිය අවුරුදුවල ක්‍රියාකර ඇති ආකාරය සිතා ගත හැකියි. වාසනාවට ඔවුන්ගේ දැන උගත්කම වර්ධනය වූ නිසාත්, ලෝකය තුළට මඳක් හෝ සමාජය විවෘත වීම නිසාත් කුහකකම ඊර්ෂ්‍යාකාර සංස්කෘතිය මඳක් හෝ අඩු වුණා.වර්තමානය වන විට මොකුත් ප්‍රශ්නයක් නැති බව ඒ තුළින් අදහස් නොවන අතර තවත් ප්‍රශ්න ඉතිරීවි පවතින බව අප දැනගත යුතුය. ඔයා අනෙකාට ඊර්ෂ්‍යා කරනවා යනු ඔයා සතුටින් නොසිටින බවට අප ඊළඟ පරම්පරාවට හෝ පහදා දිය යුතුය. සාර්ථකත්වය සදහා උත්සාහ විය යුතු බවට සෑම දරුවකුටම ඉගැන්විය යුතුය. සාර්ථක වීමට උත්සාහ වීමතුළ තමනට ලැබෙන සාර්ථකත්වය තුළ තමන් තෘප්තිමත් වනවා හැර වෙනත් පිළිතුරක් නැත. ලද දෙයින් සතුටු වීමට අපගේ දරුවන්ට පුහුණුවක් දීම අවශ්‍යයි. ලද දෙයින් සතුටු වීමට පුරුදු කරන්නේත් එයට අදාළ වන කරුණු කාරණා නොවීම අවාසනාවට කාරණාවක් වෙයි. ලද දෙයින් සතුටු වීම වෙනුවට දරුවාට පුරුදු කරන්නේම කල් මැරීමට පුරුදු කිරීමයි.කුඩා දරුවකු සපත්තු දෙකක් ඉල්ලූවිට අම්මා ප්‍රකාශ කරනු ලබන්නේද ඊළඟ අවුරුද්දේ ජනවාරි මාසයේ පාසල් යන විට අනිවාර්යෙන්ම ඔයාට අලුත් සපත්තු දෙකක් අරන් දෙන්නම් කියායි. ඒ වෙනකම් මේ සෙරෙප්පු දෙක දමාගෙන යන්න කියමිනි. එවිට ළමයා කට පියාගෙන සෙරෙප්්පු දෙක දමාගෙන පාසල් යනවිට අම්මා සිතනුයේ මගේ දරුවා මොනවා වුණත් එයාට ලැබුණ දෙය සතුටින් බාරගෙන පාසල් යන බවයි.

සත්‍ය වශයෙන්ම එම දරුවා ලැබෙන දෙයින් සතුටට පත්වුවා නොව ජනවාරියේ රැගෙන දෙන සපත්තු දෙක ඔළුවේ රඳවාගෙන දැනට සෙරෙප්පු දෙක දමාගෙන යයි. එය ලද දෙයින් සතුටු වීම නොවන බව වටහා ගත යුතුයි. පළමු රැකියාව ලැබුණ ගමන්ම දරාගැනීමට නොහැකි තරම් ණය ප්‍රමාණයක් දරාගෙන බොහෝ දේ ගෙදරට උත්සාගෙන එනු ලබන්නේම එම කරුණ නිසයි. එම පිරිස ඉදිරියට ගමන් කරවා ඇත්තේම බලාපොරොත්තු දෙමින් මිස ලද දෙයින් සතුටු වීම තුළ නොවේ. ලද දෙයින් සතුටු වීම තුළ බලාපොරොත්තු නොපවතී. සැඟවුණු බලාපොරොත්තු තබාගෙන ලද දෙයින් සතුටු විය නොහැකියි. කොස් සමඟ පොල් ආහාරයට ගනිමින් සිටින දරුවකු වෙනත් දෙයක් කෑමට ඉල්ලන විට අම්මලා ප්‍රකාශ කරනුයේ පුතේ මම පොළට ගිය දවසට මාළු කෑල්ලක් ගෙනත් දෙන්නම් කියායි. දරුවා ආහාර ගනු ලබන්නේ ලද දෙයින් සතුටු වීම තුළ නොව අම්මා ගෙනත් දෙනවා යනුවෙන් ප්‍රකාශ කළාවූ මාළු පිළිබඳව මතකය මනස තුළ රඳවාගෙනයි. අප දරුවන්ව කල් ඇරීමට පුරුදු කරයි. මේ රට තුළ ජීවත්වන පොඩි දරුවන්ට ඉවසිල්ලක් නැතිවන්නේ එම නිසයි. දරුවන් පොඩි තැනකට පැමිණි ගමන් මුළු ලෝකයේම මිනිසුන් කරන වැඩ කිරීමට පටන් ගන්නවා. පොඩි කඩයක් දමපු ගමන් තමාට දරාගැනීමට නොහැකි තරමි ණය බරක් දරාගෙන වාහනයකුත් මිළදී ගැනීමට පෙළඹෙයි. දරුවන් හිරකර හැදීම තුළ මෙවැනි ප්‍රතිවිපාක අත්විඳිය හැකියි. පාඩම් කළහොත් ඉගෙන ගත හොත් මේ මේ දේවල් ලැබෙයි. කුමක් හෝ හමිබ වෙනදෙයක් පෙන්වමින් දැනට ලද දෙයින් සතුටු විය යුතු බවට දරුවාට උගන්වයි. ලද දෙයින් සතුටු විය යුතු බව බුදුපියාණන් වහන්සේ වදාරා ඇත්තේ කුමක් හෝ හම්බ වෙන දෙයක් බලාපොරොත්තුවෙන් නොවේ. ලද දෙයින් සතුටු වෙනවා යනු තමාට ලැබුණ ප්‍රමාණයට අනුවයි. එයින් සතුටු වුවහොත් පමණයි ඔහුට සතුටින් සිටිය හැකිවන්නේත් අනෙකාට ඊර්ෂ්‍යා කිරීමකින් තොරව ජීව්ත් වීමට හැකිවන්නේත් .

 ලද දෙයින් සතුටු නොවුණ හොත් ඊර්ෂ්‍යා කිරීමට පෙළඹෙයි. මෙය වටහා නොගන්නා පිරිස දරුවන් හැදීම යහපත් කාරණාවක් වන්නේ නැහැ. සිංහල ජාතිය වැඩි කිරීමට හෝ බෞද්ධයන් වැඩිකිරීමට යැයි ප්‍රකාශ කරමින් මෙම කාරණා නිවැරැදිව වටහා නොගෙන දරුවන් නොහැදිය යුතුය. දරුවකු හැදීමට තීරණය ගත යුත්තේ අඩුම වශයෙන් අවුරුදු තිහක්වත් ගිය පසුවය්ි. මේ රටේ ඇතැම් පිරිස් අවුරුදු 18 වන විට කසාද බැඳළ අවුරුදු 19, 20 වනවිට දරුවනුත් හදල අවසානයි දරුවකු හදනු ලබන්නේ තවත් ළමයකු විසිනුයි. ළමයි හදන ළමයි මේ රට අවුලෙන් අවුලට පත් කරනු ලබයි. වැඩිහිටියන් හදන ළමයි එතරම් ගැටළුකාරී දරුවන් නොවේ.


පිටරටවල මිනිසුන් කසාද බඳින්නේත් දරුවන් හදන්නේත් අවුරුදු 30ට පසුවයි. දරුවකු හැදීමට තීරණය කළාට පසු ව ඔවුන් විවාහ වෙයි. ඒ පිරිස වැඩිහිටියන් වන නිසාම දරුවා හැදිය යුත්තේ කෙසේද කියා ඔවුන් දැනුවත් වෙයි. ළමයින් විසින් ළමයින් හදන අපේ රට බේරී තිබෙන්නේත් පෙර පිනටයි. මේ රටේ සියලු ජාතීන්ද මෙම වරද කරනු ලබයි. ළමයෙක්, ළමයෙක් හැදීමට ඇයගේ ජීවිතය තුළ ලබා තිබෙන අවබෝධය පරිණත බව කුමක්ද අප වෙහෙස විය යුත්තේ ගුණාත්මක දරුවන් හැදීමට මිස ඔළු ගෙඩි ගණන වැඩි කිරීමට නොවේ. රටක සාමය සැනසිල්ල ඇති වන්නේ එවැනි දැනුවත් සමාජයක් තුළ පමණයි. ඔළු ගෙඩි ගණන වැඩි වූ තරමට සිංහල ජාතියයි, බුද්ධාගමයි රැකෙන්නේ නැත. සිංහල සංස්කෘතිය, බෞද්ධකම පිළිබඳ මෙලොව කාරණාවක් නොදන්නා පුද්ගලයන්ගේ බෞද්ධකම එක තැනකත් ජීවිත තව තැනකත් තිබිමෙන් ජාතියක් රැකෙන්නේ නැත. මෙය වටහාගෙන තමා හදන දරුවන් ගුණාත්මක බවෙන් පිරිපුන් දරුවකු රටට දයාද කරන්න. වර්තමාන සමාජය තුළ අවබෝධයෙන් තොරව දරුවකු හැදුව හොත් සමාජයට එය අහිතකරව බලපානු ලබයි. 

එවිට ඊර්ෂ්‍යාවෙන් තොරවු දරුවකු ඉදිරියට ගමන් කරයි. ලද දෙයින් නිවැරැදිව සතුටු වීම තුළම ඊර්ෂ්‍යාව අඩුවී යයි. තමා පිළිබඳව තෘප්තිමත් විය යුතු බව දරුවාට උගන්වන්න.දරුවාට ලැබුණ දෙය තුළ සතුටු විය යුතු ආකාරය පහදා දිය යුතුය. යමක් ලැබීම තුළ හෝ නොලැබීම තුළ අඬන්නේ නැතිව බඩු බාහිරාදිය පොළොවේ ගහන්නේ නැතිව දරුවා එය බාරගත යුතු ආකාරය වටහාදිය යුතුය. එය වටහා නොදී එයා අඬන විට වෙන අයෙකුගේ දෙයක් එම දරුවාට රැගෙන දුන හොත් එය හැමදාම අනුන්ට අයිති දෙයම කොල්ල කෑමට පුරුදු වෙයි. අනුන්ගේ පෑන්, පැන්සල්, ටොෆී කුඩා කල සිටම උදුරා ගනු ලැබූ දරුවන් ලොකු වන විටත් ඊර්ෂ්‍යාවෙන් මරාගනු ලබයි. ඔවුන්ට ලද දෙයින් සතුටු වීමට උගන්වා නැත. පොළොවේ පස් කකා අඬන දරුවාට සියල්ලම ලබාගත හැක්කේ එසේ ඇඬීම තුළින් බව දරුවාම අවබෝධ කොටගෙන ඇත. එනිසා අ¾ඬන දරුවන් නැලවිය යුත්තේ සාධාරණව උපයාගන්නා ධනයෙන් මිස අසාධාරණ ආකාරයෙන් නොවේ. එම ජීවන ක්‍රමය අපට ඔරොත්තු දෙන ආකාරයට ගොඩ නඟාගත යුතුයි. අපට ධාර්මිකව කළ හැකි දේ පිළිබඳවත් නොකළ හැකි දේ පිළිබඳවත් , සාධාරණ ක්‍රමයකට අනුව අපට ගමන් කළ හැකි දුර ප්‍රමාණයේ සීමාවන් පිළිබඳවත් අප දරුවාට පහදා දිය යුතුය. එම සීමාව ධර්මානුකූල සීමාව තුළ සිදුවිය යුතු බවට දරුවාට ඉගැන්විය යුතුය.



හෝමාගම මුල්ලේගම 
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ 
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි ශාස්ත්‍රපති 
මාවරලේ භද්දිය හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වෙසක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 29 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment