Labels

Thursday, June 16, 2016

මායාකාරී සිහින ලෝකයෙන් ඈත් වී සිතෙහි සැබෑව දකිමු


පවත්නා මේ ජීවිතයේ අප්‍රමාණ නින්දාවන්ට දඬුවම්වලට හා වැරැදිවලට දඬුවම් ලෙස සිරගෙයි දැමීම් වැනි විපත්වලට පැමිණිය හැකියි. ධර්මයේ සඳහන් කරන අයුරින් අත්ථානුවාද භයක් පැමිණිය හැකියි. මොනයම් වෙලාවක හෝ තමා තමාට දොස් කියා ගත හැකියි. නුඹ මෙවැනි බලවත් වූ පාපයක් සිදු කළ පුද්ගලයෙකි, පුද්ගලයෙකුයි. තමා තමාට ම දොස් කියා ගත හැකියි. පසුතැවීමට කරුණක් විය හැකියි. මරණ මංචකයේ දී හෝ මෙය මතක් වී දුගතියට පාර සාදා දිය හැකියි.

ඒ වගේ ම පරානුවාද භය වශයෙන් අන් අය දොස් කියනු හැකියි. නුඹ මහා නපුරු කෙනෙක් අසද්පුරුෂ කෙනෙක් ඒ වගේ ම ලෝල පුද්ගලයෙක් සල්ලාල පුද්ගලයෙක් සම්මතය සීලය කැඩූ නැසූ පුද්ගලයෙක්. සමාජ විරෝධී පුද්ගලයෙක්, සමාජයෙන් කොන්කළ යුතු පුද්ගලයෙකි. මනුෂ්‍ය වේශයෙන් පෙනී සිටින අමුනුෂ්‍යයෙකි. බොහෝ දෙනා දොස් කිව හැකියි. ඒ වගේ ම දණ්ඩ බිය රජයෙන්, නීතියෙන් අප්‍රමාණ වූ දඬුවම් විඳිය හැකියි. ඒවගේ ම දුග්ගති භය මරණයෙන් මතු ඒකාන්තයෙන් ම සතර අපායේ තැනක ඉපදී දුක්විඳිය හැකියි. මෙන්න මේ ලෙසින් සතර සතිපට්ඨානයෙන් උගන්වන ලද සිහියට අනුව කය අනුව බැලීමෙන්, විඳීම් අනුව බැලීමෙන්, සිත අනුව බැලීමෙන්, ධර්මතා අනුව බැලීමෙන්, සිතෙහි සංවරකමක්, පාලනයක් ඇති කර ගැනීමෙන් ඇසෙහි සංවර බවට පැමිණිය හැකියි. කනෙහි සංවර බවට පැමිණිය හැකියි. නාසයේ සංවර බවට පැමිණිය හැකියි. දිවෙහි සංවර බවට පැමිණිය හැකියි. සිතෙහි සංවරයට පැමිණිය හැකියි. මනා ලෙස සිහිය පවත්වන අය තමාගේ ම යහපත සුබ සිද්ධිය පවුල් පරිසරය ආරක්ෂා කර ගන්නා බවට ඉතාම පැහැදිලියි. මේ දහම් කතාව අසාගෙන සිටින උදේන රජතුමා භාරද්වාජ ස්වාමීන් වහන්සේට මෙහෙම සඳහන් කරනවා. භාරද්වාජ ස්වාමීන් වහන්ස, ආශ්චර්යයක්, මේක ඉතාම උතුම් ධර්මයක් සියල්ල දන්නා සියල්ල දක්නා අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙය කෙතරම් මැනවින් දේශනා කරන ලද ද අශ්‍රැතවත් වූ පෘතග්ජන කාම ලෝකයක ඇලෙමින්, ගැටෙමින් හඬමින්, පස්පව්, දස අකුසල් කරන අශ්‍රැතවත් පෘතග්ජන සිත් ඇති මනුෂ්‍යයන්ට සියලු දෙනාට ම මේ දහම් පෙළ මොනතරම් ආශ්චර්යමත් ශ්‍රී සද්ධර්මයක් ද? මායාකාරී සිහින ලෝකයකට හසු වී කාමාධි කෙලෙස්වලින් පිලිස්සී තමනුත් නැසී අනුන් නසන ලොවකට උතුම්ම මනුෂ්‍ය රත්නය වූ තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ උතුම් දහම මොනතරම් ආශ්චර්යමත් වූ ශ්‍රී සද්ධර්මයක් ද? තරුණ මනා කළු කෙස් ඇති සුන්දර යෞවනයෙන් යුතු පළමු වයසින් යුතු කම් සැප අනුභව නොකරන මේ තරුණ භික්ෂූන් පිරිපුන් පිරිසුදු බ්‍රහ්මචරියා ජීවිතයක් දිවිහිමියෙන් ගත කරනවා නම් දිගු කාලයක් ඒ ජීවිතය පවත්වාගෙන යනවා නම් එයට හේතුව මෙන්න මෙයයි කියල ඔබ වහන්සේ පැහැදිලි කළා වගේ මටත් දැන් පැහැදිලියි. අපටත් මේ දහම් පෙළ මනා කොට ආදර්ශයක් ලෙස සකසා ගත යුත්තේ උදේන රජතුමා මී ළඟට සඳහන් කරන වදන් පෙළ හා සමගිනුයි.

භාරද්වාජ ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ සඳහන් කළ බුදුරජාණන් වහන්සේ දේශනා කළ දහම් පෙළ මට දැන් හොඳට ම වැටහෙනවා. “යම් කලක මමත් නොරක්නා ලද කයින්, නොරක්නා ලද වදනින් නොරක්නා ලද සිතින්, එළඹ සිටියේ නැති එනම් නොඑළඹ සිටි සිහියෙන් යුක්තව සංවෘත වූ ඉන්ද්‍රියයන්ගෙන් යුක්තව ම ඇතවුලට පිවිසෙන්නේ නම් එනම් කාන්තාවන් සිටින ස්ථානයකට පැමිණෙන්නේ නම් එවැනි වෙලාවක දී මා සිතෙහිත් ලෝභ සිත් බෙහෙවින් ම හටගන්නවා. කාන්තාවන් සිටින තැන යැයි සඳහන් කළේ, අන්තඞපුරයටයි. අන්තඞපුරයට පිවිසෙනවා නම් අන්න ඒ වෙලාවෙදීත් මාගේ සිතේ අප්‍රමාණ වූ රාගයෙන්, ලෝභයෙන් පිරී පවතනවා. මගේ සිත රාගයෙන් මඬිනවා, ලෝභයෙන් මඬිනවා.

යම් කලෙක මම අන්තඞපුරයට පිවිසෙන කොට සිහියෙන් ආරක්ෂා කරන ලද කය පවතිනවා නම් වචන පවතිනවා නම් සිත පවතිනවා නම් ඒ සිත එළඹ සිටි සිහියෙන් යුක්තව රජ කෙනෙක් හැටියට සංවර වූ ජීවිතයක් පැවැත් වූ ආකාරයට ගුණබර ස්වාමි පුත්‍රයෙක් හැටියට දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතයක් පවත්වන කෙනෙක් හැටියට සිහිය පවත්වන්නට පුළුවනි නම් සම්මුතියට මොනතරම් ‘මම මගේ’ කියා පැවසුවත්, පරමාර්ථ වශයෙන් මේ කය එනම් හිසේ පටන් පාදාන්තය දක්වා ගලපා බැලුවොත් රෝම කූපයක තරම් සැබෑ අයිතියක් නැති බව සිහියෙන් දැකගෙන මට කාය ගතා සතිය පවත්වන්නට පුළුවනි නම්, අන්න එහි දී මගේ සිත රාගයෙන්, ද්වේෂයෙන් ආරක්ෂා වෙනවා. ඉන්ද්‍රියන්ගෙන් වරදක් ඇතිවන්නේ නැහැ. මගේ සිතට මනා වූ සමාහිත බවක් සුවපත් වූ බවක් දැනෙන්නට පටන් ගන්නවා. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ අසිරිමත් වූ ධර්මය මගේ ම ජීවිතයෙන් මට දැන් වැටහෙන්නට පටන් ගන්නවා. මේ දහම් කතාව කියවන ඔබටත් ඔබේ ජීවිතයෙන් අත්දැකීමක් ලබා ගත හැකියි. යම් විටක මනා වූ සිහියකින් තොරවන විට යම් විටක රාග, ද්වේෂ, ආදී සිතිවිල්ලක් ඇති වූ මොහොතක වහ වහාම සිත ධර්මයට නතු කොට සිහිය පිහිටුවා ගන්න පුළුවනි, නම් ඒ සිත වරදවා සකස් වූ රාගාදී කෙලෙස්වලින් මිදීමට අවස්ථාව සැලසෙනවා. මා භික්ෂුවකි, මා අම්මා කෙනෙකි. පියාණන් කෙනෙකි. විවාහක අයෙක් වෙමි. සොහොයුරෙක්, සොහොයුරියක් වෙමි. ගෞරවනීය චරිතයක් දරන අයෙක් වෙමි. හැම දෙන විසින් අත දිගු කර පෙන්වන ලද යහපත් වූ චරිතයක් පවත්වන්නෙක් වෙමියි. සිතට දැනෙන විටම අපේ සිත රාගාදි කෙලෙස්වලින් සංසිඳී මේ සිත සුවපත්වන්නට පටන් ගන්නවා. මේ නිසා මේ භාරද්වාජ සූත්‍ර දේශනාව ඔස්සේ දුර්ලභව ලැබූ මනුෂ්‍ය ජීවිතය යහපත්වත්, සුපසන්වත්, භික්ෂු ජීවිතයක් නම් සැනසෙන්නට පුළුවන් භික්ෂූ ජීවිතයකුත් ගෘහස්ත ජීවිතයක් නම් සමඟියෙන් සාමයෙන් සතුටින් පිරි යහපත් වූ පවුල් ජීවිතයක් ඇති කරගන්නටත් සමාජ පරිසරයක් සකස් කර ගන්නටත් ඉතාම යහපත් ලෙස හේතුවන බව පැහැදිලියි.

පොහොය දින කීපයක් පුරා භාරද්වාජ සූත්‍ර දේශනාව ඇසුරෙන් පෙන්වා දුන් දහම් පෙළ ඔබ හැම කෙනෙකුගේ ම ජීවිත සුපසන් කරන්නට හේතු වේවායි ප්‍රාර්ථනා කරනවා.



බත්තරමුල්ල 
සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි 
ප්‍රධාන අනුශාසක 
ආචාර්ය මිරිස්සේ ධම්මික හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ පොසොන් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 12 වන  ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment