Labels

Thursday, June 16, 2016

නුවණ ඇතිව එක දවසක් ජීවත්වීම වුවද උතුම්ය


නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.
යොචෙ වස්ස සතං ජීවෙ දුප්පඤ්ඤෝ අසමාහිතො
ඒකාහං ජීවිතං සෙය්‍යො පඤ්ඤාවන්තස්ස ඣායිනො
(ධම්මපදය සහස්ස වග්ගය)

අද ධර්ම දේශනාව සඳහා යොදාගත් ගාථාව අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බාණු කොණ්ඩඤ්ඤ රහතන් වහන්සේ හා උන්වහන්සේ සමීපයේ පැවිදි වූ නවක භික්ෂූන් වහන්සේලා පිරිසක් අරමුණුකරගෙන දේශනා කරන ලද්දකි. තරුණවියේදී පැවිදි වූ එම කොණ්ඩඤ්ඤ හිමියන් බුදුරදුන්ගෙන් භාවනා කිරීමට අවශ්‍ය කමටහන් ගෙන වන ගත විය. ඉතා උනන්දුවෙන් භාවනා කර රහත් ඵලයට පත් වූ උන්වහන්සේ බුදුරදුන් හමුවීමට නැවත ගමන් කරන අතරමගදී රාත්‍රී කාලය ගත කිරීමට විශාල ගල් තලාවකට පිවිස එහි සමාපත්ති සුවයෙන් කල්ගත කළහ. මේ අවස්ථාවේ සොරු පිරිසක් තමන් පැහැරගත් බඩු මලුද සමඟ එම ගල්තලාවට පැමිණ ගල් තලාවේ ඇති කණුවකැයි සිතා බඩු මලු රහතන් වහන්සේගේ හිසමත තබා එහිම වැටී නිදාගත්තේ ය. පසුදින උදෑසන අවදිව බඩු මලු ටික ගැනීමට ගිය සොරු පිරිස නිසලව සිටින රහතන් වහන්සේ දැක, අමනුෂ්‍යයෙකැයි බියට පත්ව දිවයන්ට වූහ. තමන් බුද්ධ ශ්‍රාවකයෙකු නිසා බිය නොවන ලෙස ඔවුන්ට පැවසූ රහතන් වහන්සේ දහම් කරුණු කියා ඔවුන් සැනසීමට පත් කළහ. උන්වහන්සේ කෙරෙහි පැහැදීමට පත් වූ සොරු පිරිස එදිනම පැවිදි වූහ. එම නවක පැවිදි පිරිස සමඟ බුදුරදුන් සමීපයට ගිය කොණ්ඩඤ්ඤ තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේට සියලු තොරතුරු ප්‍රකාශ කළහ. එහිදී එම නවක භික්ෂූන් වහන්සේලාට බුදුපියාණන් වහන්සේ මෙම ගාථාව දේශනා කරමින් මෙසේ දේශනා කළ සේක.
මහණෙනි, සොරකම් කිරීම ආදී පස් පව් දස අකුසල් රැස් කරමින් අවුරුදු සියයක් ජීවත්වීමට වඩා සිහිනුවණින් නිවැරදිව එක් දවසක් ජීවත්වීම උතුම් වන්නේ ය. දේශනාව අවසානයේ එම පැවිදි පිරිස රහත්ඵලයට පත් විය.

එම ගාථාවේ සඳහන් වන අන්දමට අනුවණකමින් හා මානසික අසංවරයෙන් කොපමණ කාලයක් ජීවත් වුවත් ප්‍රයෝජනයක් නැත. සිදුවන එකම දෙය පව් රැස්වීම පමණි. මිනිස්කම ආරක්ෂාකරගෙන කුසල් දහම් දියුණුවන උතුම් ජීවිතයක් ගත කිරීමට මිනිසාට පඤ්ඤාව හෙවත් නිසි අවබෝධය අවශ්‍යම වෙයි. ‘පඤ්ඤානරානංරතනං, පඤ්ඤා ජීවිං ජීවිත මාහු සෙට්ඨං’ යන බුද්ධ දේශනා මඟින්ද අවධාරණය කර ඇත්තේ එයයි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ද, උද්දච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා යන පඤ්ච නීවරණ ධර්ම නුවණ හා මානසික සංවරය නැතිකර දැමීමට ඉවහල්වන පවිටු ආවේගයන්ය. ඒවා යටපත් කරගෙන ජීවිතය හා ලෝකය පිළිබඳ නිවැරදි අවබෝධයෙන් කටයුතු කිරීම දෙලොව සැනසීමට හේතුවේ.
එපමණක් නොව උතුම් නිවන්සුව අවබෝධකර ගැනීම සඳහා නිරතුරුව ප්‍රගුණ කළ යුතු සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිශික්ෂාවන්ටද මෙම කරුණු දෙක ඇතුළත් කර ඇත. පින්වත් ඔබද මෙම උතුම් දහම් කරුණු මඟින් තම දිවිගමන ආලෝකමත් කර ගන්නා ලෙස කාරුණිකව සිහිපත් කරමි.

තෙරුවන් සරණයි.

වැලිගම කොක්මාදුව ශ්‍රී පූර්වාරාමාධිපති 
කනංකේ රාජමහා විහාර පරිවේණාධිපති, 
වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති
කැටවල ඉන්දසාර හිමි


ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ පොසොන් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 12 වන  ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment