බුදුරජාණන් වහන්සේගේ දේශනා සූත්‍ර වශයෙන් නම් කර ඇත. එම සූත්‍ර දිග ප්‍රමාණයෙන්ද, මධ්‍යම ප්‍රමාණයෙන්ද, කෙටි ප්‍රමාණයෙන්ද අන්තර්ගත වී ඇත. බුදුපියාණන් වහන්සේගේ දේශනා මුද්‍රණ වශයෙන් දිග වුවද, ප්‍රකාශ වශයෙන් ඉතාම කෙටියි. ඉතාම ගැඹුරු අර්ථයෙන් යුක්ත කෙටි වාක්‍යයයි.
නිදර්ශන වශයෙන් අනිච්චාවත සංඛාරා නැතහොත් සබ්බේ සංඛාරා අනිච්චා යන වචන තුනේ වාක්‍ය වුවත් දීර්ඝ අර්ථයක් සහිත, දීර්ඝ ප්‍රකාශ ගණනාවක් කළ හැකි, දිග පොත් ලිවීමට හැකි පැය ගණන් විස්තර කළ හැකි කෙටි සූත්‍රයන් විශ්වාසා පරමා ඥාති වචන තුනේ තනි වාක්‍යයක් වුවද දීර්ඝ විස්තරයක් ගෙන යා හැකි කෙටි ප්‍රකාශයක්. සන්තුටිඨි පරමං ධනං දීර්ඝ විස්තරයක් කළ හැකි කෙටි ප්‍රකාශයක්. ලොකස්වාමී බුදුපියාණන් වහන්සේ විසින් සමස්ත ලෝකයම ආවරණය වන පරිදි කිසිදු පුද්ගලයෙකුට අලුතෙන් වචනයක්වත් එකතු කිරීමට අවශ්‍ය නොවන එකතු වෙලා තියෙන කිසිදු වචනයක්වත් ඉවත් කිරීමට අවශ්‍ය නොවන , ගාමිභිර අර්ථ විවරණ කළහැකි කෙටි
ප්‍රකාශ දේශනා කර ඇත. අච්රං වතයං කායෝ ද එවැනි ප්‍රකාශයකි . වචන හතරක් වුවද, අනිවාර්යෙන්ම මෙම ශරීරය ටික කලකි, යන්නයි. මෙම ශරීරය වනාහීි ටික කලක් වන්නේ කෙසේද? යන්න ඔබට සිතිය හැකියි. අවුරුදු හැට හැත්තෑව සියය ගත කරන මිනිසුන් ජීවත්වන ලෝකය තුළ මෙම ශරීරය ටික කලක් බව ප්‍රකාශ කරන්නේ කෙසේද?ශරීරය වනාහි ටික කලකි. යනුවෙන් ලෝකස්වාමී බුදු පියාණන් වහන්සේ විස්තර කර පැහැදිළි කරනු ලබන්නේ, මෙම ශරීරය අපේ අපේම ශරීර සමඟ සසඳමින් නොවේ. අවුරුදු දෙතුන් සියය ගණන් ජීවත් වන සත්ත්වයන් ලෝකය තුළ සිටිනවා. එම අවුරුදු දෙතුන් සියයක් ජීවත්වන සත්වයන් සමඟ සසඳා බලන විට මිනිස් ජීවිතය දීර්ඝ කාලයක් නොවෙයි. අවුරුදු හාරසියය, දෙසියය, එකසිය පනහ, එකසිය හැත්තෑව ජීවත් වන සත්වයන් සමඟ සසඳන විට මිනිස් ජීවිතය ටික කලකි. ලෝකය තුළ තිබෙන්නාවූ දිව්‍ය ලෝක තුළ බ්‍රහ්ම ලෝක තුළ කල්ප ගණන් ජීවත්වන සත්වයන්ගේ ආයුෂත් දිව්‍ය ලෝකවල ජීවත්වන දෙවිවරුන්ගේත් බ්‍රහ්ම ලෝකවල ජීවත්වන බ්‍රහ්මයන්ගේත් වයස සමඟ සසඳා බලද්දී මෙ ම ශරීරය ටික කලකි. සමහර අවස්ථාවලදී අපගේ ගෙවත්ත තුළ තිබෙන ඇතැමි ගස් අවුරුදු තුන් හාරසියයක් තියෙනවා, වෙන්න පුළුවන්. නිවස අවුරුදු දෙසියයක් පමණ ද විය හැකිය. එම නිවසෙහි ගඩොලක් සමඟ සසඳා බැලුවත් ශරීරය බොහොම ටික කලයි. ඒ හැම ශරීරයක්ම මහා දීර්ඝ කාලයක් පවතිනවාය කියලා හිතේ තබාගෙන සිටීම මුළාවකි. අඩියක් මනින විට, අඩියක්, ටික දුරක් වුණාට සැතපුමක් අඩියකින් මැන්නොත් අඩි ගොඩක් තියෙනවා. ඒ වගේ මෙම සංසාරය තුළ එක අවස්ථාවක් තුළ පමණක් එක ශරීරයක්, පමණක් අප ළඟ තබාගෙන ජීවත්වෙයි. එය ජීවිතය නමින් හඳුන්වනවා. එම ජීවිතයට ආත්මභාවයක් තියෙනවා. සංසාරය යනු එවැනි ජීවිත විශාල ප්‍රමාණයක එකතුවක් බව ඔබ අවබෝධ කරගත යුතුයි.
ඔබ කල්පනා කළ යුතු කාරණාව එයම නොවෙයි. මෙම ආත්ම භවයේ එක ශරීරයක් ලබාගත්තා නම්, එම ශරීරය ක්‍රමයෙන් වර්ධනය වී කාලයක් සමඟ ලෙඩ වෙලා අතහැර යනවා. ඉපදුන ගමන් චූටි ලස්සන ශරීරයක් ලබාගෙන ටික ටික ලොකු වෙලා අවසානයේ එම ශරීරයත් දිරාපත් වෙනවා. ඊට පසු එය අතහැර දමනවා. නැවත තවත් ශරීරයක් ලබාගන්නවා. එයත් ඒ ආකාරයෙන්ම වර්ධනය වෙලා යෞවන භාවයට පත්වෙලා විවාහ ප්‍රාප්ත වෙලා ගේ දොර ඉඩකඩම් හැදුවා, දරුවන් හැදුවා වයසට යාමත් සමඟම එම ශරීරය අතහැර දැමුවා.මේ ආකාරයට මෙම ගමන සංසාරය තුළ ගමන් කරයි. සළකා බැලිය යුතු ප්‍රශ්නය එය නම්, අනිවාර්යෙන්ම අතහැර දමන්නාවූ ශරීරය වෙනුවෙන්ම පමණක් නම්, ජීවිතය සැළසුම් කරන එකේ තේරුමක් නැහැ. මීට අවුරුදු සියයකට පෙර ශරීරයක් තිබුණා . එම ශරීරයට ජායාරූපයක් තිබුණා. හැදුනුම්පතක්ද , බැංකු ගිණුමක්ද, ඉඩමක් කඩමක්ද, හරකාබානද,ස්වාමිපුරුෂයකු හෝ භර්යාවක ද දරුවන් ද සිටිය හැකියි. එම ශරීරය නැති වීමත් සමඟම එම සියල්ලම ඉවත්ව යනවා. එවගේම මෙම ශරීරයටත් අයිති දේවල් බොහොමයක් තියෙනවා. මෙම ශරීරයටත් අම්මෙක්, තාත්තෙක් . දූ පුතුන්, ස්වාමිපුරුෂවරු භාර්යාවරු සහෝදර සහෝදරියන් සිටිනවා. මෙම ශරීරයට තනතුරක් තියෙනවා. විභාග සහතික තියෙනවා., වුණාට ශරීරය මැරුණ ගමන් මෙම සියල්ල අවලංගු වෙලා නැවතත් මැරිලා ගිහින් චූටි ශරීරයක් සමඟ ඉපදුන විට පෙර කී කිසිදු හැදුම්පතක නොම්මරයක් වලංගු නැති නිසා ඒ ශරීරයට පෙර කී කිසිදු දෙයක් අයිතිවන්නේද නැහැ.මීට පෙර අපට බොහෝ ඉඩකඩම් හිමි වී තිබුණාට දැන් ඒවා කොහේද? ගෙනාවෙත් නැහැ. මීට පෙර දෙමවිපියන් , ස්වාමිපුරුෂවරු භාර්යාවරු දූ දරුවන් නෑදෑයන් අපට හිටියාට ඒ අය දැන් නැහැ. අලුතෙන් ශරීරයක් ලැබුණ ගමන් එතැන් පටන් අලුතෙන් සියල්ලම නැවත ලබාගත යුතුයි. ඉඩකඩම් , ගේ දොර , දුවා දරුවන් සියල්ලම නැවත අලුතෙන් ලබා ගත යුතුයි. ඒවා සියල්ලම ශරීරයට පමණක් සම්බන්ධතා තිබෙන දේවල් වෙයි. නිවන් දකින්නේත් එම ශරීරය නොවන බව ඔබ වටහා ගත යුතුයි. නිවන් දකින්නේ සිතයි.
කැලණිය විශ්ව විද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
සංස්කෘත අධ්‍යයන අංශයේ මහාචාර්ය
ඉඳුරාගාරේ ධම්මරතන හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වෙසක් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 04 වන සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment