ඕනෑම සත්ත්වයෙක් මරණයට පත්වන බව සදාතනික දහමකි. ආයුෂය, උෂ්ණය, විඤ්ඤාණය පහව ගිය කල්හි මෙම ශරීරය දරකඩක් සේ මහ පොළොවට පතිත වන බව බුදුරදුන් දේශනා කළහ. නමුදු අද සමාජය තුළ කෙනෙකු මළ පසු එම මරණානුස්සති භාවනාව සිදු කරන්නේ කීදෙනෙක් දැයි කල්පනා කර බැලීම වටී.
ඇතැම්විට මළ ගෙවල් පවා මඟුල් ගෙවල් තත්ත්වයට පත්ව ඇත. ජීවත් ව සිටියදී තම යුතුකම් ටික හරියට ඉටු නොකර මිය ගියාට පසු වටිනා පෙට්ටි මත මළ සිරුර තැන්පත් කොට දවස් ගණන් තබමින් ඒ තුළිනුත් තම තත්ත්වය ලෝකයට පෙන්වීමට කරන බහුරු කෝළමක් සමාජය තුළ දක්නට ලැබේ. කෙනෙක් මිය ගියාට පසු පැරණි අපේ මුතුන් මිත්තන් පන්සිය පනස් ජාතක පොත කියමින් එම මියගිය තැනැත්තා තුළින් පාඩමක් හදාරමින් ධර්ම සංවේගය ඇති කර ගත්හ.නමුදු අද ඊට හාත්පසින් ම වෙනස් තත්ත්වයක් උදා වී ඇත.
අද සිදුවන්නේ දුක නිවාගැනීමට යැයි කියා ඇතැමෙක් මත්පැන් පානය කිරීම, කාඩ් ගැසීම, නිරන්තරයෙන් ආහාර පාන පිළියෙල කොට අනුභව කිරීම හා හදවතෙහි දුකක් නොමැතිව කඳුලු හෙලමින් නිකරුණේ හඬා වැලපීමය. නමුදු මිය ගිය කෙනෙකු දෙස බලා ධර්මානුකූල සිතක් ඇති කර ගැනීමක් දක්නට නොලැබේ. මිය ගිය කෙනා වෙනුවෙන් පාංශුකූල කටයුතු කරන අවස්ථාවක වුවද බණ ටිකක් අසමින් මරණානුස්මතිය වැඩීමට පෙලඹෙන්නෝ අතේ ඇඟිලි ගාණට සීමාසහිත වී ඇති බවක් පෙනේ.
ඒ අනුව අප සෑම කෙනෙකුම මරණය නමැති ධර්මතාවයට පත්වන බව නිතර සිහිකළ යුත්තකි. බුදු, පසේ බුදු මහ රහත් වගේම රාජ රාජ මහා මාත්‍යාදීන් ඇතුළු ලොව ඕනෑම තරාතිරමෙ කෙනෙකු බිහි වූවා නම් ඒ සෑම කෙනෙකුම අවසන් වූයේ මරණය නමැති ධර්මතාවයෙන් ය. ඒ පිළිබඳ බුදුදහම තුළින් කරුණු කාරණා අවබෝධ කර ගැනීම ජීවිතයක් සකස් කර ගැනීම උදෙසා ඉතා වැදගත් වනු ඇත. එදා බුදුන් දවස භික්ෂූන් වහන්සේලා සුලභව සිදු කළ භාවනාවක් ලෙස දස අසුභ භාවනාව හැඳින්වීමට පුළුවන. එම යුගය තුළ කෙනෙකු මළ පසු සිදු කළේ මළ සිරුර සොහොනට ගෙන ගොස් දැමීමය. අද මෙන් වැළලීමක් හෝ පිච්චීමක් සිදු නොවීය. භික්ෂූන් වහන්සේලා සිවුරු පවා සකසා ගත්තේ මළ සිරුරු ඔතා තිබුණ වස්ත්‍ර ගෙන ඒවා සුද්ධ පවිත්‍ර කර ගනිමිනි. ඒ අනුව බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සිදු කිරීමට පහසු භාවනා ක්‍රමයක් ලෙස දස අසුභ භාවනා ප්‍රායෝගීක ජීවිතය තුළ යොදාගත්හ.
කොතරම් රූප සම්පත්තියකින් හෙබි කෙනෙකු වුවද මියගියාට පසු ශරීරය තුළ වන විපර්යාසය භාවනාවට යොදාගන්නට හැකි විය. සිරිමා, ඛේමා ආදී කාන්තාවන් ජීවත්ව සිටිය දී ඉතා රූප සම්පත්තියෙන් අනූන වුවද ඔවුන් ද මිය ගියාට පසු කිසිවෙකු නොමිලයේවත් නොගන්නා තත්ත්වයකට පත් වූයේ ශරීරයේ යථා ස්වභාවය කාටත් පොදු වූවක් බැවිනි. එය බුද්ධ දේශනාව තුළ මනාව විවරණය වන්නකි. මිය ගියාට පසු මළ සිරුර පිළිබඳ මෙනෙහි කිරීම පිළිබඳ විමසා බැලීම වැදගත් වේ. ඒ තුළින් කාම සිතිවිලි යටපත් වී ශරීරය පිළිබඳ ධර්මානුකූලව බැලීමට තරම් ප්‍රඥා ශක්තියක් ගොඩ නැඟෙනවාට කිසිදු සැකයක් නැත. එම දස අසුභයන් නම්,
1. උද්ධුමාතක (ඉදිමී ගිය මළ සිරුර මගේ ශරීරය ද මේ ආකාරයෙන් පවතින්නේ යැයි යන අනිත්‍ය සංකල්පය නුවණින් මෙනෙහි කිරීම.)
2. විනීලක (නිල් වූ මළ සිරුර, මගේ ශරීරය ද මේ ආකාරයෙන් පවතින්නේ යැයි යන අනිත්‍ය සංකල්පය නුවණින් මෙනෙහි කිරීම.)
3. විපුබ්බක (තැන් තැන්වලින් සැරව වැගිරෙන්නා වූ මළ සිරුර, මගේ ශරීරය ද මේ අයුරින් නව දොරකින් සැරව වැගිරෙන බව අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම.)
4. විච්ඡිද්දක (නොයෙක් තැනින් සිදුරු වී සුන් වී ගිය මළ සිරුර. මගේ ශරීරය ද මේ අයුරින් සිදුරු වන බව අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම.)
5. වික්ඛායිතක ( කපුටු, සුනඛ, සිවල් ආදීන් විසින් එහා මෙහා නොයෙක් ආකාරයෙන් අදිමින් මස් කඩා කනු ලබන මළ සිරුර. මගේ ශරීරය ද මේ අයුරින් සිදුවන බව අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම.)
6. වික්ඛිත්තක ( කපුටු, සුනඛ, සිවල් ආදීන් විසින් නොයෙක් ආකාරයෙන් කැබලිවලට කඩා තැන් තැන්වල විසුරු ඇති මළ සිරුර. එක තැනක අතය, තව තැනක පයය, තව තැනක හිසය ආදී වශයෙන් ඒ ඒ තැන විසුරුවා ඇති මළ සිරුර දැක මගේ ශරීරය ද මෙලෙසට පත්වන බව අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම.)
7. හතවික්ඛිත්තක (සතුරන් විසින් අවි ආයුධවලින් ඇන කොටා තුවාල කොට ඒ ඒ තැන විසුරුවන ලද කොටස් ඇති මළ සිරුර. මගේ ශරීරය ද මේ අයුරින් සිදුවන බව අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම.)
8. ලෝහිතක (ඔබ මොබ ලේ වැගිරෙන්නා වූ මළ සිරුර. මගේ ශරීරයද මේ අයුරින් සිදුවන බව අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම.)
9. පුලවක (නොයෙක් පණු සමූහයෙන් පිරී ගියා වූ ඉතාම පිළිකුල් වූ මළ සිරුර. මගේ ශරීරය ද මෙලෙසට පත්වන අයුරු අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම)
10. අටිඨික (ඇට කැබලිවලට පත් වී ඇති මළ සිරුර. මගේ ශරීරය ද මෙලෙස ඇට කැබලිවලට පත්වන බව අනිත්‍ය සංකල්පයට අනුව නුවණින් මෙනෙහි කිරීම)
මේ අයුරින් ශරීරයක් විනාශ වූ පසු දස අසුභ භාවනාව වැඩිය යුතුය. ම.නි. චූලපරියාය වග්ගයට අයත් සතිපට්ඨාන සූත්‍රය තුළ ශරීරය පිළිබඳ විනිවිද දකින අයුරු විස්තරාත්මකව දේශනාකොට ඇත. මෙම ශරීරය නව දොරකින් නිරන්තර අපවිත්‍ර දෑ පිටවන්නක් වූ ද, දෙතිස් කුණුප කොට්ඨාසවලින් සැදුම්ලද්දක් වූ ද, තුන්සියයක් ඇට කැබලිවලින් නඟා සිටුවන්නක් වූද, නවසියයක් නහර වැල් ඇතුළත් වූ ද, එකකි. එවැනි ශරීරයක් තුළ කුරුල්ලන්ට කූඩුවක් සේ රෝගවලට තෝතැන්නක් බඳුය. විවිධ රෝගාබාධ හටගනිමින් නිරතුරු බිඳීම්, කැඩීම්, සිඳීම්වලට ලක්වන මෙම ශරීරය පිළිබඳ ප්‍රඥාවෙන් දැක බලා භාවනානුකූලව ජීවිතය ගත කළ යුතුය. ආහාර පාන, ඇඳුම්, පැළඳුම් බේත් හේත් තුළින් නඩත්තු කරන්නා වූ මෙම ශරීරය තුළ සුභවාදී කිසිදු දෙයක් ගැනීමට නොහැක. නිරන්තරයෙන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ලක්ෂණත්‍රයට හසුවෙමින් අපමණ දුක්වලට භාජනය වෙමින් පවත්නා මෙම ශරීරය තුළ කුමන සැපතක්ද? එබැවින් මිනිසත් බව ලැබූ අප කවුරුත් ශරීරයේ යථා ස්වභාවය අවබෝධ කර ගැනීමට නිරතුරු වෙහෙසිය යුතුය. එතුළින් ආධ්‍යාත්මික සුවය ලබා ගැනීමටත්, කෙළෙසුන් මර්දනය කොට විදර්ශනාව ප්‍රගුණ කොට නිවන් සුව ලැබීමටත් අවශ්‍ය මඟ පෑදෙනු ඇත.
මාස්පොත ශ්‍රී ගංගාරාම විහාරවාසී,
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ,
නියෝජ්‍ය පරවේණාධිපති
ගලගෙදර රතන වංශ හිමි
කොබෙයිගනේ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවෙනේ,
නියෝජ්‍ය පරවේණාධිපති
ගලගෙදර රතන වංශ හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ පොසොන් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 12 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment