වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ සිදුවන අපරාධ රැල්ල සීඝ්‍රයෙන් වැඩිවෙලා. මානව දයාව නොපෙනෙන තරම් ඈතට ගිහිල්ල . ඇතැම් මිනිසුන් , නොමිනිසුන් බවට පත්වෙලා. සියල්ල මෙසේ සිදු වුවහොත් රටේ අනාගතයට අත්වන ඉරණම ඛේදනීයයි. මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීම සඳහා කඩවත රාගම පාරේ පහළ කරහමුණ ජයතිලකාරාම වාසී තෙබුවන විපස්සි හිමියන් අප හා එක්වුණා.
ස්වාමින් වහන්ස, අපේ රටේ වෙසෙන පිරිස අතර බහුතරයක් බෞද්ධයන් වුවත් සිදු නොවිය යුතු දේ බොහෝ සිදුවෙයි . මේ සම්බන්ධව ඔබ වහන්සේ දරන ආකල්පය කුමක් ද?
ලෝකයේ බහුතරයක් වූ බෞද්ධ රටවල් අතර ශ්‍රී ලංකාවට හිමිවන්නේ ප්‍රධාන තැනක්. නමුත් වර්තමාන සමාජයේ පවතින තත්ත්වය නම් බොහෝම ඛේදනීයයි. අද ජනමාධ්‍ය මගින් අසා දැනගන්නට ලැබෙන දේ පිළිබඳ විමසිලිමත් වුවහොත් මොනවද මේ අපට අහන්න , දකින්න ලැබෙන්නෙ කියා සිතට වේදනාවක් දැනෙනව. තමුන්ගෙම පුතා අතින් කෲර වද හිංසා වලට ලක්වී මිය පරලොව යන මවුපියන් ගණන අති විශාලයි. අජාසත්තලා වැනි පාපිෂ්ඨ දරුවන් බිහිවන යුගයකද අපි ජීවත් වෙන්නෙ කියල හිතෙනව. ඒ විතරක් නෙවෙයි සැමට ආදර්ශයක් විය යුතු ඇතැම් විදුහල්පතිවරු , ගුරුවරු පාසල් දරුවන් අපචාරයට ලක්කර ඔවුන්ගේ හිරි ඔතප් බිඳ දමන යුගයකට සමාජය අවතීර්ණ වෙලා. රාජකාරි නිම වී තරුණියකට තනිවම මහමග යන්න බැහැ. පාසල ඇරී දූ දරුවන්ට තනිවම තමන්ගෙ නිවසට යන්න බැහැ. ළදරුවකු වුවත් අද තනිව තියන්න බැරි තරම්. කෙටියෙන් කියනව නම් ගැහැණු දරුවකු ගෙදරින් එළියට පිටත් කරන්න බැහැ. පාපී සිතුවිලි වලින් මනස විකෘති වූ කාමාතුරයෝ මාන බලාගෙන ඉන්නව ගොදුර ඩැහැගන්න. අද අපේ සමහර පියවරු තමුන්ගෙම ලෙයින් ජාතක කළ දියණියන්ට අතවර කර අඹුකමටත් තියාගෙන ඉන්න තත්ත්වයට පිරිහිලා.
සමහර වැඩිහිටියන්ට තමන්ගෙ ඥාති දියණිවරුන් හඳුනා ගන්න බැහැ. තවත් අය අසල්වැසි දියණියන්, සොහොයුරියන් හඳුනන්නෙ නැහැ. ලිංගික අතවර වලට ලක් කරනව. දරුවන් තම මවුපියන් හඳුනන්නෙ නැහැ. ඒ නිසා මහ මග යාචකයන් සේ ඇවිදින මවුපියන් වැඩිවෙලා. වැඩිහිටි නිවාස වල අසරණව සිටින පිරිස බොහෝමයි. සත්‍ය අවබෝධ කරගත නොහැකි තරමට මේ අය අන්ධ වෙලා.
මේ තත්ත්වය වෙනස් කිරීමට කුමන පියවරක් ගත යුතු යැයි ඔබ වහන්සේ සිතනවද?
ඇත්තටම අපි මෙන්න මෙතනටයි එන්න ඕන. රටක අනාගතය රඳා පවතින්නෙ කොතැනද? තරුණ පරපුර හා ළමා පරපුර තුළයි. මෙන්න මේ අයට ගුණධර්ම තුළින් යථාර්ථය අවබෝධ කළ යුතුයි. මොකද නැත්නම් ඒ අයත් ආදර්ශයට ගන්නෙ, අනුගමනය කරන්නෙ පෙර සඳහන් කළ දුරාචාර පාප ක්‍රියා වල නිරත වන්නන්ගෙ ක්‍රියා කලාප මේ සැම දෙයකටම සාර්ථක විසඳුම් තථාගතයන් වහන්සේගේ ධර්මයේ පෙන්වා දි තිබෙනවා.
අද සමාජයේ වෙසෙන වැඩි පිරිසකගෙ යථාර්ථය දකින ඇස අඳුරු කඩතුරාවකින් වැහිල. ඒ අඳුරු කඩතුරාව ඉවත් කළ හැකි සාර්ථක ධර්ම දේශනා අද අපට අවශ්‍යයි. අපේ දරුවන් විසින් කුඩා කල සිටම හඳුනාගත යුතුයි. මවුපියන්ගෙ මහා ගුණය. මවුපියන් හඳුනාගත යුතුයි තම දරුවන් පෝෂණය කළ යුතු ආකාරය. දරුවාගේ මනස සංවර්ධනය කළ යුතු ආකාරය.
ලෝකයේ ආගම් 1226 ක් පමණ තිබුණත් අද බටහිර රටවල් ඇතුළු මුළු ලොවම පිළිඅරගෙන තිබෙනවා. බෞද්ධ දර්ශනය තරම් යථාර්ථය පැහැදිලි කරන දර්ශනයක් තවත් නැහැ කියල. මොකද බෞද්ධ දර්ශනයේ සඳහන් ඇතැම් කරුණු අද නවීන විද්‍යාවෙන් පවා තහවුරු කරගෙන තිබෙන නිසා. ඒ උදවිය මවිතයට පත්වෙලා බුදුරජාණන් වහන්සේගේ මහා ප්‍රඥාව පිළිබඳ .
අද අපේ සමහර මවුපියෝ උත්සාහ ගන්නෙ තමන්ගෙ දරුවා අධ්‍යාපනයෙන් හා අධ්‍යාත්මයෙන් පෝෂණය කරන්න නෙවෙයි. පිත්ත අතට දීලා ක්‍රිකට් ගහන්න. අර ස්ටාර් ...මේ ස්ටාර් කරන්න . ඇයි ඒ ජනපි‍්‍රය කරන්න. කොතරම් ජනපි‍්‍රය වුණත් ඇති තරම් මිල මුදල් තිබුණත් වැඩක් නැහැ. ගුණධර්ම වලින් ළමයෙක් පරිපූර්ණ වුණේ නැත්නම් . ඒ වගේම අපේ සමහර මවුවරුන්ගේ විලාසිතා ලජ්ජා සහගතයි. අම්මයි දුවයි අඳුනන්න බැරි තරමට විලාසිතාවන්ට වහල් වෙලා. සමහර කාන්තාවන් පන්සලට එන්නෙත් ස්වාමින් වහන්සෙ ඉදිරියට එන්න බැරි තරමට විචිකිච්ඡාවෙන් ලොවේ තිබෙන සෑම දෙයක්ම අපට ගැලපෙන්නේ නැහැ. අපට අපේම කියල සංස්කෘතියක් තියනව. සදාචාරයක් තියනව. අපි අපට ගැලපෙන දේ පමණක් තෝරා ගත යුතුයි.
ස්වාමින් වහන්ස වර්තමානයේ උද්ගත වී තිබෙන දුර්වලතා නිවැරැදි කරගෙන අනාගතයට යහපත් පුරවැසියන් පිරිසක් බිහි කිරීමට කුමන ක්‍රියා මාර්ගයක් ගත යුතු ද?
මේ සම්බන්ධව අද කොතෙකුත් වැඩ සටහන් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒවායෙන් යම් අඩුපාඩු තියනවා. දැන් බලන්න. කොළඹ ප්‍රදේශයෙත්, කැලණිය, බෙල්ලන්විල ,කළුතර වැනි සුප්‍රකට විහාරස්ථාන වලත් තරුණයන් සහ තරුණියන් විශාල පිරිසක් සිල් සමාදන් වෙනවා. වගේම භාවනා වැඩ සටහන් වලට සහභාගි වෙනව. නමුත් ග්‍රාමීය ප්‍රදේශ වල මේ තත්ත්වය හුඟක් වෙනස්. එක දහ දෙනෙක් වත් සොයාගන්න බැහැ සිල් සමාදන් වූ තරුණ පිරිස. ඒවෙනුවට පන්සල පුරාම දැක ගන්න හැකිවෙන්නෙ හරියකට ඇවිදගන්නවත් බැරි සිරුර ඍජුව තබාගෙන භාවනාවේ නිරත වන්න බැරි, ඇසීම හා පෙනීම දුර්වල, මතක ශක්තිය දුර්වල වයෝවෘද්ධ පිරිසක්. ඉතින් කොහොමද යමක් අවබෝධ කරගන්නෙ. මේ තත්ත්වය වෙනස් විය යුතුයි.
අපේ බුදුරජාණන් වහන්සේ ලෝකයටම ප්‍රධාන කොටම පෙන්වපු දෙයක් තමයි. උන් වහන්සේ ධර්ම ප්‍රචාරය කිරීම සඳහා තෝරාගනු ලැබුවේ හොඳ ජව සම්පන්න තරුණ වයසෙ අය බව ? හොඳ ධාරණ ශක්තියක් ඇති, හොඳට පයින් ගමන් කළ හැකි, අවබෝධ කරගත් දේ යළි ප්‍රකාශ කළ හැකි කඩිසර වීර්ය වන්ත අය, ඒ මොකද උන් වහන්සේ දැනගෙන හිටියා තමන් වහන්සේගේ දර්ශනය ඉදිරියට ගෙන යා හැකි වන්නේ තරුණ පිරිස මාර්ගයෙන් බව. මේක හො¼ඳ ආදර්ශයක්. අනාගතයට යමක් දිය යුතු වගේම ආරක්‍ෂා කර ගත යුතු නම් එය අනාගතය භාර ගත යුතු පිරිස අතරටම ගෙන යා යුතුයි. ඒ නිසා වර්තමානයේ
පවත්වන ධර්ම දේශනා රටාව වෙනස් කළ යුතු වෙනව. කොළඹට පමණක් සීමාවෙලා තිබෙන ධර්ම දේශනා වැඩසටහන් - ග්‍රාමීය මට්ටමට ගෙන යා යුතු වෙනව. ඒ සඳහා අපේ ප්‍රවීණ ධර්ම දේශකයාණන් වහන්සේ වගකීමෙන් යුතුව කටයුතු කළ යුතුයි.
ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ අදහස අනුව ග්‍රාමීයව වෙසෙන අයට ධර්මය පිළිබඳ දැනුම අවමයි කියල ඔබ වහන්සේ සිතනවද?
නැහැ! මම එහෙමම කියන්නේ නැහැ. ගැඹුරු දහම පිළිබඳ අවබෝධයක් තිබෙන පිරිසක් ග්‍රාමීයව විශාල වශයෙන් ඉන්නව. නමුත් ඒ අයට තමන්ගෙ දැනුම වර්ධනය කරගන්න, දහම් ගැටලු වලට විසඳුම් ලබා ගන්න තිබෙන ඉඩ කඩ අවමයි. සමහර ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවකට වැඩම කරවන්නත් ඒ අය ආර්ථික වශයෙන් ශක්තිමත් නැහැ. මොකද ඇතැම් ස්වාමින් වහන්සේ ක්‍රියා කරන්නේ කොන්දේසි ඇතිවනේ?
නමුත් බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයාණන් වහන්සේට හැකි උපරිමයෙන් ධර්ම ප්‍රචාරයේ යෙදෙන ලෙස දේශනා කළා. අපේ ගම්වල උසස් බුද්ධියක් ඇති, හොඳ ධාරණ ශක්තියක් ඇති තරුණ පිරිස් විශාල ලෙස ඉන්නව. අවාසනාවකට වගේ මේ අයට නිතර අහන්න ලැබෙන්නෙ සම්ප්‍රදායික බණ කතා, ජාතක කතා, වගේ දේවල් . මේවා ශ්‍රවණය කිරීමෙන් පමණක් ජීවිතේ යථාර්ථය දකින්න බැහැ. අද අවශ්‍ය බණ කතාම නොවෙයි. අනුශාසනා ධර්ම සාකච්ඡාවල වටිනා ධර්ම කරුණු තර්කානුකූලව සාකච්ඡා කරන්න ඒ අයටත් අවස්ථාව උදාකරදීමට භික්‍ෂූන් වහන්සේ වශයෙන් අපට විශාල වගකීමක් තිබෙනවා. මොකද අද සමාජය පිරිහිලා තිබෙන තරමට හෙට දවසෙ තත්ත්වය බොහොම භයානකයි. එනිසා තරුණ ළමා පිරිස් විවිධ හරවත් බෞද්ධ වැඩසටහන් වලට සහභාගි කරගෙන තථාගතයන් වහන්සේගේ දර්ශනයෙන් ඒ අය ගෙ මනස සන්නද්ධ කළ යුතු වෙනව. ඒ තුළින් ඒ අයගෙ සිතුම් පැතුම් යහපත් ආකාරයට ක්‍රියාත්මක වේවි. අද අපේ රටේ නොයෙකුත් සංවිධාන සමිති සමාගම් තිබෙනව. මේ අයට පුළුවන් විවිධ බෞද්ධ වැඩසටහන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරන්න.
ස්වාමින් වහන්ස, විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේගේ අඩුවක් අද අපට තිබෙන බව ඔබ වහන්සේ විශ්වාස කරනවද?
ඇත්ත වශයෙන්ම ඔව්! සමහර උන් වහන්සේට මේ සම්බන්ධව හැකියාව උපරිමයෙන්ම තිබෙනවා. නමුත් ධර්ම ප්‍රචාරය සඳහා දක්වන උනන්දුව ඉතා අඩුයි. සමහර උන්වහන්සේ නම් ධර්ම දේශනයකට තබා ගිහියකුගෙ පාංසකූලයකට මතක බණකට දානයකට , පිරිතකටවත් වඩින්නේ නැහැ. එහෙත් බුදුරජාණන් වහන්සේ හීල දහවල දානය සඳහා ගම් දනව් පුරා පිණ්ඩපාතයට වැඩම කළා විතරක් නෙවෙයි අතර මගදී ලැබෙන අවස්ථාවලදීත් ධර්මය දේශනා කළා.
උන් වහන්සේ ඇති නැතිකම් බැලුවේ නැහැ. සුනීත සෝපාකගේ ඉඳල බිම්බිසාර රජතුමා කොසොල් රජතුමා දක්වා ධර්මය දේශනා කළා. ඒ අයගෙන් ලැබෙන දානය එක සමානව පිළිගන්න තරමට උන්වහන්සේ නිහතමානි වුණා. ඒ කිසිදුලාභ අපේක්‍ෂාවකින් නොවෙයි. ඒ අයගෙ සිත සුව පිණිස
ඔබ වහන්සේගේ ප්‍රකාශවල යම් විවේචනාත්මක ස්වරූපයක් තිබෙනව කියල මට හිතෙනවා.
සත්තකින්ම ! හැබැයි මම කාටවත් ඇඟිල්ල දිගු කර චෝදනා කරන්නෙ නැහැ. මොකද අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය අනුව ගමන් කරන බුද්ධ පුත්‍රයන් වහන්සේ අපේ යුතුකම අපේ වගකීම වන්නේ සත්‍ය අවබෝධ කරගැනීමට ප්‍රඥාව නමැති ඇස් අන්ධභාවයෙන් සුවපත් කිරීමට සද්ධර්මය නමැති ඖෂධය ලබා දීමට කටයුතු කිරීමයි. අද සත්‍ය සෙවීමට උනන්දු වන්නන්ගෙ ප්‍රවණතාව වැඩියි. තරුණ පිරිස මේ සඳහා දක්වන උනන්දුව සතුටු විය හැකි කාරණයක්. නමුත් අපේ සමහර දේශකයාණන් වහන්සේ ධර්ම දේශනයකට වැඩම කරවීමත් පහසු කාර්යයක් නොවෙයි. සංවිධාන කටයුතු වලදී නොයෙක් කැපකිරීම් කරන්න වෙනව. ඒ පිළිබඳ අපි කනගාටු විය යුතුයි.
තථාගතයන් වහන්සේ ධර්ම දේශනා සඳහා ගව් ගණනක් පාද චාරිකාවේ යෙදුණා. උන් වහන්සේට නවීන පන්නයේ ශබ්ද විකාශන යන්ත්‍ර ඕන වුණේ නැහැ. අධි සුඛෝපභෝගී වාහන ඕන වුණේ නැහැ. බැලූ අත හිස් ගෙඩි වලින් ශාලාව පිරිල තිබෙන්න ඕන වුණේ නැහැ. වටිනා පිරිකර උන්වහන්සෙ අපේක්‍ෂා කළේ නැහැ. උන් වහන්සේ ඉතා සරලව හා සාර්ථකව ධර්මය දේශනා කළා. එහි සාර්ථකත්වය නිසා අන්‍ය ආගමික බැතිමතුන් පවා බුදුරදුන්ගේ දේශනාවලට සවන් දුන්නා. ඒ සියලු දෙනාටම උන් වහන්සේ ධර්මය දේශනා කළා.
නාගරික මෙන්ම ග්‍රාමීය මට්ටමින් ධර්ම දේශනා පැවැත්වීමට ඔබ වහන්සේ යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවද?
ඔව්! මට අවශ්‍ය වී තිබෙන්නෙ මේ ජනපි‍්‍රය ධර්ම දේශනවලට සහභාගි වීමට නොහැකි අසරණයන්ට ඒ අවස්ථාව උදාකර දෙන්න. මම පසුගිය දිනක වැඩම කළා පොළොන්නරුව වැලිකන්ද සූරියවැව කියන මායිම් ගම්මානයට . ඒ අයගේ ජීවන රටාව දැක්කම විස්තර කරන්න බැරි වේදනාවක් දැනුණේ. ඒ අයට ඉදිරියේ පැන නගින ගැටලු වලට සාර්ථකව මුහුණ දිය යුතු ආකාරය, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය උපයෝගී කරගෙන පෙන්වා දුන්නා. එයින් ඒ උදවිය පුදුමාකාර සැනසිල්ලකට පත් වුණා. එහි තිබෙන එකම සිංහල පාසල පන්ති පහ දක්වා ක්‍රියාත්මකයි. නමුත් ගුරුවරු දෙන්නයි වෙන කිසිම ගුරුවරයෙක් යන්නෙ නැහැ. බුද්ධ ධර්මය යම් තරමින් හරි උගන්වන්න ඉන්නෙ ස්වේච්ඡා ගුරුවරියක්, ඒ ඇත්තිගෙ ආර්ථික ප්‍රශ්න නිසා පාසලට එන්නෙ දවසයි. දෙකයි. අන්න ඒ ගුරුවරියගෙ ආර්ථික ගැටලුවට නිසි විසඳුමක් ලබා දෙන්න සංවිධානයක් හෝ ආයතනයක් ඉදිරිපත් වෙනව නම් ඒ ගුරුවරිය අර අසරණ දරුවන්ට හැමදාම දහම් අධ්‍යාපනය ලබා දේවි. මොකද ඒ ළමයි හරි උනන්දුයි ඉගෙන ගන්න. විශේෂයෙන් බුද්ධ ධර්මය පිළිබඳ.
එවැනි සමාජ සත්කාර තුළින් වටිනා සේවයක් කළ හැකි වෙනවා. අනික මහා සාගරයට ජලය ස්වල්පයක් වත්කළාට වඩා නියඟයට හසුවුණු හේනකට ජලය ස්වල්පයක් වක්කිරීම හොඳයි. එයින් වටිනා අස්වැන්නක් ලබාගන්න පුළුවන්.
කොහොමත් අපි වපුරන දේ තමයි, අස්වැන්න ලෙස ලැබෙන්නෙ. ඒක මට විතරක් නොවෙයි. කාටත් පොදුයි. ජීවිතයේ යථාර්ථය නුවණ කියන ඇසින් දකින්න ඕන. අවසන් වශයෙන් සියලු දෙනාට සත්‍ය අවබෝධ වී, මෛත්‍රී සිත් ඇති වී, යහපත් පුරවැසියන් වේවායි මම ප්‍රාර්ථනා කරනව.
සැමට තෙරුවන් සරණයි.
තෙබුවන විපස්සි හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2551 ක් වූ මැදින් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2008 ක් වූ අප්‍රේල් මස 05 වැනි සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment