බුදුරජාණන් වහන්සේගේ පහළ වීමෙන් මේ විශ්වයටම සැලසුණේ මහත් ශාන්තියක්. සැබැවින්ම එය සැනසිල්ලක්. ධර්මය අමෘතයක් වගේ. එය පානය කරන්නාටයි එහි රසය දැනෙන්නේ. ධර්මය හා සමාන ඖෂධයක් තවත් නැත. එය පානය කිරීම තුළින් දුක නසන මඟ හඳුනා ගත හැකිය.
ස්වාමින් වහන්ස, දුක නසන මඟ යනු කුමක්ද?
මේ ලෝකයේ විවිධ මාර්ග තිබෙනවා. ධනය උපයන මාර්ග, ඇස, කන, නාසය, දිව, කය සතුටු කරන මාර්ග තිබෙනවා. ඉර, හඳ තරණය කිරීමටත් විවිධ මාර්ග තිබෙනවා. ඒ කුමන මාර්ග තිබුණත් මිනිසාගේ දුක නසන මාර්ගය වන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මාර්ගයන් අතර, සැනසීම ලැබෙන මාර්ගය එයයි. මේ සත්ත්වයන් අතරට පහළ වූ වටිනාම සත්‍යය ආර්ය සත්‍යය යි. මොන දහම් කරුණ තිබුණත් කුමන දර්ශනය පහළ වුවත්, රාගික සිත විරාගී චරණය පරිවර්තනය කරන්න පුළුවන්නම් එයයි නියම මාර්ගය. එතැනයි දුක නසන මාර්ගය මෝදු වන්නේ. දෙපා ඇත්තන් අතර තථාගතයන් වහන්සේමයි ශ්‍රේෂ්ඨ වන්නේ.
බුදුරජුන් ලොව පහළ වන්නේ ඇයි?
බුදු කෙනෙකු මේ ලෝකයට පහළ වන්නේ එක් එක් සොයාගැනීම් උදෙසා නොවේ. උන්වහන්සේ පහළ වන්නේම දුක සහ දුකෙන් එතෙරවන මාර්ගය පෙන්වා දීමටයි. අප සැප කියා අල්ලා ගන්නේ දුකමයි. මැරෙන මිනිසුන් නැවත නැවත මරණයද, අඬන මිනිසුන් නැවත නැවත ඇඬීමද, දිරන මිනිසුන් නැවත නැවත දිරීමද අල්ලා ගනිමින් අස්ථිර ලෝකයේ ස්ථිර යැයි ප්‍රාර්ථනා කරමින් දූවිලි මාළිගා ගොඩ නඟමින් සිටියි. ඒවා කඩා වැටුන දිනක මේ සිත හඬා වැටේ. පශ්චත්තාප වෙයි. ඒනිසා සැප යැයි සිතා අප නැවත නැවත අල්ලා ගන්නේ දුක නිසා සසර දුක නසන මඟ තෝරා ගැනීමට අපහසු වී තිබෙනවා.
දුක කියන දේ අප කායිකව සහ මානසිකව දැඩි පීඩාවට පත් කරනවා. ඒ වගේම මේ දුක නැත්නම් පංචඋපාධානස්කන්ධ නමැති ලෝකය වගේම භෞතික ලෝකය හට ගෙන තිබෙන්නේ හේතු ප්‍රත්‍යයන්ගෙන්. ඒ ලෝකය නැමැති කය වහා වෙනස් වෙනවා. යමක් අනිත්‍යනම් එහි ප්‍රතිඵලය දුකමයි. ඒ වගේම මේ ලෝකයේ සියල්ලම අනිත්‍යයි. ඒ නිසා තේරුම් ගන්න හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගත් නිසා දුක කියන දේ සැඟ වී තිබෙන බව. ඒ වගේම එහි දුක කියන කාරණය ඇතුළත තැවීම කියන දේ අයිතිය. තැවීම දුකක්. ප්‍රඥාව මදකම නිසාම සැප සැප කියමින් දුකම බදාගන්නා නිසා උපාදානය කර ගන්නා නිසා අප හැම මොහොතකම තැවෙනවා. ඇසෙන් රූපයක් දුටුවත්, අප තැවෙනවා. අප දකිනවා අලුතෙන් ඉදිවූ නවීන පන්නයේ නිවසක්. අප හිතනවා හරි ලස්සනයි කියා. එයට උපාදාන වී ඒ නිවස අප සිතින් අල්ලා ගන්නවා. මටත් මෙහෙම නිවසක් තිබුණානම් කියා සිතනවා. තැවෙනවා. ඒනිසා අප හැම මොහොතකම දුකෙන් තැවෙනවා. ඇස, කන, නාසය, දිව, කය හරහා අප තැවීමකට ලක් වෙනවා. ඊට අමතරව මනසිකාර හරහා මනසින්ද අප තවනවා. ඡන්දය ඇති තැන තැවීමක්ද ඇත.
ධනවත්කම දුප්පත්කමටත්, දුප්පත්කම ධනවත්කමටත් හැරීමට වැඩි වේලාවක් ගත නොවේ. දුක අප තුළම සැඟ වී තිබෙනවා. එය කාසියක දෙපැත්ත වගේ. දුකේ පැමිණීම වෙස් වළාගෙනයි එන්නේ. අප පෙළෙනවා. හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගත් නිසාත් දුකයි. විවිධාකාරයෙන් පෙළෙනවා. ඒ වගේම වෙනස් වීමෙන් එන්නේ දුකම තමයි. ඒ නිසා සසර දුක නසන මඟ ඉගෙනීම වැදගත් වෙනවා.
අප ජීවත්වන ලෝකය තුළ දුක කියන දේ නසා දැමිය හැකිද?
අද ලෝකය තුළ ධර්මය දුර්ලභ නැහැ. ඒ වගේම ධර්ම ශ්‍රවණයත් දුර්ලභයි කියා සිතන්න අමාරුයි. මේ ධර්මයේ සැඟවුන රහස් නැහැ. කෝටි සංඛ්‍යාත පිරිසක් මේ ධර්මය අවබෝධ කරගෙන දුකෙන් නිදහස් වෙලා තිබෙනවා. එනිසා මේ ධර්මය කියවන්න. ත්‍රිවිධ ප්‍රඥාවෙන් බලවත් වෙන කෙනා ධර්මය තුළම රැදෙනවා. ඒ වගේම බොහෝම දුක ඇති දුකෙන්ම පීඩා විඳින අට තැනක් ධර්මයේ සඳහන් වෙනවා. ඒ උප්පත්ති වල උපන් අයට මඟඵල ලැබිය නොහැකියි. ඒ අට මහා නිරයේ, තිරිසන් යෝනියේ, පේ‍්‍රතයෙකු වී, යම් කෙනෙක් අසංඥතල ලෝකවල ඉපදුන විට, ධර්මය නොමැති පළාතක උපත ලැබූ විට, මිත්‍යා දෘෂ්ඨික පවුලක උපත ලැබූ විට, සහ බුදුවරයෙකු ලෝකයේ පහළ නොවූ අවස්ථාවකත් මාර්ගඵල ලාභියෙකු විය නොහැකියි. අප ඒ කරුණ අතරින්ම මිදිලයි සිටින්නේ. මේ කරුණු අටෙන් බේරීමට ඕනෑම කෙනෙකුට ශක්තිය ඇත්නම්, ධෛර්ය ඇත්නම්, නුවණ ඇත්නම් මඟඵල ලැබිය හැකිය. එවිට සැබැවින්ම දුක නසා සැනසුම ලබන්නට පුළුවන්.
මේ දුක නසන්නට බෝධි සත්ත්වයන් වහන්සේ ක්‍රියාත්මක වුණේ කෙසේද?
බෝසතාණන් වහන්සේ මේ අසිරිමත් බුද්ධ රාජ්‍යයට පත්වෙන්නට අවශ්‍ය නිසා ලබාගන්න තිබු නිවන් සුව අතහැර දමලායි සසරේ ගමන් කළේ. අප නිතරම මගේ, මගේ, මගේ . මට අයිති දේ ආදිය කියමින් සියල්ල අල්ලා ගෙනයි ඉන්නේ. මේ දහම උඩුඟං බලා යාමක්. ඒ අමාරු ගමන තමා උන්වහන්සේ යථාර්ථය ලෙස පෙන්වා දුන්නේ. උන්වහන්සේ බෝසත් කාලයේ පටන් තිබුණා සසරට වැටුණු සත්ත්වයන් පිළිබඳව පුදුමාකාර මහා කරුණාවක්. බුදු සිතක් ඇතිවන්නේ මේ කරුණාවත් සමඟයි. "මම එතෙර වී අන් අයත් සසරින් එතෙර කරවමියි" කියන සිතිවිල්ල උන්වහන්සේට තිබුණා. දීපංකර පාද මූලයේදී එදා අරහත් බව පසක්කර ගන්නට අවස්ථාව තිබුණත් උන්වහන්සේ එය අතහැර බුදුබව සඳහාමයි විවරණ ගනු ලැබුවේ. එයට හේතුව සසර මහ දුකක් කියා උන්වහන්සේ දැන සිටිය නිසයි.
පසුගිය කාලය ගැන බලන්න. මහා වරුසා ඇද හැලුණා. ඇළදොල ගංගා පිරී ඉතිරි ගියා. ජල කඳ වියරු වී ඒ ජල කඳින් මිනිසුන් පවුලේ සියලු දෙනා එකටම යට වුණා. මේක තමයි දුක කියන්නේ. බාහිරව දුකක් ආ විට අප “අනේ කරදරයි” කියා සිතනවා. බුදුරජාණන් වහන්සේ ඒකයි කළු කර්ම, සුදු කර්ම ගැන වදාළේ. ඒ නිසා කිසිම තැනක සැප නැතිබව දකින්න. මහණෙනි, මේ වැලි ගොඩින් එක වැලි කැටයක තරම් සැපයක් මේ ලෝකයේ නැහැ කියා දිනක් උන්වහන්සේ වදාළා. නිත්‍ය වූ දෙයක් නිත්‍ය වූ සැපක් ලොව තිබෙනවා නම් බුදුවරු මේ ලෝකයට අවශ්‍ය නැති බව වදාළා. මේ මහා විපතේදී බෝධිසත්ත්ව ගුණ අප මිනිසුන් තුළින් දුටුවා. ගංඟා ගලා බසින්නේ ගඟ උදෙසා නොවේ. ඉර පායන්නේ ඉර සඳහා නොවේ. සඳ පායන්නේ සඳ උදෙසා නොවේ. ඒ අනුන් සඳහා යි. ඒ පායන සඳේ ආලෝකය, සිසිලස පැල්පතටත්, රජ මැදුරටත් වෙනසක් නැහැ. ගඟටත්, වනාන්තරයටත්, දෙන්නේ එකම එළිය. සඳ සෑම ස්ථානයකටම ආලෝකය දුන්නාට ඒ ඒ තැනට ඇලීමක් නැහැ. චන්ද සූත්‍රයේදී උන්වහන්සේ වදාළා මේ දුක නසන්නට නම් “චන්දෝපමපටිපදාවෙන්” සන්නද්ධවෙන්න කියා. ඒ නිසා අවශ්‍ය උපකාරය කරන්න. එතැන ඇලෙන්න එපා. ඒකයි චන්දෝපමපටිපදාව. බෝසත් චරිතය තුළ ඒ බව තිබුණා. මේ ආකාරයට බලන විට බෝධිසත්ව අවධියේ සිට නිතරම නික්මීම පුරුදු කර තිබුණා. ඒ වගේම සිතේ අනවශ්‍ය සිතිවිලි ඈත් කර පවිවේකී මනසක් අවශ්‍ය බව දැනගෙන සිටියා. ඒ වගේම නිර්ලෝභි මනසක් හදා ගත්තා. බුර බුරා එන පටිඝය අඩුකර ගත්තා. ඒ වගේම නිතර මංමුලා වූ සිත ධර්මානුකූලව අසිරිමත් විද්‍යාවෙන් ඥානයට පත්කර ගන්න පුළුවන් නම් එයයි උතුම් වන්නේ. මේක දුකයි කියන දේ තහවුරු කරගෙන ගමන ගියොත් බෝසතාණන් වහන්සේ වැඩි මඟ ගියා වෙනවා.
සසර දුක නැත්නම් සංසාරය කියන්නේ මහා ගඟක් වගේ දෙයක්. ගඟ තරණය කරන කෙනෙක් එහි සැඬ පහරට බයයි. කිඹුලන්ට බයයි, දිය සුළියට හසුවෙයිද කියා බයයි, භයානක මත්සයන්ට හසුවීමත් බයක්. ඒ ගඟේ ඇති බාධක. සිත හදාගෙන සසර ගමන යන කෙනෙකුට තිබෙන්නේ මේ බාධක කියා බුදුරජාණන් වහන්සේ වදාළා. ගගේ රැළි සැඬපහර තිබෙන බව ඇත්තයි. නමුත් සිතේ කොහේද සැඬ පහර තිබෙන්නේ. රැළි කොහිද? අපේ සිතේ කේන්තිය සැඬ පහරයි. ඒක තිබුණොත් අපව මනුස්ස ලෝකයෙන් පහළට ගසාගෙන යනවා. කිඹුලාට උපමා කළේ ගිජුකමයි. එයද නිවනට බාධාවක්. දිය සුළි වලට හසුවුණොත් භයානකයි. අපේ ජීවිතයේ දියසුළි පහයි. ඒ පංචනීවරණයි. ඒවාට සිත දුබල කරනවා. එහිදී පහළට වැටෙනවා. මත්ස්‍ය බිය කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචවිධ නිසාද අපව පහළට වැටෙනවා.
ඒ නිසා මේවායින් ආවරණය වුණොත් අපට පුළුවන් සසර ගමන පනින්න. මේ ගඟේ සැඬ පහරේ තිබෙන ප්‍රබලත්වය ව්‍යසනය අවබෝධ කොටගෙන ආශාව,ලෝභය කියන දෙයින් මේ සිත මුදවාගෙන කුසල් තුළින් සිත ප්‍රභාෂ්වර කරගෙන සියලු දුකින් මිදීමටත්, සත්‍ය දැකීමටත් ප්‍රඥාව පහළ වේවා.
මාලඹේ, අරංගල ශ්‍රී ශෛලාරාමාධිපති
කථිකාචාර්ය දර්ශනපති,
රාජකීය පණ්ඩිත
ඇත්කඳුරේ සුමනසාර හිමි
ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ පොසොන් පුර අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 12 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි
No comments:
Post a Comment