Labels

Monday, June 6, 2016

වෙසක් සමයයි පොහොය දවසයි


බුදු රජාණන් වහන්සේ උදෙසා බෞද්ධයන් විසින් ගෞරව නමස්කාර කරනු ලබන වෙසක් සමය උදා වී තිබුණා. වෙසක් සමරනවා යන්න ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ උදෙසා පවත්වනු ලබන බුද්ධ පූජාමය පින්කමක්. එහෙත් වර්තමානයේ බොහෝ දෙනා මේ බුද්ධ පූජාව වැරැදි ආකාරයෙන් සිදු කරනු ලබන බවයි පෙනෙන්නේ. එම නිසාම කුසල් රැස් කිරීම දුරස් වී අකුසල් රැස් කර ගැනීම කෙසේ වෙතත් මේ නිසා සමාජයේ පරිහානිගත ලක්ෂණ මතුවන බවයි පෙනෙන්නට ඇත්තේ. මේ නිසා වෙසක් පෝය දිනය කෙසේ සැමරිය යුතුද යන්න ගැන අප මනා අවබෝධයක් ලබා ගත යුතු වනවා.

වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් සමස්ත ලක්වාසී ජනයාටම දින දෙකක නිවාඩුවක් ලබා දෙනවා. මේ නිවාඩුව ලබා දෙන්නේ බුදුරජාණන් වහන්සේට කරනු ලබන බුද්ධ පූජාමය කටයුතු උදෙසා මිස වෙනත් උත්සව සැණකෙලි ආදී කටයුතු සඳහා නෙමෙයි.
මේ නිසා වෙසඟේ නිසි අර්ථය පළමුවෙන්ම අප දැනගත යුතු වනවා.

නමුත් මේ දෙදින නිවාඩුව අපට ලබා දෙන්නේ ඇයිද යන්න ගැන මනා අවබෝධයක් සිංහල බෞද්ධ ජනතාව තුළ නොතිබීම ඇත්තෙන්ම කනගාටුදායකයි.
මේ නිසා රටේම අවධානය මේ වෙසක් පුන් පොහොය සැමරීම ගැන යොමු කළ යුතු වනවා. වෙසක් පුන් පොහෝ දිනය සැබැවින්ම බුදුරජාණන් වහන්සේ උදෙසා පමණක් නොව තමන්ගේ තුන් දොර සංවර කර ගැනීමටත් යොදා ගැනීමයි මෙහිදී වැදගත් වන්නේ.
එහෙත් මඳක් සිතා බලන්න, ඔබගේ මනස යොමු කරන්න අද වෙසක් දිනයේදී සිදු වන්නේ තුන් දොර සංවර කර ගැනීම වෙනුවට සිත කය වචනය යන තුන්දොර අනිසි ලෙසින් හසුරවා ගැනීමට කටයුතු කිරීමයි. ඇස් කන් පිනවීම නැත්නම් කාමාශාවන් වර්ධනය කර ගැනීමයි ඇතැම් විට වෙසක් සමයේ සිදු වන්නේ. මේ කාර්යය වෙසක් දිනවලදී කිරීම සුදුසු වන්නේද එසේ කරන්නේ නම් අප බෞද්ධයන් ලෙස සැලකිය හැකිද

වෙසක් පුන් පොහෝ දින පමණක් නොව සියලුම පොහෝ දිනයන්හිදී තුන් දොර සංවර කර ගනිමින් ප්‍රතිපත්ති පූජාවට නැඹුරු කර ගත යුතු වනවා. සිත කය සංවර කරගෙන භාවනාදී කර්ම කෙරෙහි අවධානය යොමු කළ යුතු වනවා. වෙසක් පුන් පොහෝ දිනයේදී අප රටේ බොහෝ බෞද්ධයන් පිරිසක් සිල් සමාදන් විම කැපී පෙනෙන සිදුවීමක් ලෙසින් දක්වන්න පුළුවන්.
එය බෞද්ධයන් ලෙසින් අපට සතුටුවීමට හැකි කරුණක් වුවත් තවමත් අප රටේ බොහෝ දෙනා ප්‍රතිපත්ති පුජාව නිවැරැදිව හඳුනාගෙන නොතිබීම සැබැවින්ම කනගාටුවට කරුණක්ව තිබෙනවා.

විශේෂයෙන් වෙසක් පුන් පෙහොය දිනයේ පළමු දිනයේදී සිල් සමාදන්විම භාවනා කිරීම ධර්මය ශ්‍රවණය කිරීම වැනි ප්‍රතිපත්ති පූජාවල යෙදීම ඉතාම වැදගත් වනවා. එමෙන්ම වෙසක් උදෙසා වන දෙවන දිනයේදී දන්සල් පැවැත්වීම, බැති ගී ප්‍රසංග, තොරණ ප්‍රදර්ශනය ආදී කාර්යයන්ගේ නිරත වීම වැදගත් වනවා.

එහෙත් අද සිදුවන්නේ වෙසක් පුන් පොහොය යෙදෙන දිනයේ සිටම දන්සල් බැති ගී තොරණ ආදිය පැවැත්වීමයි. මේ නිසා වෙසක් දින ධර්ම දේශනා පිණිස වැඩම කරනු ලබන භික්ෂූන් වහන්සේ නමකට මාර්ගයේ ගමන් කිරීමට නොහැකි වන තරමට මාර්ග අවහිරතා ඇති වීම මේ ක්‍රියාදාමයේ එක් ප්‍රතිඵලයක්. එමෙන්ම සිල් සමාදන් වන උවැසි උවැසියන්ටද නිසි පරිදි එම කාර්යය කර ගැන්මට නොහැකිව තිබෙනවා. ඇතැම් විට වයෝවෘද්ධ අයගේ දුව හෝ පුතා පැමිණ තම මව හෝ පියා විහාරස්ථානයෙන් කල් වේලා ඇතිව කැඳවාගෙන යන්නේ තොරණ බලන්නට යාමට ඇති නිසයි. තවත් විටෙක සිල් සමාදන් වූ උවැසි උවැසියන්ම වෙසක් අසිරිය බලන්නට යාමට කල්වේලා ඇති ව විහාරස්ථානයෙන් බැහැර වනවා. එතැන ප්‍රතිපත්ති පූජාව නිසි පරිදි රැකෙන්නේ නැහැ.

මේ නිසා දන්සල් තොරණ මෙන්ම බැති ගී ඇතුළු බොදු බැතිය වඩවන සියලු දේ වුවද කිසිදු ආකාරයක පළමු දිනයෙදී පැවැත්වීම කිසිසේත්ම අනුමත කළ නොහැකියි. එය අනාගත පරපුරට ලබා දෙන වැරැදි ආදර්ශයක් බව කිව යුතු වනවා.

එහෙත් අද බොහෝ දෙනා ප්‍රතිපත්ති පූජාව පසෙක තබා කරනු ලබන මේ ආමිෂ පූජාවන් බෞද්ධයන් වන අපට මදිකමක් ලෙස අප සිහි තබා ගත යුතු වනවා.
ඇතැම් අය දන්සල්වල පෝලිමේ සිටින්නේ සිල් ඇඳුම පිටින්මයි. ඇතැම් අය තොරණ බලන්න යන්නේ ද ඒ ආකාරයෙන්. සිල් ඇඳුමට අප ගරු කළ යුතු වනවා. සිල් ඇඳුම නිවසේ සිට විහාරස්ථානයටත් විහාරස්ථානයේ සිට නිවසටත් පමණක්ම බව දැන ගත යුතු යි.
මහ මඟ ඇදගෙන ගියද ඒ ඇඳුමින් සැරසී උස් අසනක අසුන් ගැනීම පවා නොකළ යුතු බව අප තේරුම් ගත යුතුයි. එය ඇඳුමට පමණක් නොව වෙසඟටද කරුනු ලබන නොපනත්කමක් බව අප මැනවින් සිහි තබා ගතු යුතු වෙනවා.

අද වෙසක් කලාප වෙසක් ඇති කරගනිමින් ඇතැමුන් සැණකෙලි පවත්වනු ලබන බවක් ද පෙනෙන්නට තිබෙනවා. බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ වෙසක් සමයේ අප සැණකෙළි පවත්වමින් කතුරු ඔංචිල්ලා පදිමින් මැරිගෝ රවුන්ඩ් යමින් විනෝද වීම සුදුසුයැයි සිතන්නේද හොල්මං ගුහා වලට ගොස් අප සිදු කර ගන්නේ කුමක්ද එතැන තවත් ව්‍යාපාරයක් සිදු වන්නේ. වෙසඟත් අලෙවියක් කර ගෙනයි තිබෙන්නේ.

කලක් ඔළුබක්කන් දර්ශන පැවැත්වූවා. එය නීතියෙන්ම තහනම් කරන්න සිදු වුණා. අදත් ඇතැම් අය වෙස් මුහුණු දමා ගෙන විවිධ කාර්යයහි නියැළෙනවා. එයත් අනුමත කරන්න පුළුවන් කාර්යයක් නෙමෙයි.
එදා පෝය දවස් හතරෙම පන්සල ඇසුරු කර ගනිමින් හෙළයා ජිවත් වුණා. එදා පෝය දින විනෝද ගමන් ගියේ නැහැ. දින විසි හයක් වැඩ කර එදා තමයි විහාරයට ගොස් ආගමික වැඩ වැඩි වශයෙන් සිදු කරනු ලැබුවේ පවුලේ සැම එකට පන්සල්ගියේ. බෞද්ධ ප්‍රතිපදාවක් අප හදා ගත්තා. පෝය දවස්වල නොකළ යුතු දේ එනම් කාමය මෝහය උද්දීපනය වන කිසිවක් අප කළේ නැහැ. එදා පොහෝ දින වෙස්සන්තර ජාතකය කිව්වා. අද එවන් බොදු කාර්යයන්ගේ නියැළීමක් අද දක්නට නැහැ.

අද වෙසක් දිනයේ පාරට බැහැපු ගමන් කියන්නේ 'කෝ මේ පාර වෙසක් නැහැනේ. දන්සලුත් අඩුයි,'

හැබැයි එහෙම කියනා කෙනා දන්සලකට තොරණකට සතපහක් දෙන්නේ නැහැ. අපේ බෞද්ධ උරුමයත් අප රැක ගත යුතු වනවා. ඒ සඳහා අප මුදලින් කාලයෙන් ශ්‍රමය ආදියත් අප කැප කළ යුතුයි. ඒ එකදු කාර්යයකවත් නියැළෙන්නේ නැතිව වෙස‍ඟේ අඩුපාඩු සෙවීමත් බෞද්ධයන් ලෙස අනුමත කරන්න බැහැ






ශ්‍රී රෝහණ පාර්ශ්ව මහා සංඝ සභාවේ සංවිධායක
ශාස්ත්‍රපති 
දොඩම්පහළ ශ්‍රී රාහුල හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වෙසක් අව අටවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ මැයි 29 වන ඉරිදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment