Labels

Tuesday, June 21, 2016

අපේක්‌ෂාවෙන් නොව අවශ්‍යතාවයෙන් ජීවත්වෙමු

යථාලාභ සංතෘෂ්ටිය හෙවත් ලද දෙයින් සතුටුවීම ප්‍රයෝජනවත්, සැහැල්ලු, දිවිපැවැත්මට අනුබල දෙන බෞද්ධ ඉගැන්වීමකි. ඉවසීම, අයථා ක්‍රමවලින් ධනය ඉපැයීමෙන් වැළැකීම, තිබෙන දෙය මැනවින් කළමනාකරණය කිරීම ආදී ගුණාංග ආරක්‌ෂා කරවයි. අනෙක්‌ අතට ඉහත ගුණාංග තවදුරටත් වර්ධනය කරයි. එමෙන්ම මෙම දහම ගැන වැරදි අදහස්‌ද ඇත. එනම් පොහොසත්වීමට දිරිනොගන්වන ඉගැන්වීමක්‌ ලෙසය. මෙම ලිපියෙන් අපි නිවැරැදිව ලද දෙයින් සතුටුවීම ගැන අවබෝධ කරමු.

'සංතුෂ්ටි  පරමං ධනං' සතුට පරම ධනයයි. නමුත් ඇතැම් පුහු මිනිසුන් සිතන්නේ ධනය පරම සතුට බවයි. ධනය පරම සතුට නොවුණත් එයද ජීවිතයට සතුට, පහසුවෙන් ජීවත්වීමට අවශ්‍ය පසුබිම සකසයි. එහෙයින් ධනය අවශ්‍යය. නමුත් අපි ධනය වෙනුවෙන් ජීවත් නොවෙමු. මුදල්, ගෙවල්, වාහන අපට අවශ්‍ය වන්නේ ජීවිතය පහසු කරගැනීමටය.

ධනය වෙනුවෙන් මුළු ජීවිතයම වන්දිගෙවන මිනිසුන් ඇත. ඔවුන් තමන්ගේ අවශ්‍යතා හඳුනා නොගනිති. ඒ වෙනුවට අපේක්‌ෂා රෑසක්‌ හිසමත දරාගනිති. ජීවිතයට බර, කරදර රැසක්‌ නිර්මාණය කරගනිති. තමන් මනසින් සැහැල්ලුවට පත් නොවේ.

අවශ්‍යතාවන් වෙනුවට අපේක්‌ෂාවන් ඉහවහ යන්නේ තමන් අනුන් සමඟ සංසන්දනය කිරීම නිසාය. තමන්ගේ සහොදර, සහෝදරියන්, ඥතීන් හෝ ගමේ අය, අසල්වැසියන් ආදීන් සමඟ තමන්ට ඇති දේ සහ නැතිදේ සංසන්දනය කරයි. තමන්ට නැති දේ කෙසේ හෝ ලබගැනීමේ තරගකාරී මානසිකත්වය ඇති වේ. තමන්ට අවශ්‍ය නොවුණත්, ලොකුගෙයක්‌ හැදීම, ප්‍රමාණවත් මුදල් නොවුණත් මිළ අධික වාහන සහ තව නොයකුත් දේ අපේක්‌ෂා කරයි.

ප්‍රයෝජනයක්‌ නැති තරගකාරී මානසිකත්වය නිසා සිදුවන්නේ තමන්ගේ යහපත් ගුණයන් පිරිහීමයි. අනෙකාට ඊර්ෂියා කරයි. තියෙන කෙනාට වෛර කරයි. ණයකරුවෙක්‌ බවට පත්වේ. ලීසිං කොම්පැනිවලට කොයිවේලාවේ හෝ දේපළ අයිති වේයයි බියෙන් යුත්ත වේ. තමන් තමන්ට ආදරය නොකරයි. වේලාවට අනුභව කිරීම, පහසුවෙන් නින්දනොයෑම ආදී පීඩනයන් රැසක්‌ තමන්ට තමන් විසින්ම ඇතිකර ගනියි. මිහිපිටම අපායක්‌ නිර්මාණය කරගනියි.

ඇත්තටම බොහෝ මිනිසුන් කටයුතු කරන්නේ අවශ්‍යතාවට නොව, අනුන්ට තමන්ගේ පුරාඡේරුව පෙන්වීමටය. මෙය පහත් මානසික මට්‌ටමකි. අවිද්‍යාවෙන් අන්ද වූ අය එය නොදනියි. නිවස ඉදිරිපිට කාර් එකක්‌ ප්‍රදර්ශනය කිරීම වර්තමානයේ රැල්ලක්‌ බවට පත්ව ඇත. කාර් එකක්‌ බොහෝ අයට අවශ්‍ය නොවුණත් තිබෙන බව පෙන්වන්නේ සාමාජයෙන් නම්බුවක්‌ බලාපොරොත්තුවෙනි. නමුත් සමාජයෙන් ලැබෙන විශේෂ නම්බුවක්‌ නැත. අවසානයේ තිබෙන මුදල්වලින් නිකරුනේ ලීසිං ගෙවයි. අඩුම තරමෙන් ප්‍රමාණවත් පරිදි ආහාර හෝ වෙනත් අවශ්‍යතා නැතිව රෝගීන් බවට පත්වේ.

අපෙක්‌ෂා රැසක්‌ ඇති පුද්ගලයා අයථා ක්‍රම මගින්, අවිනීතියෙන් මුදල් ඉපැයීමට පෙළඹේ. සූදුව, සොරසල්ලි මුද්‍රණය, මංකොල්ලකැම් ආදී අපචාර ක්‍රියාවන්ගෙන් ජීවිතය විනාශ කර ගනියි. තමන්ගේ සුදුසුකම්, හැකියාවන් මගින් ධනය ඉපැයීම අමතක වේ. හැකියාවන් අවභාවිත කරයි. තමන්ට ඇති සම්පත් නිවැරදිව භාවිත කිරීම නොසලකා හරියි. ගෙදරදොර අනෙකුත් දේවල්වල පිළිවෙළක්‌ නැත. නිවැරදි කළමනාකරණයක්‌ නැත.

ලද දෙයින් සතුටුවීම යනු තමන්ට ඇති දේ මැනවින් හදුනාගෙන එයින් නිසියාකාරයෙන් ප්‍රයෝජන ගැනීමයි. හොඳින් කළමනාකරණය කිරීමයි. ඉන්පසුව ඉදිරි පියවර ගැන සැලසුම් කළ හැකිය. එනම් ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යැමයි. මෙහිදී ඉවසීම, උපක්‍රමශීලීබව අවශ්‍යය.

තම සන්තක දේ හොඳින් භාවිත කිරීමෙදී ඒ මත පදනම් වන නව අදහස්‌ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කළහැකිය. එය කිසියම් අවස්‌ථාවක බිදවැටෙන සුළු ප්‍රමාණය අවමය. යම් පසුබමක්‌ ඇති වුණත් මැනවින් මුල්බැසගත් පදනමක්‌ ඇති බැවින් විනාශයට පත් නොවේ.

තමන් විසින් උපයාගත් දෙයක්‌ ඇතැයි යන සතුට 'අත්ථි සුඛ' ඇති වේ. ණය නොවන බැවින් අණන සුඛය හෙවත් ණය නොවීමෙන් ලැබෙන හිත සැනසුම ඇතිවේ. මේ සහනය ජීවිතයට ලැබෙන්නේ ලද දෙයින් සතුටු වීමේ ගුණය පුහුණු කිරීමෙනි.



පූජ්‍ය බටුවංගල සමිද්ධි හිමි


2016 ජුනි මස 19 වැනිදා ඉරිදා  දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි

No comments:

Post a Comment