Labels

Thursday, June 16, 2016

ආධ්‍යාත්මික දියුණුව නිවන් සුව පිණිසමයි


බුදුරජාණන් වහන්සේ වදාළා මේ මනස හදා ගැනීමෙන් පමණයි ජීවිත ශාන්තිය උදාකර ගත හැක්කේ කියා. මනස හික්මවා ගැනීම තුළිනුයි අපේ නිවැරැදි ගමන මෝදු වන්නේ. 

සිත පිරිසුදු වන්නේ ධර්මය හරහායි. එනිසා යම්කිසි අයෙක් එක බුදු බණ පදයක් සිහියෙන් යුතුව ශ්‍රවණය කරනවා නම් මේ ඝෝර මරු සසරේ මේ භයානකත්වයෙන් ඈත්වී ආර්ය භූමියට එකතු වන්නට එය හේතු වෙනවා.

අප සෝතාපන්න වීමට කරුණු හතරක් සම්පූර්ණ කළයුතු වෙයි. 
ඒ 1. සද්ධර්ම ශ්‍රවණය , 

2. යෝනිසෝමනසිකාරය (සිහිනුවණ) 

3. කළ්‍යාන මිත්‍ර ආශ්‍රය 

4. ධම්මානුධම්ම පටිපන්න (ධර්මය ටික ටික හෝ පුහුණු කිරීම) බවයි.

ධර්මයට කැමැති මනසක් අපට ඇත්නම් මෙලොව පරලොව දෙලොවේම යහපත කරා ගමන් කරනවා. නමුත් ධර්මය ප්‍රතික්ෂේප කරන, මේවා අපට කරන්න බැහැ කියන විවේචනය කරන අයට අභිවෘද්ධියක් කරා ගමන් කරන්න අපහසුයි.

තථාගතයන් වහන්සේ මේ ලෝකයේ සිටින මිනිසුන් කොටස් තුනකට බෙදනවා. ඒ සමහර මිනිසුන්ගේ දෑසම පෙනෙන්නේ නැහැ. දෑස අන්ධයි. තව සමහර අය ඉන්නවා එක ඇසක් පමණක් අන්ධයි. මේ දෙදෙනාම ආශ්‍රය නොකළ යුතු බවත් දෑසම පෙනෙන පුද්ගලයා පමණක් ආශ්‍රය කළයුතු බවත් වදාළා. ඔබ සිතයි ඇයි තථාගතයන් වහන්සේ අන්ධ කෙනා ආශ්‍රය කරන්න එපා කිව්වේ කියා. බැලූ බැල්මට අපට වෙනත් ආකාරයකට පෙනුණාට මෙහි ගැඹුරු අර්ථයක් තිබෙනවා. මෙහි ඇස් දෙකම හොඳින් පෙනුණත් අවසානයේ ඇස් දෙකම නො පෙනෙන කොටස ඒ අයම වෙන්නත් පුළුවනි. ධර්මානුකූලව ඇස් දෙකම අන්ධයි. සමහර අයගේ එක් ඇසක් අන්ධයි. ඒ වගේම උඩින් ඇරුණු ඇස් දෙක ගැඹුරින් ඇත්තටම ඇරී තිබෙනවා. එසේම ඇස් ඇරී ඇති අය මේ සමාජයේ ජීවත් වෙනවා.

ඇස් දෙකම අන්ධයි කියන්නේ මොකක්ද? සමහර අය මේ ජීවිතය ගත කරන ක්‍රමය ඉතාමත්ම පහත්. කුසලය, අකුසලය අඳුනන්නේ නැහැ. ධර්මය අධර්මය, ගුණය අගුණය, අම්මා, තාත්තා හඳුනන්නේ නැහැ. බුදුගුණ,දම්ගුණ හඳුනන්නේ නැහැ. ඒ අයගේ භෞතික පැත්තත් පිරිහිලා. වචනය බොහෝ සැරයි. ක්‍රියාවත් සැරයි. බාහිර සියල්ල අපිරිසුදු මෙන්ම භෞතික දියුණුවකුත් නැහැ. මෙලොව මෙන්ම පරලොවදීත් ආලෝකයට ගමන් කිරීමක් නැහැ. ඒ නිසා අධ්‍යාත්මික මෙන්ම බාහිර දියුණුවකුත් නැති අයටයි ඇස් දෙකම අන්ධයි කියනවා. මේ ලබාගත් වටිනා මනුස්ස ජීවිතයත් අඳුරු කර ගන්නවා. ඒ වගේම පරලොවදීත් අඳුරෙන් අඳුරටම යනවා.

එක ඇස් ඇත්තා කවුද? ඔහු මේ උඩින් පෙනෙන ජීවිතය ටිකක් ගුණ ගරුකයි. භෞතිකව ගෙවල් දොරවල් හදාගෙන යානවාහන අරගෙන අන් අයටත් උදව් කරගෙන ජීවත් වෙනවා. නමුත් ඔහුගේ ඇතුළාන්තය එහෙම නැහැ. අධාර්මිකව සල්ලි හම්බ කරනවා. භෞතික දියුණුවක් නැහැ. බැලූ බැල්මට මෙලොව ජීවිතය සාර්ථක ලෙස පෙනුනත් පරලොව ජීවිතය අසාර්ථකයි. මෙලොව පමණක් සාර්ථක පුද්ගලයාගේ සසර සුවපත් වන්නේ නැහැ. බැලූ බැල්මට ඉඩමක්, යාන වාහනයක් මෙන්ම යම් තනතුරක් හිමිවුවත් අධර්මවාදීනම් ඔහුගේ ජීවිතය අන්ධයි. ඒ නිසා ඇස් දෙකම සහ එක ඇසක් අන්ධ පුද්ගලයා සමඟ ඇසුරක් අනවශ්‍ය බව තථාගතයන් වහන්සේ වදාළා.

ඇස් දෙකම හොඳට පෙනෙන පුද්ගලයාගේ භෞතික ජීවිතය හොඳයි. ඒ වගේම ඇතුළාන්ත ජීවිතයත් සැබැවින්ම හොඳයි. ලස්සන ගැඹුරු විලක් වගේ. ලස්සනට මල් පිපී තිබෙන සුවඳ හමන වතුර පෑදී තිබෙන ජලජ ජීවීන් වසන, හරිත වර්ණ පරිසරයක තිබෙන විලක සුන්දරත්වයක් ඒ ජීවිතයේ තිබෙනවා. මේ ඇස් දෙකම පෙනෙන පුද්ගලයා ඒ වගේ. ගුණ සුවඳ තමා මල් සුවඳ.
අද අප කථා කරන්නේ සංයුක්ත නිකායේ සඳහන් “චංකම සූත්‍රය” යි. චංකම කියන්නේ සක්මනයි. දිනක් බුදුරජාණන් වහන්සේ ගිජිකුළු පව්වේ ස්වාමින්වහන්සේ පිරිසක් සමඟ වැඩ සිටි සේක. උන්වහන්සේ දුටුවා ඈත තැන තැන තවත් ස්වාමින් වහන්සේ පිරිස් වශයෙන් සක්මනේ යෙදෙනවා. මහණෙනි, අර ඈත සක්මනේ යෙදෙන පිරිස කවුද? ස්වාමිනි, ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ යි. මහණෙනි, ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ සමඟ සක්මන් කරන භික්ෂූන්ගේ ප්‍රාර්ථනාව ප්‍රඥාව දියුණු කර ගැනීමයි.

මහණෙනි, අර පැත්තේ සක්මන් කරන්නේ කවුද? ස්වාමිනි, මොග්ගල්ලාන ස්වාමින් වහන්සේ. මහණෙනි, සෘර්ධිය දියුණු කරන්නට කැමැති අය මොග්ගල්ලානයන් සමඟ එකතු වී සිටිනවා.
මහණෙනි, තුන්වෙනි කණ්ඩායම කවුද? ස්වාමිනි, ඒ මහාකස්සපයන් වහන්සේ සහ උන්වහන්සේගේ ගෝලයන්. මහණෙනි, ඒ භික්ෂුන් වහන්සේ ධුතාංග රැකීමට කැමැති පිරිසයි.
මහණෙනි, අනෙක් කණ්ඩායම කවුද? ස්වාමිනි , ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ. දිවැස් ඇති අය අතර අග්‍රස්ථානය ගත් අනුරුද්ධයන්ගේ ගෝලයන් පුහුණු කරන්නේ දිබ්බචක්ඛු ඤාණය යි. පුණ්ණමන්තානි පුත්ත ස්වාමින් වහන්සේ ඉදිරියෙන් ගෝලයන් පිටුපසින් සක්මන් කරනවා. මහණෙනි, මේ පිරිස බුදු බණ මිහිරි හඬින් කියන්න පුළුවන් අය අතරට ප්‍රමුඛ වන පුණ්ණමන්තානි භික්ෂුව සමඟ එක් වී සක්මන් කරනවා.

මහණෙනි, මේ පැත්තේ සක්මන් කරන්නේ කවුද? ස්වාමිනි විනයට අගතනතුරු දරන උපාලි මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිසයි. මහණෙනි විනයට කැමැති අය උපාලි සමඟ එකතුව සක්මනේ යෙදෙනවා.
අර හත්වැනි කණ්ඩායම කවුද? ස්වාමිනි, ධෛර්වන්තයන් අතර අග්‍ර වූ ආනන්ද හිමියන් ඇතුලු පිරිසයි එසේ සක්මනේ යෙදෙන්නේ.

මේ හත් කණ්ඩායම හැරුණු විට මේ මැදින් සක්මන් කරමින් සිටින්නේ කවුද? ස්වාමිනි, ඒ දෙවිදත්තර සහ ගෝල පිරිසයි. මහණෙනි, බලන්න ප්‍රඥාවට කැමැති අය සාරිපුත්තයන් සමඟ, සෘර්ධියට කැමැති අය මොග්ගල්ලානයන්ටද, ධුතාංග රැකීමට කැමැති අය මහාකස්සපයන්ටද, දිවැසට කැමැති අය අනුරුද්ධයන් සමඟද, මිහිරි ලෙස බණ දේශනාවට කැමැති අය පුණ්ණමන්තානිපුත්තයන් සමඟද, විනයට කැමැති අය උපාලි සමඟද, ධර්මය මතක තබාගෙන පුහුණු කිරීමට කැමැති අය ආනන්දයන් සමඟ ද, එක් වී සිටියි. දේවදත්තට කැමැති වූයේ පාපයට කැමැති අයයි. මහණෙනි, සමාජයේ මිනිසුන් එකතු වන්නේ ගුණයට කැමැති අය ගුණයටද, පාපයට, අකුසලයට, අධර්මයට කැමැති අය අධර්මය පිළිගන්නා අය සමඟ එක්වේ. මැණිකක් අසල තැබිය යුත්තේ මැණිකක්ම පමණයි. ගල්කැට, තිරුවානා කැට, බොරළු කැට මැණික් ළඟට ගැලපෙන්නේ නැහැ. ගුණවතුන් ළඟට ධර්මයට, සීලයට, සමාධියට, ප්‍රඥාවට කැමැති අය එකතු වේ. ඒ වගේම ගල් කැට සමඟ මැණීක් තබන්නෙත් නැහැ. කුණුවලට කුණුද, මැණික් වලට මැණික්ද ලෙස ගුණවතුන්ට ගුණවතුන්, පාපීන්ට පාපීන් එකතුවන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ විස්තර කරමින් වදාළා.

එනිසා අපටත් කල්‍යාණ මිත්‍රයෙකු මුණ ගැසුණහොත් ආධ්‍යාත්මික මාර්ගය දියුණු කරගෙන ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කර සසර තරණය කළ හැකිය.





මාලබේ අරංගල 
ශ්‍රී ශෛලාරාමාධිපති 
කථිකාචාර්ය, දර්ශනපති 
රාජකීය පණ්ඩිත 
ඇත්කඳුරේ සුමනසාර හිමි






ශ්‍රී බුද්ධ වර්ෂ 2560 ක්වූ වෙසක් අමාවක පොහෝ දින රාජ්‍ය වර්ෂ 2016 ක් වූ ජුනි 04 වන  සෙනසුරාදා දින බුදු සරණ පුවත්පතෙහි පළ වූ ලිපියකි

No comments:

Post a Comment