ධම්මරාජස්‌ස සාවකා
තමෙව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා
මහරජතුමනි, ශ්‍රමණයන් වන අපි ධර්ම රාජයාණන් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමු. නුඹලාට අනුකම්පා පිණිස මෙහි පැමිණියෙමු.
'අනුබුදු' යනු බෞද්ධයන් වූ අප හැමගේ ගෞරවයට හා පූජනීයත්වයට පාත්‍ර වූ බුදුරජාණන් වහන්සේට දෙවැනි වූ බුදුන් වහන්සේ ලෙස සලකන මිහිඳු මහ රහතන් වහන්සේ උදාවන පොසොන් පුර පසළොස්‌වක පෝය දින ඔබත් ලක්‌වාසීනුත් භක්‌ති ප්‍රණාමයෙන් සිහිපත් කරනු ඇත. එබැවින් ස්‌වාමීනි, ඔබවහන්සේ මගේ රටට වැඩිය බැවින් බුදුදහම සංස්‌කෘතිය හා ශිෂ්ටාචාරය පුනර්ජීවයක් ලැබුවා පමණක් නොව මිනිසා ආධ්‍යාත්මික ගුණ වගාවකින් පෝෂණය වූ බව රහසක් නොවේ.
මේ අනුව අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ සම්ප්‍රාප්තියට ප්‍රථම සිරිලක විවිධ ආගම් ඇදහිලි රට පුරාම විසිරී පැවතුණු බව ඉතිහාසගතව ඇත. මෙම අසිරිමත් සැපත්වීම ලොව වෙනත් කිසිම රටක නොවූ තරම් සුවිශේෂී කරුණු රැසක් එකතුවීම අප ලද මහත් වූ භාග්‍යයකි. එවකට ඉන්දීය දේශයේ පාලකයා වූ ධර්මාශෝක අධිරාජයාගේ පූර්ණ අනුග්‍රහය ඇතිව මොග්ගලීපුත්තතිස්‌ස තෙරුන්ගේ අනුශාසනා පරිදි සිදුකළ තුන්වැනි සංගායනාවේ ප්‍රතිඵලයක් වශයෙන් දේශ දේශාන්තරවල ධර්මය ප්‍රචලිත කිරීමේ අරමුණට සමගාමීව මෙම අනුබුදු මිහිඳු හිමි සම්ප්‍රාප්තිය සිදු විය. මෙහි සුවිශේෂත්වය මෙම දූත ගමනට නායකත්වය දුන්නේ ධර්මාශෝක රජතුමාගේ එකම පුත් පැවිදිව රහත්භාවයට පත්වූ මිහිඳු මහරහතන් වහන්සේය.
ඉන්දීය වේදිස නගරයෙන් ගමන් ඇරැඹූ උන්වහන්සේ ඉට්‌ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, අධීසීල භික්‌ෂුන් වහන්සේලා එක්‌වීමත්, මිහිඳු මහරහතන් වහන්සේගේ නැඟණිය වූ සඟමිත් කුමරියගේ පුත් සුමන පුංචි සාමණේරයන්ද විය. තවද මිහිඳු මහ රහතන් වහන්සේගේ සුළු මෑණියන්ගේ දියණියකගේ පුතු වන එවකට අනගාමීත්වයට පත්ව සිටි භණ්‌ඩුක උපාසක ඇත්තෝද මෙම ගමනට පෙරමුණ ගැනීමත් ශාක්‍ය වංශයේ එම ඥති පරපුර එක්‌වීම හා මෙම සුවිශේෂ සිදුවීමට ඓතිහාසික වටිනාකමක් ඇති බව සෙල්ලිපි වලින් හා ග්‍රන්ථවලින් හෙළිදරව් වේ.
මිහිඳු මහ රහතන් වහන්සේ සැපත්වීමට මෙසේ සුවිශේෂත්වයක් ලබාදීමට හේතු වූ කරුණු මත බුද්ධ නියමයක් පැවැති බව ප්‍රකාශ වේ. එදා ශ්‍රී තථාගත බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ උන්වහන්සේ ශ්‍රී මුඛයෙන් සක් දෙවිඳුට වදාළ පරිදි 'මාගේ සම්බුද්ධ ශාසනය වර්ෂ පන්දහසක් කල් නොනැසී ජීවමානව පවතිනු ලබන්නේ මේ සිරිලක බවත් එය සුරැකීමට කටයුතු කරන ලෙසත් සැළකර ඇත. එසේ සුරැකීමට මා පිරිනිවන් පාන මොහොතේ සිරිලකට මගේ ඥති පරපුරේ විජය නම් කුමාරයෙක් ගොඩබසිනු ඇත. ඔහු හා පිරිස සිරිලක රාජ්‍ය පාලකයා වීමෙන් ආර්යයන් වහන්සේගේ දේශයක් ලෙස පහස ලබනු ඇත. එබැවින් ආරක්‌ෂා කරන්න යයි'' ඉල්ලීමක් සක් දෙවිඳුන්ගෙන් කර ඇති බවට අපේ ඉතිහාස පොත්වල ලියෑවී ඇත.
එහෙත් 'අනුබුදු හිමියනි', ඔබවහන්සේගේ පාද ස්‌පර්ශයෙන් හා නෙතගින් අප වෙත ගෙනහැර පෑ ඒ ශ්‍රේෂ්ඨ ධර්මයට අද සිදුවී ඇත්තේ කුමක් ද? එම උතුම් ධර්මයට පිටුපාමින් ක්‍රියාකාරකම්වල නිරත වන පින් පව් ගැන වැටහීමක් තැකීමක් නොකරන පිරිස් ඇති වීමය.
අතීතයේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩමවීමට ප්‍රථමත් අප සිහළ ජාතිය අතර උතුම් ගුණධර්ම, සිරිත් විරිත් පැවැති බවද පෙනී යනු ඇත. එය එදා රටේ පාලක රජතුමා ලෙස පෙනීසිටි දේවානම්පියතිස්‌ස රජතුමා මනාව පෙන්වා ඇත. රජතුමා මුව දඩයමේ ගියේ සතුන් මරා මස් කෑමේ ෙච්තනාවෙන් නොව විනෝදය, ක්‍රීඩාව, කායික ව්‍යායාමය සඳහාය. කිසිම දවසක තණ බුදින, ආහාර ගන්නා, පැටවුන් කිරි දෙන, ගැබ්බර සතුන් කුඩා සතුන් පසුපස දිව ගියේ නැත. යම්කිසි හැඩිදැඩි සතෙකුට ශබ්ද කර ඔහු දුවන්නට හැර පසුපස දිවයන සතුනට තම දුන්න එසවීය. මේ අනුව රාජ්‍ය පාලකයා මෙන් රට වැසියා දඩයම් පවා විනයානුකූලව සිදුකළ බව පෙනී යනු ඇත. වත්මන් දඩයම්කරුවන්ට මෙය කදිම පාඩමකි.
වර්තමානයේ සතුන් දඩයම් කරන්නේ මස් අනුභවයටයි. කෑදර කමටයි. මේ වෙනුවෙන් මරු වැල් ඇටවීම, වෙඩි බැඳීම, මළපුඬු ඇටවීම, ජලයට වස මුසු කිරීම, රැකවල් සිට ගිනි බිඳීම ක්‍රමයන්හි නිරතව වල්මත්වී ඇත. මේ අනුව එදා මිනිසා සමග සමීපව ජීවත්වුණ සමහර සතුන් අද දකින්නට නැත. එම සතුන් නාමිකව ඇත. තලගොයන්, සාවුන්, දඬු ලේනුන්, වළිකුකුළන්, වැව්වල සිටි ඉබ්බන්, මත්ස්‍ය වර්ගයන් වඳ වී හමාරය. තවද එදා පරිසරය සුරැකුණු අවුරුදු සිය දහස් ගණන් වටිනා වනස්‌පතීන් ගල්ශිඛර පොළවට සමතලා කර ඇත. මහ පොළවේ ඇති සියලු සම්පත් මුදලට පරිවර්තනය කර ඇත. මේ වැනසීමත් සමග මිනිසාද වැනසී ඇත. මෙම රුදුරු උවදුරු හමුවේ මිනිසා අසරණව ඇත. හොඳම නිදසුන අප හට අත්වී ඇති ස්‌වාභාවික විපත්ය. මෙම ක්‍රියාවලිය මෙතැනින් නොනැවතී ඉදිරියට යනු ඇත. මහත් අවාසනාවකි.
එහෙත් අනුබුදු හිsමියනි, ඔබ වහන්සේගේ පාද ස්‌පර්ශය හා නෙතගින් අප වෙත ගෙනහැර පෑ ඒ ශ්‍රේෂ්ඨ ධර්මයට අද සිදුවී ඇත්තේ, එම උතුම් ධර්මයට පිටුපාමින් ක්‍රියාකාරකම්වල නිරතවන පින් පව් ගැන වැටහීමක් තැකීමක් නොකරන පිරිස ඇති වීමය. පරලොවක් මරණින් මතු ආත්මයට සිදුවන්නේ කුමක්‌දැයි නොසිතයි. කර්මය, කර්මඵල ගැන විශ්වාසය පසෙකලා ඇත. 'හිමියනි, ඔබ වහන්සේ එදා අපට බණ කියාදෙමින්, චුල්ලහත්ථි පදොaපම සූත්‍රය', 'විමානවත්ථු හා පේතවත්ථු, දේවදූත සූත්‍රය' මගින් දේශනා කළේ කුසල්හි නිරත වන්නන්ට සුගතිගාමී වන ආකාරයත් අකුසල්හි නිරතවන්නන් දුගතිගාමී වන ආකාරයත්ය. එහි ප්‍රතිඵලය අපි අත්විඳිමින් සිටිමු.
අද වනවිට අපේය කියා අනන්‍යතාවකින් රැකගත් දේ වෙනුවට වෙනත් ආදේශයන් තුළින් පෝෂණය වී ඇත. අඹ ගස, පොල් ගස වෙනුවට මුළු මහත් පරිසරයටම වින කරන පිහිඹියා, පයිනස්, ඇකේෂියා, ටර්පන්ටයින්, කටුපොල් වැනි විදේශීය ආක්‍රමණික ශාක ගැන කතා කරමින් ඒවා පිළිගෙන ඇත. ස්‌වාභාවික සුන්දර පරිසරය, දියවැල්, මහ පොළව විකෘති කරමින් සුවිසල් මන්දිර හෝටල් කොන්ක්‍රීට් නගර බවට පත්කර ඇත. වසර සිය ගණනක් පල දැරූ ගස්‌වලට කෙටි කලකින් පල දරා මියයන්ට සලසා ඇත. සෑම ක්‍රියාකාරකමක්‌ම බලවතකුගේ හෝ දේශපාලනයට නතුවී හමාරය.
ස්‌වාමීනි, ඔබ අද මේ පින්බිමට වැඩියොත් ඔබවහන්සේ කම්පා වනු ඒකාන්තය. මිනිසා මිනිසාට මෙන්ම පරිසරයට ද එරෙහිව ඇත. අතීතයේ අප මහා රජවරු වන දුටුගැමුණු, පැරකුම්බා උතුමන්ලා ගොඩනැඟිල්ලක් ඉදිකළේ පරිසරයට හානි නොවන පරිදිය. අපට අද දක්‌නට ලැබෙන අනුරපුර ලෝවාමහාපාය රාජමාලිගාවන්හි නටබුන්ව ඇත්තේ ගඩොල් හා ගල්කණු පමණි. හත්මහල් ප්‍රාසාදයන් හයකට යොදා ඇත්තේ දැව දඬුය. ඒවා යොදාගත්තේ පරිසරයට හානි නොවන ලෙසය. වැව් අමුණු බඳවා තැබුවේ ලැබෙන අහස් දිව සුරැකිව තබාගෙන මිනිස් ජීවිත හා කෘෂිකර්මාන්තය ගැන සිතමින්ය. අද මෙවැනි කාර්යයක් කළ පාලකයන් ගැන අහන්නවත් තිබෙනවාද? කළත් ඒවා තමාටද වාසියක් ඇත්නම් පමණි. එදා වැව හදනකොට දාගැබ ඉදිවූවා. ඒ අසලම ගමත් හැදුණා. මේ අනුව ආගමත් රැකුණා.
මහ පොළොව භාර නොගන්නා කිසිවක් මහළොව මත නොහෙළිය යුතු බව බුද්ධ දේශනාවන්හි අපට කියාදෙනු ඇත. මිනිසා පය ගසා සිටින, මිනිසා ජීවත්කරවන මේ මහපොළව සෑම බිම් අඟලකටම වස විස මුසුකර ඇත. පිරිසිදු පානීය ජලය බිඳක් දක්‌නට නැත. සිරිලක රැකගත් ආශිර්වාදයක්‌වූ සිංහරාජ වනය හතරෙන් තුනක් මිනිසා ආක්‍රමණය කර හමාරය. නිදැල්ලේ හැසිරෙන වන සතුන් වඳවී නාමිකව පවතී.
එදා බුදුරජාණන් වහන්සේ ආරණ්‍ය, වනරෝපණය ඇතිකිරීම, රැක ගැනීම මහා පින්කම් ලෙස වදාළහ. බුද්ධ ධර්මයෙහි මිහිඳු මහ රහතන් වහන්සේ අපට මේවා කියාදුන්නේය. උන්වහන්සේගේ අනුශාසනා පරිදි අනුරපුර මහ මෙව්නා වැනි උයන් ඇතිවිය. සතුන්ට නිදහසේ ජීවත්වන්නට අභය භූමි ඇතිවිය. විහාර, පන්සල්, වෙහෙර ඉදිවිය. මහා පිළිම වහන්සේලා ඉදිවිය. මේවා නිසා මිනිසා මානුෂික වීමට ආධ්‍යාත්මික ගුණ වගාවෙන් යුතු යහපත් සමාජයකට ප්‍රවේශය ඇතිකරන ලදී. එපමණක් නොව මිනිසාගේ මෙලොව පරලොව දෙකම යහපත් කරන ලදී. මිනිසා සිත් සතන් පිරිසිදු කිරීම හා සිරිත් විරිත් ගරු කරන්න, මහපොළොව රැකගන්න, අපවිත්‍ර නොකරන්න, වැසිකිළි කැසිකිළි සම්ප්‍රදාය, දේශීය වෙදකම, වෙද ගෙදර, රෝහල් ඉදිවිය. මිනිසුන් උගතුන් වියතුන්, කර්මාන්තකරුවන් බිහි කරන ආයතන ඉදිවිය. මේ සියලු සිදුවීම් අපේ ඉතිහාසය ශේෂව තිබෙන නටබුන්, ශීලා ලිපිවලින් අපට එවැනි පින්බර අතීතයක් පැවැති බව සාක්‌ෂි දරනු ඇත. මෙම සිදුවීම්වලට විටින් විට පාලනය කළ රාජ්‍ය පාලකයන්ගේ සුවිශේෂ වගකීම හැටියට ක්‍රියාකර ඇති බවද දක්‌නට ඇත.
මෙම කරුණු කාරණා සිහිපත් කරනුයේ අප අනුබුදු හිමිපාණන් විසින් මෙම සිරිලක සැපත්ව අර්ථයෙන්, ධර්මයෙන් අපට අනුශාසනා කර අප ලොව ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත්ව වසර 2332 ක් ගෙවීයන මොහොතේ මෙම අසිරිමත් සිදුවීම සිහිපත් කළ යුත්තේ උන්වහන්සේ කියාදුන් ධර්මයට අනුගත වීමෙන් මෙම උතුම් පෝය දින ගත කරන්නට සිත් සතන් අවදි කිරීමෙන්මය.
පූජ්‍ය හොරණ කල්‍යාණ ධම්ම හිමි,
ශ්‍රී විශුද්ධාරාම මහා විහාරය, වාරියපොළසමණාමයං මහාරාජ,
2016 ජුනි මස 19 වැනිදා ඉරිදා දින බුදුමග පුවත් පතෙහි පළ වු ලිපියකි
No comments:
Post a Comment